Author: Ravindu SEO

  • මේක  ඕල්ඞ් ස්කූල් අයවැයක්

    මේක ඕල්ඞ් ස්කූල් අයවැයක්

    මේ පාර අයවැය ගැන හිත හිත ඉන්න අතරෙදි අහම්බෙන් ජැකී අර්ල් හාලෙ අධ්‍යක්‍ෂණය කරපු ‘ක‍්‍රිමිනල් ඇක්ටිවිටීස්’ බලන්න හම්බුණා. විශිෂ්ටම චිත‍්‍රපටියක් නොවුණත් වෙනස් විදිහක ‘රිවෙන්ජ්’ ස්ටෝරි එකක්. පල්ප් ෆික්ෂන් වලින් පස්සෙ ඒ තරමටම නොවුණත් ජෝන් ට‍්‍රැවොල්ටා හොඳ ‘ෆන්’ එකක් දෙනවා. ඒකෙ හැටියට එයා පාතාල නායකයෙක්. මොබ්ස්ටර් කෙනෙක්. හඳුන්වාදෙන දර්ශනයෙදි මේසයක් වටේ අනාත වෙලා ඉඳගෙන ඉන්න කොල්ලො සෙට් එකකට එයා ‘තෙලක්’ බෙදනවා. එතනදි ට‍්‍රැවොල්ටා කියනවා ආර්ථිකයෙ මූලික කාරණා හතක් තියෙනවා කියල.

    සීමිත බව, ආත්ම මූලිකත්වය, අසමානතාවය, තරගය, අසම්පූර්ණ බව, නොදන්නාකම, සංකීර්ණ බව කියන්නෙ ඒ හත. ට‍්‍රැවොල්ටා ඊට අමතරව අටවැන්නක් යෝජනා කරනවා. ඒ ‘ලක්’ එක. තියරියක් විදිහට එහෙම කරුණු හතක් නැති වුණත්  මම මේ කාරණාවලට යම් ආකාරයකින් එක`ගයි. ධනවාදී ආර්ථිකයක දියුණුවට මේ කාරණා කළමනාකරණය කරන ආකාරය වැදගත් වෙනවා වගේම කොයිම අවස්ථාවකවත් ඒවා මුලිනුපුටා දැමීම කියන මෝඩ උත්සාහයට යන්න නරකයි. ඒක වමේ අයට සෙල්ලම් කර කර ඉන්න තියෙන මාතෘකාවක්.
    අරක කැපුවා, මේක කැපුවා, ගොවිතැනට කෙළියා වගේ සුපුරුදු චෝදනා වලට අමතරව මේ පාර අයවැය දිහා සුබවාදීව බලන පිරිස් අතරින් ඇහෙන්නෙ අයවැය තාර්කිකයි, දිශානුගතයි වගේ අදහසක්. කාරණා විශ්ලේෂණවලට කලින් බලන්න වෙන්නෙ අයවැයක් විදිහට මේකෙන් දැනෙන ‘ෆීල්’ එක කොයි වගේද කියන එකයි.

    අයවැයක් හැටියට කොහෙත්ම බලාපොරොත්තු දනවනසුලූ හෝ යම් ප‍්‍රබෝධයක් ඇති කරවනසුලූ අයවැයක් ඉදිරිපත් කරන්න යූඇන්පිය අසමත් වෙලා තියෙනවා. තාර්කික අතාර්කිකතා ගැන කොයිතරම් සංවාද තියෙන්න පුළුවන් වුණත් මහින්දගෙ අයවැය වුණත් මේ කාරණේදි මීට වඩා ඉදිරියෙන් තිබුණ. ජනතාවට සමස්තයක් හැටියට යමක් ලැබෙන බවට, දෙයක් සිද්ද වෙන බවට, නැත්තං ෆන් එකක් හෝ ලල් එකක් ඒ අයවැයේ තිබුණ. මිනිස්සුන්ට බලාපොරොත්තු සහගත බවක් නොදැනෙන අයවැයක් කියන්නෙ මූලික වටයේදිම අසමත් එකක්. විශේෂයෙන්ම යූඇන්පියට ඒ විදිහෙ ෆීල් එකක් තියෙන බජට් එකක් නිර්මාණය කරගන්න බැරි වීමම යූඇන්පියේ අසමත් වීමක්.

    මෙතනදි මං අදහස් කරන්නෙ ගොවියාගේ සහනාධාර හෝ රාජ්‍ය සේවකයාගේ වරදාන ගැන නෙමෙයි. මීට වඩා එඩිතරව ඒ දේවල් සම්බන්ධයෙන් පියවර ගන්න තිබුණ කියලයි මගේ අදහස. විශ‍්‍රාම වැටුප අහෝසි කිරීම අනිවාර්ය කොන්දේසියක්. සහන දිදී කෘෂිකර්මාන්තය ගොඩගන්න අවශ්‍යද කියන එක තවදුරටත් කල්පනා කර කර ඉන්න තත්වයක් නෙමෙයි. කෘෂිකර්මාන්තය අනිවාර්ය ලෙසම දියුණු සමාගම් වෙත පවරා දෙන්න  ඕන. අපි කෘෂිකාර්මික රටක් කිය කියා සහන දිදී යම් කර්මාන්තයක් පවත්වාගෙන යාමෙ කිසි පදනමක් ඇත්තෙ නැහැ.

    ඒ වගේම රාජ්‍ය සේවය කියන්නෙ කොහෙත්ම සාර්ථක කළමනාකරණයකට බඳුන් කරන්න පුළුවන් අංශයක් නෙමෙයි කියන එක මේ වෙන කොට ප‍්‍රත්‍යක්‍ෂ කාරණයක්. රාජ්‍ය සේවය කියන පදනමම ගොඩනැගිලා තියෙන්නෙ නිකං ඉඳීම, වරප‍්‍රසාද ලැබීම, පුද්ගලික අරමුණු ඉටු කර ගැනීම වගේ අප‍්‍රකාශිත ප‍්‍රතිගාමී අදහස් සමුච්චයක් මත. බොරුවට නැවත නැවත ඒ අංශය ගොඩගන්න යනවා වෙනුවට රාජ්‍ය සේවය පෞද්ගලික කළමනාකාරීත්වයක් වෙත පවරා දීම වගේ තත්වයක් කරා උනන්දු වෙන්නයි අවශ්‍ය. තවදුරටත් රටක ජනතාව බබාකරණය කරමින් නැලවීම කරගෙන යන්න  ඕනද?

    රජයේ වෛද්‍ය ප‍්‍රශ්නයේදී වුණත් රජයේ ක‍්‍රියාමාර්ග අන්තිම දියාරුයි. පර්මිට් එකක් වෙනුවෙන් තවත් විවිධාකාර දේ කියමින් ඉදිරියට එන රජයේ වෛද්‍ය වෘත්තිය මෙයාකාරයෙන් තවමින් පවත්වාගෙන යන්න  ඕන නෑ. ඒ වෙනුවට රජයේ සෞඛ්‍ය ප‍්‍රතිපත්තියම වුණත් වෙනස් කර ගැනීමක් දක්වා යන්න දැන් කාලය හරි.
    පහසුකම් රහිත, වහල්ලූන්ට මෙන් රෝගීන්ට සළකන රජයේ රෝහල් සේවය වෙනුවට සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රමයක් හඳුන්වා දීමයි කළ යුත්තෙ. ආදායම් අතින් දිළිඳු අයට නොමිලේ ලැබෙන ආකාරයකටත් අනිත් අයට මුදල් ගෙවා අනිවාර්යෙන් ලබා ගත යුතු අකාරයටත් මේ සෞඛ්‍ය රක්ෂණය නිර්මාණය කරන්න පුළුවන්. මෙතනදි ඇමරිකාව වගේ රටවල මේ ක‍්‍රමය භාවිතා කිරීමෙන් ලබාගත්ත හොඳ- නරක ප‍්‍රතිඵල ආශ‍්‍රයෙන් වඩා හොඳ තත්වයක් හදාගන්න පුළුවන්.

    මෙතනදි දේශීය විදේශීය සුදුසුකම්ලාභී කවර හෝ වෛද්‍යවරුන්ට වඩා දියුණු සේවාවන්, සුවපහසුකම් සහිත තරගකාරී රෝහල්වල සේවය කරන්න පුළුවන්. අධ්‍යාපනය සහ පුහුණුව අතින් අතිශය දිළිඳු මට්ටමක පවතින ලංකාවෙ වෛද්‍යකර්මය මේ විදිහට පවතින්නෙ අවශ්‍ය තරගකාරීත්වයට විවෘත නොකිරීම නිසයි.

    අධ්‍යාපනය සම්බන්ධයෙන් වුණත් තත්වය මේකමයි. රජය විවෘත අවස්ථා නිර්මාණය කළ යුත්තෙ ද්විතියික අධ්‍යාපනය දක්වා විතරයි. ඉන් අනතුරුව අධ්‍යාපන ණයක් හෝ එබඳු වගකීමක් සහිත ක‍්‍රමයක් යටතේ අවශ්‍ය සියල්ලන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබිය හැකි තත්වයක් නිර්මාණය කිරීමයි අවශ්‍ය වෙන්නෙ. ඒ වෙනුවට දැනට පවතින වැඩවසම් ගතානුගතික ශාස්ත‍්‍රාලීය අධ්‍යාපනය වෙනුවට විදේශීය පිළිගත් විශ්ව විද්‍යාල සමග අනුබද්ධිත හෝ ඊට සමගාමී තලයක පිහිටන නව විශ්ව විද්‍යාල විවෘත කිරීමේ පියවරක් දක්වා යන්න අවශ්‍යයි. ඒ වෙනුවට රජය කරන්නෙ පවතින දිළිඳු අධ්‍යාපන ක‍්‍රමයටම තවත් මුදල් වෙන් කළ බව කියන එකයි.

    මේ විදිහෙ පියවරයන්ට එරෙහිව දැවැන්ත විරෝධතා පැන නගින එක අනිවාර්යයක්. ඒ වෙනුවෙන් ශක්තිමත් මතවාදී වෙනසක් ඇති කරන ව්‍යාපාරයක් ආරම්භ කරන්න වෙනවා. දැනට රටේ  ඕනම කාරණයක් ගැන මාධ්‍යවලින් පෙන්නන ජනතාව දිහා බලාගෙන ඉන්න. හැමකෙනෙක්ම ආණ්ඩුවෙන් කවර හෝ මට්ටමක හි`ගමනක් බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවට තමන් ගෙවන මිළට සරිලන සේවයක්, පහසුකම් ලබා දීමක්, අයිතිවාසිකම් ඉල්ලන දියුණු ජනතාවක් මේ රටේ නෑ. ඒ විදිහෙ ජනතාවක් නිර්මාණය වන තුරු සදා දිළින්දන්ගේ ආණ්ඩුවක් විතරයි බලයට එන්න පුළුවන්.

    ආණ්ඩුව දියුණු ධනවාදී අයවැයක් වෙනුවට සුබසාධනවාදී පැවැත්මක් ආරක්ෂා කරගන්න යාමෙන් අයවැය කටේ තියන්න බැරි එකක් වෙලා තියෙනවා කියලයි මට හිතෙන්නෙ. රථ වාහන තදබදයට විසඳුමක් කියන මුවාවෙන් වාහන සම්බන්ධයෙන් පනවපු බදු සහ අරක්කුවලට හිතුමතේ ගහන බදු වලින් ආණ්ඩුව ප‍්‍රකාශමාන කරන දැක්ම මොකක්ද?

    ජනතාවගේ විනෝදය සහ ආශාව සීමා කරමින් ආර්ථිකය පවත්වාගෙන යාමේ එළඹුමක් යෝජනා කරන තරම් දුප්පත් තත්වයට එජාපය මෙතනදි වැටිලා තියෙනවා. රවී කරුණානායක කියන විදිහට වාහනයක් ගැනීම කියන්නෙ රටෙන් 2%ක හෝ 3%ක ජනතාවට බලපාන ප‍්‍රශ්නයක්ද? නැත්තං සමස්ත බහුතර ජනතාවක් තමන්ගෙ ජීවිතයේ දරාගෙන ඉන්න ලොකු ආශාවක්ද? ගෙයක් දොරක් වාහනයක් කියන්නෙ මේ රටේ හැම සාමාන්‍ය මනුස්සයෙක්ම බලාපොරොත්තු වෙන සුවපහසුවේ ආදර්ශ තත්වය නෙමෙයිද? වඩා ඛේදනීය වෙන්නෙ ධනවාදී යැයි සම්මත පක්ෂයකින්ම මේ සරල මිනිස් ආශාවන් අසාධාරණ ආකාරයකින් සීමා කිරීමයි.

    මත්පැන් වලට පනවාපු බදුවල තත්වයත් මේ වගේමයි. මිනිස්සු සමාජ ආශ‍්‍රයන්ට පොළඹවන, වඩා සමාජශීලී කරන මෙන්ම විනෝදයෙන්, උද්දාමයෙන් තියන මත්පැන් මේ විදිහට ගණං යවන එකෙන් ආණ්ඩුව බලාපොරොත්තු වෙන ආදායමට වඩා සිද්ද වෙන හානිය විශාලයි. අනිවාර්යෙන්ම විශාල ජනතාවක් මේ හරහා නැවත කසිප්පු සහ බීඩි දක්වා පසුබසින්න නියමිතයි. ඒ හරහා තවත් සෞඛ්‍ය වියදම් වැඩිවෙන්න නියමිතයි.

    ලෝකෙ රටවල් ශීග‍්‍රයෙන් කංසා පවා නීතිගත කරමින් යන වකවානුවක ලංකාවෙ ආණ්ඩුව ක‍්‍රියාත්මක වෙමින් තියෙන්නෙ ආපස්සටයි. අලූත් ආදායම් මාර්ග විදිහට ප‍්‍රමිතියක් සහිතව මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ නිර්මාණශීලී පිළිවෙත් ගවේෂණය වෙනුවට මෛත‍්‍රීත් එකතුව ආණ්ඩුව නොදැනුවත් වයසක ප‍්‍රජාවකගේ සදාචාරයක් වෙනුවෙන් කඬේ යමින් ඉන්නවා.

    මාර්ග තදබදය ගැන වුණත් වාහන සීමා කිරීමට වඩා නිර්මාණශීලී සිතා බැලීමක් කරන්න පුළුවන්. මේ තදබදය වඩා පවතින්නේ කොළඹ (හෝ ප‍්‍රධාන නගර ආශ‍්‍රිතව* නිසා නගරයට ඇතුල්වෙන වාහන වලට ගාස්තු අයකිරීමක්, කාර්යාලවල කාල කළමනාකරණයේ වෙනසක් ආදී වශයෙන් විවිධ විකල්ප ක‍්‍රම උත්සාහ කිරීමත් ඒ හරහා වඩා සමාජයේ ක‍්‍රියාකාරීත්වය පුළුල් කිරීමත් ගැන ආණ්ඩුවට හිතලා බලන්න තිබුණ. අන්තර්ජාල පහසුකම් දියුණු කිරීම සහ ඒ ආශ‍්‍රිතව ලබාගත හැකි භාණ්ඩ හා සේවා හුවමාරුවක අවකාශය වැඩිදියුණු කිරීම වගේ දේවල් වුණත් ඒ ප‍්‍රශ්නයට යම් ආකාර අනාගත විසඳුම් වෙන්න පුළුවන්. ඒ වෙනුවට අන්තිම  ඕල්ඞ් ස්කූල් වර්ගයේ සිතීමකින් මේ අයවැය විසින් ජනතාවගේ ආශාව සහ විනෝදය සීමා කරමින් තියෙනවා.

    ඒකෙන් මොකක්ද වෙන්න පුළුවන්? අනාරක්ෂිත හෝ නැවත පසුබසින තත්වයක් හැ`ගුනු විගස ජනතාව තමන්ගේ ‘බේසික්ස්’ වලට යනවා. නැවත පවුල් කේන්ද්‍රීය සීමිත ජීවිත පැවතුම් කරා යනවා. පරිභෝජන රටා ඇකිලෙනවා. ආර්ථිකයක් වර්ධනය වෙන්න අවශ්‍යම සමාජ ප‍්‍රබෝධය නැති වෙනවා.

    යම් ආකාර බදු පැනවීම් නොකළ යුතුයි කියනවා වෙනුවට මෙතනදි මම අදහස් කරන්නෙ අසාධාරණ ලෙස රජය තමන්ගේ ආදායම් වෙනුවෙන් ජනතාව හූරගෙන කනවා කියන එකයි. අඩුම තරමෙ පහුගිය ආණ්ඩුව තමන්ගේ හයිවේ වියදම් වෙනුවෙන් හයිවේ ලොතරැුයිය වගේ ක‍්‍රමයක් හෝ උත්සාහ කර බැලූවා. අනවශ්‍ය ලෙස සහන පවත්වාගෙන යාම වෙනුවෙන් සහ ආකාර්යක්ෂම සේවා අංශ නඩත්තු කිරීම වෙනුවෙන් වියදම් කරන්න යන මුදලින් තමන්ගේ වියදම් කළමනාකරණය කළා නම් වඩා හොඳයි කියන එකයි මගේ අදහස.

    අන්තිමට සිද්ද වුනේ ආණ්ඩුවට තමන් අරක කැපුවෙ නෑ, මේක කැපුවෙ නෑ කියමින් තමන්ගෙ ඇ`ග බේරා ගැනීමේ ප‍්‍රතිපත්තියකට යන්න. නැවත රාජ්‍ය සේවකයන්ට ඔවුන්ගේ සියලූ වරදාන ලබා දෙන්න. එතකොට ආණ්ඩුව අපේක්ෂා කරන දියුණු වෙළඳ නගර, තොරතුරු තාක්‍ෂණ කලාප ඇති කරන නව ආර්ථික සැලසුම් මේ අයවැයෙන් පිළිඹිඹු වෙන්නෙ කොහොමද?

    කණගාටුවෙන් වුණත් කියන්න වෙන්නෙ මේක නැවත ජනතාව අල්පේච්ඡුතාවයෙම හිරකරන දුර්වල බයාදු අයවැයක් විතරයි කියන එකයි. අවශ්‍යම ඇටිටියුඩ් වෙනසකට මුලපුරන්න බැරි ළ`ගම ලාබ විතරක් දකින දැක්මකුයි මේ අයවැයේ ප‍්‍රකට කාරණය වෙන්නෙ. තාර්කිකත්වය කොහොම වුණත් නිර්මාණශීලීත්වයෙන් තොර නම් ඒ විදිහෙ අයවැයකින් බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද?


    චින්තන ධර්මදාස

  • අමරදේව –  නොදකිනා සීමාව

    අමරදේව – නොදකිනා සීමාව

    ඩබ්.ඞී අමරදේව කියන්නෙ මං කවදාවත් කිසි දෙයක් ලියන්න හිතපු කෙනෙක් නෙමෙයි. ජාතියේ මහා සංගීතඥයා ගැන මං මොනවා ලියන්නද? එහෙම ජාතික වස්තුවක් වෙනවා කියන්නෙම මට අනුව සියලූ අගයන් වාෂ්ප වෙනවා කියන එකයි. ඒත් කැටපෙ මට කතා කරලා නිකමට යෝජනා කළාම මට හිතුන ටිකක් අමරදේව ගැන ආයිමත් හිතන්න.

    කොරලවැල්ලෙ වන්නකුවත්ත වඩුගේ ඇල්බට් පෙරේරා, ඩබ් ඞී අමරදේව නම් වූ මහා ගාන්ධර්වයා ලෙස පිදුම් ලැබීම දක්වා ගමන ඇත්තටම අසීරු වගේම දීර්ග එකක්. අමරදේවගේ හැකියාව මුලින්ම හඳුනාගන්නෙ සුනිල් ශාන්ත. ඒත් සුනිල් ශාන්තට තිබුණු අදීන සහ මතවාදිමය ගුණය අමරදේවට පිහිටන්නෙ නෑ. ඉන්දියානු රාගධාරී සංගීතය සමග අපේ ජන සංගීතය සම්බන්ධ කිරීමේ පර්යේෂණාත්මක මෙහෙවරක් අමරදේව අතින් සිදුවුණා කියල බොහෝ දෙනෙක් වරනගන කතාව ඒ තරම් පිළිගන්න පුළුවන් එකක් නෙමෙයි. අමරදේව අතින් ලංකාවෙ සංගීතය ඉන්දීය රාගධාරී සංගීතයට යටවෙනවා. ඒ ඇසුරෙන් අධිපති සංගීත කතිකාවක් ගොඩනැගෙනවා. තමන් යම් විෂයක් තුල ලත් පරිචය හරහා තමන්ගේ මූලයන් හඳුනාගනිමින් ඒවා ගැන සංවිධිත නිර්මාණාත්මක ප‍්‍රවේශයක් ගන්නවා වෙනුවට අමරදේව අතින් සිද්ද වෙන්නෙ අනුකාරක ප‍්‍රවේශයක් ගැනීම කියලයි මං විශ්වාස කරන්නෙ.

    ප‍්‍රධානවම සංගීතඥයෙක් වේවා, කලාකරුවෙක් වේවා, තිබිය යුතු ස්වීය දාර්ශනිකත්වය අමරදේවගේ ව්‍යාපෘතිය තුල අහිමියි. උදා විදිහට පේ‍්‍රමසිරි කේමදාස වගේ චරිතයක් (මට අනුව ලංකාවේ ජාතික සංගීතඥයා විය යුත්තෙ ඔහුයි) තමන්ගේ අත්දැකීම් සහ අදහස් එක්ක රැුඩිකල් පර්යේෂණාත්මක අත්හදා බැලීම් වලට යනවා. සුනිල් ශාන්තගේ ගත්තත් ඒ සංගීත භාවිතාවෙ දේශපාලනයක් තියෙනවා. උදා විදිහට වරෙක ඉන්දීය සංගීත විශාරදයෙක් වෙතින් ගුවන් විදුලියෙ සංගීත වර්ගීකරණයක් කරන්න සූදානම් වීම නිසා සුනිල් ශාන්ත ගුවන් විදුලියෙ තමන් කරමින් සිටි රැුකියාවෙන් පවා ඉවත් වෙනවා. ඒ සරල මමත්ව හේතුවක් නිසා නෙමෙයි.

    ලාංකේය සරල ගීතය ගැන විවරණයක් කිරීමට ඉන්දීය ශාස්ත‍්‍රීය සංගීතකරුවෙකුට නොහැකියි කියන තාර්කික ස්ථාවරය මතයි. ඒත් අමරදේවගේ ජීවිතය තුල ඒ විදිහෙ පෙනී සිටීම් නැහැ.

    අමරදේව මං දකින විදිහට ඉතා පළල් මිනිස්සු ඇසුරු කරන්න වාසනා ගුණය තිබුණු හොඳ හ`ඩක් හිමි කෙනෙක්. මහගමසේකර, සුනිල් ශාන්ත, සරච්චන්ද්‍ර වැනි විශාල පරාසයක් තිබුණු අයගේ හෙවනැල්ල නිසා අමරදේව උවමනාවට වඩා ලොකුවට පේන්න ගන්නවා. (ඇල්බට් කියන නම ප‍්‍රසිද්ධියට බාධාවක් කියල අමරදේව කියන නම පවා දෙන්නෙ සරච්චන්ද්‍ර) ලංකාවෙ සංස්කෘතික අවකාශයෙ පවතින ගතිකයන් එක්ක මේක සිද්ද වුණු හැටි තේරුම් ගන්න ලේසියි. මතවාදිමය අතින් හෝ නිර්මාණාත්මක අතින් ස්වාධීන නොවන, වෙනස් අදහස් නොදරන අයට පහසුවෙන්ම මේ අවකාශයේ ස්ථාපිත වෙන්නත් ඉදිරියට යන්නත් පුළුවන් වෙනවා. විශේෂයෙන්ම යම් සම්ප‍්‍රදායක් රකින, ක‍්‍රමයකට අනුගත අයට මේ ගමන ඉක්මන්. අපේ අනිත් බොහොමයක් ක්‍ෂේත‍්‍රවලදි වගේම පොඩි තැනක ඉඳන් අමාරුවෙන් ඉහළ නැගි බොහෝ අයට හිමි මේ ගුණාංගයෙන් අමරදේවත් පොහොසත්.

