Home Features කැෂුවල් සෙක්ස්වලට කැමතිද?

කැෂුවල් සෙක්ස්වලට කැමතිද?

0
කැෂුවල් සෙක්ස්වලට කැමතිද?

කැෂුවල් කියන්නෙ නිදහස්, වැඩිය සීරියස් නැති, අනිවාර්ය නොවන, ස්ථාවර හෝ විධිමත් නොවන කියන තේරුම් දෙන වචනයක්. කැෂුවල් සෙක්ස් කියල ලිංගික සම්බන්ධතා සම්බන්ධයෙන් මේක යෙදෙන අවස්ථා තියෙනවා. සිංහලෙන් ඕක පරිවර්තනය වෙන්නෙ අනියම් සම්බන්ධතා විදිහට. ස්ථාවර නොවන කියන අදහස විතරක් තෝරගෙන නිදහස් කියන තේරුම බැහැර කිරීමක් එතනදි සිද්ද වෙනවා.

කැෂුවල් සෙක්ස් කිව්වම ඔයාට මොකක්ද හිතෙන්නෙ? මගේ සෙක්ස් උවමනාවන් සපුරගන්න හොඳම විදිහක් කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක කිසි හැගීමක් නැති දෙයක් විදිහට තව කෙනෙකුට හිතෙන්න පුළුවන්.

කැෂුවල් සෙක්ස් ගැන සමා‍ජෙ තියෙන අදහස කොහොමත් නෙගටිව් එකක්. හැබැයි ඒ ලිංගික සම්බන්ධතා අනිවාර්යෙන්ම නරකයි කියන එක මිත්‍යාවක්. අපේ ජීවිතේ ගොඩක් දේවල් එනර්ජයිස් කරන්න, ලස්සන කරන්න කැෂුවල් සෙක්ස්වලට පුළුවන්. හැබැයි හරියටම අපිට ඒ සම්බන්ධතාවෙන් ඕන මොකක්ද කියන එක ගැන අපි හරි අව‍බෝධයෙන් යන්න ඕන.

කැෂුවල් සෙක්ස් කියන්නෙ hookup culture කියන එකම නෙමෙයි. ඒකත් මේකට අයිති වෙන්න පුළුවන්. ඒත් ඉතාම පොසිටිව් විදිහට කැෂුවල් සෙක්ස් සම්බන්ධතා දිහා බලන්න පුළුවන්.

1. ඔයා යම් කෙනෙක් එක්ක පවත්වන ලිංගික සම්බන්ධතාවය උපරිමයෙන් විඳන කෙනෙක්. ඒත් ඔයාට මේ වෙලාවෙ කැපවුනු සම්බන්ධතාවයකට යන්න පුළුවන්කමක් නෑ. ඔයාගෙ රස්සාව සෑහෙන කාර්යබහුල එකක් වෙන්න පුළුවන්. නැත්තං ඔයාට දරුවෙක් හෝ වැඩිහිටි දෙමව්පියෙක් රැකබලාගන්න තියෙනවා වෙන්න පුළුවන්.
2. ඔයා ඉතාම ළගදි සම්බන්ධතාවයකින් බිඳුනු කෙනෙක්. අලු‍ත් සම්බන්ධතාවයක් පටන් ගන්න කලින් ඔයා කැමතියි කීප දෙනෙක් ඇසුරු කරලා ලිංගික පැත්තෙන් සහ ජීවිතය පැත්තෙන් වැඩිපුර දේවල් තේරුම් ගන්න.
3. ඔයා කෙනෙක් එක්ක විවෘත සම්බන්ධතාවයක් පවත්වන කෙනෙක්. ඕපන් රිලේෂන්ෂිප් එකක්. ඔයා කැමතියි තව අයත් එක්ක ලිංගික සම්බන්ධතා රසවිඳින්න.
4. ඔයා කැමතිම මිත්‍රත්වය ඇතුලෙ පවත්වන ලිංගික සම්බන්ධතාවලට. ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් කියන්නෙ.
5. ඔයා විවිධ අයව ඇසුරු කරලා යම් සම්බන්ධතාවයක් දීර්ඝ කාලීන එකක් කරගැනීමට තරම් සුදුසුද කියල පරීක්ෂා කරන කෙනෙක්.

ඉතිං මේ වගේ සාධාරණ හේතු ගොඩක් කැෂුවල් සෙක්ස්වලට තියෙන්න පුළුවන්. ඒ වගේම ඒ වගේ ගොඩක් අය කැෂුවල් සෙක්ස් හින්ද තෘප්තිමත් වෙනවා.

