පීරියඩ් කාලෙ සෙක්ස් ගැන කතාව සෑහෙන පැතිවලට දිගහැරුනා. ඇත්තටම ඔසප් වීම, මෙනසස්, පීරියඩ්ස් කියන විවිධ නම්වලින් හඳුන්වන කාන්තාවන්ගේ මාසික ආර්තවය ගැන තාම අපි අතර පවතින මිත්‍යා, සංස්කෘතික තහංචි ගොඩක් ඒ ප්‍රතිචාරවල දකින්න ලැබුන.

පීරියඩ් කාලෙ සෙක්ස් ගැන ලියන්න පෙළඹුන හේතුවක් වුනේ බොහොම කාලෙකට කලින් මං බස් එකක ලබපු අත්දැකීමක්. මගේ ඉස්සරහ සීට් එකේ හිටියා පෙම්වතුන් යුවළක්. පෝය දවසෙ ඒ දෙන්නා පෙම්සුව විඳින්න යන බවක් පැහැදිලිව පෙනුනා. කෙල්ල හෙමින් කොල්ලගෙ කනට ළංවෙලා මොකක්ද කිව්වා. ඒක ඇහුන ගමන් කොල්ලට මළ පැන්නා.

‘තමුසෙ කලින් කියන්න එපැයි ඕයි. මොකටද තමුසෙ ආවෙ? රූම් ගිහින් මොනවා කරන්නද?’

කෙල්ලගෙ මූන අඩන්න වගේ වුනා. ඒ වගේම එයා අර මිනිහට සෑහෙන බයකින් ඉන්න වගත් පෙනුනා.

‘මං දැනං හිටියෙ නෑ. අද උදේ වුනෙ’

ඇඩුම්බරව ඒ කෙල්ල කිව්වා.

‘බහිනවා, බහිනවා. තමුසෙ ගෙදර යනවා දැන්. අපරාදෙ දවසම’

කෙල්ල අකමැත්ත පළකරද්දිත් කොල්ලා බලෙන් වගේ කෙල්ලව ඇදගෙන බස් එකෙන් බැස්සා. කෙල්ලට පීරියඩ්ස් හැදීම නිසා කොල්ලගෙ මූනෙන් පළවුන අකමැත්ත, අප්‍රසන්නබව වගේම ඒක ඒ දවසෙ පෙම්සුව විඳින්න බාධාවක් හැටියට ගත්ත විදිහ මට තාම මතකයි. ඒ වගේම ඒක තමන් අතින් සිද්ද වුනු වරදක් වගේ කෙල්ල නොපැකිලව, අසරණව බාරගත්ත හැටිත් මට මතකයි.

ඒ ලිපිය ලියන්න මාව උනන්දු කලේ ඒ මතකය.

පීරියඩ්ස් ගැන අපේ සංස්කෘතියෙ තියෙන්නෙ කිළිටි කියල හැගීමක්. ඒක පරම්පරා ගානක් ඈත ඉඳන් එනවා. පන්සලකට, කෝවිලකට ඇතුල්වෙන්න බෑ පීරියඩ්ස් නම්. කිළි අහුවෙනවා කියල කියන්නෙ. මේ කිල්ල හෙවත් කිළිටි කියන හැගීම පීරියඩ්ස් හැදෙන නිසා ස්ත්‍රියට ආරෝපණය වෙලා තියෙනවා. පහුගිය කාලෙ සජිත් ප්‍රේමදාස පෑඩ්ස් නොමිලේ දෙන්න කතා කරපු වෙලාවෙ සංජීවනී වීරසිංහලා, කුසුම් රේණුලා මාධ්‍ය ඉස්සරහට ඇවිත් කිව්වෙ, ඊයා, ඕවා අපේ මහත්තයා එක්කවත් කතා නොකරන දේවල් කියල. ඒ වෙලාවෙ බහුතරයක් ජනතාව අර ඔවුන් කියපු මුග්ධ අදහසේම හිටියා.