    ඔහු අතින් පර්යේෂණාත්මක සිදුවුණා කියල වියත්තු උදාහරණ කොට දක්වන බොහෝ නිර්මාණත් ඇත්තටම ප‍්‍රශ්නකාරීයි. උදා විදිහට රන් දහඩිය බිංදු බිංදු ගීතය බයිලා සංගීතය යොදා ගනිමින් කළ නිර්මාණාත්මක වෑයමක් විදිහට හඳුන්වන ගොඩක් අයගෙන් අහන්න සිද්ද වෙන්නෙ ඇත්තටම අපිට මේ ගීතයෙ බයිලා සංගීතය ඇහෙනවද කියන එකයි. හුදු ශාස්ත‍්‍රීය ආකාරයකින් ඉන්දියානු රාගධාරී සංගීතය ඇතුලෙ බයිලා ගීතය මරාදානවා ඇරෙන්න යම් සංගීතයකට හිමි ආත්මීය ගුණය අමරදේව අඳුරගෙන නොහිටි බවයි මේ ගැලපීම ඇතුලෙ ප‍්‍රකට කාරණය වෙන්නෙ.

    අමරදේවට අනුව නිර්මාණයකට බලපාන ප‍්‍රධාන කාරණා තියෙන්නෙ දෙකයි. එකක් ප‍්‍රතිභාව. ඒ කියන්නෙ ගිය ආත්මභවයක ඉඳන් අරගෙන එන නිර්මාණ හැකියාව. අනික සතත අභ්‍යාසය. නිරන්තර පුහුණුව. මට අනුව මේ දෙක පිහිටියා වූ කිසි කෙනෙකුට නිර්මාණකරුවෙක් වෙන්න නම් බෑ. ගිය ආත්මභවයක ඉඳන් පොදි බැඳගෙන එන පැරණි හැකියා පොදියක් නැවත නිතර නිතර අභ්‍යාස කිරීමෙන් ඉපදෙන නිර්මාණය කොයි වගේ වෙන්න පුළුවන්ද?

    විශේෂයෙන්ම මේ ඇදහීම ඇතුලෙ තියෙනවා අමරදේවගෙ ආත්මය. එයා නිර්මාණයක් දකින විඳින ආකාරය. පැරණි පවතින ක‍්‍රමයක් තුලම ගිලීයන නිර්මාණ හැකියාවකට වැඩි යමක් මේ ඇදහිල්ල ඇතුලෙ හැදෙන්න පුළුවන්ද කියන එක ප‍්‍රශ්නයක්.

    අමරදේවට හැකියාවක් නොතිබුණා හෝ ඔහු විසින් යම් කාර්යයක් සිද්ධ නොකළා හෝ කියනවා නෙමෙයි. විශේෂයෙන් ඔහුගේ ගීත ගණනාවක්ම මගේ ප‍්‍රියතම සිංදු අතර තියෙනවා. ඒත් ඔහු මහා සංගීතකරුවෙක් හැටියට දකින්න තරම් මං ඉක්මන් වෙන්නෙ නෑ. ඒ වෙනුවට නිර්මාණාත්මක හැකියාවක් තිබුණත් දැක්මක්, නව අර්ථයක් අහිමි කෙනෙක් පවතින සීමාව ගැන අමරදේව කියන්නෙ හොඳ නිර්ණායකයක්.

    ජීවිත කාලයක් සංගීතය වෙනුවෙන් කැප කළ සුන්දර හ`ඩක් හිමි සොඳුරු මිනිසෙක් හැටියට අමරදේව ගැන මට තියෙන්නෙ ආදරයක්. ඒත් ඒ මිනිසා ඇසුරෙන් ආරක්ෂා කරන්න යන ශාස්ත‍්‍රීය, සුවච-කීකරු නිර්මාණකරන ප‍්‍රවේශය සහ ඒ නිසා යටපත් වන වඩා පුළුල් දැක්මකින් යුත් නිර්භීත කලා ව්‍යායාමයන් නිසා කිව යුත්ත විවෘතව කියන්න සිද්ද වෙනවා.

    අමරදේවයන් කියන්නෙ හැකියාවෙන් පිරිපුන් නමුත් දැක්මක් අහිමි ලාංකේය සරල ගී කලාවේ පුරෝගාමියෙක් විතරයි.

    (මෙයින් කිසිසේත්ම අමරදේවයන්ට සහ ඔහුගේ සංගීතය අදහන ශ‍්‍රාවකයන්ට අපහාස කිරීම අරමුණු නොකරන වගද නැවත ලියා තබමි)

  • Activism is So Gay

    Activism is So Gay

    14 වෙනිදා පස්වරු 8.30ට ෆ‍්‍රන්සුවා හොලන් (ප‍්‍රංශ ජනාධිපතිවරයා) හිටියෙ ප‍්‍රංශ ජාතික ක‍්‍රීඩාංගනයෙ ජර්මනිය එක්ක සෙල්ලම් කරන සුහද ෆුට්බෝල් තරගෙ බල බල. ඊට ටිකක් එහායින් එකපාරට ලොකු පිපුරුම් සද්ද දෙකක් ඇහුන. ආදරයේ නගරයට බෝම්බ සද්ද වැඩිය හුරු නෑ.
    ඊට පැයකට පස්සෙ ස්ටේඩියම් එකට හැතැප්ම පහකට විතර එහා කුඩා කාම්බෝජ් රේස්ටුරන්ට් එකකට එකපාර වෙඩි උන්ඩ වරුසාවක් එල්ල වුණා. නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් ඉලක්කයක් නැතුව ඉබාගාතේ හැමෝටම වෙඩි තියන්න ගත්තා.
    මේ වෙද්දි රෙස්ටුරන්ට් එකට දකුනට වෙන්න පිහිටි බැටැක්ලෑන් තියටර් එකේ ‘ඊගල්ස් ඔෆ් ඩෙත් මෙට්ල්’ ඇමරිකානු සංගීත කණ්ඩායම ප්ලේ කරමිනුයි ඉන්නෙ.  එතනටත් මේ විදිහටම තුවක්කුකාරයො පිරිසක් කඩා පනිනවා. හිතුමතේ සංගීත රසිකයන්ට වෙඩි තැබීමෙන් නොනැවතුණු ත‍්‍රස්තවාදීන් තත්වය වඩාත් බැරූරුම් කරමින් 60-100ත් අතර පිරිසක් තියටර් එක ඇතුලෙ හිර කරල තියාගන්නවා.
    මේ අතරෙ හොලන් ආරක්‍ෂා සහිතව ස්ටේඩියම් එකෙන් පිටව ගියා. මියගිය ගණන මේ වෙද්දි 40ට වැඩියි.. හොලන් වහාම හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කරන්න පියවර ගත්තා. එතකොටම වගේ ඇමරිකාවෙ ඉඳන් බරක් ඔබාමා ප‍්‍රකාශයක් නිකුත් කළා.
    ‘ත‍්‍රස්තවාදය සහ අන්තවාදයට එරෙහි මේ සටනේදී අපි ඔවුන් සමගයි’ ඔබාමා ඒ වෙලාවෙ අවශ්‍යව තිබුණු මෝරල් සපෝර්ට් එක දුන්නා.
    ස්ටේඩියම් එක ආසන්නයේ සිදුවූ පිපුරම් මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් සිදුවුනා කියල ප‍්‍රංශ පොලිසිය මේ වෙද්දි හරියටම තහවුරු කර ගත්තා. අඩුම තරමෙ එතන තුන්දෙනෙක් වත් මිය යන්න ඇති.
    ? 11.30 වෙද්දි ප‍්‍රංශ ආරක්‍ෂක හමුදා බැටැක්ලෑන් තියටර් එකට කඩා පනිනවා. එතනදි ත‍්‍රස්තවාදීන් දෙදෙනෙක් මැරුම් කනවා.
    ඒ වෙද්දි බැටැක්ලෑන් තියටර් එක ඇතුලෙ ත‍්‍රස්තවාදීන් විසින් නිරායුධ මිනිස්සුන්ට බෝම්බ ගසමින් 100ට ආසන්න ප‍්‍රමාණයක් මරා දාලා.  (පස්සෙ මේ ප‍්‍රමාණය 80ක් බව තහවුරු වුණා). මේ ත‍්‍රස්තවාදීනුත් මරාගෙන මැරෙන බෝම්බ පැළඳ සිටි බවත් පොලිසිය තියටර් එක ඇතුලට කඩා වැදීමත් සමගම ඔවුන් මේ බෝම්බ පුපුරවා හරිමින් දිවි නසාගත් බවත් පස්සෙ එලිදරවු වුණා.
    තියටර් එක ඇතුලට එන්න කලින් මේ ත‍්‍රස්තවාදීන් විසින් අවට ගොඩනැගිලි බිත්ති ස්පේ‍්‍ර කළා වගේ වෙඩි උන්ඩ වලින් සිදුරු කරලා.
    ‘අපි මේ සටනට නායකත්වය දෙනවා. අපි අනුකම්පා විරහිතව මේ සටන මෙහෙයවනවා’
    120ට ආසන්න ප‍්‍රමාණයක් ජනතාව මිය ගිය සංවේගයෙන් ප‍්‍රංශ ජනාධිපති හොලන් ජාතිය අමතා ප‍්‍රකාශ කළා.
    ලෝකෙම නායකයො මේ ප‍්‍රහාරය ගැන තමන්ගේ සංවේගය පළ කරනවා. මහින්ද රාජපක්ෂත් මේක හෙලා දකින අතරෙ ‘අපි විඳපු වේදනාව දැන් ඒ ගොල්ලොන්ටත් තේරෙනවා ඇති’ කියල ජනාධිපති පුටුව ළ`ග හිටගෙන හිටපු කෙනෙකුටවත් තරම් නොවෙන ප‍්‍රකාශයක් කරනවා.
    ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ශිෂ්ටත්වය සහ සංස්කෘතිය විශ්වාස කරන ලෝක ජනතාවම මේ සිද්ධියෙන් කැළඹෙනවා. මුලූ ෆේස්බුක් එකම ප‍්‍රංශ කොඩියෙ පාට වලින් පිරෙනවා.
    ලංකාවෙ කට්ටියත් තම තමන්ගෙ ප්‍රොෆයිල් පිංතූර හැකි පමණින් මේ කොඩියෙ පාටට වෙනස් කර ගන්නවා.
    මේ ප‍්‍රහාරයත් එක්ක ලෝකෙම එකපාර රැුල්ලක් විදිහට ඇතිවුණු මේ ප‍්‍රතිචාර දැක්වීම් කාණ්ඩ 04ට වර්ග කරගන්න පුළුවන්.
    1. ප‍්‍රංශයට සහයෝගය දක්වමින් පළවෙන ප‍්‍රතිචාර
    2. මුංට අමාරු ප‍්‍රංසෙට මොකුත් වුනොත් විතරයි කියන වර්ගයේ ප‍්‍රතිචාර
    3. නැවත එහෙම කියන උන්ට බනින ප‍්‍රතිචාර
    4. මේ වෙලාවෙදි අපි ලෝක සාමයක් වෙනුවෙන් යාඥා කළ යුතුයි කියන වර්ගයේ ප‍්‍රතිචාර
    මේ කිසි විදිහක ප‍්‍රතිචාර දැක්වීමක් වැරදි නෑ, ලෝකෙ පුරාම මේ සිදුවීමේ මාධ්‍ය ප‍්‍රචාර හරහා දැවැන්ත එම්පති රැල්ලක් නිර්මාණය කරනවා. බේරුට් වලදි, සිරියාවෙදි වුණා වගේම. පක්ෂව හෝ විපක්ෂව. ඒ අතරෙ කවුරුත් අමතක කරන කාරණය වෙන්නෙ මේ එම්පතිය නිර්මාණය කරන්නෙ එක්කො බටහිර මාධ්‍ය විසින් නැත්තං ත‍්‍රස්තවාදීන් විසින් කියන එක. කිසි දවසක ලෝකෙ ගැන වගේ වගක් නැති අපිට මේ දේවල් දනවන්න එක්කො බටහිර මාධ්‍ය මැදිහත් වෙන්න  ඕන නැත්තං ත‍්‍රස්තවාදියෙක් මැදිහත් වෙන්න  ඕන.
    ඒ කියන්නෙ මේ විදිහෙ නව පන්නයේ ඇක්ටිවිසම් අවුල්ද? මට හිතෙන්නෙ ඔව් සහ නැහැ කියන දෙකම උත්තර වෙන්න  ඕන. එක පැත්තකින් ඩිස්රප්ටිව් (බලහත්කාරයෙන් කඩා පනිමින්) විදිහට මේ අවධානය ඩැහැ ගැනීම සහ උනන්දුව ඇති කිරීම, පෙලගැස්වීම අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඒත් මේ හරහා ඇත්ත කාරණා වෙතට අවධානය යොමු වෙනවද, නැත්තං නිකම්ම ‘අපිත් හරි සංවේදීයි’ කියන සෙල්ෆ් රයිටුවස් තත්වයක් (ස්ව සාධාරනීකරණයක්) සම්පූර්ණ කරනවද කියන එක ගැටළුකාරීයි. මෑතක ඉඳන් ඇතිවෙන හැම නව ඇක්ටිවිස්ට් රැුල්ලක්ම සැබෑ මූලයන් මගහරිමින් වෙනම මානසික නාසිස්මික තත්ව තෘප්තිමත් කිරීමේ අවදානමකට ලක්වෙමින් තිවෙනවා.
    උදා විදිහට ප‍්‍රංශයෙ මේ ඇතිවෙලා තියෙන්නෙ යුද්දයක් වග තේරුම් ගන්න  ඕන. මේ වෙද්දි හොලන් පවා මේක ප‍්‍රකාශ කරනවා. ඒත් මේක තවදුරටත් රටක් හෝ භෞතික භූමියක් කේන්ද්‍ර කර ගත්ත යුද්දයක් නෙමෙයි. ඩිජිටල් අවදියත් එක්ක යුද්ද පවා පාර-භෞතික තැනකට ගමන් කරනවා.  මෙතන සිද්ද වෙන්නෙ අයිඩියොලොජිකල් යුද්දයක්. භෞතික තලයෙ වෙන්නෙ සුලූ ප‍්‍රකාශ වීම් විතරයි. අපේ රටේ බෝම්බ පුපුරපු කාලෙත් එක්ක මේ තත්වය සංසන්දනය කරන්න හදන දූපත් හිතන්නන්ට නොතේරෙන කොටස මේක. අපේ රටේ සිද්ද වුනෙ ප‍්‍රාථමික බිම් ප‍්‍රශ්නයක් කේන්ද්‍ර කර ගත්ත යුද්දයක්. මේ මොහොතෙ බටහිර සිද්ද වෙමින් තියෙන්නෙ ඒකට කොහෙත්ම සාපේක්‍ෂ කළ හැකි නොහැකි ලෝකයේ ප‍්‍රධාන මතවාදයන් දෙකක් අතර සටනක්.
    අයිඩියොලොජිකල් වෝර් එකකට භෞතික යුද්දයකදි පාවිච්චි කරන මෙවලම් වලින් ඒ තරම් වැඩක් වෙන්නෙ නෑ. මං විශ්වාස කරනවා ප‍්‍රංශය සහ අනෙකුත් බටහිර රටවලට මේ අවබෝධය වඩා හොඳින් ඇති කියල. මේ යුද්දය ජයගන්න වෙන්නෙ මතවාදිමය තලයකයි. එතනදි ප‍්‍රධාන සටන් බිම වෙන්නෙ සයිබර් අවකාශයයි. මේ වෙද්දිත් ‘අනොනිමස්’ නමින් ලෝක හැකර්වරුන්ගේ ජාලයක් මේ ප‍්‍රහාරයට වගකිව යුතු අයිඑස්අයිඑස් කණ්ඩායමට තර්ජනය කරනවා.
    ‘යුද්දය පටන් ගත්තා. සූදානමින් ඉන්න’ ඔවුන් ගයිෆෝක්ස් වෙස්මුහුණු පැළඳ ත‍්‍රස්තවාදයට අභියෝග කරනවා. දැවැන්ත සයිබර් යුද්දයක් ඉදිරියෙදි ඇතිවෙන්න නියමිතයි.
    ප‍්‍රංශයෙ මේ අයිඑස්අයිඑස් ප‍්‍රහාරය හරි මතවාදිමය තැනට කේන්ද්‍ර කර ගත යුතුයි. භෞතික ත‍්‍රස්තවාදයක් පරාජය කිරීමේ මාර්ග වෙනුවට මතවාදිමය ත‍්‍රස්තවාදයක් පරාජය කිරීමට වැඩි සවිඥාණක බවක් උවමනා වෙනවා. මේක හොඳටම පාවිච්චි වුණා ප‍්‍රංශයෙම චාලි හෙබ්ඩො පුවත්පතට එල්ල කරපු ප‍්‍රහාරයෙදි. එතනදි ඇතිවුණු ‘ජ ෂුයි චාලි’ (මම තමයි චාලි) කියන කැම්පේන් එක ඉතා දියුණු උත්තර දීමක්. සටන ඇතිවුනේ මුස්ලිම් අන්තවාදීන්ට හෝ ත‍්‍රස්තවාදීන්ට විරුද්දව නෙමෙයි. ප‍්‍රකාශනයේ නිදහස වෙනුවෙන්. ආයුධ සන්නද්ධ බලපෑම් වලින් නිදහස වෙනුවෙන්. චාලි හෙබ්ඩො කාර්යාලෙ ඝාතනය කරන මිනිස්සු 11 දෙනා මුල් කරගත් ඒ සටන සටන් කළ යුතු දිශාව හරියටම සළකුණු කළා. මිලියන ගණන් ලෝක ජනතාව සමග ලෝක නායකයො එකපෙලට හිටගත්තා. චාලි හෙබ්ඩො පුවත්පතේ කාටුනය වුනේ ප්‍රොෆට් මොහොමඞ්  ‘ජ ෂුයි චාලි’ පෝස්ටරයක් උස්සන් ඉන්න එකක්.
    ‘සියල්ලට සමාව දෙනු ලැබේ’  හෙබ්ඩො තමන්ව ඝාතනය කළ ත‍්‍රස්තවාදීන්ට කිව්වෙ ඒකයි. නමුත් අද ප‍්‍රංශ ‘රාජ්‍යයට’ මේ ප‍්‍රශ්නය ඒ දියුුණු තැනින් ගන්න බැරි ලකුණු තමයි පහල වෙමින් තියෙන්නෙ. මේක ප‍්‍රංශයට එල්ල කරපු ප‍්‍රහාරයක් නෙමෙයි. ඒකයි නිවැරදි කරගන්න  ඕන තැන.
    ලෝකය ප‍්‍රධාන කඳවුරු දෙකකට බෙදෙන මේ වෙලාවෙදි මුලූ ලෝකයම අල්ලා දෙවියන්ගෙ අණසකට යටත් කළ යුතුයි කියන, මෙතෙක් වර්ධනය වුණු සමාජ සංස්කෘතික සභ්‍යත්වයන් නොතකා අතීත ම්ලේච්ඡුත්වයන් යළි කැඳවන කඳවුරට ප‍්‍රතිපක්ෂව නිදහස, අයිතිය හා සාමානාත්මතාවය අදහන සභ්‍යත්ව කඳවුර දිනවිය යුතුයි කියන එක ගැන කතා දෙකක් නෑ. එතනදි සයිබර් අවකාශය ඇතුලෙ සමාජ ක‍්‍රියාකාරිකයන්ට පැවරෙන වැඩ කොටස විශාල වන වගත් අවිවාදිතයි.
    ඒත් වයිරල් ඇක්ටිවිසම් හරහා දැන් සිද්ද වෙමින් තියෙන්නෙ මේකද? මේ වෙද්දිත් ෆේස්බුක් සහ සමාජ ජාල වෙබ් අඩවි හරහා පැතිරෙන්නෙ ප‍්‍රංශය කියන රට වෙනුවෙන් මාධ්‍ය විසින් උපද්දපු මතුපිට සංවේගයක් හරහා තමන්ගේ අනන්‍යතාවය ලකුණු කිරීමක් විතරයි.
    කොඩියෙ පාටින් ප්‍රොෆයිල් පිංතූරය මාරු කිරීම වගේ දෙයක් හරහා ක‍්‍රියාත්මක වෙන ඇක්ටිවිසම් වැඩකරන්නෙ ඉතාම මතුපිට තලයක වගේම වෙනත් සමාජ රෝගයක් හරහායි. ඒක සමාජ වෙනසක් වෙනුවෙන් කොහෙත්ම දැනුවත් සහභාගිත්වයක් ඇති කරන්න උදව් වෙන තත්වයක් නෙමෙයි. බොත්තමක් තදකිරීමෙන් තමන්ගෙ ස්ව-යුක්තිකරන හැ`ගීම තෘප්තිමත් කරගන්නවට  එපිටින් අවශ්‍ය කාරණය වෙනුවෙන් සමාජ මැදිහත් වීමක් මෙතන නෑ.
    තමන් පෙනී ඉන්න අරමුණ, ඒ හා සම්බන්ද අනෙකුත් ගැටළු, ඒ වෙනුවෙන් වැඩපිලිවෙල වගේ දේවල් ගැන සිතා බැලීමක්, සංවාදයක් නැතිව හුදු අවධානය ගැනීම වෙනුවෙන්ම ක‍්‍රියාත්මක වෙන ඇක්ටිවිසම් කියන්නෙ අවසාන අර්තයෙදි උන්මාදයන් විතරයි.
    මේ විදිහෙ ගැඹුරක් හෝ පතුලක් නැති ඇක්ටිවිසම් ගැන එලි රොත් හොඳ විවේචනයක් ගේනවා  ‘ග‍්‍රීන් ඉන්ෆර්නො’ හරහා. ඇමසන් වනාන්තරේ ගස් කැපීමට විරුද්දව පෙළ ගැහෙන විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් ඒ වනාන්තරේ මිනීමස් කන ගෝත‍්‍රිකයන්ට අහුවෙලා ආහාර වෙලා යනවා. ඒ අතරෙ හැම ඇක්ටිවිසම් එකක් එක්කම සම්බන්ද යටිපෙලේ වෙළඳ උවමනාවන් සහ ආත්මාර්ථකාමී බලකාමී අදහස් එලිදරව් වෙන්න ගන්නවා.
    අලූත් ඩිජිටල් මාධ්‍ය හරහා හැමතැනම ඇතිවෙමින් තියෙන ‘තමන් වෙත අවධානය ලබා ගැනීමේ’ පටු උවමනාව වෙනුවෙන් පමණක් පෙළගැහෙන ඇක්ටිවිසම් ගැන සරල බී මූවි එක්ක හරහා තියුණු ප‍්‍රශ්න කිරීමක් කරනවා.
    ඒත් අපි එලි රොත් වගේ අයගෙ චිත‍්‍රපටි සීරියස් විදිහට බාර ගන්නෙ නෑ. අපි එහෙම කියවන්නෙ දාර්ශනික යුරෝපීය සිනමාව විතරයි.
    මෙ විදිහෙ හුදු ප‍්‍රචාරකවාදී ‘ඇක්ටිවිසම් කියන්නෙ ගොඩක් ‘ගේ’ වැඩක්’ කියල එයා චිත‍්‍රපටිය ඇතුලෙ ගානකට නොදැනී විවේචනය කරනවා. එක පැත්තකින් ‘ගේ’ පිරිස් තමන්ගේ අයිතීන් වෙනුවෙන් ගෙන ගිය නූතන අරගලය සමග එලි රොත් සියලූ නූතන සමාජ ක‍්‍රියාකාරකම් මෙතනදි සමපාත කරනවා. ‘ගේ’ කියන අදහස විෂම ලිංගික සමස්ත සමාජ සිතීමක් වෙනස් කරන තැනකට ගමන් කරනවා වෙනුවට අන්තිමට ඒක ෆැෂන් එකක් වුණා. කොටින්ම කලින් ඊට විරුද්දව හිටපු හිලරි ක්ලින්ටන් පවා එකපාරටම ‘ගේ’ අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න ගත්තා. ඒ වෙනුවෙන් පෙළගැහුණු යම් ඩිස්රප්ටිව් වැඩ නරකයි කියන එක නෙමෙයි මගේ අදහස. නමුත් ඒ සියල්ල කලින් සඳහන් කළා වගේ ස්ව-යුක්තිකාමී තෘප්තියකින් කෙලවර වුණා. කතිකාව ඇත්ත කාරණය දක්වා අරගෙන යන්න ඒ සටනට බැරි වුණා. සමාජයේ අධිපති විෂම ලිංගික සිතීමට අභියෝග කරනවා වෙනුවට සමලිංගික අයිතිය පිළිගැනීම විෂම ලිංගික ෆැෂන් එකක් වුණා. එතනින් එහාට මොකක්ද වෙන්නෙ?
    ‘‘චිත‍්‍රපටියෙ තේමාව වෙන්නෙම අපේ සමාජ ක‍්‍රියාකාරීන් කියන පිරිස් ඔවුන් කිසිසේත් නොදන්නා කාරණා වෙනුවෙන් මැදිහත් වෙමින් ඒවා ඔවුන් සඳහන් කරන නියම හේතුව වෙනුවට වෙනත් පටු පරමාර්ථයන් වෙනුවෙන් යොදා ගැනීම.
     