කැෂුවල් සෙක්ස් ඔයාට හරියනවද කියල බලන්න නම් මුලින්ම ඒකෙ තියෙන හොඳ සහ නරක පැති දෙකම ගැන යම් තේරුම් ගැනීමක් තියෙන්න ඕන. නැත්තං ඉතාම ආස්වාදජනක තැනකින් පටන් ගන්න සම්බන්ධතා ඉවර වෙන්නෙ නාඩගමක් වෙලා.

මෙන්න හොඳ පැත්ත

1. ඔයාට තව කෙනෙකුගේ අත්දැකීම් සහ ස්පර්ශයන් බෙදාහදා ගන්න ලැබෙනවා. මේ සමීප සම්බන්ධතා අපිව නිරෝගී කරනවා. එන්ඩොෆින්ස්, ඔක්සිටොසින්, ඩොපමින් ආදී සතුටු හෝමෝන කොක්ටේල් එකක් රසවිඳින්න අවස්ථාව ලැබෙනවා.
2. ඔයාට විවිධ අත්හදාබැලීම් කරන්න පුළුවන්. නිදහස වැඩියි. ඒ නිසාම ලිංගික තෘප්තිය හොයාගෙන යාමේ අවකාශයත් පුළුල් වෙනවා. සම්මත සබඳතාවයකදි කවදාවත් අත්විඳිය නොහැකි ආස්වාදයන් කැෂුවල් සෙක්ස් කලාපයේදි මුනගැහෙනවා.
3. ඔයා ඉන්නෙ හිත් බිඳීමකින් නම් තැවුලකින් නම් කැෂුවල් සෙක්ස්වලින් ඔයාට ලොකු සහනයක් ලැබෙනවා. ඔයාගෙ හුදකලාව මැකෙනවා. නැවත දීර්ඝ සබඳතාවයක් අරඹනතාක් කල් ඔයාගේ හිතේ තුවාල සනීප කරන්න මේ වගේ සම්බන්ධයකට පුළුවන්.
4. ඔයාට ලොකු ආත්ම විශ්වාසයක් අභිමානයක් දැනෙනවා. ඔයා කොයිතරම් ආකර්ශනීයද කියල හැගෙන්න පටන් ගන්නවා. මේ නැවුම් ආකර්ශනය තරම් ඇවිලෙනසුලු දෙයක් තවත් නැති තරම්.

දැන් නරක පැත්ත

1. ලිංගිකව බෝවන රෝග අවදානමක් තියෙනවා, ඔයා හරියට පරිස්සම් නොවුනොත්. ඒ වගේම අනවශ්‍ය ගැබ්ගැනීම් වලින් ආරක්ෂා වීමේ අර්බුදයත් තියෙනවා.
2. ඔයා බලපොරොත්තු කඩවීමකට ලක්වෙන්න ඉඩ තියෙනවා. ඔයා තෝරාගන්නා අනෙක් සහකරුවා ඔයා අපේක්ෂා කරන අන්දමේ කෙනෙක් නොවුනොත්, එයා මේ සම්බන්ධතාවයෙන් හොයන්නෙ වෙන දෙයක් වුනොත්, ඒක ආපහු සිත් රිදීමක් ඇති කරන තත්වයක්.
3. ඔයා හරියට සන්නි‍වේදනය කරන්න අපොහොසත් වුනොත් ඉතාම අතෘප්තිදායක සම්බන්ධතා රැල්ලකට අහුවෙන්න පුළුවන්. තමන්ට අවශ්‍ය දේ සහ තමන් සොයන තෘප්තිය ගැන නිසි සංවාදයක්, තේරුම් ගැනීමක් නැති කැෂුවල් සෙක්ස් අපිව හිස්කමකට අරන් යනවා.
4. බීමතින් මෙවන් සම්බන්ධතාවලට යාමෙන් ඉතාම නරක ප්‍රතිඵල ඇතිවෙන්න පුළුවන්. මේ නිසා තෘප්තිය අහිමි වීම වගේම අවසානයේ කාලකණ්ණි හැගීමක් ඉතුරු වෙන්නත් පුළුවන්. (සරාගී මොහොතක මත්පැන් ටිකක් පානය කිරීම වැරදි ලෙස දැකීමක් නොවේ. නමුත් සම්බන්ධතාවය ඔබ ඉතා හොඳ සිහියෙන් ගත් තීරණයක් විය යුතුයි)
ඔයා එවන් සම්බන්ධතාවයකින් පස්සෙ ෆෝන් එක දිහාම බලාගෙන, ටෙක්ස්ට් එකක් එනකල් විඳවමින් ඉන්න කෙනෙක් නම් ඔයා කැෂුවල් සෙක්ස් සම්බන්ධතාවලට සුදුසු කෙනෙක් නෙමෙයි. අනෙක් කෙනාගෙ හිතකවත් නැති බලාපොරොත්තු ඔයා තනියම හිතෙන් හදාගන්න එක හොඳ දෙයක් නෙමෙයි.