පීරියඩ්ස් නැත්නම් ඔසප් වීම ඉතිහාසයේ ඉඳන් අශුද්ධ විදිහට පැවතුනු දෙයක් නෙමෙයි. මේ අශුද්ධත්වය එන්නෙම ශුද්ධ වූ බව නිසා කියල මානව විද්‍යාඥයො පෙන්වා දෙනවා. ඒ කියන්නෙ ඉතා පැරණි අතීතයේදී කාන්තාවන්ගේ ඔසප් වීම ශුද්ධ වූ කාරණයක් විදිහටයි සලකලා තියෙන්නෙ. ඒ සමයෙදි කාන්තාවන්ට අනාගතය දැකිය හැකි බලයක් ලැබෙන බව ඔවුන් විශ්වාස කළා. ඔවුන්ට රෝග සුවපත් කළ හැකි වුනා. ඒ ශුද්ධත්වය වෙනුවෙන් ඔවුන් ලෞකික ජීවිතයේ සාමාන්‍ය වැඩකටයුතුවලින් නිදහස් වෙලා විවේකීව ගත කළ හැකි පරිශ්‍රයන් වෙත ගියා. මේ ඔසප් රුධිරයේ තමන්ගෙ වර්ගය, ගෝත්‍රය ආරක්ෂා කළ හැකි බලයක් පවතිනවා කියල ඔවුන් විශ්වාස කළා. ඔසප් වීම කාන්තාවන්ගේ ශක්තිය, බලය වැඩි කරන කාරණයක් විදිහටයි පැවතුනෙ. නමුත් පීතෘමූලික සමාජයන් විකාශනය වෙන්න ගැනීමත් එක්ක මේ ශුද්ධ වූ දේම අශුද්ධ බවට පෙරලුනා. කාන්තාවන්ව යටපත් කිරීමට සංස්කෘතික වශයෙන් ඔසප් වීම කිළිට්ටක් හැටියට පාවිච්චි කළා.

ඇමරිකාවෙ චෙරොකී ආදිවාසිකයන්ට අනුව ඔසප් රුධිරයේ සතුරන් විනාශ කළ හැකි බලයක් පවතිනවා. රෝමයේ ප්ලයිනිද එල්ඩර්ට අනුව ඔසප් කාලයේ කාන්තාවක් නිරුවත් වුනොත් ඒ බලයෙන් හිම කුනාටු, සැඩ සුළං සහ විදුලි අකුණු නවතාලිය හැකි වෙනවා. ඒ වගේම මේ ඔසප් රුධිරයෙන් පුරුෂ ශක්තිය හීනවෙනවා කියලත් සමහරු විශ්වාස කළා. මායාවරුන්ගේ චන්ද්‍ර දෙවඟන බිහිවෙනවා කියල විශ්වාස කළෙත් මේ රුධිරයෙන්. එම රුධිරය මායා බලයෙන් සර්පයන් සහ කෘමීන් බවට පත්ව ඉන් මේ දෙවඟන මතුවෙනවා කියල ඔවුන් ඇදහුවා.

එමීල් ඩුර්කයිම් කියන මානව විද්‍යාඥයා කියන විදිහට ආගම කියන දේ බිහිවුනෙම ඔසප්වීම පාදක කරගෙන. මුල් කාලෙදි ඔසප් වීම වඩා නිර්මාණය වුනු චාරිත්‍ර වාරිත්‍ර විධි හරහා ආගම, නීතිය, ශුද්ධබව, ඥාතීත්වය වැනි සාමූහික අභිචාරයන් නිර්මාණය වුනා කියල ඩුර්කයිම් කියනවා. රුධිරය තමයි මෙතනදි ප්‍රබල කාරණය වුනේ. රුධිරය ගැන තිබුනු බය විසින් ශුද්ධත්වය නිර්මාණය වුනා. කාන්තාවන්ගෙන් ගලා යන රුධිරයම තමන්ගේ දඩයම් සතුන්ගෙන් ඔවුන් දැක්කා. මේ නිසා ඒ සතුන් වන්දනාමාන කළා. රුධිරය ශුද්ධ වූ දෙවියන්. රුධිරය ගලා යාම කියන්නෙ දෙවියන්ගෙ ගලායාම.