    මේක ‘ඔකියුපයි’ ක‍්‍රියාකාරිත්වයෙදිත් හොඳටම කැපී පෙණුනා. හැමෝම හිතුවෙ මේක සංස්කෘතියෙ වැදගත්ම සංධිස්ථානයක් වෙයි කියල. මගේ නෑදෑයෙකුත් හිටියා විශ්ව විද්‍යාලෙන් උපාධිය අරගත්ත. එයා වෙන කිසි රස්සාවක් හෝ වැඩක් නොකර ඔකියුපයි වලට සෙට් වෙලා හිටියෙ. මට හිතාගන්න බැරි වුණා මේ යකාට බැංකුවක් විසින් කරපු අවුල මොකක්ද කියල. නැත්තං මෙයාට ඒ ගැන වැටහීමක් හෝ හැ`ගීමක් එන්නෙ කොහොමද කියල. පස්සෙ මට තේරුණා එයා එතන ඉන්නෙ එයාගෙ යාලූවො සහ එයා කැමති ගෑණු ළමයි හින්ද වග. ඔකියුපයි වලට යන එක ෆන් වැඩක් වුණා.
     
    කෝනි 2012 පටන් ගත්ත ගමන් වුනෙත් මේකමයි. (ජෝසෆ් කෝනි නම් ළමා සොල්දාදුවන් බඳවා ගනිමින් යුද්ධ කරපු අප‍්‍රිකානු සන්නද්ධ නායකයා) ට්විටර් ටයිම් ලයින් මේ පණිවුඩ වලින් පිරුණ. ‘ඇයි ඔයා මේ ගැන ට්විට් නොකලෙ? ඔයා ළමා සොල්දාදුවන් ගැන තකන්නෙ නැද්ද? මොකද්ද ඔයාට වෙලා තියෙන්නෙ? හැමෝම තමන් නිවැරදි වීමේ ආශාවකින් පෙලූන. ඊට මාසෙකට පස්සෙ ‘ෆ‍්‍රී පුසි රයොට්’ එක. එතකොට මිනිස්සු අහනවා, ‘ඔයාට මොකද වෙලා තියෙන්නෙ?’ ‘අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ගැන ඔයාට තකන්නෙ නැද්ද?’ ‘ඔයා කතා කිරීමේ නිදහසට විරුද්ද කෙනෙක් වෙන්න  ඕන’ ‘ඔයා පුටින්ට පක්ෂද?’. ඔන්න ඊට පස්සෙ එනවා ‘බි‍්‍රන්ග් බැක් අවර් ගර්ල්ස්’. ‘බොකො හේරම් එක ගැන ඔයාට ප‍්‍රශ්නයක් නැද්ද?’ ‘මේ කෙල්ලන්ට මොකද වෙන්නෙ?’ ‘ඔයා හොලිවුඞ් ඈස්හෝල් කෙනෙක්’ ‘මේ ගැන ට්විට් එකක් නොදා හිටියෙ කොහොමද?’
     
    හැමෝම ට්විට් කරනවා, හෑෂ් ටැග් කරනවා මොකද කාටවත්  ඕන නෑ කොන් වෙන්න. කාටවත්  ඕන නෑ තමන් ලෝකෙ ප‍්‍රශ්න ගැන උනන්දු නැති අසංවේදී කෙනෙක් කියල පෙන්නන්න. ටයිගර් ෂාර්ක් හම්බුනාට පස්සෙත් මිනිස්සු ‘ෂාක්ලයිව්ස්මැටර්’ කියල ඔන්න පටන් ගත්ත. ඊට පස්සෙ අයිස් බකට් චැලෙන්ජ්. ‘ඒඑල්එස්’ රෝගීන්ට ආධාර කරන්න කියල පටන් ගත්ත ඒක අන්තිමට කෙලවර වුනේ තමන් නාන ඇඳුමෙන් කොච්චර ලස්සනද කියල පෙන්නන්න කරන තරගෙකින්. 
     
    ‘මේ බලන්න මාත් ඒඑල්එස් එකට උදව් කරනවා’ එයාගෙ බිකිනිය තමයි වැඩියෙන්ම පේන්නෙ. ‘බලන්න මට ලැබිලා තියෙන ලයික්ස් ගොඩ’ හැමෝම ඒක කරන්නෙ තමන් දිහාවට අවධානය ගන්න. 
    මේක තමයි මේ අලූත් සමාජ යුක්ති ක‍්‍රියාකාරිකයන් ඇති කළ සංස්කෘතිය. මේ කිසි දෙයක් ඇත්ත හේතුව වෙනුවෙන් නෙමෙයි. ඒ හේතුව හරහා තමන්ට අවධානය ගන්නයි’’
    -එලි රොත්
    ලංකාවෙදි නම් ගොඩක් වෙලාවට වෙන්නෙ ලෝකෙ මේ විදිහට පටන් ගන්න මොකක් හෝ රැුල්ලක ගහගෙන යන එකයි. ඉඳහිටලා  ක‍්‍රියාත්මක වෙන වයිරල් වැඩ වුනත් මේ බොළඳ සීමාව ඉක්මවා යන්නෙ නෑ.
    මේ ඇති කරන අවධානය ඩැහැගැනීමේ ක‍්‍රියාකාරකම අවුලක් නෙමෙයි. ඒත් අන්තිමට කොහෙත්ම ඒ හේතුවට අදාල නැති විදිහට වෙනත් පුද්ගලික ත‍්‍රිල් එකකින් වැඬේ කෙලවර වෙනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන වෙනස හෝ  අවශ්‍ය ‘එම්පතිය’ ගොඩනැගෙන්නෙ නෑ.
    මේ ඇක්ටිවිසම් වල තියෙන ඩිස්රප්ටිව් කොටසට වඩා එහි සැබෑ හේතුව වෙනුවෙන් කතිකාවක්, සාවධාන වීමක් අවශ්‍ය වෙනවා. සමාජ ක‍්‍රියාකාරිකයන් විසින් නොතකා හරින අමාරු කොටස වෙන්නෙත් මේක. තමන්ගේ ප‍්‍රතිචාරය හෝ යමක් හරහා අවධානය දිනාගැනීමෙන් ඔවුන්ගේ වැඩකොටස නිමා වෙනවා. අර්බුදයේ ගැඹුරු තැන් හොයාගෙන යන්න, විවිධ පැතිකඩ හරහා සමාජ වෙනසක් ඇති කරන්න මේ ක‍්‍රියාකාරීත්වයන් වැඩ කරන්නෙ හෝ ඒ ගැන දැනුවත් බවක් හෝ නෑ.
    ලංකාවෙ මුල්බැහැගෙන තියෙන පරණ වමේ ඇක්ටිවිසම් වලට වඩා නම් මේ මොකක් වුණත් ඉදිරි පියවරක් වග කියන්න  ඕන. වයිරල් මාධ්‍ය හරහා ක‍්‍රියාත්මක මේ විදිහෙ හැම ක‍්‍රියාකාරීත්වයක්ම පාහේ ලංකාවෙ හැටියට ප‍්‍රගතිශීලී, ධනාත්මක ඒවා. ඒත් මේ වයිරල් ක‍්‍රියාකාරීත්වයන් හරහා සැබෑ අරමුණු ආමන්ත‍්‍රණය වෙනවද කියන දරුණු ප‍්‍රශ්නෙ අද ලෝකෙ ඉස්සරහ තියෙනවා. අනිවාර්යෙන්ම සයිබර් මැදිහත්වීම් හරහා මුහුණ දිය යුතු අයිඑස්අයිඑස් වර්ගයේ මතවාදී සටන්වලදි මේ ක‍්‍රියාකාරීත්වයන්ගෙ සවිඥාණක භාවිතාවක් ඉල්ලා සිටිනවා. අවශ්‍ය කාරණය වෙනුවෙන් සියල්ල යොමු විය යුතු දිශාව ගැන දැනුවත් බවකින් යුතුව ‘පොප්’ එකට බාහිර කතිකාවකින්ද සන්නද්ධව මේ ක‍්‍රියාකාරීත්වයන් නිර්මාණය විය යුතුයි.
    සරලව කියනවා නම් නව සමාජ යුක්ති ක‍්‍රියාකාරකම් (ඇක්ටිවිසම්) පෙර පාසැල් අවධිය ඉක්මවා වැඩිය යුතුයි.

    (special thanks to stefan sebestian)

  • සිම්පති සමාජයේ හොම්බට ඇනීම

    සිම්පති සමාජයේ හොම්බට ඇනීම

    මං ප‍්‍රසන්නගෙ චිත‍්‍රපටිය ගැන ලියපු ලිපිය ජනක ඉනිමංකඩ ෂෙයාර් කරගෙන තිබුණ තැනකදි ලියනගේ අමරකීර්ති කමෙන්ට් එකක් දාලා තිබුණ. ‘මේ වගේ අන්තවාදී අදහස් වලින් චූන් වෙන කෙනෙකුට සාහිත්‍ය ප‍්‍රකාශන කරන්න පුළුවන්ද?’ වගේ අදහසක් එතන තිබුණෙ. අමරකීර්ති ඒක කුමක් අරබයා කාහට කියන ලද්දක්ද එක පැහැදිලි නෑ. ඒත් මං අන්තවාදය ගැන අන්තයකට හිතන්න ගත්ත.

    මට හිතෙන්නෙ අන්තවාදය ලෝකෙට අවශ්‍යම දෙයක්. අන්තවාදය නැතුව ලෝකෙ එත අඩියක්වත් ඉස්සරහට යන්නෙ නෑ. අන්තවාදයක් කියන්නෙ තමන්ගෙ එක්තරා නිශ්චිත අදහසක් වෙනුවෙන් පවතින තත්වයට ප‍්‍රතිවිරුද්ධව දැඩිව හිටගැනීම. ඒ වෙනුවෙන් දරුණු විවේචන සහිතව සටන් වැදීම. උදා විදිහට ලෝකෙ පැතලියි කියල හිතන කාලෙදි ලෝකෙ ගෝලාකාරයි කියන එකා අන්තවාදියෙක්.

    හැම විද්‍යාත්මක සොයාගැනීමක්ම අන්තවාදයේ නිමැවුමක්. හැම අලූත් අදහසක්ම අන්තවාදීයි. බමුණන් විසින් මහා බ‍්‍රහ්මයා ගැන දේශනා කරන කාලෙ බුදුන් එහෙම මැවුම්කරුවෙක් නෑ කියල කියද්දිම බුදුන් අන්තවාදියෙක්. අන්තවාදයක් නෑ කියන්නෙ පතෝල. පතෝල කියන්නෙ පවතින තත්වය ගැන කියන්න තමන්ට නිශ්චිත වූ අදහසක් නෑ කියන එක. එතකොට තියෙන්නෙ එක එක පද ගැලපීම් විතරයි. එකලස් කිරීම් විතරයි. හැම ඔරිජිනල් අදහසක්ම එන්නෙ අන්තවාදයකින් විතරයි.

    ඒ වගේම අපිට අමතක වෙන තව කාරණයක් තියෙනවා. ඒ තමයි අන්තවාදයක් හැමතිස්සෙම සළකුණු කරන්නෙ තවත් අන්තවාදයකින් කියන එක. තවත් අන්තවාදයකින් මිස වෙනත් අන්තවාදයක් අර්තකතනය කරන්න බැරි වෙනවා. උදා විදිහට ප‍්‍රභාකරන් අන්තවාදියෙක් වෙන්නෙ සිංහල අන්තවාදී දෘෂ්ටියකට අනුවයි. අන්තවාදී නොවන්නෙකුට ප‍්‍රභාකරන් කියන්නෙ කාලයක් තිස්සෙ ආමන්ත‍්‍රණය නොකරනු ලැබූ ප‍්‍රජාවක මාරාන්තික අවශ්‍යතාවයන්ගේ ප‍්‍රකාශනයක්. සමාජ අර්බුදයක නිශ්චිත කියාපෑමක්.

    ප‍්‍රබාකරන්ට විරුද්දව මහින්දව ගෙනාපු එකත් අන්තවාදීයි. මහින්දට විරුද්දව මෛත‍්‍රීව ගෙනාපු එකත් අන්තවාදීයි. ඒක වැරැුද්දක් නෙමෙයි. අලූත් තත්වයක් නිර්මාණය කරන්න නම් අන්තවාදයක් අත්‍යාවශ්‍යයි.

    අර්බුදය වෙන්නෙ යම් අන්තවාදයක් නිර්මාණාත්මක (වර්චුවල්) ප‍්‍රචණ්ඩත්වයෙන් එලියෙ භෞතික ප‍්‍රචණ්ඩත්වයක් එක්ක බැඳෙනවා නම්, තග එක්ක බැඳෙනවා නම්. එතනදි ඒ අන්තවාදියා ජීවත් වෙන යුගය ගැන ප‍්‍රශ්නයක් ඇති වෙනවා. ශිෂ්ටත්වය ගැන ප‍්‍රශ්නයක් ඇති වෙනවා. අනෙකුත් අන්තවාදයන් සියල්ලද පැවතිය යුතුයි කියල පිළිගන්න අන්තවාදයක් විසින් ඉටු කරමින් ඉන්නෙ නිර්මාණාත්මක කාරණාවක්.
    මම කලින් තැනකදී පවා ලිව්වා  බොදු බල සේනාව ඇතිවීම පවා ප‍්‍රගතිශීලී තත්වයක් කියන එක. ඒකෙන් ලංකාවෙ සිංහල බෞද්දකම ගැන ගැඹුරු සංවාදයක් ඇතිවුණා. නිශ්චිතව ප‍්‍රශ්න කෙරුණ. තව පැත්තකින් බැලූවොත් ප‍්‍රභාකරන් කියන අන්තවාදියා නොහිටියා නම් දෙමළ ජනතාවගේ තත්වය කොයි වගේ වෙන්න පුළුවන්ද කියල අමරකීර්තිට හිතාගන්න පුළුවන්ද?

    නිර්මාණාත්මක නොවීමට බලපාන ප‍්‍රධාන කාරණාව අන්තවාදී නොවීම. පතෝලයෙකුට බැරි වෙනවා හොඳ ප‍්‍රකාශනයකට යන්න. යම් අලූත් අදහසක් නිර්මාණය කරන්න නම් ඔහුට හෝ ඇයට සිද්ද වෙනවා මෙතෙක් නොගිය අන්තයකට යන්න. එතන විකල්ප පැවැත්මක් නිර්මාණය කරන්න. ඒ හරහා පවතින පිළිගත් තත්වය අභියෝග කරන්න. මට ලංකාවෙ නිර්මාණකරුවො ගොඩක් බෝරිං වෙන්නෙ මේ කාරණය හින්දමයි. ඒ අයට ස්වීය වූ අන්තවාදයන්, විලාසයන්, පැවැත්මන් නැතිකම. ඔක්කොම එක වමේ හොද්දක පීනනවා විතරයි.

    අන්තවාදයටත් වඩා නිර්මාණවලට බලපාන, ලංකාවෙ නම් තඩි හිලක් කියන්න පුළුවන් තැනක් තමයි ‘එම්පති‘ කියන කාරනේ. මේකට සිංහලෙන් තියෙන්නෙ සහනුභූතිය, සහකම්පනය වගේ අදහසක්. ඒත් එම්පති කියන වචනෙට කොහෙත්ම ළ`ගින් යන්නෙ නැති නිසා ඉංග‍්‍රීසි වචනෙ එහෙම්පිටින්ම තියාගන්න එක හොඳයි.

    සමාජයක වචන හැදෙන්නෙ ඒ සමාජය ඒ තේරුම තරමට මුහුකුරා ගියහම. එහෙම නැතුව පිටින් බලලා හදපු වචන වලින් දෙන්නෙ ළමා තේරුමක්. උදා විදිහට ඉංග‍්‍රීසි වචන ගොඩකට සිංහලෙන් දීලා තියෙන තේරුම් අඳබාලයි. කොහෙත්ම ඒ සංකල්පය තේරුම් නොයාම සහ ඒක පිටින් විතරක් අල්ලා ගැනීම කියන එක පැහැදිලියි. මට හිතෙන්නෙ වෙන භාෂාවක වචනයක් පරිවර්තනය වෙනවට වඩා ඒකම සිංහලට හරවාගන්න එකයි වැඩිය සුදුසු. ඒකෙන් භාෂාවට කෙලවෙනවා වගේ කෞතුක අදහසක ඉන්න පුළුවන් ලිංමැඩි භාෂාවේදියො. ඒත් ගැඹුරෙන් හිතන්න වචන  ඕන වෙන තැන්වලදි මේ වගේ නොමග යන වචන හින්ද හිතීම බාල වෙනවා. එතකොට අර භාෂාව පරිස්සම් කරන උන් වගේ අය තව තොග පිටින් බිහිවෙනවා.

    එම්පති කියන සංකල්පෙ තේරුම් ගන්න එක ටිකක් ගැඹුරු වෑයමක්. අපි රටක් විදිහට තාම ජීවත් වෙන්නෙ සිම්පති කලාපය ඇතුලෙ. සිම්පති කියන්නෙ මම මගේ මමත්වය ඇතුලෙන් අනිත් කෙනා හෝ තත්වය තේරුම් ගන්නවා කියනවා එක. ඒ තේරුම් ගැනීම සිද්ද වෙන්නෙ මගේ සීමාවන් ඇතුලෙ. මගේ දෘෂ්ටිවාදයන් හෝ විපරීතයන් ඇතුලෙ. එතකොට මට ඇතිවෙනවා දුක, කණස්සල්ල වගේ භාවයන්. මේ සිම්පතිය ඇතුලෙ කිසි දෙයක් කරන්න බෑ. මොකද ඒ හැ`ගීමෙ තේරුම වෙන්නෙම මගේ පැවැත්ම වඩා විශාල හෝ ස්ථාවර කර ගැනීම. මගේ වල්නරබිලිටි එකෙන් ගැලවීම. ලංකාවෙ ස්ත‍්‍රීවාදීන් සහ වාමාංශිකයන් වැඩකරන්නෙ මෙතන. ඒකෙන් කිසි සමාජ වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ.

    ඒ වෙනුවට එම්පති කියන්නෙ ටිකක් අමාරු වැඩක්. අපි අනිත් කෙනාගෙ සපත්තුවට බැහැලා බලන්න  ඕන. ඒකට තමන්ගෙ සීමාවන් ටිකක් හෝ අත්හරින්න පුහුණුවක් තියෙන්න  ඕන. අනෙකාගේ පැවැත්ම ඇතුලෙ අනෙකාව තේරම් ගැනීමේ ශික්ෂණයක් තියෙන්න  ඕන.

    රෝමන් ක‍්‍රිස්නැරෙක් කියන ඉංග‍්‍රීසි ලයිෆ්ස්ටයිල් දාර්ශනිකයා මේ අදහසේ ගැඹුරට යනවා.

    ‘පහුගිය අවුරුදු තුන්සීයක කාලය පුරා තෝමස් හොබ්ස්ගෙ ඉඳන් සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් දක්වා සමාජයට බලපෑමක් ඇති කළ දාර්ශනිකයන් විසින් අපිට කිව්වෙ අපි ‘අපි ගැනම හිතන’ ‘අපේ පැවැත්ම වෙනුවෙන්ම තීරණ ගන්නා’ ‘අපේ ආශාවන් හඹායන’ සත්ව කොටසක් කියල. මේ අඳුරු චිත‍්‍රය ඇත්තටම බටහිර සංස්කෘතියෙ පසුබිම වුණා. ඒත් පහුගිය දශකෙ සිද්දවුණු විද්‍යාත්මක සොයාගැනීම් හින්ද මේ අදහස නොකවුට් වුණා. ඒ අපි ‘හෝමෝ එම්පතිකස්’ යනුවෙන් හැඳින්විය යුතු මානව කොටසක් බවත් එම්පති කියන කොටස අපේ නියුරො සැකැස්මෙ කොටසක් බවත් අනාවරණය වීම හරහා. නියුරො සයන්ටිස්ට්ලා හොයාගත්තා අංශ දහයකින් යුත් එම්පති සර්කිට් එකක් අපේ මොළේ ඇතුලෙ. ඒක ඩැමේජ් වුනොත් අපිට අනෙකා හිතන පතන විදිහ තේරුම් ගන්න බැරුව යනවා (ලංකාවෙ සමහරක් කලාකාරයන්ට මේක ඩිෆෝල්ට්ම ඇවිල්ලා නෑ)
    පරිනාමවාදී ජෛවවේදීන් හොයා ගන්නවා අපි සමාජ ජීවීන් බවත් එම්පති සහ එකිනෙකා සහයෝගයෙන් ක‍්‍රියාකාරීම අපේ පරිණාමීය තත්වයක් බවත්. මේ අතරෙ ළමා මනෝවේදීන් විසින් අනාවරණය කරනවා අවුරුදු තුනේ ළමයෙකුට පවා තමන්ගෙන් එලියට ඇවිත් අනිත් කෙනාගේ හැ`ගීම් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා කියල. අපේ ආත්මාර්තය පෙරදැරි ඩ‍්‍රයිව් එක තරම්ම ප‍්‍රබල එම්පති ඩ‍්‍රයිව් එකකුත් අපිට තියෙනවා.’
    -එම්පති- රෝමන් ක‍්‍රිස්නැරෙක් (පරිවර්තනය සහ වරහන් මගේ)

    මේ හින්ද, ‘මම හිතනවා, ඒ නිසා මම පවතිනවා’ කියන කාර්ටීසියානු සිතුවිල්ල ‘ඔබ ඉන්නවා, ඒ නිසා මම පවතිනවා’ යනුවෙන් වෙනස් විය යුතුයි කියල ක‍්‍රිස්නැරෙක් යෝජනා කරනවා.

