අතුල අධිකාරි එක්ක ළහිරු කරන ඉන්ටවිව් එකක් බැලුවා. මුලින් අපේ වෙදකම තියෙනවා නං කොරොනාවලට වුනත් බය වෙන්න ඕන නෑ වගේ කතා කියාගෙන එද්දි බලන එක නතර කරන්න හිතුනත් තව ටිකක් බලනවා කියල හිතුන. අතුල ලස්සනම දේවල් කියන්න පටන් ගන්නෙ ඊට පස්සෙ.
ලංකාවෙ සම්බන්ධතා ගැන කතා කරනවා නම් ඒකට හොඳම දෙන්නා අතුලයි සමිතයි කියල මට හිතිලා තිබුන. ඒකට හේතුව වුනෙම ඉතාම කුණාටු සහිත ආදර මුහුදක සුන්දරතම විදිහට යාත්‍රා කළේ උන් දෙන්නා කියල මට හිතෙන හින්ද. ඒ අන්අපොලොජටික් ජීවිතය ලංකාවෙ විරලයි. කොටින්ම ගොඩක් දාර්ශනික සංවාද කරන අයට වුනත් මේ විවෘතකම දරාගන්න අමාරුයි. ඒත් අතුල සමිතා අපේ නූතන සමාජයේ මනස්කාන්ත ආදර පුරාවෘත්තයක් නිර්මාණය කරලා තියෙනවා.
අතුල තමන්ගේ වෙන්වීම ගැන කතා කරනවා.
වෙන්වෙන අයත් එක්ක සම්බන්ධතාවය පවත්වාගෙන යනවා කියල එයා කියනවා. අපි කවදාවත් අපේ ප්‍රශ්න අරන් පොලිසියකට ගිහින් නෑ. නඩු දාගෙන නෑ. අදටත් අපි එකට ඉඳගෙන කෑම කනවා..
මේක ජීවිතය ගැන ලොකු චිත්‍රයක්. මරාගෙන මැරෙන සම්බන්ධතා වෙනුවට සදා කල් නොබිදෙන සම්බන්ධතාවයක් අතුල යෝජනා කරනවා.
“අදටත් අතුල ඉන්නෙ අමායා එක්ක. අමායා කසාද බැඳලා. අපි යාළුවො. අපේ මනුස්සකම් ඉවර වෙලා නෑ”
තමන්ගේ සීමිත ඉරිසියාකාර ප්‍රේමය වෙනුවට ඊට වඩා පළල් මනුස්ස සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන් වීමේ කතාවයි මේ අතුල කියන්නෙ. අපේ රොමාන්තික ආදරය හෝ මොනොගමික විවාහය අවසන් වුනු තැනින් අපේ මනුස්ස ආදරය නතර වෙන්න බෑ.
“සංකීර්ණ වුනාම ලේසියි. ප්‍රශ්න අඩුයි” – අතුල
සරල මතුපිට ජීවිතයකට වඩා එදිනෙදා සමාජ ප්‍රශ්නවලින් එලියෙ ගත කරන, වෙනස් ප්‍රශ්න සහ සිතුවිලි එක්ක ගතවෙන ජීවිතයකට පොදු සමාජයෙන් පැටවෙන ප්‍රශ්න අඩුයි. මහා සමාජ ආතතිය අඩුයි. ඒ හුදකලා පැවැත්ම ලේසියි. මොකද එතන තියෙන්නෙ තමන්ගෙ ප්‍රශ්න. අනුන්ගෙ ප්‍රශ්න නෙමෙයි.
ජීවිතය සම්පූර්ණ වෙන්නෙ ආදරය ඇතුලෙ කියල අතුල කියනවා. ආදරය ඇතුලෙ ලිංගිකත්වය තියෙනවා. ලිංගිකත්වය ඇතුලෙ ආදරය තියෙනවා. ලංකාවෙ ඔය දෙක වෙන් කරනවා. සමහර අය ආදරේ විතරයි කරන්නෙ. සමහර අය සෙක්ස් කරනවා ආදරේ කරන්නෙ නෑ. ඔය දෙක ඉඳිකට්ටයි නූලයි වගේ. වෙන් කරන්න බෑ..
අපේ රටේ ප්‍රධාන ධාරාවෙ තරු අතර අතිවිරල මේ විදිහෙ විවෘත අදහස් සහ නිදහස් පැවැත්මක් අතුලට එන්නෙ අතුලලාගේ පරම්පරාවට බලපාපු බටහිර සංගීතය පිටිපස්සෙ නෑසී ඇසුනු ඒ බටහිර නිදහස් ස්වාධීන ජීවිතයක් ගැන අදහස් වලින් කියල මට හිතෙනවා.