එහෙම නැතුව අර හොඳ ලැයිස්තුව කියවද්දි ෂා, මේක මට මරු කියල හිතෙනවා නම් ඔයා ඒ වගේ සම්බන්ධයක් විඳින්න ඕන කරන ඇටිටියුඩ් එක තියෙන කෙනෙක්.

කැෂුවල් සෙක්ස් සම්බන්ධතාවයක තෘප්තිය පවතින්නෙ කාරණා තුනක් මතයි.

1. අපේ බලාපොරොත්තු
2. අ‍පි ගැන අපිට තියෙන දැනීම
3. අපි තෝරගන්නා සහකරුවන්ගේ කොලිටිය.

කොහොමද ඉතින් හරි කෙනෙක් හොයාගන්නෙ? මේ කාලෙ ඇප් තියෙන නිසා ලොකු ප්‍රශ්නයක් නෑ තමයි. හැබැයි හැම ඇප් එකකම තියෙනවා වෙනස් අරමුණු. සමහර ඒවා hookups වලටමයි (ඒ කියන්න‍ෙ හුදෙක්ම ලිංගික ඇසුර සඳහාමයි, ගොඩක් වෙලාවට එක දවසක සම්බන්ධතාවක්) . සමහර ඒවා කසාද සඳහා.

ලංකාවෙ වැඩිය ජනප්‍රිය නැති feeld වගේ ඇප් එකක් ගත්තොත් ඒක කැෂුවල් සෙක්ස් වලටම වුනත් ඒ සහකරුවන්ගේ සහකාරියන්ගේ යම් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එකක්, පරිණතබවක් අපේක්ෂා කරනවා.

හරියම ඔයාගෙ අරමුණ තේරුම් ගන්න. පරණ සබඳතාවයේ වේදනාව මකන්නද? ලිංගික දක්ෂතා වැඩි කරගන්නද? කින්කි අත්දැකීම්වලටද? මේක හරියටම තේරුම් ගත්තොත් කැෂුවල් සෙක්ස් ඉතා රසවත් වෙන්න පුළුවන්.

පටන් ගනිද්දිම අනිත් කෙනාව හරියට දැනුවත් කරන්න. ‘මේක අදට විතරක් පවතින සම්බන්ධයක්’ කියන එක වුනත් පටන් ගනිද්දිම කියන්න පුළුවන් වෙන්න ඕන.

සියලු විනිශ්චයන් අත්හරින්න. සමාජ සංස්කෘතික විනිශ්චයන් උස්සගෙන ඇතුල්වෙන්න සුදුසු කලාපයක් නෙමෙයි. නිදහස් මනසකින් ඉන්නවා නම් විතරක් ඇතුල්වෙන්න.

ඔයාට ඕන කරන ලිංගික ආස්වාදය ඉල්ලන්න ලැජ්ජ වෙන්න එපා. හිතේ තියාගෙන ඉන්න දෙයක් නෑ. ෆෝප්ලේ ගොඩක් ඕනද? තුරුල් කරගෙන ආදරනීයව හෝ තමන්ව යටත් කරගැනීමෙන් කරන ලිංගික එක්වීමක්ද මේ දේ විවෘතව දන්වන්න.

ඒ අවශ්‍යතාවලට ගැලපෙන්නෙ නැත්නම් ඒ අයව ප්‍රතික්ෂේප කරන්න මැළි වෙන්නත් එපා. කිසිම බරක් නැතුව, මං කැමති විදිහ ඔයාට හරියන්නෙ නැත්තං අපි සෙට් වෙන එකක් නෑ, කියල අයින් වෙන්න. වඩා වැදගත් වෙන්නෙ ඍජු සහ පැහැදිලි වීමයි.

මතක තියාගන්න කැෂුවල් සෙක්ස් කියන්නෙ හැමෝටම හරියන එකක් නෙමෙයි. සෙක්ස්වලට පස්සෙ ඔයාට පාවිච්චි වුනා වගේ, නැත්නම් වටිනාකම අඩුවුනා වගේ දැනෙනවා නම් මේක ඔයාට හරියන මාර්ගය නෙමෙයි. වහාම අයින් වෙන්න.

හැබැයි ඒ කියන්නෙ කැෂුවල් සෙක්ස් නරකයි කියන එක නෙමෙයි. ඒක ඉතාම සුන්දරව විඳින බොහොමයක් අය ඉන්නවා. හරියට තමන්ව තේරුම් ගන්න පුළුවන්, තමන්ව ප්‍රකාශ කරන්න පුළුවන් කෙනෙකුට කැෂුවල් සෙක්ස් කියන්නෙ ජීවිතය පුරවන ආස්වාදයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here