    එම්පති කියන එක අපි එහෙම හිතුවම එකපාරටම ඔලූවට එන අදහසට වඩා වෙනස්. ‘ඔබ විසින් ඔබට සළකනු කැමති පරිද්දෙන්ම අනෙකාට සළකව’ කියන එක එම්පති නෙමෙයි. ඒක ජෝර්ජ් බර්නාඞ් ෂෝ නිවැරදි කරනවා.

    ‘ඔබට සළකනවාට කැමති පරිද්දෙන් අනෙකාට සලකන්න යන්න එපා. ඒ අයට වෙනස් රසයන් තියෙන්න පුළුවන්’

    එම්පති කියන්නෙ ඒ වෙනස් රසයන් හොයාගෙන යන එක. මේක මේ හොඳ දේකට විතරක් සීමාවුණු අදහසක් නෙමෙයි. අතිදක්ෂ සීරියල් කිලර් කෙනෙකුට තියෙන්න පුළුවන් ලොකු එම්පතියක්. ඒ ඇතුලෙ ඔහු නිශ්චය කරනවා සහ ආදරය කරනවා වෙන්න පුළුවන් තමන්ගෙ ගොදුරට. මේ අදහස ගොඩක් තේරුම් ගන්න පුළුවන් හැනිබල් ටෙලි සීරීස් එක බලන කෙනෙකුට. ඒකෙ හැනිබල් කියන්නෙ සයිකොපැත් කෙනෙක්. අනිත් අතට ඔහුගේ අනෙකා විල් ග‍්‍රැහැම් පරිපූර්ණ එම්පත් කෙනෙක්. එයා කිසිම වෙලාවක විනිශ්චය කරන්නෙ නෑ අනෙකාව. ඒ වෙනුවට ඒ ජීවිතය ඇතුලෙ ඒ අත්දැකීම විඳලා බලනවා. කාරණයට අදාල නොවුනත් හැනිබල් තුන්වෙනි සීසන් එක කියන්නෙ මෙතෙක් මම විෂුවල් වලින් කරන්න පුළුවන් කියල අත්දැකපු විශාලතම ප‍්‍රාතිහාර්ය වග සටහන් කරන්න  ඕන. ඒක අපෙන් බාහිර කතාවක් කියාගෙන යනවා වෙනුවට අපිව ඒ අත්දැකීම ඇතුලට ගන්නවා. අන්තිමේදී අපිත් හැනිබල් ජීවිතයේ පරිච්ෙඡ්ද ගණනාවක් ගත කරලා තියෙනවා. අපිත් නොදැනීම සිද්දවෙන ගැඹුරු එම්පති අභ්‍යාසයක් හැනිබල් කියන්නෙ. ඇන්තනි හොප්කින්ස් කොයිතරම් හොඳට ර`ගපෑවත් මේ ටෙලි සීරීස් එකේ චරිත සහ වින්‍යාසය විසින් අත්පත් කර ගන්නා දාර්ශනික, ආධ්‍යාත්මික ගැඹුර අත්පත් කරගන්න ‘සයිලන්ස් ඔෆ් ලෑම්බ්ස්’ අසමත් වෙනවා.

    නිර්මාණයක රස විඳිය හැකි කොටස වෙන්නෙ ඒ නිර්මාණකරුවාගේ එම්පතියේ ඇති ගැඹුරයි. මේකට මේ චරිත හෝ නිර්මාණය යතාර්ථවාදය එක්ක කරන ගණුදෙනුව කොයිතරම්ද කියන එක අදාල වෙන්නෙ නෑ. යම් කල්පිතයක් ඇතුලෙ ඒ චරිත ස්වාධීන පැවැත්මන් ලබාගන්න  ඕන. ස්වීය භාවයන් සහිත වෙන්න  ඕන. අපේ දාර්ශනිකත්වයක් හෝ දෘෂ්ටිවාදයක් විසින් මේ චරිත ගුලි කරලා අකුලවලා නිශ්චිත කරලා නැති වෙන්න  ඕන. අපේ අදහසක් තුලින් වෙනත් ජීවිතයක් වරනගන හැමවෙලාවකම තියෙන්නෙ සිම්පතියක්. සිම්පතිය අපේ ජීවිතේට වඩා කුඩයි. ඒත් එම්පතිය අපේ ජීවිතයට වඩා විශාල වෙන්න  ඕන. ඒකයි නිර්මාණයක පරිණතබව ගැන තියෙන ලොකුම සාක්ෂිය වෙන්නෙ.

    කටුනායක මෑතකදි කොල්ලගෙන් ගුටිකන නංගිගෙ වීඩියෝව අපේ රටේ ෆෙමිනිස්ට්ලාට ටිකක් තදට එම්පතිය ගැන කියල දුන්නා. මට නැති ප‍්‍රශ්නයක්  ඕගොල්ලන්ට තියෙන්නෙ කොහොමද? එයා වෙනුවෙන් පෙනී ඉන්න ආපු මහත්තුරුන්ගෙන් සහ නෝනාවරුන්ගෙන් එයා පෙරලා ඇහුවා.
    ඒක අපේ සිම්පති සමාජයට කරපු හොඳ හොම්බට ඇනීමක්.


    චින්තන ධර්මදාස

  • ඇඩ‍්‍රස් නැති පෙරවදනක්.

    ඇඩ‍්‍රස් නැති පෙරවදනක්.

    ‘හිට්ලර් ගියා. චැප්ලින් ආවා. ලංකාවට ඇඩ‍්‍රස් නෑ’ ජැක්සන් ඇන්තනි එයාගෙ ෆිල්ම් එක ගැන පෝස්ටරයක් ලංකාව වටේ අලවලා තිබුණ. චිත‍්‍රපටියෙ කතාවට සම්බන්ද නැති දේශපාලනයක් මේ ඇඞ්වර්ටයිසින් කැම්පේන් එක ඇතුලෙ වැඩ කරනවා. ඒ හින්දම ඒක සෑහෙන වයිරල් මීඩියා වලත් ෂෙයාර් වෙන්න ගත්ත. ෆිල්ම් එක පැත්තකින් තියල මේ කතාව එලියෙ දේශපාලනයත් එක්ක ඉස්සෙල්ල ගලපලා බලන්න වටිනවා.

    මේ වචන පේලියෙ තියෙන සාර්තකබව වෙන්නෙ මේක මේ වෙනකොට ගොඩක් අය එකග වෙමින් සහ බාර ගනිමින් ඉන්න තත්වයක් වීම. ඊටත් වඩා මේක පහුගිය මහින්ද ආණ්ඩුවට කඬේ ගිය ජැක්සන් ඇන්තනි, මාලින්ද සෙනෙවිරත්න වගේ අයටත් යහපාලන ආණ්ඩුවට කඬේ ගිය නිර්මාල් වගේ අයටත්, පතෝල වගේ හිටපු සුමිත්, විදර්ශන වගේ අයටත් එකට හිටගන්න පුළුවන් තැනක් වෙන එක. හිටියෙ හිට්ලර් කියල එකග වෙන එක ඇතුලෙ ආවෙ චැප්ලින් කියල එක`ග වෙන්න අනිත් කාණ්ඩය තීරණය කරනවා.

    ඒත් නිර්මාල් වගේ දේශපාලන දැනුමක් සහිතයි කියල එලියෙ ඉන්න අය විසින් බාර ගන්න කෙනෙකුත් මේ වගේ ආස්ථානයකට ඒම ටිකක් විහිළු සහගතයි. මෑතක එයාගෙ ෆේස්බුක් පිටුවෙ ෂෙයාර් වෙච්ච අදහස් වලින් කියවුනෙ මේ ආණ්ඩුව පත් කර ගැනීම නිසා තමන් නාගනිමින් ඉන්නවා වගේ අදහස් පෙලක්. එතකොට සරලවම ගිය ආණ්ඩුවත් අප්සෙට්, ආපු ආණ්ඩුවත් අප්සෙට් කියන වාමාංශික පතෝල පිළිවෙතට ලේසියෙන්ම ස්ථානගත වෙන්න පුළුවන්. අපත වැඩ කරමින් හිටපු පරණ ආණ්ඩුවේ කලා- දේශපාලන බවතුන්ටත් කිසි අවුලක් නැතුව මඩ ටික හෝදගෙන එක මේසෙ ඉඳගන්න පුළුවන්. කවදාවත් බිහි නොවෙන පරම සුචරිත, සුබවාදී සමාජයක් එනකල් මේ ජෝක් එක දිගටම කරගෙන යන්නත් පුළුවන්.

    ගිය ආණ්ඩුවට සාපේක්‍ෂව මේ ආණ්ඩුව ගැන කතා කරන්නවත් බෑ කියන එකයි මගේ අදහස. ඒක හිට්ලර්ගෙ ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවෙ මිනිස්සුන්ට හිනාවෙන්න පවා තහනම්. එතකොට හිට්ලර්ව ජෝක් කරන චැප්ලින් එන එක විය යුතු සහ කළ යුතු ප‍්‍රගතිශීලී වැඩක්. එක ලයින් එකට කියවුනාට හිට්ලර් සහ චැප්ලින් කියන්නෙ ප‍්‍රතිවිරුද්ද ප‍්‍රතිපක්ෂ. එතකොට හිට්ලර් ගිහින් චැප්ලින් ආපු එකෙන් ලංකාවට ඇඩ‍්‍රස් නැති වෙන්න බෑ.

    අලූත් ආණ්ඩුවෙ අවුල් සහ ආකර්යක්ෂමතා ගැන ලොකුවට කණස්සලූ වෙන අය විසින් මතක තියාගත යුතු වෙන්නෙ පහුගිය කාලෙ හා සසඳන විට ඒවා නොතකා හැරිය හැකි තරම් කුඩා වගයි. එහෙම වුණත් ඒවා බරපතල විදිහට ගැනීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් සටන් කිරීම සහ විරෝ්ධය දැක්වීම අවශ්‍යයි. ආණ්ඩුවක් පත්කර ගෙන නිදහසේ තමන්ගෙ වැඩක් කර ගෙන ඉන්න බලාපොරොත්තු වුණු දේශපාලන ක‍්‍රියාකාරිකයන්ට මේක ටිකක් අමාරු තත්වයක් වෙන්න පුළුවන්. ඒත් දේශපාලනය ගැන, විශේෂයෙන් ආසියාතික දේශපාලනය ගැන යම් පමණක හෝ අවබෝධයක් තියෙන  ඕන කෙනෙක් දන්නවා පුරවැසියන්ගේ සංවිධානගත මැදිහත් වීම් කොයිතරම් අවශ්‍යද කියන එක. බිඳ වැටුණු පද්ධතීන් සහ විස පෙවුණු ආකල්ප නැවත හැරවීම කියන්නෙ දැවැන්ත වැඩක්. ඒකට විශාල සංස්කෘතික ව්‍යාපාරයකුත් සිද්ද වෙන්න  ඕන.

    ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් ලොකු අවකාශයක් විවෘත වීමයි යහපාලනයේ ලොකුම වැදගත්කම. කොටින්ම ජැක්සන්ට මේ වගේ පෝස්ටරයක් පවා අලවන්න පුළුවන් වීමයි මෙතන තියෙන වෙනස. මේක ගෝටාබයගෙ ආණ්ඩුව වුණා නම් මේ පෝස්ටරය ප‍්‍රින්ට් කරන්න ප්‍රෙස් එකක් වත් හොයාගන්න වෙන්නෙ නෑ (ජැක්සන්ට නං නෙමෙයි). මේ අවකාශය ඇතුලෙ දැනටමත් ලොකු සංවාදයන්, කතිකාවන් සිද්ද වෙමින් යනවා. ඒත් දෙමළ සිංහල ප‍්‍රශ්නෙම ලංකාවෙ එකම ප‍්‍රශ්නෙ විදිහට සලකන වම්මුන්ට පාන් බාගෙකට වඩා දෙයක් පේන්නෙ නැති එක සාමාන්‍යයි. ඒක හින්ද ඇත්තටම නම් අදහස වෙන්න  ඕන හිට්ලර්ව ගෙදර යැව්වා. චැප්ලින්ව ගෙනාවා. ඇයි අවුල්ද කියන එකයි. වෙනස තියෙන්නෙ අපි චැප්ලින්ව දකින්නෙ නිකංම ටෙනිසන් වගේ ජෝකර් කෙනෙක් විදිහටද, අදහසක්, ආර්ට් එකක් සහිත දියුණු ප‍්‍රකාශකයෙක් විදිහටද කියන එක උඩ.

    කොහොම වුණත් ඇඞ්වර්ටයිසින් වලට පාවිච්චි වෙන මේ වචන පේලිය ෆිල්ම් එකට සම්බන්දයක් නෑ. කොටින්ම ෆිල්ම් එක ගැන කලින් එලියට ආපු ගයාන්ගෙ සිංදුවවත් ෆිල්ම් එකට සම්බන්ද නෑ. වෙන විදිහකට කිව්වොත් ජැක්සන් ඇන්තනිගෙ පුනරාගමනයක් බලාපොරොත්තුවෙන් ගිය මට ටයිට්ල් ට‍්‍රැක් එකෙන් පස්සෙ චිත‍්‍රපටියක් නැති වුණා. එතකොට තිබුනෙ ඇඞ් එකක් විතරයි, ප්‍රොඩක්ට් එකක් නෑ.

    මට ෆිල්ම් එක ගැන ඇත්තටම කියන්න තියෙන දේ ෆිල්ම් එක හෝල් එකට එන්නත් කලින් කියන එක එච්චර සදාචාරාත්මක නෑ කියල හිතෙන හින්ද ඒ විස්තර පස්සට තියන්නම්. ඒත් මට ජැකාගෙන් අහන්න තියෙන එක ප‍්‍රශ්නයක් තියෙනවා. එතකොට මුඩුක්කුවල ඉන්නෙ ගණිකාවො. සිද්ද වෙන්නෙ හිගන බිස්නස් සහ පාතාල ගණුදෙනු(ඒත් කොතනකවත් කුඩු එහෙම නෑ) . මුඩුක්කුවෙ උන්ටත්  ඕන එතනින් ගැලවිලා උස තට්ටු බිල්ඩින් වලට යන්න (සහස්පුර වගේ). ඒක හින්ද ගෝටාබය විසින් කරගෙන ගිය කොළඹ මුඩුක්කු ඉවත් කිරීම කොයි පැත්තකින් බැලූවත් මාර ප‍්‍රගතිශීලීයි. මාර මානුෂීයයි. ඒකද මේ කතාව? (විදර්ශනත් ඒ මොහොතේම මේ ප‍්‍රශ්නෙ මතු කළා) දෙමළ සිංහල ප‍්‍රශ්නෙට පස්සෙ මහින්ද චින්තනයෙ ඊළග අදියර කොළඹ සුද්ද කිරීමේ කැම්පේන් එක වෙනුවෙන්ද මේ චිත‍්‍රපටිය හැදෙන්නෙ? ජැක්සන් මේ හිට්ලර්ව චැප්ලින්ට අන්දන්න හදන්නෙ කාව ජෝක් කරන්නද? ඔන්න ලොකු අයියෙ ඔයාට ඇඩ‍්‍රස් නැති වෙන තැන.

    චිත‍්‍රපටිය ගැන කතාව පස්සට තියල චිත‍්‍රපටියට කලින් ජැක්සන් කරපු කතාව ගැන කියන්නම්. එතනදි එයා වැදගත් දෙයක් කියනවා. අපේ සමස්ත සිනමාවම දැනට රදා පවතින්නෙ ඉන්දියාවෙ එකම ප‍්‍රින්ටින් මැෂින් එකක ඇණ මුරුච්චියක් උඩ කියල. තාමත් ඩිජිටල් නොවීම හරහා තමන්ගෙ චිත‍්‍රපටියට වෙන අසාධාරණය ජැක්සන් එතනදි මතු කළා. අත්දෙකම උස්සලා එක`ගයි මේ අදහසට. ඒත් ඒක මතු කරපු විලාසයේ තියෙනවා අර්බුදයක්.

    තමන්ගෙ චිත‍්‍රපටියට හෝල් 38ක් (ඒ වගේ ගානක්) ලැබෙද්දි ඉන්දියාවෙ අලූතෙන්ම රිලීස් වෙන චිත‍්‍රපටියකට බාල ඊ-සිනමා ප්‍රොජෙක්ටර් හයි කර ගත්ත හෝල් 37ක් (වගෙයි මතක) ලැබීමේ අබාගය ගැන එයා එතන කණස්සලූ වුණා. ඒත් ඩිජිටල් සිනමාව ගෙන ඒම වෙනුවෙන් පෙනී සිටීමත් ඊ- සිනමා ප‍්‍රදර්ශනය ගැන කණස්සලූ වීමත් එකිනෙකට ප‍්‍රතිවිරුද්දයි. කවර හෝ තමන්ට ආයෝජනය කළ හැකි මට්ටමක ඩිජිටල් ප්‍රොජෙක්ටරයක් සමග මේ ශාලා හිමියන් ඩිජිටල් ප‍්‍රදර්ශනයට එක්වීම ගැන සතුටු වීමයි සිද්ද වෙන්න  ඕන. ඒ හෝල්වල පෙන්නන්නෙ ඉන්දියානු චිත‍්‍රපටියක් වීම ගැන ලාංකේය චිත‍්‍රපටකරුවන් ලැජ්ජා වෙන්න  ඕන. ඒ අපිට අපේ දේශීය සිනමා ශාලාවලට විශ්වාසය ඇති කරවන චිත‍්‍රපට නිර්මාණය කරන්න බැරි වීම ගැන. ඒක සිංහල, දෙමළ ප‍්‍රශ්නයක් වගේ තැනකට ලඝු කිරීම හෝ දේශීය, විදේශීය බෙදුම් කඩනයකට ලක් කිරීමට වඩා ඩිජිටල් ප‍්‍රක්‍ෂේපන තවත් පුළුල් කර ගැනීමයි මෙතනදි ඇත්තටම වැදගත්. දැවැන්ත ඉන්දියානු සිනමාව එක්ක අපිට උරෙනුර සටන් වදින්න බැරි වීමේ ප‍්‍රායෝගික තත්වයන්ට මුහුණ දෙන්න නම් ඒ ගෙන්වනු ලබන සිනමා කෘති වලට බදු පැනවීමක් වගේ දෙයක් ගැන හිතල බලන්න පුළුවන්. ඒත් ලංකාවෙ නිෂ්පාදනය කරන චිත‍්‍රපට බොහොමයකට මොකක් හරි විදිහක සිනමාවට බාහිර රැුකවරණයක් නැතුව පේ‍්‍රක්‍ෂාගාරයක් දිනාගන්න අමාරුයි. ඒක සිනමා නිර්මාණාත්මක බවේ අඩුවක් වගේම ඒ අඩුව පිරිවිය හැක්කේ තවත් තොත්ත බබාකරණය කිරීමෙන් නොව දියුණු තරගකාරීත්වයකට මුහුණ දෙන්න සැලැස්වීමෙනුයි.

    ඒ වගේම ජැක්සන් විසින් ඊ- සිනමා ප්‍රොජෙක්ටර් හයි කරපු බාල සිනමා ශාලා ගැන කතාව කියන්නෙම ඊඒපී මණ්ඩලයට ස්තුතිවන්ත වෙමින්. සිනමාව ඩිජිටල් කිරීම තව තවත් ප‍්‍රමාද කරන්නට නොයෙක් දේශපාලන බලවතුන් එක්ක ඞීල් දාන ලංකාවෙ සිනමා පරිහාණියට මූලික වශයෙන් වගකිව යුතු මණ්ඩලයකට ප‍්‍රශංසා කරමින් සිනමාව ඩිජිටල් කිරීම ගැන කතා කරන එකත් විහිළුවක්. සිනමාව ඩිජිටල් වීම හරහා අලූතෙන් නව සිනමා ශාලා සහ මණ්ඩල නිර්මාණය වීම අනිවාර්යයි. ඒ වගේම තවත් නොයෙක් ප‍්‍රදර්ශන ක‍්‍රමයනුත් විවෘත වේවි. එතනදි ප‍්‍රධානවම අර්බුදයට යන්නෙ මේ වෙද්දි සිනමාව නඩත්තු කරමින් තමන්ගෙ ලාබ උපරිම කර ගැනීමේ යෙදෙන සිනමා පවුල් කීපයයි (ඊ්ඒපීත් ඇතුළුව). මේ කර්මාන්තය විවෘත වීමෙන් සහ පුළුල් වීමෙන් ඔවුන්ගේ අධිකාරී බලය පිරිහී යනවා. එතකොට ජැක්සන් මේ නව ඩිජිටල් සිනමා ප‍්‍රක්‍ෂේපන වලට දොස් පවරමින් ඊඒපී මණ්ඩලය ආරක්ෂා කරන හේතුව පැහැදිලියි. ඒක සිනමාව ගැන සැබෑ කාරණයකට වඩා තමන්ගේ නියෝජිතභාවය සහ පක්ෂපාතභාවය ගැන ප‍්‍රකාශනයක් විදිහටයි මං දකින්නෙ.

    කොහොම වුණත් මේ සංවාදය වඩා විවෘත වීම වටිනවා. ලාංකේය සිනමාව ඩිජිටල් කිරීම කියන්නෙ ව්‍යාපාරික පවුල් කීපයකගේ උවමනාවන් මත ඇති කරන ප‍්‍රතිසංස්කරණ කීපයක් නොවිය යුතුයි. පරණ සිනමාවට යන්න කියන මේ මොහොතේ පරණ සිනමා අධ්‍යක්‍ෂවරුන් ගොඩකටද පැන්ෂන් යන්න සිද්ද වෙන බව පැහැදිලියි. එළඹෙන්නෙ සිනමාව ප‍්‍රජාතාන්ත‍්‍රීකරණය වෙන අලූත් යුගයක්. ඒක චැප්ලින්ගෙන් නතර නොවී ගප්පියා දක්වා එන වග මතක තියාගන්න  ඕන.


    චින්තන ධර්මදාස

  • ඩොස්ටොව්ස්කි මරා දැමීම

    ඩොස්ටොව්ස්කි මරා දැමීම

    ඇත්තටම හොලිවුඞ් සිනමාවට සාපේක්‍ෂව යුරෝපියානු සිනමාව සමස්තයක් විදිහට ඒ විෂයෙහි කරලා තියෙන්නෙ කොයිතරම් අල්ප වැඩ කොටසක්ද? මේක අහපු ගමන් එකපාරට එන ප‍්‍රතිවිරෝධය අපේ රටේ ආධිපත්‍යයික සිනමා දැනුමේ කඩාපැනීමකට වැඩි දෙයක් නෙමෙයි.  ඊට ටිකක් එහාට ගිහින් අපිට පුළුවන් ආයිමත් හිතන්න.

    හොලිවුඞ් සිනමාවට සාපේක්‍ෂව යුරෝපියානු සිනමාව කොයිතරම් පුංචිද?

    මං හිතන්නෙ හොලිවුඞ් සිනමාවට පුළුවන් වෙලා තියෙනවා අපේ යතාර්ථයට පිටින් වූ සිනමාමය විශ්වයක් හදන්න. ඒකෙ ඉන්න සුපිරි වීරයො, සුපිරි දුෂ්ටයො සහ අනාගතවාදී මිත්‍යාවන් අන්තිමට අපි ජීවත් වෙන යතාර්ථය පවා වෙනස් කරමින් ඉන්නවා. හොලිවුඞ් සිනමාව තියෙන්නෙම යතාර්ථයට පිටතින්. වෙනම පරිකල්පන අවකාශයක් ඇතුලෙ. රූපකමය සම්බන්ධයක් හරහා විතරක් යතාර්ථය එක්ක ගණුදෙනු කරමින්. මේක දකින්න බැරි රේගඩාස්ගෙ ඉස්කෝලෙ සිනමාකරුවො සහ පේ‍්‍රක්‍ෂකයො යලි යලිත් යතාර්ථයේම හැපෙන, වැලපෙන යුරෝපියානු සිනමාව මාරයි කියල හිතනවා.