“මං කිසි දවසක මගේ පෙම්වතිය වැටෙයි කියල අල්ලගෙන යන්නෙ නෑ. ඒත් ලංකාවෙ ගොඩක් පෙම්වතුන් මුල් කාලෙදි පෙම්වතිය වැටෙයි කියල අල්ලගෙනමයි ඉන්නෙ. ඒත් ටික කාලයක් යද්දි ඒක නැති වෙනවා. අපේ රටේ පිරිමින්ට හීනමානයක් තියෙනවා. ගෑනියෙකුට සලකන එක මදිකමක් කියල හිතන්නෙ. වාහවනයක දොරක් ඇරලා දෙන එක. සුද්දා එහෙම නෑ. බිරිඳට වාඩිවෙන්න පුටුව දෙනවා. ආවාම කෝට් එක ගලවලා ගන්නවා. මං තාමත් සමිතාගෙ අම්මටත් අමයාගේ අම්මටත් එකම විදිහට ඒ ගෞරවයෙන් සලකනවා. අපි වෙන්වුනා කියල ඒ දේවල් වෙනස් වෙලා නෑ”
අතුලට කසාදයක් ඇතුලෙ ඉන්න බැරි ඇයි කියල ළහිරු අහනවා. අතුල කියන්නෙ එයාට පුද්ගලිකත්වය ස්වාධීනත්වය ගැන හැඟීම වැඩියි කියල.
විවාහය ඇතුලෙ හිත් අමනාපකම් ගැටීම් තිබුනා කියල කියන අතරෙම කිසි දවසක දරුවන් ඉස්සරහ රන්ඩු වෙලා නෑ කියල අතුල කියනවා. තමන්ගේ නිදහස් සම්බන්ධතා ගැන දරුවන්ට අදහසක් ඇතිවෙන්නෙ මෙතනින්. ඒක ආතතිකර, භයානක, තමන්ට යම් කෙනෙක් අහිමි කරන දෙයක් බවට පත්වෙන්නෙම අපි ඒ දේවල් විසඳගන්න ආකාරයත් එක්ක. දරුවන්ට ඒකෙන් ඇතිකරන කම්පනය තමයි බරපතලම වෙන්නෙ. ඒ අය ඉතාම දැඩිව කෙනෙක් අල්ලගන්නා, තදින් බැඳෙන, එනිසාම සම්බන්ධතා බිඳෙන පිරිසක් වෙනවා. අතුල කියන්නෙ තමන්ගෙ නිදහස්කාමී ජීවිතය ඇතුලෙ ඇතිවුනු ප්‍රශ්න දරුවන්ට භයානක හීනයක් වෙන්න ඉඩ දුන්නෙ නෑ කියන එක.
එයා හරි ලස්සන කතාවක් කියනවා අද කාලෙ ප්‍රේමයන් ගැන. ඉන්න තැනක ඉඳන් වීඩියෝ කෝල් ගන්න ඕන. ළඟ ඉන්නෙ කවුද කියල පෙන්නන්න ඕන. පරක්කු වුනොත් හේතු කියන්න ඕන. මේ විශ්වාසයක් නැතිකම.
අතුල විවාහය කියන සංසිද්ධියෙ අවුල හරිම සරලව කියනවා. අවුරුදු ගානක් ඇසුරු කරපු පෙම්වතුන් බැඳලා මාස ගානෙන් වෙන්වෙන හැටි කියනවා. ඒ අත්සන් කරලා බාරගැනීමෙන් පස්සෙ එතෙක් තිබුනු හැමදෙයක්ම වෙනස් වෙන හැටි කියනවා.
‘අත්සනෙන් පස්සෙ අයිතියක් එනවා. ඒකයි අවුල’
‘ආදරේ කරද්දි යාළුවො වගේ ඉන්න ඕන. අරක අඳින්න එපා කොටට අඳින්න එපා, රස්සාවට යන්න එපා වගේ ඒවා යාළුවො කියන්නෙ නෑනෙ. ඩාන්සින් කරන කෙල්ලෙක් එක්ක යාළු වෙනවා ඊට පස්සෙ ඩාන්සින් අතාරින්න කියනවා…’
නෙලු අධිකාරි ක්‍රිස්තියානි නිකායකට ගිය එක ගැනත් ළහිරු අහනවා. අදහන ආගමෙන් වැඩක් නෑ. මනුස්සයෙක් විදිහට ඉන්නවද කියන එකයි වැදගත්. බෞද්ධ කොඩිය දාගෙන හිටියත් අනුන්ට හෙණ ගහපං කියනවා නම් එයා බෞද්ධ නෙමෙයි නේද කියල අතුල අහනවා.