ප්‍රංශ මානව විද්‍යාඥයෙක් වුනු ලුවී ස්ට්‍රව්ස් කියන විදිහට උතුරු දකුණු ආදිවාසික ගෝත්‍රයන් පරීක්ෂ කරද්දි පේන දේ තමයි කාන්තාවන්ගේ ඔසප් චක්‍රය නිසි ආකාරයෙන් නිරීක්ෂණය නොකිරීමෙන් ලෝකයේ වියවුල් ඇතිවිය හැකියි කියල ඔවුන්ට තිබුනු බය. ඔවුන්ගේ සියලු මිත්‍යාවන් නිර්මාණය වෙලා තියෙන්නෙ ‍මේ ඔසප් චක්‍රයේ සහ ලෝකයේ සින්ක්‍රොනසිටිය පවත්වාගෙන යන්නයි. සංස්කෘතික න්‍යායාචාර්යවරියක් වන ජූඩි ග්‍රාන් ‍පෙන්නලා දෙන විදිහට ශිෂ්ටාචාරයේ ‘සංස්කෘතිය’ කියන දේ පදනම් වෙලා තියෙන්නෙම කාන්තාවගේ ඔසප්වීම මත.

මේ කොහොම වුනත් කාලයක ශුද්ධ වූ දේ අද වෙද්ද අශුද්ධ වෙලා ඒකෙන් ස්ත්‍රිය විෂයෙහි දරුණු, ඇයව පහත් කොට සලකන සංස්කෘතික බාධා පැනවීමක් සිද්ද වෙලා තියෙන බව පැහැදිලියි. වික්ටෝරියානු කාලෙදි ඔසප් වීම සැලකුවෙ උමතුභාවයට පත්විය හැකි රෝග තත්වයක් විදිහට. තාමත් මේ ගැන විද්‍යාත්මක කාරණා පවා එලිමහනෙ සාකච්ඡාවට ගන්නෙ නෑ. එය කතා නොකළ යුතු මාතෘකාවක් විදිහටයි දියුණු යැයි කියන අද සමාජයත් විශ්වාස කරන්නෙ. නමුත් මේ ඔසප් රුධිරයේ ඇත්ත කතාව හයියෙන් කියන්න ඕන එකක්.

මුලින්ම තේරුම් ගන්න ඕන දේ තමයි ඔසප් වීම කියන්නෙ ඔසප් චක්‍රයේ එක අවධියක් විතරයි කියන එක. ඔසප් චක්‍රය මාසයක් පුරාම ක්‍රියාත්මක වෙන අතර ඔසප් වීම දකින්න තියෙන්නෙ දින කීපයක් විතරයි.

එතකොට මේ රුධිරය අපිරිසිදුයි කියන එකට විද්‍යාත්මක හේතුවක් ති‍යෙනවද?

නැහැ. ඒක තනිකරම මිත්‍යාවක්.

පීරියඩ් රුධිරය කියන්නෙ ශරීරයෙන් ප්‍රතිකේෂප කරන කිළිටි රුධිරය නෙමෙයි. ශරීරයේ විෂ ද්‍රව්‍ය බැහැර කිරීමකුත් නෙමෙයි. ඒක බොහෝ දුරට යෝනි ශ්‍රාවයට සමානයි. සුළු ප්‍රමාණයක් රුධිර සෛල ‍අඩංගුයි. ඒ වගේම ගර්භාෂයේ මතුපිට ලේයරයේ පටක සහ බැක්ටීරියා එහි තියෙනවා. බැක්ටීරියා කිව්වම බය වෙන්න දෙයක් නෑ. ශුකානුවල පවා බැක්ටීරියා තියෙනවා. ඕනම ශරීර තරලයක බැක්ටීරියා අඩංගුයි.

ශරීරයේ අන් කවර කොටසක ගමන් කරන රුධිරය තරමටම පීරියඩ්ස්වලදි පිටවෙන රුධිරයත් පිරිසිදුයි. කාටහරි ලේ මගින් බෝවන රෝගයක් නැත්නම් මේ ගැන බයවෙන්න කිසි හේතුවක් නෑ.