    යුරෝපියානු සිනමාව අප වෙත මුදාහරින්නෙ අත්දැකීමක් විතරයි. ඒ අත්දැකීම හරහා නැවත ජීවිතය කියවා ගැනීමක්, ප‍්‍රඥාවට පත්වීමක් වගේ අර්තයක් තමයි ඒ සිනමා කතිකාවෙ තියෙන්නෙ. ඒත් සිනමාව කියන්නෙ එහෙම ආධ්‍යාත්මික විෂයක්ද? ඊට වඩා නිශ්චිත, මට අනුව නම් නීට්ෂියානු දාර්ශනිකත්වයක් පදනම් කරගෙන හොලිවුඞ් සිනමාව විසින් වෙනම උත්තර විශ්වයක් නිර්මාණය කරනවා. ඒ වීරයන්, දුෂ්ටයන් සහ පෙම්වතුන් සදා අමරණීයයි. ඒක සිනමාව වෙනුවෙන්ම වූ සිනමාව. යුරෝපයේ සිද්ද වෙන්නෙ ජීවිතය වෙනුවෙන් වූ සිනමාව. එතනදි මං තෝරගන්නෙ පළවෙනි එක.

    හේතුව, ජීවිතය කියන එක කොයි දේකත් තියෙනවා. හදිස්සියෙ පිටවෙන වාතයක් වුණත්, හිස් ප්ලාස්ටික් බෑග් එකක වුණත් ජීවිතය තියෙනවා. ඒත් අපිට  ඕන ජීවිතය අර්ත නිරූපණය කරන්න. ඒක වෙන වෙන ප‍්‍රවේශයන්ගෙන් කියවන්න. මට හිතෙන්නෙ එහෙම ජීවිතය කියල අල්ලගන්න හදන දැනුවත් කොටසට වඩා ජීවිතය නෙමෙයි කියල නැවත අපි විසින් නිෂ්පාදනය කරන නොදැනුවත් කොටසෙ (ප්ලාස්ටික් බෑග් එකේ) ජීවිතය තියෙනවා.

    මේ පූර්විකාව කියන්න යන කතාවට කෙලින් සම්බන්දයක් නෑ. ඒත් මොකක් හරි විදිහක සම්බන්දයක් තියෙනවා. ලියන්න  ඕන වුනේ ප‍්‍රසන්න විතානගේ ගේ ඔබ නැතුව ඔබ එක්ක ගැන.
    මුලින්ම කියන්න  ඕන මේ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීම මට අනුව ප‍්‍රසන්න සිනමාව පැත්තෙන් කරපු ලොකුම පාවාදීම. එයා කිව්වෙ ලංකාවෙ ඩිජිටල් සිනමාව ඇති වෙන කල් මේ චිත‍්‍රපටිය පෙන්නන්නෙ නෑ කියල.

    සිනමාවෙ ප‍්‍රවීනයෙක් හරි සම්මානනීය සිනමාකරුවෙක් හරි විදිහට ඒ වගකීම්සහගත ස්ථාවරය හැම සිනමාකරුවෙකුටම ගන්න වෙනවා කියලයි මං හිතන්නෙ. සිනමා ශාලා ඩිජිටල් කරන කල් තමන්ගෙ චිත‍්‍රපටි ඒ ශාලාවලට ලබා නොදීම හොඳට දැනෙන විරෝධයක්. ඒත් අන්තිමට ප‍්‍රසන්න තමන්ගෙ චිත‍්‍රපටිය පරණ විදිහටම පෙන්නන්න තීරණය කරනවා. තමන් යෙදිලා ඉන්න කර්මාන්තෙ වෙනුවෙන් අවශ්‍ය වෙලාවට පෙනීඉන්න බැරි වීම ප‍්‍රසන්නට විතරක් නෙමෙයි ලංකාවෙ ගොඩක් සිනමාකරුවන්ට පොදු සත්‍යයක්. මේ හැමෝම අන්තිම මොහොත වෙනකල් කෙසේ හෝ තමන්ගේ ජාවාරම් සිනමාව පවත්වාගෙන යාමට ද`ගදාන ලාංකේය සිනමා ප‍්‍රදර්ශක පවුල් තුනේ නියෝජිතයන්ද කියල හිතෙනවා. සිනමා අධ්‍යක්‍ෂවරුන්ගේ සංගමයේ කලින් හිටපු සභාපති සහ තවමත් ඉදිරිපෙළ භූමිකාවක් නියෝජනය කරන ප‍්‍රසන්නගේ මේ ක‍්‍රියාව ඒ සංගමයට සිනමාව ඩිජිටල් කිරීම පිළිබඳ ඇති උවමනාවේ ඇත්ත ප‍්‍රමාණය ගැන ප‍්‍රශ්නයක් මතු කරනවා.

    ඒක ඔබ නැතුව ඔබ එක්ක චිත‍්‍රපටයට කලින් චිත‍්‍රපටකරුවා ගැන නැගෙන ප‍්‍රශ්නයක්. මේ චිත‍්‍රපටය හැදෙන්නෙ ඩොස්ටොව්ස්කිගෙ ‘ජෙන්ට්ල් ක‍්‍රීචර්’ කියල ඉංග‍්‍රීසියට පරිවර්තනය වෙන කෙටිකතාව ඇසුරෙන්. මේ කෙටි කතාව මීට කලින් හතර වතාවක් විතර සිනමාවට නැගිලා තියෙනවා. මේ ගැන විකිපීඩියා සටහන අනිවාර්යෙන් බලන්න. මේ සිනමාකරුවො හතර දෙනා අතරෙ රොබර්ට් බ්‍රෙසොන් පවා ඉන්නවා. එයා ප‍්‍රංශ නව රැුල්ල කාලෙදි එයාගෙ මිනිමලිස්ටික් ඒ වගේම ආධ්‍යාත්මික සිනමා භාවිතාවෙන් දැවැන්ත ප‍්‍රකාශන කරපු සිනමාකරුවෙක්. ඒ වගේම 1989 මේ කතාව චිත‍්‍රපටයට නගන ‘මනි කෝල්’ කියන්නෙ ඉන්දියානු සමාන්තර සිනමාවෙ පුරෝගාමියෙක්. විකිපීඩියාවෙ ඒ හැමෝගෙම නම් නිකං ලියලා තියෙනවා මේ අවුරුද්දෙ මෙයා විසින් මේ නමින් මේ චිත‍්‍රපටිය යලි නිර්මාණය වුණා කියල. මේ ලැයිස්තුව අන්තිමට ප‍්‍රසන්න විතානගේ ගේ නම එද්දි විතරක් ‘ශ‍්‍රී ලාංකේය සම්මානනීය අධ්‍යක්‍ෂ ප‍්‍රසන්න විතානගේ 2014 වසරේදී මෙය සිනමාවට නගන ලදී’ කියල ලියලා තියෙනවා. එතකොට අර අනිත් අධ්‍යක්‍ෂවරු සම්මානනීය නැද්ද? මට හිතෙන්නෙ අපි ලෝකෙට අපි ගැන හඳුන්වාදීම් කරද්දි මීට වඩා සැලකිලිමත් වෙන්න  ඕන.

    එතකොට මේ චිත‍්‍රපටය කොයි වගේ එකක්ද? වඩාත් විවෘතව, විනීතකම පැත්තකට තියලා කිව්වොත් මේක තමයි ප‍්‍රසන්නගෙ දුර්වලම චිත‍්‍රපටය. කාලයක් තිස්සෙ ප‍්‍රසන්න තමන්ගෙ නිර්මාණවල පරිහාණියකට ගමන් කරමින් ඉන්නවා. ආකෘතිය සහ කර්මාන්තමය කාරණා ගැන වැඩි අවධානයක් යෙදීම ඇතුලෙ චිත‍්‍රපටවල ආත්මය මිය යමින් තියෙනවා.

    මේ චිත‍්‍රපටය ගැන කතා කරන ලංකාවෙ විකාර විචාරකයො මේකෙ තියෙන ජාතික ප‍්‍රශ්නෙයි, ඒක සාකච්ඡුාවට අරගෙන තියෙන දෘෂ්ටිකෝණයේ සාධාරණ, අසාධාරණකම් ගැනයි පිටු ගනං කතා කරනවා. ඒක එහෙම නොවිය යුතුයි කියන අතරෙ විදර්ශන කන්නංගරත් ඒකම නැවත ලියනවා. ඇත්තටම දැන් විදර්ශන ලියන දේවල් වලින් හතරෙන් එකක්වත් මට නං තේරෙන්නෙ නෑ. (සමහර විට මගේ භාෂා දැනුම අභාවයට යමින් තියෙනවා ඇති) පශ්චාත් ගම්ලතියානු වගේ විහිළු වචන සහ සද්ධර්ම රත්නාවලියෙ වගේ තේරුමක් නැති හෑලි වලට පිටින් මේ විචාර වල අන්තර්ගතය මොකක්ද? මුල ඉඳන් අගට යද්දි විදර්ශන විරුද්ද වෙච්ච දේම එයා කරමින් ඉන්නවා.

    අපි කෙලින්ම මේ චිත‍්‍රපටිය දිහා බලමු. මේක තනිකරම නිල් පාට චිත‍්‍රපටියක්. අපිට රුසියානු කතාවක් කියවපු ගමන් ඇඳෙන මුස්පේන්තු පාට මනස් චිත‍්‍රය රූපයට අරන් එන්න ගිහින් මුලූ චිත‍්‍රපටියම මරලා දාලා තියෙනවා. මේක කලින් නවකතා වලට වැළඳිලා තිබුණු රෝගයක්. දැන් ඒක සිනමාවටත් බෝවෙලා. රුසියානු පරිවර්තන කියවන කොට අපේ ඔලූවෙ ඇඳෙන පාණ්ඩු පාට, පුස්ගඳ ගහන, තෙත් සහිත රූපය… කියවන කතාවකදි වගේ නෙමෙයි ඒක චිත‍්‍රපටියකට ගේන කොට. එතකොට හැ`ගීමක් නැතුව දෙබස් කියන මැරිච්ච මිනිස්සු, එකම පාට බිත්ති, ඇඳ ඇතිරිලි සහ ඇඳුම් විතරයි තිරය උඩට එන්නෙ. ඒත් ඩොස්ටොව්ස්කි කතාව කියන්නෙ ඊට වඩා ලොකු ගැඹුරක්, සංවේදනයක් එක්ක. ගොලූවෙක් වගේ බිරන්තට්ටු වෙච්ච මිනිහෙක් සහ ඔල්මාදෙ හැදෙන්න ආසන්න ගෑනියෙක් ගැන කතාවක් නෙමෙයි එයා ලියන්නෙ. ප‍්‍රසන්න තමන්ගෙ ලාංකේය රුසියානු හීනෙ ඇතුලෙ ඩොස්ටොව්ස්කිගෙ සාරය මරලා දානවා. අන්තිමට මේ චරිත වලට චරිත නැති වෙනවා. තියෙන්නෙ ඉඳලා හිටලා කියන දෙබසක් විතරයි.

    මේ කතාව සාර්තකවම චිත‍්‍රපටියකට නැගෙන්නෙ රොබර්ට් බ්‍රෙසොන් අතින්. එයා මේ මූඞ් එක හරියටම ෆිල්ම් එකට ගේනවා. (ඇත්තටම නං මේක මෙලෝ යකෙකුට චිත‍්‍රපටියකට නගන්න බැරි කතාවක්) මුලූ කතාවම ස්වයං පාපොච්චාරණයක් වගේ. බ්‍රෙසොන් එයාගෙ චිත‍්‍රපටියට මේ රූපය නිර්මාණශීලීම විදිහට බද්ධ කර ගන්නවා. ක‍්‍රිස්තියානු මනසකට හුරු මේ කන්ෆෙෂන් ඇතුලෙයි ඩොස්ටොව්ස්කි නොවැලැක්විය හැකි මනුස්ස අසමත් වීම හොයන්නෙ. ඒත් ප‍්‍රසන්න මේක එකවිට චරිත දෙකේම ස්වයං පාපොච්චාරණයක් කරනවා. මට හිතාගන්න බෑ ඒක කොහොමද වැඩ කරන්නෙ කියල. ඒක න්‍යායික අසමත් වීමක්.

    ඩොස්ටොව්ස්කිගෙ කතාවෙ මූලික හරයක් වෙන්නෙ සියල්ල (බලය මූලිකව) බාහිරයෙන් විසඳා ගත හැකි යැයි විශ්වාස කරන පිරිමි මනස සහ (ආදරය තුල) අභ්‍යන්තරයෙන් විසඳා ගත යුතු යමක් ගැන පසුතැවෙන ස්ත‍්‍රී මනස අතර පෑහීම සහ නොපෑහීම. පිරිමියා විසින් සියල්ල විසඳාගෙන හොඳ ජීවිතයක් පටන් ගන්න කඳුකරයට යන්න යෝජනා කළත් ගැහැණිය එහෙම ගිහින් විසඳගන්න පුළුවන් ප‍්‍රශ්නෙක නෙමෙයි ඉන්නෙ.

    බලය සම්බන්ධයෙන් පිරිමියා විඳින ආස්වාදය ගැන ඩොස්ටොව්ස්කි ගැඹුරට යනවා. උකස්කරුවෙක් හැටියට තමන්ට ලැබෙන ‘නරක’ ප‍්‍රතිරූපයට පටහැණිව ‘හොඳක්’ කිරීමෙන් ලබන තෘප්තිය, දුප්පතෙක් වී ඇද වැටී සිටි තමන් දැන් යමක් කමක් ඇති කෙනෙක් යැයි හැගීමෙන් ලබන තෘප්තිය, අසරණ වී සිටින යුවතිය බේරා ගැනීමෙන් ලබන තෘප්තිය මෙන්ම ඇය වෙනුවෙන් යම් යම් දේ ඉටු කිරීමෙන් පවා තමන් ‘හොඳ’ හෝ ‘ආදරණීය’ වෙනවා යැයි හගින තෘප්තිය ආදී වශයෙන් පිරිමි මනසට ගැලවී ගත නොහැකි බලය පිළිබඳ අවිඥාණක තෘප්තිමත් කිරීම් ඩොස්ටොව්ස්කි ආදරය එක්ක හප්පනවා. ආදරය නිරායුද වීමක් ඉල්ලා සිටිනවා. ඒත් ආයුද අත්අරින හැටි අපි ඇත්තටම දන්නවාද?

    මේ සංකේතීය යුවතිය ඒ බලයට එරෙහිව ප‍්‍රතික‍්‍රියා කරනවා. මේක ආදරය ගැන පරණ වුණාට දරුණු කියවීමක්. මේ නිහ`ඩ අරගලය බ්‍රෙසොන් එයාගෙ චිත‍්‍රපටිය ඇතුලෙ හුදු ප‍්‍රකාශනවාදී අදහසකට යන්නෙ නැතුව අත්දැකීමක් කරනවා. ඒ වෙනුවෙන් බ්‍රෙසොන් චිත‍්‍රපටියට බාහිරෙන් ටී‍්‍රට් කරනවා වෙනුවට චරිත අභ්‍යන්තරයෙන් ටී‍්‍රට් කිරීම තෝරා ගන්නවා. වෙන විදිහකට කිව්වොත් පිරිමි පාපොච්චාරණය උඩ ස්ත‍්‍රී සිනමා භාවිතාවක චිත‍්‍රපටිය පිහිටුවනවා. මං කියන්නෙ මේකයි දැනුවත් සිනමාව.

    ඒත් ප‍්‍රසන්න කරන්නෙ මොකක්ද? එයා මේ බලය ගැන සංකීර්ණ ආත්මීය අත්දැකීම සමාජ ප‍්‍රකාශනයක, හුදු පෝස්ටරයක තැනට ගේනවා. මේ දෙමළ චරිතය (සෙල්වි) හෝ උකස්කරුවාගෙ චරිතයේ කිසිම සංවේදනාත්මක ගොඩනැංවීමක් එයා අතින් සිද්ද වෙන්නෙ නෑ. මේ මතුපිට දේශපාලනයම විචාරකයන් විසින් අල්ලාගන්නෙත් මේ හේතුවම නිසා. මෙහෙකාරියගෙ චරිතයේ පවා ගොඩනැංවීම හාස්‍යජනකයි. අවසානයේ සෙල්වි කකුලක් කැඩෙන්න තරම් වත් උස නැති තැනකින් බිමට පැනලා මැරෙනවා.

    කාට හරි හිතෙන්න පුළුවන් ප‍්‍රසන්න දේශපාලනික සිනමාකරුවෙක් විදිහට ඩොස්ටොව්ස්කිගේ කතාව සමාජ කියවීමක් කරනවා කියල. අවාසනාවට ඩොස්ටොව්ස්කි ආත්මීය භාවිතාව ඇතුලෙ ලියන ගැඹුරු ස්ත‍්‍රී පුරුෂභාවය ගැන අත්දැකීම දේශපාලන කියවීමකට වඩා ගොඩක් පළල්. අනෙක් අතට ප‍්‍රසන්න චිත‍්‍රපටියෙ එහෙම දේශපාලන ගොඩනැංවීමක් කරන්නෙ නෑ. සෙල්වි තමන්ගේ පවුලේ අයව හමුදාවෙන් මරද්දි ගැලවිලා ආපු චරිතයක් කිරීමෙන්වත්, පිරිමියා දෙමළ කෙල්ලෙක් දූෂණය කළ තමන්ගේ යාලූවන් වෙනුවෙන් බොරු කී හමුදාකරුවෙක් කිරීමෙන්වත් ඒක සිද්ද වෙන්නෙ නෑ. ඒවා හුදු භාවාතිෂය ප‍්‍රයෝග. නැත්තං ගොඩක් අමු රූපක. නිකං ප‍්‍රවෘත්ති විදිහට එන සමාජ දේශපාලන විස්තර සිනමාවෙදි චරිත අභ්‍යන්තරයට බද්ධ වෙන්නෙ නෑ.

    මං විහිළුවට වගේ කොටුවෙන් එලියට හිතුවා. සෙල්වි හමුදාකාරයන් කීප දෙනෙක් අතින් දූෂණය වුණු දෙමළ කෙල්ලෙක් නොවෙන්නෙ හෝ මේ පිරිමියා අනිත් යාලූ සොල්දාදුවන් සමග එකී දෙමළ තරුණිය දූෂණය කළ එකෙක් නොවෙන්නෙ ප‍්‍රසන්නට ඩොස්ටොව්ස්කිගේ කතාව ආසන්නයේම රැුඳෙන්න තිබුණු උවමනාවක් හින්දද? අඩුම තරමෙ ඒ ගැන නිශ්චිත උත්තරයක් නොදී මීදුමක වගේ තියෙන්න ඉඩ දෙන්න තිබුණ. ඒත් ප‍්‍රසන්නට  ඕන වෙනවා මේ චරිත ඒ මඩෙන් උඩට ආපු නෙළුම් කරන්න. වැරැුද්ද තියෙන්නෙ සමාජයේ මිසක් මේ චරිතවල නෙමෙයි. ඒක වාමාංශික දෘෂ්ටිවාදයද? ඩොස්ටොව්ස්කි වැඩ කරමින් ඉන්නෙ එහෙම්පිටින්ම අනිත් පැත්තෙ. මට හිතෙන්නෙ ඒක ප‍්‍රසන්නගේ කන්‍යාභාවය සම්බන්ද අර්බුදයක් කියල.

    ඇස්වලට කැමරාව අල්ලපු පමණින් සිනමාවෙ චරිත ගොඩනැගෙන්නෙ නැති වග ප‍්‍රසන්න ඉගෙන ගත යුතුව තියෙනවා. කතා නොකරන චරිත හිටපු පමණින් ගැඹුරු යමක් සිද්ද වෙනවා කියල හිතෙන එක ලංකාවෙ පේ‍්‍රක්‍ෂකයන්ගෙ රෝගයක් මිස සිනමාත්මක කාරණයක් නෙමෙයි කියල අපි තේරුම්ගත යුතුව තිබෙනවා.  ඒ වගේම දෙමළ සිංහල චරිත හිටපු පමණින් එතන ජාතික ප‍්‍රශ්නයට අදාල දෙයක් තියෙනවා කියල මවා නොගන්නා තරමට විචාරකයනුත් ටිකක් සිනමාව පැත්තෙන් මැචුවර් විය යුතුව තිබෙනවා.

    කොටින්ම සිනමාවෙ ප‍්‍රවීනයෙක් විදිහට තමන්ට නිල්පාට ෆිල්ම් එකේ කලර් එකක් විදිහට පාවිච්චි කරන්න  ඕන නම් ඒ පසුබිමේ නිලට කන්ට‍්‍රාස්ට් පාටක එක වස්තුවක් හෝ තිබිය යුතුයි කියන ආර්ට් ඩිරෙක්ෂන් ගැන දැනුම පවා ප‍්‍රසන්නට අතපහු වෙනවා.

    ප‍්‍රසන්න තමන්ගෙ චිත‍්‍රපටිය ඇතුලෙ ඩොස්ටොව්ස්කිගෙ ගැහැණිය මරා දානවා විතරක් නෙමෙයි ඒ කතාවෙ ඓතිහාසික සාරයම නන්නත්තාර කරනවා. ගැඹුරු මනුෂ්‍ය තේමාවක් පටු ජාතිවාදී ආකෘතියකට ගේනවා.
    අපිට සිනමාව නැවත නැවතත් මගඇරෙනවා. ඒ වෙනුවට වෙන බහුබූත පිරෙනවා.


    චින්තන ධර්මදාස

  • පතී ඔතනින් අයින් වෙන්න

    පතී ඔතනින් අයින් වෙන්න

    ලංකාවෙ සිනමා අධ්‍යාපනය කියන එක හොඳටම අනාත විෂයක්. චිත‍්‍රපටි අධ්‍යක්‍ෂණය කරන අයමයි සිනමාව උගන්නන්න යන්නෙත්. ඒ අයගෙ මතවාදයන්, රසභාවයන් තමයි ඒ ඉගෙන ගන්න පරපුර පරම සත්‍යය  විදිහට නැවත ඉගෙන ගන්නෙ. ගොඩක්ම මේ අධ්‍යක්‍ෂවරුන්ගෙ දර්ශනවාද. චිත‍්‍රපටි ඉගෙන ගන්නවා කියන්නෙ මේ දර්ශනවාද ඉගෙන ගන්නවා කියලයි තේරුම් අරගෙනම ඉන්නෙ. ලැකාන්, ජිජැක්, රොන්සියර් වගේ එකී නොකී බරපතල තර්ක විතර්ක ලංකාවෙදි සිනමාව කියල පැටලෙනවා. මේකෙන් ඇත්තටම වෙන්නෙ ඒ ඉගෙනගන්න තරුණයා හෝ තරුණිය තවත් සිනමාවෙන් දුරස්තකරණය වෙන එක. සිනමාව එක්ක බැඳිලා, තම තමන්ගෙ පරිකල්පන ඇතුලෙන් බද්ධ වෙලා, විශාල අවකාශයක් ඇතුලෙ තමන්ගෙ ප‍්‍රකාශනය හොයා ගන්නවට වඩා එක් පරම දෘෂ්ටියක් කියන මුළාවට වැටෙනවා. බූපති කියන විදිහට, හැදෙන චිත‍්‍රපටි දිහා බැලූවම කියන්න පුළුවන් කවුරු කවුරුද උගන්නලා තියෙන්නෙ කියල. මේක බරපතල අවුලක්.

    අනිත් අතට සිනමාකරණය (ෆිල්ම් මේකින්) සහ සිනමා අධ්‍යයන (ෆිල්ම් ස්ටඞීස්) කියල කිසිම වෙනසක් ලංකාවෙ නෑ. හැමෝම හැම එකම ඉගෙන ගන්නවා. ඇකඩමික් වැඩෙයි ක‍්‍රියේටිව් වැඩෙයි පැටලෙනවා. අන්තිමට නිර්මාණ කියල එලියට එන්නෙ ඇකඩමික් ලියවිලි.