‘එක වීඩියෝවක් තියෙනවා, හාමුදුරු කෙනෙක් බනිනවා බණ මඩුවට බීලා ආපු මිනිහෙකුට. බැනලා එලවලා පොලිසියටත් කතා කරන්න හදනවා. බුදු හාමුදුරුවො නං එහෙම කරයිද? බීපු මිනිහෙකුටනෙ ප්‍රශ්න තියෙන්නෙ. එයාටනෙ බණ කියන්නම ඕන. දැන් බණට කියන්නෙ පෝර්න් ගැන. බණ කියනවා කියන්නෙ මිනිස්සුන්ට විහිළු සපයනවා කියන එක නෙමෙයි’
ඒ වගේම අතුල තමන් බුක්ති විඳින නිදහසට පදනම වුනේ තමන්ගෙ දෙමව්පියන් නැත්තං හැදුනු වටපිටාව කියන එකත් මතක් කරනවා. කිසිම දවසකට තමන්ගේ අවසරයක් නැතිව තමන්ගේ කාමරයට ගෙදර අම්මා හෝ තාත්තාවත් ඇතුල් නොවුනු වග කියනවා. ඒ තරමට දරුවෙකුගෙ පුද්ගලිකත්වය ගරු කරන පරිසරයක් අතුලට තිබිලා තියෙනවා. කොටින්ම තමන් දික්කසාද වුනත් ඒ ගැනවත් කිසි දවසක අම්මලා තමන්ගෙන් ප්‍රශ්න කළේ නෑ කියල අතුල කියනවා. තාමත් අපි දෙන්නටම ඒ බැඳලා හිටපු කාලෙ සළකපු විදිහටම සළකනවා කියල ඒ බාරගැනීම ගෞරවයකින් මතක් කරනවා.
අතුල සිරාම කතාව කියන්නෙ ඊට පස්සෙ. කිසි දවසක තමන්ගෙ දුව කවින්ද්‍යාට අවුරුදු විසි පහක් විතර වෙනකං කෙල්ලෙක් නැතුව හිටපු කොල්ලෙක්ව බඳින්න දෙන්නෙ නෑ කියල එයා කියනවා. කසාද බැඳපු මිනිහෙක් බැන්දත් ඒ මිනිහා බැඳපු වාර ගාන ප්‍රශ්නයක් කරගන්නෙ නැති අතුල අවුරුදු 25ක් වෙනකල් කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලපු නැති හොඳ පුතෙකුට විරුද්ධ වෙනවා.
‘ඒ කියන්නෙ එයාගෙ මොකක් හරි ලෙඩක්. එයා දන්නෙ නෑ ගෑනියෙක් එක්ක ඇසුරු කරන්නෙ කොහොමද කියල’
කවදා හරි දවසක අතුලයි සමිතයි දෙන්නත් එක්ක ඒ දෙන්නගෙ ආදරේ ගැන අන්සෙන්සර්ඩ් කතාබහක් කරන්න තිබුනොත් ඒක මාර වෙයි. ඒත් මේක ලංකාවනෙ. එහෙම විවෘතකමක් බාරගන්න පුළුවන්කමක් තියෙනවද කියන එකත් සැකයක්.
බෙල්ලෙ එල්ලෙන ධර්ම චක්‍රය ගැනත් අතුල කියනවා.
‘මේක සිම්බල් එකක්. අටලෝ දහම කියන එක. දුක සැප නින්ද ප්‍රශංසා ඔක්කොමත් එක්ක ජීවිතේ කැරකෙනවා කියන එක. සමහරු මේක හරි ශුද්ධ වූ දෙයක් විදිහට හිතනවා. ටොයිලට් එකට යද්දි ගලවලා යනවා. එහෙම දෙයක් නෙමෙයි මේක. මේක සංකේතයක්’
දරුවන්ට යුතුකම් ඉටු කිරීම ගැනත් හරි වැදගත් කතාවක් කියවෙනවා. ලංකාවෙ දරුවන්ට යුතුකම් ඉටු කිරීම කියන්නෙ තමන්ට ඕන විදිහට තමන්ගේ අරමුණු කරා යන දරුවන් නිර්මාණය කරන එකනෙ. අතුල දෙමව්පියන්ගෙ යුතුකම විදිහට දකින්නෙ දරුවන්ට නිදහසේ කරදරයක් නැතුව හැදෙන්න ඉඩදෙන එක. ඒ අයගෙ කැමැත්තට උදව් කරන එක. ඒ අයට බාධාවක් නොවෙන එක.
සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙදවන් මට දන් දුන් මගේ කිරුළු නුඹ ලා ගන්
දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ….
(සංවාදයේ අදහස අරගෙන සමහර වචන ගැලපෙන පරිදි වෙනස් කළ බව සළකන්න)
චින්තන ධර්මදාස