ගොඩක් අය කියන විදිහට මේ රුධිරයේ දුගඳක් නෑ. සමහර විට යටඇඳුම්වල උණුසුම් තත්වය නිසා බැක්ටීරියා වර්ධනයක් සිදුවෙලා නම් පමණක් දුගඳක් ඇතිවෙන්න පුළුවන්. පැය තුනහතරකට වතාවක් පෑඩ් එක මාරු කිරීමෙන් සහ ඒ ප්‍රදේශය පිරිසිදුව තබාගැනීමෙන් මේ තත්වය ලේසියෙන්ම මගහරවාගන්න පුළුවන්.

පීරියඩ්ස් එක්ක කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් මට්ටම පහත වැටෙනවා. ප්‍රො‍ජෙස්ටරොන් වැඩිවෙනවා. මේ ඊස්ට්‍රජන් සෙරොටනින් කියන සතුට ඇති කරන රසායනය (නියුරොට්‍රාන්ස්මිටර්) එක්ක සම්බන්ධයි. ඒ වෙනුවට ප්‍රොජෙස්ටරොන් කියන්නෙ බය, කණස්සල්ල ඇති කරන හෝමෝනයක්. දැන් තේරුම් ගන්න පුළුවන් නේද පීරියඩ්ස් කාලෙදි මූඩ් එක වෙනස් වෙන්නෙ ඇයි කියල.

මේ කාලෙදි සෙක්ස් කිරීමෙන් ඊස්ට්‍රජන් මට්ටම ඉහළ නංවන්න පුළුවන්. ඒ කියන්නෙ කණස්සල්ල අඩු කරගන්න පුළුවන්.

පීරියඩ්ස් කාලෙට මූඩ් ගහනවා කියන එකත් කාන්තාවන් නොසලකා හරින්න පාවිච්චි කරන කතාවක්. හෝමෝනවලින් මූඩ් වෙනස් වෙන්නෙ ගෑනුන්ගෙ විතරක් නෙමෙයි. ඒක පිරිමි ගෑනු ඕනම කෙනෙකුට පොදුයි. ඕන කෙනෙකුගේ මූඩ් එකක් මාරු වෙන්නෙ හෝමෝන වෙනස්වීමෙන් තමයි.

අනික පීරියඩ්ස් හැදෙන්නෙ ගෑනුන්ට විතරක් නෙමෙයි. පීරියඩ්ස් හැදෙන්නෙ නැති කාන්තාවන් ඉන්නවා. ඒ වගේම පීරියඩ්ස් හැදුනා කියල තමන් කාන්තාවක් විදිහට බාර නොගන්නා අයත් ඉන්නවා. ට්‍රාන්ස්ජෙන්ඩර් පිරිමින්ට සහ නොන්-බයිනරි අයටත් පීරියඩ්ස් හැදෙන්න පුළුවන්. ඒක හින්ද පීරියඩ්ස් කියන්නෙ ගෑණු දෙයක් නෙමෙයි ඒක මනුස්ස දෙයක් විදිහටයි දකින්න ඕන.

පීරියඩ්ස් කාලෙ සෙක්ස් කරනවද නැද්ද කියන එක පුද්ගල කැමැත්ත අනුව තීරණය වෙන දෙයක්. විශේෂයෙන්ම ඒක කාන්තාවගේ කැමැත්ත අකමැත්ත අනුව තීරණය වෙන්න ඕන. විද්‍යාත්මකව පීරියඩ්ස් කාලෙ සෙක්ස් කරන එක හොඳයි සහ එයින් කාන්තාවට යම් පහසුවක් ඇතිවෙනවා කියලයි කියන්නෙ.

සෙක්ස් කළත් නොකළත් පීරියඩ්ස් ගැන ඇත්තටම ඔයා තේරුම් අරන් ඉන්නෙ කොහොමද, ඔයාගෙ ආකල්පය මොකක්ද කියන එකයි වැදගත්.


චින්තන ධර්මදාස