    ක‍්‍රාෆ්ට් එකක්, ශිල්පයක් කියන අදහසින් සිනමාව උගන්නන කිසි තැනක් තිබුනෙ නෑ. හැමෝම උත්සාහ ගනිමින් හිටියෙ ආර්ට් එකක් උගන්නන්න. ආර්ට් එකක් උගන්නන්න බෑ. ඒක නිර්මාණය වෙන්න  ඕන. ඒත් ක‍්‍රාෆ්ට් එකක් උගන්නන්න පුළුවන්. එතැනින් සමහර විට ආර්ටිස්ට්ලා බිහිවේවි. එහෙම නැතත් දක්ෂ ශිල්පීන් බිහිවේවි. ඒකෙන් හොඳ කර්මාන්තයක් ඇති වේවි. ඒත් අපිට  ඕන වෙලා තිබුණෙ එකපාරටම ආර්ටිස්ට්ලා බිහිකරන්න.

    ලෝකෙ සිනමා පාසැල්වල සිනමාව උගන්නන ගොඩක් අය චිත‍්‍රපටි අධ්‍යක්‍ෂවරු නෙමෙයි. චිත‍්‍රපටි අධ්‍යක්‍ෂණය කරන අයට ඒ අයගෙ නිර්මාණ තියෙනවා කරන්න. සිනමා ගුරුවරු කියල වෙනම පිරිසක් ඉන්නවා ශිල්පීය දැනුම මැදිහත්ව බෙදා ගන්න දන්න. තමන්ගෙ මතවාදය වෙනුවට මතවාද ඔක්කොම මේසෙ උඩට ගේන, නිර්මාණකරනය වෙනුවට තාක්‍ෂණය කියල දෙන, ගුරුවරුන් ඒ අය. තාක්‍ෂණය කියන්නෙ යාන්ත‍්‍රික කොටස විතරක් නෙමෙයි. සිනමාවෙ කාලය අවකාශය කලමනාකරණය කරන හැටි, ඒ හරහා එලියට පේන අදහස්, මේ හැම එකක්ම ඒ විෂයෙ තාක්‍ෂණය. සමහර විට මේ ගුරුවරු කවදාවත් චිත‍්‍රපටියක් හදලා නැති වෙන්න පුළුවන්. මං දන්න කාලෙ පෝලන්තෙ වූජ් (ලෝඞ්ස්) සිනමා පාසැලේ සිනමා අධ්‍යක්‍ෂණ අංශය බාරවෙලා තිබුනෙ එහෙම කවදාවත් චිත‍්‍රපටියක් අධ්‍යක්‍ෂණය කරලා නැති ආචාර්යවරයෙකුට. ඒත් ඒ ශිල්පය උගන්නන එකේදි එයා අතිදක්ෂයි.

    ‘අපි මහන්සි වෙන්නෙ එක දක්ෂ සිනමාකරුවෙක් හදන්න නෙමෙයි. ඒ වෙනුවට දක්ෂ සිනමා තාක්‍ෂණ ශිල්පීන් සිය දෙනෙක් හදන්නයි’ දවසක් එයා මට කිව්වා.

    ඩිජිටල් සිනමා ඇකඩමිය එස්එල්ටීටීඅයි එකේ පටන් ගත්තම මං දැකපු වෙනස තියෙන්නෙ එතනයි. පළවෙනි වතාවට ලංකාවෙ ක‍්‍රාෆ්ට් එක උගන්නන්න පටන් ගත්තා. ධනුෂ්ක පිළිවෙලට සකස් කළ විෂය මාලාවක් ඇතුලෙ සිනමාවෙ ශිල්පීය අංශ ඇත්තට උගන්නන ආරම්භයක් ගත්ත. ඒකෙ පැහැදිලි වෙනස් ප‍්‍රතිඵල ආවා. මෙතෙක් දැකපු කෙටි චිත‍්‍රපටවල තත්වය වෙනුවට ඊට ගව්ගානක් ඉදිරියෙන් වුණු නිර්මාණ බිහිවුණා. කාලෙකට පස්සෙ සිනමාවට වැඩකට ඇති අලූත් පරපුරක් එකතු වුණා.

    දේශපාලන  ඕනකම් උඩ මහින්දගෙ ආණ්ඩුව ඒ කෝර්ස් එක එස්එල්ටීටීඅයි එකෙන් එලියට දැම්මා. ඒ කාලෙ ඒක ස්වභාවිකයිනෙ. යන්න තැනක් නැතුව ඒ ශිෂ්‍යයො එක්ක ඩිජිටල් සිනමා ඇකඩමිය පදනම් ආයතනයට අරන් ගියා. එස්එල්ටීටීඅයි එකේ තිබුණු පහසුකම් වලින් අරුක්කාලක්වත් නැතුව ඇකඩමියෙ වැඩ ආපහු පටන් ගත්ත. අනිත් පැත්තෙන් එස්එල්ටීටීඅයි එකට අලූතෙන් පත්වෙලා ආපු ලොක්කො එතනත් වෙනත් පාඨමාලාවක් පටන් ගත්ත. ඒත් පදනමේ ඇකඩමියෙන් පිටවෙන අයගෙ නිර්මාණ සහ එස්එල්ටීටීඅයි අලූත් පාඨමාලාවෙ නිර්මාණ අතර වෙනස අහසට පොලොව වගේ වුණා.

    කාරණය පැහැදිලියි. ලංකාවෙ පඳුරක් පඳුරක් ගානෙ, කැම්පස් එකක් කැම්පස් එකක් ගානෙ ඇරෙන සිනමා පාඨමාලා වෙනුවට එක ඇත්ත පාඨමාලාවක් බැරි බැරි ගානෙ හරි පටන් අරන් තිබුණ.

    කොයිතරම් ඌනිත විදිහට දකිනවද කියල හිතෙන්න පුළුවන් වුණත් මේ කටයුත්තෙ පූර්ණ ගෞරවය යන්න  ඕන ධනුෂ්ක ගුණතිලකට. ලංකාවෙ වෙන කිසිම කෙනෙකුගෙන් නොදැකපු අවංක උවමනාවක්, කැපවීමක් මේ වෙනුවෙන් එයාට තිබුණ. ඉන්දියාවෙ පූනෙ සිනමා පාසැල එක්ක සංසන්දනය කරමින් ඒ තත්වයේ අධ්‍යාපනයක් මෙහාට ගේන්න ධනුෂ්ක තනියම ලොකු වැඩ කොටසක් කරමින් හිටියා.

    සිනමාව වෙනුවෙන් කැපවීම පැත්තකට තියලා එස්එල්ටීටීඅයි එක විශ‍්‍රාමික සිනමා අධ්‍යක්‍ෂවරුන්ගේ සැඳෑ සමය වෙනුවෙන් කැප වුණා. යහ පාලන වෙනසෙන් පස්සෙ එතනට පත්වුනෙ ධර්මසේන පතිරාජ.

    මේ වෙද්දි එස්එල්ටීටීඅයි එකේ හැම තාක්‍ෂණ උපකරණයක්ම විනාස වෙලා නැත්තං හොරකම් කරලා. ජර්මන් ආධාර මත සිනමා සහ රූපවාහිනී තාක්‍ෂණ දැනුම බෙදා දෙන්න කියල පදනමට තෑගි කරපු මේ ආයතනය මේ වෙද්දි පුද්ගලික සමාගමක්. කිසිම ඵලදායී නිෂ්පාදනයක් නැතුව දූෂණය වෙනුවෙන්ම ඇරිලා. බීබීසී වගේ අන්තර්ජාතික ආයතන වලින් පවා ගෙන්නලා ඉගැන්වීම් කරපු මේ ඓතිහාසික සිනමා පාසැල අද නිකම්ම හොර තිප්පොලක්.

    නැවත එස්එල්ටීටීඅයි එක පදනමට පවරන්න කියල නුග ගහ යටින් පටන් ගත්ත අරගලය ලංකාවෙ සිනමා අධ්‍යාපනය වෙනුවෙන් නැගෙන කැරැුල්ලක් වෙන්නෙ මේ විදිහටයි. නීත්‍යානුකූලව කොහොමත් පදනමට අයිති මේ ගොඩනැගිල්ල ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ගැසට් වෙන්නෙ කොහොමද කියන එක නීතියෙන් විසඳාගත යුතු හිනා යන ප‍්‍රශ්නයක් වුණත් මේ පරිශ‍්‍රය නැවත ඩිජිටල් ඇකඩමියට ලබා දීම මේ වෙලාවෙ රටේ සිනමා අධ්‍යාපනය වෙනුවෙන් ගන්න පුළුවන් වැදගත්ම පියවරක්.

    එක විදිහකට සාර්ථක සිනමා අධ්‍යාපන ප‍්‍රවේශයක් ලබා දීමේ හැකියාව මේ ඇකඩමිය විසින් ඔප්පු කරලා තියෙනවා. ඒක අතිවිරල සක්සස් ස්ටෝරි එකක්. ඒකට අවශ්‍ය පහසුකම් සපයා දෙමින් මේ අධ්‍යාපනය තවත් පුළුල් කිරීමයි වෙන්න  ඕන. අනිවාර්යෙන්ම අන්තර්ජාතික සිනමා පාසැලක් එක්ක සම්බන්ධ වෙමින් අපේ සිනමාව ගැන සිතීම දූපතෙන් එලියට අරන් යන්න මේ හරහා පියවර ගන්න  ඕන. නැත්තං ටික කාලෙකින් මේ පාඨමාලාවත් අපේ රටේ සීමිත මතවාදී අධ්‍යක්‍ෂවරුන්ට නතු වෙනවා.

    එස්එල්ටීටීඅයි එක නීත්‍යානුකූල ලෙස නැවත පදනමට පවරා ගැනීම කියන්නෙ දේපොල ප‍්‍රශ්නයක්. ඒත් ලාංකේය සිනමා අධ්‍යාපනය වෙනුවෙන් එස්එල්ටීටීඅයි එක ඩිජිටල් ඇකඩමියට පවරා දීම කියන්නෙ ඇත්ත සටන් පාඨයක්.

    මේක සිනමාව ගැන අල්පමාත‍්‍ර හෝ හැගීමක් ඇති  ඕන කෙනෙක් හිටගන්න තැනක්. මීට විරුද්ද වෙන්නෙ තමන්ගේ හිතවත්කම් පාවිච්චි කරමින් තවදුරටත් තත්වය හා බලය තියාගන්න දගලන පරණ ආණ්ඩුවෙ ඉතුරු කෑලි බව වටහා ගන්න අමාරු නෑ. ඒත් තේරුම්ගන්න අමාරු ධර්මසේන පතිරාජ එතන සභාපති විදිහට තාම මොකද කරන්නෙ කියන එකයි.

    ලංකාවෙ සිනමාවෙ ප‍්‍රවීණයෙක් වගේම ජනතාවාදී අරගලවලත් ඉදිරියෙන්ම හිටපු පතීට මේ ආයතනය යලි පවරා දීමේ අවශ්‍යතාව නොපෙනෙන්නෙ කොහොමද? ජනවාරි 08 සටනේ පවා පුරවැසි බලය වෙනුවෙන් සටන් වැදුණු පතී අන්තිමට තමන්ගෙ වැටුප හෝ පහසුකම් පිනිස දූෂකයන් රකිමින් ඉන්න තැනකට ඇද වැටුනද? හැමදාම වගේ ලංකාවෙ සිනමාවට ගල පෙරලන්න අදත් ඉදිරිපත් වෙන්නෙ සිනමාකරුවෙක්මද?

    එස්එල්ටීටීඅයි ආයතනය යලි පදනම යටතට පැවරිය යුතුයි කියන එක මේ ආයතන ඉතිහාසය කියවන  ඕන කෙනෙකුට පැහැදිලි කාරණයක්. ඒ වගේම මේ ආයතන දෙක වෙන් කිරීම පිටිපස්සෙ තියෙන පටු ජඩ දේශපාලන උවමනාවන් පවා ඉතාම පැහැදිලියි. දූෂිත ආණ්ඩුවක් ගෙදර යවලා ජනතාව විසින් යහ පාලන ආණ්ඩුවක් පත් කර ගත්තේ ආයතනගත මෙවන් දූෂණ වලට එරෙහිව කටයුතු කරන්නයි. විශේෂයෙන්ම පදනම් ආයතනය තියෙන්නෙත් කෙලින්ම ජනාධිපති යටතේමයි.

    එතකොට කිසිම අකාරයකින් වෙනත් ප‍්‍රතිපාදන නොලබන, රජයේ ව්‍යවස්ථාපිත ආයතනයක් පවා නොවෙන එස්එල්ටීටීඅයි එක ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතට වැටෙන්නේ කොහොමද? කාගෙ උවමනාවටද? ඒක දේශපාලන ප‍්‍රශ්නයක්.

    මේ කිසි දෙයක් තේරුම් නොගන්නට තරම් පතී ළාබාලද? වහාම සිනමා අධ්‍යාපනය වෙනුවෙන් මේ ආයතනය ඩිජිටල් ඇකඩමියට භාර දී ඒ හරහා වඩා ක‍්‍රමවත්, දියුණු සිනමා පාඨමාලාවක් බිහිකරන්නැයි ඉල්ලා සිටිමින් එස්එල්ටීටීඅයි සබාපතිකමෙන් ඉල්ලා අස්වීමට පතීට බැරිවෙන්නෙ ඇයි? සදාචාරාත්මක ප‍්‍රශ්නෙ ඒකයි.


    චින්තන ධර්මදාස

  • මං වල් නෑ

    මං වල් නෑ

    සේයා සදෙව්මි කියන පුංචි දැරිය දූෂණය කරලා මරා දාපු එක ලංකාවෙ ලොකු කලබැගෑනියක් ඇති කළා. මේ දූෂකයාගේ අහවල් එක කපන්න  ඕන කියන තැන ඉඳන් රටේ මරණ දඩුවම නීතිගත කිරීම දක්වාම මේ ප‍්‍රශ්නෙ දුර දිග ගියා. කිසි දෙයක් හිතලා බලන්නෙ නැතුව මෛත‍්‍රීපාල සිරිසේනත් මරණ දඩුවම පනවන්න එක`ග වුණා. රටේ විධායක ජනාධිපතිවරයා මේ විදිහට රැුල්ලකින් ඇළලී යන එක එක්තරා විදිහකට භයානකයි. රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු හැටියට ජනතාව එක්ක භාවාතිෂය සම්බන්ධයකට නොගිහින් තාර්කික පුළුල් දැක්මක් ඇතුව ඉන්න එක අත්‍යාවශ්‍යයි.

    දැනට බුද්ධිමය සංවාද ඇතුලෙ යම් පමණකට පාලනය කරගෙන ඉන්න මේ මරණ ද`ඩුවම ක‍්‍රියාත්මක කිරීම කියන ගෝත‍්‍රික නීති නැමියාව මොකක් හරි විදිහකට මේ ඇසිල්ලෙම දෙවෙනි අපරාධයක් වුණොත් පුපුරා යන්න පුළුවන්. මිනිස්සුන්ගෙ ත‍්‍රිල වෙනුවෙන් ම්ලේච්ඡු නීතියක් ආපහු කරලියට එන්න පුළුවන්. පෝරකය ක‍්‍රියාත්මක වන කිසිම රටක පුරවැසියො විදිහට නිදහසේ හිතන්න පුළුවන්කමක් නෑ. නිතරම පාපකාරී හෘදය සාක්ෂියක් ඒ රටේ හොල්මන් කරන්න ගන්නවා. විශේෂයෙන්ම අපේ වගේ දූපතක. සිංහල බෞද්ද ගිල්ටියත් එක්ක.

    මේ විදිහට ළදරුවන්ට අතවර කිරීම, දූෂණය කිරීම කියන තත්වය දෙවිදියකට වෙන්න පුළුවන්. එකක් පීඩෝෆීලියාව ගියන රෝගය නිසා. අනෙක නැති බැරි කම නිසා. අපේ වගේ රටක ගොඩක් වෙලාවට වෙන්න ඉඩ තියෙන්නෙ දෙවෙනි එක. රටේ බහුතරයක් ලිංගික නැතිබැරිකමෙන් පෙළෙනවා. මේ ගැන ධනංජය කරුණාරත්න හොඳ පෝස්ට් එකක් දාලා තිබුණ.

    ”මෙම ඡුායාරූපය (ගණේමුල්ලේ දූෂණයට සම්බන්ධ වූ මැදිවියේ පුද්ගලයාගේ ඡුයාරූපයක්) දෙස බැලීමේදී පැහැදිලිවන්නේ මේ මිනිසා යම් පහල පංතික සාම්ප‍්‍රදායික ගැමි පසුබිමක නිෂ්පාදනයක් බවයි. දැන් අප ඉදිරියේ ඇති ප‍්‍රශ්ණය වන්නේ මේ මිනිසා සාමාන්‍ය මිනිසකු ලෙසට තම ලිංගික අවශ්‍යතාවය සපුරා ගන්නේ කෙසේද යන්නයි. අපේ බොහෝ ගැහැණුන් දන් නැති උනාට මේ වයසේ  යම් සමාජ ආර්ථික තත්වයක් ඇති කොළඹ වැනි නගර පැත්තේ යන පිරිමි අවම වශයෙන් මසාජ් පාලර් එකකටවත් රිංගාගෙන වැඬේ කර ගනියි.

    ඊට අමතරව ගුරුවරයාගේ සිට යම් පාලන බලයක් ඇති වෘතිකයින්ටද තම ගොදුර සූක්ෂමව කොටුකර ගැනීමේ ක‍්‍රම ඇත. මොහු සමාජමය හා සංස්කෘතික වශයෙන් අතිශය අසරණයි. එම අසරණ කල සංස්කෘතිය ගොඩ නැගුවන් හා පවත්වාගෙන යන්නන් විසින් මොහුට සලකා ඇත්තේ හැඟීම් නැති තිරිසනෙකුට සේය. මූලික වශයෙන් මොහුට ජීවත්වීමට ලබාදී ඇත්තේ කෑමට යමක්, යම් වහලයක් හා ඇඳීමට යමක් පමණි.

    සාමාන්‍යෙයන් මේ අපි සතුන්ට පවා ලබා දෙන ටිකයි. ජීවත්වීමට ප‍්‍රමාණවත් ආධ්‍යාත්මික හා ලිංගික පෝශණයක් මොහුට නැත. බොහෝ විට මොහුගේ  විනෝදාංශය මත්පැන් පානයයි. මේ කී තත්වය තුල බිහිවීමට ඉඩ ඇත්තේ සතෙකුට ආසන්න ‘විකෘති‘ මිනිසෙකි. සමාජයම ඔවුන්ට කියන්නේ  ‘තිරිසනුන්‘ කියාය”

    පළවෙනි හේතුව නිසා මේ අපරාධ සිද්ද වෙනවා නම් ඒ ගැන මනෝ ප‍්‍රතිකාර පැත්තෙන් මිස නීතියෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. මේ මිනිස්සුන්ට මරණ ද`ඩුවම යෝජනා කිරීමම අන්තිම අසාධාරණයි. ළමා අපචාරිකයන්ගෙන් 70%ක්ම කුඩා අවධියේ ඒ වගේ අපචාරයකට ලක්වුණු අසරණයො. සේයාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වෙලා ඉන්න කොණ්ඩයාගෙ ළමා කාලය අනිවාර්යෙන්ම අපිට හිතාගන්න වත් බැරි තරම් බිහිසුණු එකක්. කවදාවත් ඒක සමාජයට චෝදනාවක් විදිහට ගේන්න කොණ්ඩයාට පුළුවන්කමක් නෑ. ඒක ස්වයං විරෝධයක්, ප‍්‍රතිචාරයක් විදිහට එයාගෙ ශරීරය විසින් වනසතෙක් විදිහට මුදාහරිමින් ඉන්නවා.

    මේ විදිහටයි පීඩෝෆයිල් ප‍්‍රවණතාව දවසින් දවස වැඩිවෙන්නෙ. අපි ළමා අපචාරයක් වෙනුවෙන් මරා දාන්නෙ තවත් අපචාරයට ලක්වුණු දරුවෙක්.

    මේ තත්වය පාලනය කරන්න ඇමරිකාව වගේ රටවල් හඳුන්වා දීපු ‘මේගන් ලෝ’ වගේ නීති පැනවීම් පවා අසාර්ථක වෙලා තියෙනවා. හඳුනාගත් ළමා අපචාරිකයෙකුගේ ඡුායාරූප, විස්තර, ලිපිණය ආදී සියල්ල මහජනතාවට, විශේෂයෙන් අපචාරිකයා ජීවත්වන ප‍්‍රදේශය අවට අයට ලබා දෙමින් අපචාරිකයන් ඔවුන්ගේ පවුල් වලින් පවා කොන්වී හුදකලා වෙන තත්වයක්  මේ නීතිය ඇති කළා. අපචාරිකයාට කෙළවා දමා ඒ අයගෙන් සමාජය ආරක්‍ෂා කිරීම ඒකෙ අරමුණ වුනත් ඒකෙන් නොහිතපු විදිහට ළමා අපචාර තවත් ඉහළ යන්න පටන් ගත්ත. අපචාරමය හැසිරීමක් කියන්නෙ යම් සමාජ තත්වයක අර්බුදයක් කියන එක තේරුම් ගන්න  ඕන. සමාජ මනෝ විද්‍යාත්මක ප‍්‍රවේශයකින් මේ ප‍්‍රශ්නය කියවා ගන්න  ඕන.

    අනිත් පැත්තට මේ විදිහෙ ප‍්‍රවෘත්ති මාධ්‍ය හරහා ජනප‍්‍රිය වීමෙන් අනිවාර්යක් ලෙස මේ වගේ අපචාර රැුල්ලක් නිර්මාණය වෙනවා. පීඩෝෆීලියාවෙන් පෙළෙන අයට, සමහර විට සැ`ගවුණු පීඩොෆයිල්ස්ලට (ලේටන්ට් පීඩෝෆයිල්) මේ ප‍්‍රවෘත්තිය දරුණු උත්තේජනයක් විදිහට වැඩ කරනවා.

    පීඩෝෆීලියවෙන් පෙළන හැමෝම මිනීමරුවො හෝ ප‍්‍රචණ්ඩ අපරාධකාරයො නෙමෙයි. පීඩෝෆීලීයාවේ සෞන්දර්යාත්මක ප‍්‍රවේශයකුත් තියෙනවා. නබකොව්ගෙ ලොලීටා කියන්නෙ පීඩෝෆයිල් රොමාන්තික කතාවක්.

    ඒත් පීඩෝෆීලීයාව වගේ ක්ලැසිකල් තත්වයක් ලංකාවෙ තාම ඇතිවෙලා තියෙනවා කියල මට හිතෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට ලංකාවෙ ලිංගික අපරාද සිද්ද වෙන්නෙ අර දෙවෙනි කාරණය වුණු නැතිබැරිකම හින්ද.

    හැම පැත්තකින්ම ලිංගිකත්වය සහ ආශාව වාරණය කිරීම හරහා මේ ආතතිය දුර්වල පුංචි දරුවන්ගෙ පිටින් යනවා. මේ විදිහෙ ඛේදවාචක අවම කර ගැනීමේ ඇත්ත උවමනාවක් තියෙනවා නම් ගණිකා වෘත්තිය නීතිගත කිරීම වගේ වගේ දියුණු සටන් පාඨ ගේන්න  ඕන. ගණිකා නිවාස වැටලීම් ගැන තලූ මර මර වාර්තා කරන පත්තරේම ඊළ`ග පිටුවෙ සේයාගේ මරණය ගැන කණස්සලූ වෙන එක විහිළුවක්.

