ඊයෙ ඒ කියන්නෙ 13 වෙනි බ්‍රහස්පතින්දා දවල් 12.05ට විතර ජාතික රූපවාහිනියෙ කෙටි චිත්‍රපටයක් ප්‍රදර්ශනය වෙනවා. ඒකෙ නම ‘වොයිස්’ නැත්නම් ‘ඇගේ හඬ’. මේ ෆිල්ම් එක යන්නෙ GIZ විසින් නිෂ්පාදනය කරපු චිත්‍රපට පෙලක් අතරෙ. මේකෙ තේමාව වෙන්නෙ කොන්ඩම් පාවිච්චිය.

කෙල්ලෙක් තමන්ගෙ කොල්ලා මුනගැහෙන්න යනවා. හැමදාම මතක් කළත් කොල්ලා විසින් කොන්ඩමයක් අරන් එන්න අමතක කරනවා. එදා ඒ කෙල්ල හිතාගන්නවා කොන්ඩමයක් නැතුව නම් සෙක්ස් කරන්නෙ නෑ කියල. එයා ෆාමසි කීපයකට යනවා. ඒ ෆාමසි ඇතුලෙ ඉන්න මිනිස්සු දැක්කම ලංකාවෙ සදාචාරය මතක් වෙන නිසා එයාට කොන්ඩමයක් ඉල්ලන්න කට පණ නැති වෙනවා.

පරක්කු වෙද්දි කොල්ලා තව ඇවිස්සෙනවා. කොල්ලව අපිට ෆෝන් එකෙන් ඇහෙනවා විතරයි.

‘ඔය රබර් පයි දාන්න මට බෑ. තමුසෙට පෙත්තක් බොන්න බැරිද? ෆාමසි ගානෙ ගිහින් වේස බඩුවක් වගේ කොන්ඩම් ඉල්ලන්න ලැජ්ජ නැද්ද?’

කොල්ලා කෙල්ලට බැනවදිනවා. ඒ බැනිල්ලට කෙල්ලට කේන්තියත් එක්ක දැඩි ආත්ම ශක්තියක් ඇතිවෙනවා.

‘මට කොන්ඩම් එකක් දෙන්න’ කෙල්ල කට ඇරලා ඉල්ලනවා.

ඔන්න ඔය කතාව ජාතික රූපවාහිනයෙ පෙන්නනවා. ඒක පෙන්නිය යුතුම කතාවක්. හැබැයි මොකක් හරි අතපසුවීමකින් පෙන්නපු වෙලාව නම් අවුලක්. ඒ වගේම සාලෙ මැද තියෙන රූපවාහිනිය ගැන සලකලා ඇතැම් දෙබස් කපා නොදැමීමත් ගැටලුවක්. ඒක බොහෝ විට සිද්ද වෙන්න ඇත්තෙ ස්පොන්සර්ඩ් ටයිම් බෙල්ට් එකක් මැද යන කන්ටෙන්ට් එකක් නිසා වෙන්න ඕන.

ජාතික රූපවාහිනිය කෙටි චිත්‍රපට ප්‍රදර්ශනයට අවකාශ සැලසීමත් මෙබඳු වැඩිහිටි තේමාවන් සාකච්ඡාවට ගැනීමත් ප්‍රශංසා කටයුතු දෙයක්. නමුත් ප්‍රදර්ශනය වෙන කාලය සහ එය නරඹන ප්‍රේක්ෂාගාරය පිළිබඳ නොසැලකීම ප්‍රශ්න ඇති කරන්නක් වග පැහැදිලියි.

රාත්‍රී දහයෙන් පස්සෙ වගේ මෙබඳු ජනතාව දැනුවත් කරන වැඩිහිටි තේමාවන් ඇතුලත් වැඩසටහන් ප්‍රදර්ශනයට ජාතික රූපවාහිනිය දැනුවත්ව මැදිහත් වෙනවා නම් වටිනවා. ආරම්භයට කලින් වැඩිහිටියන්ට පමණයි යනුවෙන් දැනුම්දීමකුත් කරන්න පුළුවන්.

ඒ කොහොම වුනත් මෙතෙක් ලංකාවෙ රූපවාහිනී මාධ්‍යයක ප්‍රදර්ශනය කළ වඩාත් ප්‍රගතිශීලීම එඩිතරම සහ ආන්දෝලනාත්මකම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීිමේ ගෞරවය ජාතික රූපවාහිනියට හිමිවිය යුතුයි.

මෙබඳු අප්‍රවේශම්කාරී කටයුතු නිසා වැඩිහිටි ලිංගික අධ්‍යාපනයට තවතවත් දැඩි සීමා පැනවීමක් සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමු.