යුවළක් විසින් කරපු වීඩියෝව ගැනත් එක පිටිපස්සෙ යන්න පොලීසියට සිද්දවෙලා තියෙනවා කියලාත් මම දැන ගත්තතෙ චින්තන ධර්මදාස ලියලා තිබුනු ලිපියකින්. ඊට පස්සෙ යු ටියුබ් එකේ කොල්ලො ඒක ගැන විවේචනය කරන හැටි දැක්කම මට එවෙලේම ඔය වීඩියෝව බලන්න ආසා හිතිලා ගිහිල්ලා බැලුවා.

ලොක්ඩවුන් ඉවරවුනු හැටියේ ඇල්ල බලන්න යන්න හිතෙනවා. පහන්තුඩාව පළවැනි වතාවට ඇහැව්වේ. ඒ ඇල්ලත් හරිම කාමුකයි. කොහොමටත් නිදනකාමරයකට වඩා සොබාදහම කාමුකයි. ඒ නිසා ඇල්ල නම් විරුද්ධ වෙන එකක් නෑ. ලොක්ඩවුන් හින්දා ඇල්ලත් පාලුවෙන් ඉන්න ඇත්තෙ. ඒ වීඩියෝවේ ඒ දෙන්නා ඒ ඇල්ලෙම කොටසක් වගේ. ඒක නිකං ගලවලා අයින් කරන්න බෑ වගේ. ඊරෂ්‍යාත් හිතෙනවා. මට ඒ ඇල්ල පෙන්නෙ හරියට ගෑනු කෙනෙක්ගේ ඇඟක් වගේ. ඒ නිරුවත් ඇල්ල දිහාට නිරුවත් ගෑනු ශරිරය ඇවිදගෙන යන හැටි මාරයි. ඒ දෙන්නම දෙකක් නෙමෙයි එකක්.ගෑනු සහ පිරිමි ශරිර ගැන තිබෙන පටු කුහක සභ්‍යත්වයේ ලෝකය මොහොතකට අමතක වෙනවා. ඒ ගැහැනියත් ඒ පිරිමියාත් ඒ අවට පරිසරයත් ඔවුන්ගේ සංසර්ගයත් චිත්‍රයක් වගේ.

හොඳ චිත්‍රපටි සහ නරක චිත්‍රපටි කියලා ජාතියක් මගේ ලෝකේ නෑ. මම කැමති චිත්‍රපටි සහ අකමැති චිත්‍රපටි කියලා ජාතියක් නම් තියෙනවා. හොඳ සංසර්ගය කියන්නෙ මොකද්ද නරක සංසර්ගය කියන්නෙ මොකද්ද මම නම් දන්නෙ නෑ. කැමති සහ අකමැති සංසර්ගයන් නම් තියෙන්න පුලුවන්. මේ කෙටි චිත්‍රපටිය මම බලපු කෙටි චිත්‍රපටි අතර මම කැමති එකක්.

ඇල්ල තරමටම නිරුවත් ගැහැනියක් සහ පිරිමියෙක් සංසර්ගයේ යෙදෙනවා. ඉතින් ඒක චිත්‍රපටියක්. අසභ්‍ය චිත්‍රපටි කියලා දෙයක් නෑ. පොර්න් ශානරයේ රඟපෑම සඳහා ඉදිරිපත් වෙන නලුවන් සහ නිලියන් වැඩිහිටි අය නම් ඔවුන් ඒ සඳහා සහභාගි වෙන්නෙ කැමැත්තෙන් නම් ඒ හදන චිත්‍රපටි බලන්නෙ වැඩිහිටියෝ නම් ඒකේ ඇති ප්‍රශ්නය මොකද්ද ?ළමයින්ට සුදුසු දේවල් දෙන එක වැඩිහිටියන්ගේ වගකීමක්. මේ ලෝකේ ජිවත් වෙන්නෙ වැඩිහිටියෝ විතරක් නෙමෙයි. ළමා අයිතිවාසිකම් විතරක් නෙමෙයි වැඩිහිටි අයිතිවාසිකම් කියලා ජාතියකුත් තියෙනවා. ළමයින් භාවිතා කරලා ඒවගේ චිත්‍රපටි හදනවා නම් ඒවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන.

පොර්න් කියන්නෙ චිත්‍රපටි ශානරයක්. හොල්මන්, කතාන්දර වගේ ශානරයක්. චිත්‍රපටි කරන අයට කරන අනවශ්‍ය නීතිමය බලපෑම කලා නිශ්පාදන ලෝකේටම බලපානවා. ශක්තික සත්කුමාර කෙටි කතාවක් ලියලා උනෙත් මේ වගේ දෙයක්මයි. පොර්න් අසභ්‍යයි කියලා පැත්තකට දානව නම් චිත්‍රපටි ලෝකේ හරි කුහකයි.


නදීකා බණ්ඩාරගේ සටහනක්