    මෙතනදි මේ අපරාධයට වඩා මාධ්‍ය හැසිරීම තේරුම් ගන්න වැදගත්. සේයා හරහා මාධ්‍යකරණයේ වැදගත් අඳුරු පැතිකඩක් නිරුවත් වෙනවා. සේයාගේ මරණය ඇත්තටම රටේ කේන්ද්‍රීය ප‍්‍රශ්නයක් වෙන්නෙ කොහොමද? කොයිතරම් අමුනුස්සයි වගේ පෙණුනත් මේ තත්වය තේරුම්ගන්න නම් ඒ තාර්කික ප‍්‍රශ්නෙ අපි අපෙන් අහන්න  ඕන.

    රටේ ළමයෙක් දූෂණය කරලා මරලා දාන පළවෙනි අවස්ථාව නෙමෙයි මේක. අනෙක් අතට අපි ළමයි වංගෙඩි වල දාලා කොටන රාජ සම්ප‍්‍රදායක් උරුම ජාතියක්.  රටේ හැමතැනම හැම පැයකම වගේ ළමයෙක්, කාන්තාවක් දූෂණය වෙනවා. එහෙම නෙමෙයි කියල හිතෙනවා නම් අපි ඉන්නෙ අපි ගැන සංස්කෘතික මිත්‍යාවක. ඒ අතරින් කීපයක් විතරක් දිනපතා පත්තර වල තුන්වෙනි පිටුවෙ විකිණෙනවා. ඒත් සේයාගේ කතාව තරම් ඇවිළිලා යන්නෙ නෑ. සේයා අතිවිශාලනය වීම හරහා කියවෙන්නෙ මොකක්ද?

    මාධ්‍ය හරහා අතිවිශාලනය වෙන හැම අපරාධයක් යටම තව ගොඩක් අපරාධ වැලලිලා යනවා. උදා විදිහට බරපතල ස්ත‍්‍රී දූෂණයක් විදිහට අපිට ඉතිහාසයේ මතක මනම්පේරි විතරයි. එතකොට දූෂණය කරලා මරා දාපු නමක්, ගමක්, තැනක් නොදන්නා තවත් ගොඩකගේ ඉතිහාසය මේ හරහා මැකෙනවා. එක හුදකලා සිද්ධියක් විතරක් උඩට ඉස්සෙනවා. මේ තෝරා ගැනීමම තත්වය විකෘති කිරීමක්.

    අනෙක් පැත්තට මාධ්‍ය හරහා මේ දැරියගේ නිරුවත ප‍්‍රදර්ශනය වුණා කියල දැවැන්ත විරෝධයකුත් ආවා. ඒ වෙනුවෙන් ඇතැම් මාධ්‍ය වලට චෝදනා කරමින් තවත් මාධ්‍ය සදාචාරවාදී වුණා. මේ ලියන දවසට පහුවෙනිදත් සදාචාර සම්පන්න මාධ්‍ය වාර්තාකරණයක් ගැන ලොකු සංවාදයක් පැවැත්වෙන්න නියමිතයි.

    ඇත්තටම මාධ්‍ය වලින් මේ නිරුවත හෝ ප‍්‍රවෘත්තිය වාර්තා කිරීම වැරැුද්දක්ද? නැත්තං අනිවාර්යයක්ද?
    ප‍්‍රශ්නය වෙන්න  ඕන මාධ්‍ය ඇත්තටම කරමින් ඉන්නෙ මොකක්ද කියන එකයි. මාධ්‍ය තවදුරටත් ප‍්‍රවෘත්ති වාර්තා කරන්නෙ නෑ. සේයා මරා දැමීම වගේ ප‍්‍රවෘත්තියක් කොටසින් කොටස මේ තරම් විස්තර ඇතුව වාර්තා කිරීම වැදගත් වෙන්න පුළුවන් කාටද? වෙන විදිහකට කල්පනා කළොත් සේයාව දූෂණය නොකර මරා දැම්මා නම් මේ ප‍්‍රවෘත්තිය මේ තරම් දුර යාවිද?

    මේ අවධියේ මාධ්‍ය විසින් ඉටු කරන වැදගත්ම කාරණය ප‍්‍රවෘත්ති වාර්තාකරණය නෙමෙයි. කාටවත් තවදුරටත් ප‍්‍රවෘත්ති අවශ්‍ය නෑ. ඒ වෙනුවට මාධ්‍ය විසින් කරන වැදගත්ම දේ වෙන්නෙ ‘ජස්ටිස් ඉරොටිසිසම්’ නැත්තං යුක්ති ශෘංගාරය බෙදා හරින එකයි.

    මේක හරියටම බස් එකක ජැක් ගහලා කවුරු හරි අහුවුනාම වගේමයි. එතකොට මුලූ බස් එකම අර ජැක් ගහපු එකාට දෙකක් අනින්න ඉදිරිපත් වෙනවා. සමහර විට මෙහෙම ඉස්සරහට පනින උන් ඊට අන්ත ස්ත‍්‍රී දූෂකයො. එතනදි ක‍්‍රියාත්මක වෙන්නෙ යුක්ති ශෘංගාරය. යම් ලිංගිකමය අකටයුත්තකට විරුද්ධව මැදිහත් වීම හරහා සදාචාර සම්පන්න ලෙස තමන්ගේ ප‍්‍රචණ්ඩත්වය තෘප්තිමත් කර ගැනීම. දූෂකයාගේ අරක කපා දැමීමේ පටන් එල්ලා මැරීම දක්වා ඇවිලිලා ගියේ මේ ශෘංගාරයයි. ෆේස් බුක් පිටුවල වැටුණ එල්ලා මරන තොණ්ඩුවෙ ප්‍රොෆයිල් පික්චර් හරහා බෙදා ගත්තෙ මේ ඉරොටිසම් එකයි. අන්තිමට ජනාධිපති පවා මේ ශෘංගාර කැරැුල්ලට අවනත වුණා.

    හැමෝම ළමා අපචාරයට එරෙහිව තමන්ගේ යුක්තිය වින්දනය කරන්න ඉදිරිපත් වුණා. මේ යුක්ති ශෘංගාරයෙන් මිදිලා සේයාගේ මරණය ගැන කිසිම සංවාදයක් කරන්න බෑ. එක එක මට්ටම් වලින් ජනතාව, බුද්දිමත්තු තමන් සදාචාර සම්පන්න වෙමින් යුක්තිය වින්දනය කරනවා. පත්තර පිටු පිරෙන්න ලියවෙන අපරාධ ප‍්‍රවෘත්තිවල ඇත්ත උවමනාව මේකයි. සදාචාරය යළි තහවුරු කරන්න උත්සාහ දරන සංවාදවල උවමනාවත් ඒකමයි.

    සිරියානු දරුවාගේ මරණය හරහා ලෝකෙම පැතිර ගිය උන්මාදයත් මේ හා සමානයි. ඉතියෝපියාවෙ, සෝමාලියාවේ බඩගින්නෙ දවස ගානෙ තොග පිටින් මැරෙන දරුවන් ගැන වගේ වගක් නැති ලෝකයම මේ එක දරුවෙකුගේ මරණය හරහා සාක්ෂාත් කර ගන්න උත්සාහ ගත්තෙ මොකක්ද?

    මාධ්‍ය ජනතාවට කියන්නෙ වැදගත් දේවල් නම් මාධ්‍ය හරහා කියන්න අවශ්‍ය ප‍්‍රවෘත්තිය වෙන්නෙ ඉරාකයේ බල අර්බුදයත් එක්ක අයිඑස්අයිඑස් ඇතිවීම සහ ඒ නිසා විශාල ජන ප‍්‍රමාණයක් අවතැන් වෙනවා, ඒ අයගෙ ජීවිත අවදානමට ලක්වෙනවා කියන එකයි. ඒ නිසා වහාම බටහිර රටවල් පළමු කොට, ඔවුන්ට අවශ්‍ය තරම් සම්පත් ප‍්‍රමාණයක් තිබීම නිසාත්, දෙවෙනුව අයිඑස්අයිඑස් නිර්මාණය වීම ගැන බටහිර රටවල ක‍්‍රියාකලාපයන්ද වගකිව යුතු වීම නිසාත් කියන කාරණා දෙක මූලික කරගෙන මේ සරණාගතයන් වෙනුවෙන් මැදහත් විය යුතුයි කියන එකයි. මාධ්‍ය වලින් මේ කතාව කිව්වට කිසි කෙනෙක් ගනං ගන්නෙ නෑ. ඒත් මේ සිරියානු දරුවාගේ සිරුර මුලූ ලෝකෙම එකපාරට මේ වෙනුවෙන් මැදිහත් කරනවා. බටහිර රටවල ජනතාව තමන්ගෙ රටවල රජයන්ට පවා බලපෑම් කරන්න ඉස්සරහට එනවා. කොහොමද මේක වෙන්නෙ? මේකට බලපාන සරල ප‍්‍රධාන කාරණා තුනක් තියෙනවා.

    1. මේ ඡුායාරූපය ඉන්නෙ ළමයෙක්.
    2. මේ ළමයා ඉන්නෙ පොඩි එකෙක් නිදාගෙන ඉන්න විදිහට. ඒත් ඒ ළමයා මැරිලා.
    3. ඒ ළමයා ඉන්නෙ තනියම.

    ළමයි තුන්දෙනෙක් මැරිලා ඉන්නවට වඩා එක ළමයෙක් මැරිලා ඉන්න එක ප‍්‍රබලයි. මේ උත්සන්න වුණු හැ`ගීම කිසි පදනමක් ඇති එකක් නෙමෙයි. මේ වැඩ කළේ ඒ ෆොටෝ එකේ තිබ්බ ආර්ටිස්ටික් අගයක් විතරයි. ඒ උඩ ජස්ටිස් ඉරොටිසම් තත්වයක් නිර්මාණය වුණා. මිනිස්සු තමන් සදාචාර සම්පන්න වීමේ තෘප්තිය විඳින්න පොරකෑවා.

    ලංකාවෙ දැරියගේ ඡුායාරූපය පළ කිරීම වැරදියි කියන අය තේරුම් ගන්න අවශ්‍ය කාරණය වෙන්නෙ මේ තත්වය නිර්මාණය කරන්න ඒ ඡුායාරූපයේ ඇති අවශ්‍යතාවයයි.
    1. ඒ ඡුායාරූපෙ හිටියෙත් අහිංසක දැරියක්
    2. ඒ ළමයා හිටියෙ නිරුවතින්
    3. එයාගෙ බෙල්ල මොකක්ද එකකින් හිර කරලා තියෙනවා.

    මේ ඡයාරූපය වහාම යුක්තිය ඉටු කරන ශෘංගාරය ඇවිස්සීමේ සියලූ අංගෝපාංග වලින් සන්නද්ධයි. සේයා ගැන රටේ ඇතිවුණු යුක්ති ප‍්‍රබෝධයෙන් වැඩි කොටසක් පත්තු වෙන්නෙ මේ ෆොටෝ එක හින්ද. ඒ ෆොටෝ එක පළකිරීමේ හරි වැරැුද්ද ආදිය හරහාත් නැවත නැවත පෙන්නන්නෙ ඒ ෆොටෝ එකමයි.

    එතකොට දරුවාගේ නිරුවත් රූප පළ නොකරපු රාවය වගේ පත්තරයක් හොඳ වෙලා මේ රූප පළ කරපු පත්තර නරක් වෙනවද? මේ ප‍්‍රවෘත්තිය වෙනුවෙන් සදාචාර සම්පන්න ප‍්‍රවේශයක් ගත් මාධ්‍යයන් සහ එලිපිට සියල්ල අළෙවි කළ මාධ්‍ය යන දෙකම වැඩකරන්නෙ එකම ශෘංගාරයක් වෙනුවෙන්. කිසිම මාධ්‍යයකට තවදුරටත් තමන්ට පැවරිලා තියෙන සමාජ වගකීම ඉටු කිරීමෙන් විතරක් පවතින්න බෑ. අවධානය දිනා ගැනීම වෙනුවෙන් ඒ අයට සිද්ද වෙනවා අඳුරු සමාජ මනෝභාවයන් එලියට අදින්න. අනිත් අයට සිද්ද වෙනවා එහෙම කරන අය විවේචනය කරමින් පවතින්න.

    මේ රූප පළකල වෙබ් අඩවිය දැනුවත්ව හෝ නොදැනුවත්ව මේක හරියට කිව්වා. ඒ අය විවෘතව ප‍්‍රකාශ කළා අපි කැඩපතක් විතරයි. ඔබ දකින්නෙ ඔබේ පිළිබිඹුවයි කියල.

    ඒ වගේම මේ ශෘංගාරයේ සම්පූර්ණ චමත්කාරය අත්කර දෙන්නත් මේ මාධ්‍ය වැඩ කරනවා. උදා විදිහට ගංජා හෝ මත්ද්‍රව්‍ය සම්බන්ධයක්, නිල් චිත‍්‍රපට නැරඹීමක් වගේ අතුරු කතාවකුත් මෙතනට අත්‍යාවශ්‍යයි. එතකොට තමන් පරිපූර්ණ යුක්තියක් වෙනුවෙන් පෙනී ඉන්නවා කියන හැ`ගීම මේ ප‍්‍රවෘත්තිය හරහා ක‍්‍රියාත්මක ශෘංගාර අනුගාමිකයන්ට ලැබෙනවා.

    ප‍්‍රවෘත්තිය විවිධ දිශාවලට ගමන් කරවීම හරහා මේක උපරිම ආකාරයකින් පුළුවන් තරම් උපරිම කාලයක් ලබා දෙන්නත් මාධ්‍ය කැප වෙනවා. සේයාගේ සිද්ධියේ නම් මුලින්ම සේයාගේ පියා, ඊට පස්සෙ නිල් චිත‍්‍රපට ළ`ග තබා ගත් පාසැල් ශිෂ්‍යයෙක්, මේ විදිහට විවිධ අය නිරුවත් කරමින් මේ යුක්ති ශෘංගාරය සංතර්පණය විශාල ව්‍යාපෘතියක් වෙනවා.

    සදාචාරවාදී මාධ්‍ය සම්ප‍්‍රදායක් වෙනුවෙන් කතිකාවම ජනතාව නොමග යැවීමක්. එහෙම මාධ්‍ය සම්ප‍්‍රදායක් ලෝකෙ නෑ. ඒ වෙනුවට තමන් තෘප්තිමත් කරමින් ඉන්න සැබෑ ජනතා ආශාව, ශෘංගාරය මාධ්‍යවේදීන් විසින් තේරුම් ගන්න  ඕන.

    මාධ්‍ය සහ එහි අනුගාමික යුක්ති ශෘංගාර ජනතාව හුදකලා පීඩෝෆීලියා රෝගියෙකුට වඩා දරුණු විදිහට සමාජයට සහ රටකට අහිතකර වෙන්න පුළුවන්. විධායක ජනාධිපතිවරයෙක් පවා මේ රෝගයේ කොටස්කරුවෙක් වෙන්න පුළුවන්.

    (ස්ටෙෆාන් සෙබස්තියන් සමග පැවැත්වූ සංවාදයක් ඇසුරිනි)


    චින්තන ධර්මදාස

  • අයියෝ හැමණෙනවා!

    අයියෝ හැමණෙනවා!

    ජවිපෙට මන්ත‍්‍රී ආසන දහයක් විතර ආපු නැති එක ගැන ලොකු කතා බහක් ආවා චන්දෙන් පස්සෙ. ආසන ගාන ටිකක් වැඩි වුණාට ඒක අපේක්‍ෂිත ගානට ළං නොවුණු එකයි අවුල වුනෙ. එතකොට අපේක්‍ෂිත ගාන කීයක් විතර වෙන්න ඇද්ද? මං හිතාගෙන හිටියෙ ජවිපෙ ආසන පහලොවකට ළං වෙන්න ගනීවී කියල. ඒ තරං ලොකු ප‍්‍රබෝධයක් සද්දයක් සහ පිරිසක් ජවිපෙ වෙනුවෙන් හිටියා. ඒත් අන්තිමට ප‍්‍රතිඵල බලාපොරොත්තු කඩකරවන සුළුයි. මොකක් වෙන්න ඇද්ද?

    ලේසිම විදිහට අපි නැවත නැවත ජනතාව කියල හයිපොතිසීසයක් ගැන එක එක කතා කියනවා. විදර්ශන පවා මං දැක්කා ජවිපෙට වෙච්ච දේ ගැන වැසිකිලියක පිනා ගිහින් වීඩියෝ එකක් කරලා තියෙනවා. දේශපාලනය බබාද? විදර්ශන සිප් එක දදා අහනවා.

    මට හිතෙන්නෙ ජවිපෙ ලොකු ජයග‍්‍රහණයක් ලැබුවා කියල. ප‍්‍රශ්නෙ තියෙන්නෙ අපි ඒක ලබපු මන්ත‍්‍රී ආසන ගණන එක්ක කරට කර මනින්න හදන එක. ඒ වෙනුවට ජවිපෙට ආසන අඩුවීම ගැන ආපු දැවැන්ත පශ්චත්තාපය හෝ උන්මාදය කියා පාන්නෙ ජවිපෙ අත්පත් කරගෙන සිටින ශක්තියේ තරම. ඒක චන්ද වලින් ප‍්‍රකාශ නොවුණා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම උග‍්‍ර විදිහට දෙපාර්ශ්වයක් අතර ධ‍්‍රැවීකරණය වුණු චන්දෙකදි තුන්වෙනි පාර්ශ්වයක් චන්ද කඩණයක් විදිහට පාවිච්චි වෙනවා. එතනදි ඒ තුන්වෙනි පාර්ශ්වයෙ සැබෑ වටිනාකම් හෝ ඔරිජිනලිටි එක වැඩ කරන්නෙ නැතුව යනවා. ඒ අනුව ජවිපෙට චන්ද අඩුවීම තේරුම් ගන්න ලේසි තත්වයක්. ඒක කොහෙත්ම ජනතාවගේ ආබාධයක් නිරූපණය කරන තැනක් නෙමෙයි.

    ජවිපෙ මේ චන්දෙදි ලොකු දුරක් ආවා. ලොකු විභවයක් ඇති කළා. ජවිපෙ විසින් ගොඩනගා ගත්ත අලූත් පෞර්ෂය හරියට විද්‍යාමාන වෙන්නෙ ඊළ`ග චන්දෙකදි කියලයි මං හිතන්නෙ. විභව ශක්තියක් චාලක ශක්තියක් බවට පෙරලීමේ නවය වසරෙ විද්‍යා නියමය වගේමයි.

    ජවිපෙ පහුගිය කාලෙ ඇතුලෙදි උග‍්‍ර වෙනස්කම්වලට මුහුණ දුන්නා. හරියට කියනවා නම් ජවිපෙ ගැමි මූලය නාගරික තැනකට විතැන් වෙන්න පටන් ගත්තා. විදර්ශන ඇතුලූ ජවිපෙට හිනාවෙන වම්මු නොකියන ඇත්ත කතාව ඒක. මට අනුව ඒක තමයි වැදගත්ම වෙනස. ශරීරය වෙනුවට මනස, සවිඥාණක බව, සංස්කෘතිය වගේ තැන් ගැන ජවිපෙ වැඩියෙන් උනන්දු වුණා. කන්න තියෙන වී ඇටයට වඩා අහන්න තියෙන සංගීතය ගැන උනන්දු දියුණු මානවයෙක් ජවිපෙ ඇතුලෙ නිර්මාණය වෙන්න ගත්ත. පෙරටුගාමී කෑල්ල එතනින් කැඩිලා යන්න හේතුවත් ඒක. නැවත නැවත කැලය, සටන සහ විප්ලවය කියන බොරුව ඇතුලෙ වඳවෙලා යන්න කැමති පිරිස ජවිපෙන් අයින් වුණා. නගරය විසින් ජවිපෙ දේශපාලනය බාර ගත්තා.

    සෝමවංසගෙන් අනුරට විතැන් වෙන නායකත්වයේ වෙනස කියන්නෙ මේකයි. අශිෂ්ට ගැමියා වෙනුවට සවිඥාණක පුරවැසියා කියන තැනට දේශපාලනය ෆෝකස් කිරීම. මේ පාර ජවිපෙ වටා ගොඩනැගුණු කතිකාව ඒකයි. විවිධ ඇකඩමියානුවන්, ක‍්‍රියාකාරිකයන් විසින් ජවිපෙ වටා නිර්මාණය කළ අලූත් ධාරිතාව මේකයි.

    මේ රි-පොසිෂන් වීම කියන එක පක්ෂයක දරුණු තැනක්. ගොඩක් වෙලාවට දරුණු ඛාදනයන් ඇති වෙන්න පුළුවන්. ඒත් ජවිපෙ ඒක ඉතාම සුමටව කරගන්න තරමට වාසනාවන්ත වුණා. මන්ත‍්‍රී ආසන තුනේ ඉඳන් හය දක්වා පොඩි හෝ වැඩිවීමක් ඇති කරගන්නත් පුළුවන් වුණා. ඒ මදිවට ආසන පහලොවක් පමණ ආපු නැති එක ගැන විශාල ජන අවුලක් නිර්මාණය වුණා.

    ජවිපෙ ප‍්‍රවේශම් විය යුතු තැනත් මෙතනයි. නැවත ආපහු හැරෙන්න ලේසියි. ඒත් වැදගත් වෙන්න ඉස්සරහට ඊළ`ග අඩිය තියන එකයි. ජවිපෙ වෙනුවෙන් කතා කරපු, පෙළ ගැහුණු සියලූ බුද්දිමය, නිර්මාණාත්මක පාර්ශ්වයන්ට තියෙන වගකීම ඒ වෙනුවෙන් ජවිපෙ හා අත්වැල බැඳ ගැනීමයි. ප‍්‍රධාන පක්ෂ දෙකම එක ආණ්ඩුවක් වෙන තැනදි ජවිපෙ වැනි සවිඥාණක පුරවැසියන් වෙනුවෙන් ගොඩනැගෙන නව තරුණ පක්ෂයකට කරන්න තියෙන දේවල් බොහොමයි. මට හිතෙන්නෙ ඒක අලූතෙන් නිර්මාණය වෙන අවකාශයක්.

    මේ නැවත ස්ථානගත වීම කියන දේ ගොඩක් වෙලාවට අපි කියවන්නෙම වැරදි විදිහට. මෑතක සුජීගෙ ටෙලිෆෝන් කෝල් එකටත් වුණේ ඒ ටික.

    සුජීගේ මේ කෝල් එක මීට මාස ගානකට කලින් ෆේස් බුක් පිටු කීපයක ෂෙයාර් වුණා. කිසි කෙනෙක් ගානකටවත් ගත්තෙ නෑ. ඒක අඩු ගානෙ විනෝදයට කාරණයක් බවටවත් පත් වුණේ නෑ. ඊට පස්සෙ නැවත මේ කෝල් එක කාලෙකට පස්සෙ ෆේස් බුක් එකට ආවා. ඒ පාර ආවෙ රී-මික්ස් එකක් විදිහට. ෂෙයාර් වෙවී යන්න පටන් ගත්ත මේ නිර්මාණාත්මක අදහස විසින් සම්පූර්ණ වයිරල් සාහිත්‍යයක් නිර්මාණය කළා. මට අනුව මෑත කාලෙදි සිදුවුණු වැදගත්ම සාහිත්‍යයික ප‍්‍රවේශයක් මේක.

    මේක සිංදුවක් වුණු ගමන් ගොඩක් සදාචාරවාදී අය කලබල වුණා. මේ කාන්තාවගේ දුක වෙනුවෙන් පෙනී ඉන්න පටන් ගත්තා. මේ දුක රී-මික්ස් කිරීම ගැන ප‍්‍රශ්න කළා. සුජීගේ ඛේදවාචකය ඇත්තට සමාජයට දැණුනෙ එතකොට.

