මහනුවර පැත්තෙ සිසුවියන් රවටාගෙන කාමරවලට ගෙනිහින් අසභ්‍ය චිත්‍රපටි හදපු පාසැල් සිසුන් දෙන්නෙක් අත්අඩංගුවට අරගෙන.

මේ සිසුවන් දෙදෙනා කෙල්ලන් සමග හාද වී ඔවුන්ගේ නිරුවත රූගත කරගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින වගට තර්ජනය කරමින් මේ සිසුවියන් අපයෝජනය කරලා තියෙනවා.

මේක බරපතල වරදක්. ඒ ගැන කතා දෙකක් නෑ.

ඒත් මේ විදිහට තර්ජනය කරමින් අපචාරයට ලක් කිරීමට ඇති සංස්කෘතික ඉඩ මේ විදිහෙ හුදකලා සිදුවීමක් නීතිය ඉදිරියට පැමිණවීමෙන් අවසන් වෙන්නෙ නෑ. ඒ අවකාශය තව තවත් විවෘත වෙනවා.

කෙනෙක් තමන්ගේ නිරුවතක් ඉන්ටර්නෙට් එකට දානවා කියන පලියට බියට පත්නොවන සංස්කෘතියක් නිර්මාණය කරන්න ඕන. නිරුවත හෝ ලිංගිකව හැසිරීම කියන එක මහා රහසිගත දෙයක් කියන සෙක්ස් ඇරියස් මනෝභාවය ආමන්ත්‍රණය කරන්න ඕන. ඒකට සෙක්ස් මැජික් නැති සමාජයක් නිර්මාණය වෙන්න ඕන.

පොලිසිය කියන්නෙ ඒකෙ අනිත් පැත්ත. පොලිසිය තමයි අපචාර සංස්කෘතිය පවත්වාගෙන යන්නෙ. ඒ අපචාරී දෘෂ්ටිය සමාජය ඇතුලෙ බලයත් එක්ක නඩත්තු කරන්නෙ. කොටින්ම වැඩබලන පොලිස්පති පවා බලහත්කාර අත්අඩංගුවට ගැනීමකට සහ ලිංගික අතවර කිරීමකට උසාවියෙන් වරදකරුවෙක් වෙලා තියෙනවා.

මේ සිසුවන්ගෙ ෆෝන් පරීක්ෂා කිරීමේදී තවත් තරුණියන්ගේ අසභ්‍ය යැයි කියන දර්ශන පොලිසියට හම්බුවෙලා තියෙනවා. ඒ දර්ශන අසභ්‍යයි කියන්නෙ ඇයි කියල දන්නෙ දෙයියො තමයි. දෙන්නෙක් ලිංගිකව හැසිරීමක වීඩියෝවක් අසභ්‍ය නෑ. එය අනවසරයෙන් රූගත කිරීම හෝ මුදාහැරීමයි අසභ්‍ය ක්‍රියාව වෙන්නෙ.

කොහොම වුනත් පොලිසිය අතට තවම අන්තර්ජාලයට මුදා නොහැරපු නිරුවත් දර්ශන පත්වීම තමයි භයානකම. මේ වීඩියෝ පොලිසිය සතුව තිබියදීම අන්තර්ජාලය මුදාහැරීමක් සිදු නොවේ යැයි ස්ථිරව කියන්න පුළුවන් සදාචාරයක් පොලිසියට තියෙනවද? රංජන් රාමනායකගේ හඩපටවලට සිද්ද වුනේ මොකක්ද?