    මේ සදාචාරවාදීන් විසින් ගෙනාපු චෝදනා වැරදියි කියනවා නෙමෙයි. ඒ සාකච්ඡුාව අනිවාර්යෙන්ම එලියට එන්න අවශ්‍ය එකක්. ඒත් ඒ සංවාදය ඇති කළ නිර්මාණාත්මක අගය කිරීම සුජීගෙ රී-මික්ස් එකට ලැබෙන්න  ඕන.
    අපේ රටට වැඩියෙන්ම ආදායම් ගේන්නෙ මේ කෝල් එක දාන විදිහෙ කාන්තාවන් විසින්. ඒ එක එක රටවල බැලමෙහෙවර කරලා. මාර සංස්කෘතික උරුමයන් ගැන ආඩම්බර වුණාට මේ තමයි අපේ වර්තමාන සැබෑ උරුමය. කොයිතරම් මේ දුක අසංක ප‍්‍රියමන්ත වගේ ගායනා කළත් මේ ඇත්ත එලියට එන්නෙ නෑ කියලයි මං හිතන්නෙ. සුවදායී විදිහට සම්භාව්‍ය රස වින්දනයට ගෝචර නැති මේ වගේ හිතුවක්කාර කඩා පැනීමක් විතරයි මේ බලපෑම ඇතිකරන්නෙ.

    මේ හින්ද පුද්ගලිකව මේ කාන්තාවට අපහාසයක් වෙනවා කියන එක කොහෙත්ම වලංගු නැති කාරණයක්. කිසිකෙනෙක් මේ චරිතයේ ඇත්ත පුද්ගලිකත්වය එක්ක බැඳෙන්න යන්නෙ නෑ. ඒ වෙනුවට ඒ සංවාදයෙ තියෙන විවෘත රසවත් බව විතරයි බෙදා ගන්නෙ. හාස්‍යය කියන්නෙ බරපතල සමාජ කාරණයක් හොඳටම ඉස්මතු කරන්න පුළුවන් ප‍්‍රවේශයක් වගයි අපි අමතක කරන්නෙ.

    මේ නව ජන සාහිත්‍යයක ආරම්භයක්. හරියට කටින් කට යන ජන කතාවක් වගේ. ඊට පස්සෙ සුජී කවුද කියන පැත්තෙන් වීඩියෝ නිර්මාණය වෙන්න ගත්තා. සුජී කියන්නෙ බල්ලෙක් පූසෙක් වෙන්න පුළුවන්ද? මේ කෝල් එකේ අනිත් පැත්තෙ හිටියෙ කවුරු වෙන්න පුළුවන්ද?
    ඊට පස්සෙ අලූතේ පිරුළු නිර්මාණය වුණා.

    ‘රනිල් ඔය අගමැතිකම දීපන් ළමයෙකුට’
    ‘රනිල් තෝ කසිප්පු ගහලද, කුඩු ගහලද?  ඕක එයාර් පෝර්ට් එකක්, කොහේ තියෙන වී ගබඩාවක්ද බං?’

    මේ විදිහට සමාජ දේශපාලන සංස්කෘතික විවිධ පරාසයන් ඇතුලෙ සුජී ප‍්‍රතිනිර්මාණය වුණා. මේ උපහාසය කාටවත් අපහාසයක් වෙන්නෙ කොහොමද?

    උදා විදිහට අපේ ජනකතා පැත්තට ආපහු හැරිලා බැලූවොත් අපි උපහාසයෙන් නෙමෙයිද පණිවුඩය අරගෙන එන්නෙ? හසලක ළ`ගදි මතක් කරපු කතාවක් වුණේ ගෙදරට එන කරණවෑමියාට නිකං හාල් සේරුවක් දීලා යවන්න ලෝබකමට කියලා හිස බූ ගා ගත්ත ගමමහගෙ ගැන කතාව. ඒක ඒ කොහේ හරි ගමමහගෙ කෙනෙකුට අපහාසයක්ද, නැත්තං ඊට වඩා ලොකු කතාවක් මතු කරන උපහාසයක්ද? අලියාගේ වල්ගෙ එල්ලිලා දිව්‍ය ලෝකෙ ගිය කතාව ගමරාළට අපහාසයක් වෙනවද?

    අපි ඩිජිටල් ජන සාහිත්‍යය මීට වඩා පළල් විදිහට තේරුම් ගන්න  ඕන. මෙතන හොඳ හෝ නරක කියල දෙයක් නෑ. යම් කිසි අලූත් දෙයක් නිර්මාණය වෙනවා විතරයි. ඊට පස්සෙ ඒක නිර්නාමිකයි. නිර්පුද්ගලිකයි. ඒක ඩිජිටල් වහරක් වෙනවා. හැමදෙයක්ම ඒකෙන් ඉන්ෆ්ලූවන්ස් වෙන්න ගන්නවා. හැම පැත්තකින්ම හොඳ ප‍්‍රවණතාවයක් මේක. මගේ අදහස අනුව කාගේ හෝ නිරුවත් වීඩියෝවක් වුණත් මේ විදිහට අන්තර්ජාලයේ පැතිරීම කිසිම නරකක් නෙමෙයි. මෙතන කිසි කෙනෙකුගේ පුද්ගලිකත්වයක් හුවමාරු වෙන්නෙ නෑ.

    මේ නිමේෂයන් නැවත පුද්ගලික විදිහට කියවාගන්නෙත් තාක්‍ෂණික අතින් ඉතා අපරිණත පිරිස්. ඒ වෙනුවට ඊට ප‍්‍රති සංවාදය දියත් වෙන්න  ඕන. කතිකාවන් පටන් ගන්න  ඕන. ඒ හරහා අදහස් සමාජගත කරන්න ඉතාමත් අලූත් ප‍්‍රවේශයන් අත්හදා බලන්න පුළුවන්.

    උදා විදිහට මේ සුජීගේ ගීතය අපේ විදේශ රැකියා කාර්යාංශය වගේ තැනක තේමා ගීතයක් වෙන්න පවා සුදුසුයි. මේ තරම් සජීවී විදිහට මේ රට රැකියා පිළිබඳ ප‍්‍රශ්නයක පැතිකඩ සියල්ල එකට මුණගැහෙන්නෙ නෑ වෙන කිසි තැනක. වඩා වැදගත් වෙන්නෙ බොරු භාවාතිෂය වීම් වලින් තොරව සියල්ල විවෘතව කියවෙන එක.

    එක පැත්තකින් මේ රට රැකියාවල යෙදෙන අයගෙ ගෙවල් වල ඇත්ත තත්වය. අඩු ගානෙ මනි ට‍්‍රාන්සර් එකක නොම්මරයක් ලියා ගන්නවත් එතන දැනුවත් කෙනෙක් නෑ. මේ කාන්තාව විසින් නැවත නැවත කතා කරන මේ ගෙදර දරුවන්ගෙ තත්වය කොයි වගේ වෙන්න පුළුවන්ද? අනෙක් පැත්තට මේ තරම් පරිප්පුවක් කාගෙන හම්බකරන සල්ලි වලට අත්වෙන ඉරණම මොකක්ද?

    ඒ වගේම අපේ රට රැුකියාවලට යන කාන්තාවන්ගෙ අධ්‍යාපන, සංස්කෘතික මට්ටමත් මෙතනදි පැහැදිලියි. කිසිම පුහුණුවක්, ඉගැන්වීමක් නැතිව මේ විදිහෙ ශ‍්‍රම ශරීරයන් අපනයනය කරමින් අපි බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? මේ අයගේ ආදායම් හරහා නැවත මේ පවුල් දියුණුවක් ලබාවිද?

    මේ හැම ප‍්‍රශ්නයක්ම සුජීගේ රී-මික්ස් එක ඇතුලෙ ඇහෙනවා. ඒක නැවත ස්වභාවික දුරකතන සංවාදයක් නෙමෙයි. වයිරල් සාහිත්‍යයක් විදිහට ඒ සංවාදය නැවත ස්ථානගත වෙනවා. ඒ හරහා දැවැන්ත සමාජ කතිකාවක් ඇති වෙනවා.

    මුලින් හිනාවෙනවා වෙන්න පුළුවන්. ඒත් මිනිත්තුවකට පස්සෙ වැඬේ පත්තු වෙනවා. සුජී කවුද? අපි කවුද?
    අපි නැවත හිතන්න පටන් ගන්නවා.


    චින්තන ධර්මදාස

  • තියරියෙන් එළියට

    තියරියෙන් එළියට

    ජාක් රන්සියර්ව කෙටියෙන් කියවන්න ගත්තට පස්සෙ මට ඒ න්‍යායික වියළි සංවාදය ඇතුලෙ දැණුනෙ එක කාරණයයි. ඒත් ඒ එක කාරණය ගොඩක් ඇත්ත දැනීමක් එක්ක ගැටගැහෙන නිසාම මට රන්සියර් කලාව ගැන කියන්න හදන කතාව ඉන්ටරෙස්ටින්. මම කියන්නම් රන්සියර්ගෙ අදහස් මගේ ඔලූව ඇතුලෙ වැදිලා පරාවර්තනය වෙන විදිහ. මේකත් එක්ක ඇත්තට රන්සියර්ගෙ කිසිම සම්බන්ධයක් නැති වෙන්නත් පුළුවන්.
    රන්සියර් ගේන වැදගත් තර්කයක් තමයි කෘතියකදි හේතුඵල සම්බන්ධතාවයේ හිරවෙන්න එපා කියල. තාර්කිකත්වය ඉක්මවූ යමක් කලාව ඇතුලෙ තියෙන්න  ඕන කියන එකයි එතන අදහස. ඒ අතාර්කික පැවැත්ම වඩා විශාල වින්දන අවකාශයකට අපිව අරගෙන යනවා. එතනදි පේ‍්‍රක්‍ෂකයෙක් හෝ පාඨකයෙක් විදිහට අපි සම්බන්ධ වෙමින් අපේ විවිධ වර්ෂන්ස් නිර්මාණය කරනවා.

    රන්සියර්ගෙ මේ සිතීම ඇතුලෙ මගේ කියවීම වෙන්නෙ කලා කෘතියක් පරිපූර්ණ නොවිය යුතුයි කියන එක. පරිපූර්ණත්වය කියන්නෙ මළ බව. නිශ්චිත බව. වඳ බව. හැම න්‍යායක් ඇතුලෙම තියෙන කලාවට කිසිසේත්ම අනුගත කළ නොහැකි කොටස වෙන්නෙ මේක. කලාව න්‍යායාත්මකව පැහැදිලි කරන්න බෑ. ඒ පැහැදිලි කිරීමෙන් ආපහු න්‍යායක්ම බිහිවෙනවා මිස කලාවක් බිහිවෙන්නෙ නෑ. හොඳම උදාහරණය ලංකාවෙ නම් අශෝක හඳගම කියලයි මං කියන්නෙ. හඳයට තිබුණු විශ්මිත පරිකල්පනය එක්තරා තැනකින් පස්සෙ න්‍යායික වෙන්න පටන් ගන්නවා. ඒ න්‍යායිකත්වය හරහා මළ ප‍්‍රකාශන එලියට එනවා.

    මට කියන්න උවමනා වුණේ කලාවක අනිවාර්ය අංගයක් වෙන්නෙ අසම්පූර්ණත්වය කියන එකයි. ඒක තමයි කෘතියක් හුස්ම ගන්න විවරය. ඒක දෙයක් හෝ නිෂ්පාදනයකට එහා ගිහින් සජීවී බවක් ලබන්නෙ ඒ අසම්පූර්ණත්වය නිසාමයි. අසම්පූර්ණ වුණත් නිර්මාණාත්මකව ගොඩනැගෙන පැවැත්මක් ඇතුළට පාඨකයා/ පේ‍්‍රක්ෂකයා ඇතුල්වෙනවා. ඒ ඇතුල් වීම හරහා නිර්මාණය යළි යළිත් විවිධ අර්ථයන්ට පරිවර්තනය වෙනවා. බහුවිධ පැවතුම් ලබනවා. නිර්මාණයක පාඨකයා හෝ පේ‍්‍රක්ෂකයා සම්බන්ධ වෙන විවරය වැහුණම ඒක බණක් වෙනවා. දේශනයක් වෙනවා. අපි නිකං බලං ඉන්නවා.

    තමන් දන්නා වූ හෝ තමන් විශ්වාස කරන න්‍යායික, මතවාදීමය තැනකින් නිර්මාණයකට අවතීර්ණ වීමේ ගැටළුව එන්නෙ මෙතනදි. ඒකෙන් කෘතිය සිය සීමාවන් සළකුනු කරන්න පටන් ගන්නවා. අනිත් පැත්තට ඒකෙන් නිර්මාණකරුවාගේ සීමිත බව ලොකුවට පේන්න ගන්නවා. හුවමාරුවක්, සම්බන්ධයක්, සංසර්ගයක් තරම් කිසිම නිශ්චිත අදහසක් විශාල වෙන්නෙ නෑ. හැම න්‍යායක්ම, තේරුම් ගැනීමක්ම, අවබෝධයක්ම කියන්නෙ අනිශ්චිත, අතාර්කික පැවැත්මකට අපි හදන රාමු විතරයි. ඒත් ඒ රාමුවලින් එලියෙ පැවැත්මෙ අවිනිශ්චිතභාවය එක්ක මුහුවුණු කෘතියක් නිර්මාණය වෙනවා නම් එතන ආර්ට් සිද්ද වෙනවා. ආර්ට් එක හැමතිස්සෙම තියෙන්නෙ නිර්මාපකයාට එලියෙන්. ඒක නිර්මාපකයා විසින් ඇතුළට ගන්න ගන්න සිද්ද වෙන්නෙ ආර්ට් එක පොඩි වෙන එක විතරයි.

    හැමදාම කලාව ගැන විචාර ඇතුලෙ මේ සංකීර්ණ අදහස කියන්න උත්සාහ ගත්තා කියල මට හිතෙනවා. සරලවම කිව්වොත් දෙයක් කෙලින් කියන්නෙ නැතුව උපමා රූපක ඇසුරෙන් වටෙන් කියන්න වගේ මෝඩ සාහිත්‍ය අදහස් වල වුණත් එන්නෙ මේ කතාව. තමන් දන්න විශ්වාස කරන යතාර්ථය වෙනුවට අසම්බන්ධිත වර්තන නිමේෂයන් ගැන කතා කරන්න කියන එක. ඒක හොඳ අභ්‍යාසයක් එක විදිහකට.

    ජාක් රන්සියර් අසරණ වෙන තැන කියල මං දකින්නෙ මේ විඳීමක නිමේෂය න්‍යායික කරන්න හදන තැන. ඒ න්‍යාය තාර්කික කරන්න එයාට සිද්ද වෙනවා ඓතිහාසික න්‍යායන් පාවිච්චි කරන්න. ඒක න්‍යායික කතිකා ලෝකෙ ඇතුලෙ හොඳක් වෙන්න පුළුවන්. ඒත් ආර්ට් වලට ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ. අතාර්කිකත්වය තාර්කිකත්වය ඇතුලෙ පැහැදිලි කරන්න බෑ.

    මට  ඕෂෝගෙ කෙටි සංවාදයක් මතක් වෙනවා.

    ‘‘මගෙන් දවසක් කෙනෙක් ඇහුවා, මොකක්ද දර්ශනය (ෆිලොසොෆි) කියන්නෙ? කියල.
    ‘දර්ශනය කියන්නෙ වැරදි ප‍්‍රශ්න ඇසීමේ කලාවයි’  මං උත්තර දුන්නා.

    ඇස් පේන්නෙ නැති මිනිහෙක් අහනවා, ආලෝකය කියන්නෙ මොකක්ද කියල. ඒක අයිති වෙන්නෙ දර්ශනයට. බීරි කෙනෙක් අහනවා නම් මොකක්ද සංගීතය කියල ඒක අයිති වෙන්නෙ දර්ශනයට.
    ඒත් අන්ධ මනුස්සයෙක් අහනවා නම්, කොහොමද මගේ පෙනීම ආපහු ලබා ගන්නෙ කියල ඒක දර්ශනය නෙමෙයි. ඒක ආගමිකයි.

    බීරි මනුස්සයෙක් එයාගෙ කන් ඇහෙන්නෙ නැති එකට අදාල විශේෂඥයෙක් මුණගැහිලා ප‍්‍රතිකාර ගන්න යනවා නම් එයා යන්නෙ දර්ශනවාදය දිහාවට නෙමෙයි ආගම දිහාවට.

    දර්ශනය කියන්නෙ හිතළුව. උපකල්පනය. කිසි දෙයක් නොදන්නාකම.
    කවුරු හරි හදනවා සත්‍යය නිෂ්පාදනය කරන්න. සත්‍යයන් එහෙම නිෂ්පාදනය කරන්න බෑ. එහෙම නිෂ්පාදිත දෙයක් සත්‍යය වෙන්නත් බෑ.

    සත්‍යය තියෙන්නෙ සොයා ගන්න. අනාවරණය කරගන්න. ඒක කොහොමත් එතන තියෙනවා. අපිට තියෙන්නෙ ඇස් ඇරලා බලන්න. ඒක දකින්න ඇස් තියෙන්න  ඕන. ඒක විඳින්න හදවතක් තියෙන්න  ඕන. ඒකෙ පවතින්න පැවැත්මක් තියෙන්න  ඕන’’
    – ඕෂෝ ධම්මපද

    කල් ඉකුත් වෙච්ච මාතෘකාවක් වුණත් සන්නස්ගල ඡුන්දෙන් පරාද වුනේ ඇයි කියන එක අමතක නොකළ යුතු දෙයක්. මං හිතාගෙන හිටියෙත් සන්නාට තියෙන මීඩියා ප‍්‍රතිරූපයත් එක්ක චන්ද ගන්න එක වැඩක් නෙමෙයි කියල. ඒත් හිතාගන්න බැරි විදිහට සන්නාට චන්ද අඩු වුණා. ඒකට හේතුව එයා මාධ්‍ය වල කියපු ආන්දෝලනාත්මක කතන්දරද? මට හිතෙන්නෙ ඊට වඩා ලොකු දෙයක් ඒ අඩුවීම පිටිපස්සෙ තියෙනවා.
    පළවෙනි හේතුව විදිහට මට හිතෙන්නෙ සන්නස්ගල කොළඹින් ඉල්ලපු එක. ඒක ඉතාමත් හොඳ අවස්ථාවක් වෙයි කියලයි මං හිතාගෙන හිටියෙ. ඒත් මේ පාර කොළඹ එජාපෙ ලැයිස්තුවෙ වීරයො වැඩි වුණා. අනිත් පැත්තට මීඩියා වල වීරත්වය වැඩිපුරම බලපාන්නෙ කොළඹින් පිට පළාත් වලට. මේ වීරයන් අතර ගැටුමෙදි සන්නාට පොසිෂන් වෙන්න (ස්ථානගත වෙන්න) තැනක් නැති වුණා.
    .
    මං නිකමට රත්මලාන පැත්තෙ ‘ජනතාව’ එක්ක පොඩි කතාබහක් දාලා බැලූවා. එතනදි පැහැදිලි වෙච්ච කාරණයක් වුණේ සන්නා ලංකාවෙ චන්දෙකදි අදාල වෙන කිසිම පාර්ශ්වයකට අඩංගු නොවීම කියන එක.
    උගත් බුද්ධිමත් කියන කාණ්ඩෙට ලේසියෙන්ම අයිති වෙන්නෙ අපේ කාලයේ ප‍්‍රාඥයා, හර්ෂ, ඉරාන් වගේ චරිත. ජනතාවට සමීප කියන එකට අයිති වෙන්නෙ රවී, සුජීව, මරික්කාර් වගේ චරිත. එතනදි සන්නා මේ කිසි කොටසක සලකා බැලීමට අහු නොවී යනවා. ඒ රැුඩිකල් කතා බහ ඔක්කොම කතිරයක් වැටෙන්න අදාල නොවෙන අවකාශයක ගලා යනවා.

    අනිත් පැත්තට සන්නාගෙ කැම්පේන් එක ඒලෙවල් පංති මට්ටමෙන් උඩට ආවෙම නෑ. නගර සභා, පළාත් සභා ආදී රටේ දේශපාලනයට ඇතුල්වෙන දොරවල් ඔක්කොම පහු කරලා කෙලින්ම පාර්ලිමේන්තුවට ඉල්ලද්දි සිද්ද වෙන්න නියමිත අවාසිය මගඇරගන්න සන්නා උනන්දු වුනේ නෑ. ජාතික මට්ටමේ ප‍්‍රශ්න සහ ජාතික මට්ටමේ ජනතා සීතිමක් ගැන සංවාදයක් වෙනුවට කවදත් පුරුදු අපේ සීමිත සංවාද කතිකාවෙ සන්නාගෙ චන්ද කැම්පේන් එක නතර වුණා.

    මේ විකල්ප කතිකාව ඇතුලෙත් සන්නස්ගලට චන්ද තිබුනෙ නෑ. පැහැදිලිම සත්‍යයක් විදිහට තේරුම් ගන්න තිබුනෙ සන්නස්ගලගෙ ජනප‍්‍රියභාවය තියෙන්නෙ අකමැත්ත ඇතුලෙ කියන එකයි. සන්නස්ගල කියන ප‍්‍රතිරූපය මිනිස්සු අතර ජනප‍්‍රිය වුණේ විරෝධය, ප‍්‍රතික්‍ෂේපය කියන කාරණා හරහාමයි. ඒත් චන්දෙකදි සිද්ද වෙනවා මේ ප‍්‍රතික්‍ෂේපය මනාපයක් කර ගන්න. ඒ ට්විස්ට් එක තීරණාත්මකයි.

    සරල වටහා ගැනීමකට මට රත්මලානෙ සාමාන්‍ය මනුස්සයෙක් සන්නස්ගල ගැන කියපු දෙයක් උපුටා දක්වන්නම්.

    ‘ආපෝ හරියන් නෑ මහත්තයා. එයා මොනවද කියන්නෙ? එකපාරක් ඇවිත් කිව්වා, අපි අවුරුදු විස්සක් විපක්ෂයෙ හිටියා. බලය නැතුව හිටියා. ඒත් මතක තියාගන්න ඊළ`ගට එන යූඇන්පී ආණ්ඩුවෙන් වුණත් අපි අපිට කලින් රස්සාව දෙන්නෙ නිදහස් පක්ෂෙ මනුස්සයාට. ඒකයි අපේ හැටි… බම්බු ගහගන්න කියල මං ආවා එන්න. අපිට පිස්සුද මෙච්චර කල් ලොටලා ලොටලා ආයි උන්ටම පුදන්න?.’

    මේ කතාවෙ ඇත්ත නැත්ත මං දන්නෙ නෑ. ඒත් මේවා තමයි සන්නා ගැන චන්දෙදි සාමාන්‍ය කටකතා වුනෙ. එතකොට පැහැදිලියි දරුණුතම අවුල සිද්ද වෙලා තියෙන්නෙ පොසිෂන් වීම ඇතුලෙ කියන එක. චන්ද ලැයිස්තුව ඇතුලෙ තමන්ගෙ මනාපයට ජාතික වටිනාකමක් හදාගන්න සන්නා අපොහොසත් වෙනවා. කල්ට් තැනින් මාස් තැනට එද්දි එයා ෆේල් වෙනවා.

    මේ ගැන දුරට හිතන්න  ඕන වෙන්නෙ සන්නස්ගලට වැරදුනේ කොතනද කියල තේරුම් ගන්න නෙමෙයි. රටේ දේශපාලන චර්යාව ගැන මයික්‍රො ලෙවල් එකේ තේරුම් ගැනීම් විදිහට. මේ හා සමානම පොසිෂන් වීමේ අවුලක් ජවිපෙට බලපානවා.
    ඒත් වඩාත් වාසිදායී විදිහට.

    (ඉතිරි කොටස ලබන සතියට)