Author: admin

  • ආදර පොලිසිය

    ආදර පොලිසිය

    ආදරේ කියන්නෙ අපි වැඩියෙන්ම කතා කරන දේ වෙන්න පුළුවන්. හැබැයි අඩුවෙන්ම කරන දේ වෙන්න පුළුවන්. ආදරය නැති තැන මොකක්ද තියෙන්නෙ කියල කවුරු හරි හිතුවොත්, ආදරේ නැති තැන තියෙන්නෙ දේශපාලනය කියල තේරුම් ගන්න පුළුවන්. ආදරයෙදි අපි එක්කෙනා දෙන්නෙක් විදිහට හිතනවා හෝ දෙන්නා එක්කෙනෙක් විදිහට හිතනවා කියල කියනවා නම් දේශපාලනයේදි දෙන්නා දෙන්නෙක් විදිහට හෝ දෙන්නා බහුතරයක් විදිහට හිතන්න ගන්නවා.

    ඒ කොහොම වුනත් ආදරය කියන එක ස්ක්‍රිප්ට් රයිටින් තාක්ෂණයෙන් ගත්තොත් කොහොමත් ෆේල් ස්ක්‍රිප්ට් එකක්. ආදරය පටන්ගන්නෙ උපරිමෙන්. ඒ කියන්නෙ දෙන්නෙක් ආදරෙන් බැඳෙන තැන තමයි ඒ දෙන්නාගේ ආදර කතාවෙ කූටප්‍රාප්තිය වෙන්නෙ. ඊට පස්සෙ තියෙන්නෙ පල්ලම. ආදරය ගැන හීන දකින එක තමයි ආදරයේ උපරිම ආස්වාදය. ඇත්ත අත්දැකීමට කිසි දවසක ඒ හීනවලට ළංවෙන්නෙ බෑ. ඒක හරියට පෝර්න් වගේම තමයි. පෝර්න් බැලීමෙන් ලබන ආස්වාදය ඒ පෝර්න්වල දේවල් ඇත්තට කිරීමෙන් ලබන්න බෑ.

    ඉතින් ආදරේ එක මොහොතක විකසිත වෙනවා. ඊට පස්සෙ මුකුලිත වෙන්න ගන්නවා. අපි ගොඩක් පරමල් පරිස්සම් කරනවා. වැඳුම් පිදුම් කරනවා.

    අපි මෙතනදි කතා කරන රොමාන්තික ආදරය කියන්නෙ සංවෘත රටක් වගේ. රට වහගනිද්දි ඒක සෑහෙන දේශානුරාගයක් දනවන වැඩක් වෙන්න පුළුවන්. ඒත් වහගෙන කාලයක් යනකොට ඒ අනුරාගය කෙලවර වෙන්නෙ එකඑකා මරාගෙන. ආදරෙත් එහෙමයි. විකසිත මොහොතෙ දෙන්නා විතරක් ඉන්න ගල්ගුහාවක, මහා වනාන්තරේක නවතින්න තරම් පිරිපුන් ස්වයංපෝෂිත හැඟීමක් දැනෙන්නෙ.

    මහ වන පියසක අඳුරු ගුහාවෙක
    යම් දිනයක ඔබ සඟවා තබනෙම්
    හිරු රැස් බිඳකුදු ඔබ රුව දුටු සඳ
    ඉරිසියාවෙන් පිරවේ මා හද

    ආදරේ පල්ලම් බැහැගෙන එද්දි අපිට තෝරගන්න පුළුවන් පාරවල් දෙකක් මුනගැහෙනවා. ගොඩක් අය තෝරගන්න පොදු මාවත තමයි ආදරවන්තයින් දෙමව්පියන් බවට පත්වෙන එක. ළමයි හදන එක. දෙන්නගෙ ආදරේ කොමියුනිටි එකක් කරගන්නවා. හැබැයි තවදුරටත් අර පටන්ගත්ත ආදරය පවතිනවා නෙමෙයි. ඒ දෙන්නා අම්මා සහ තාත්තා වෙනවා. මේ අම්මලා තාත්තලා ජීවත් වෙන්නෙ දරුවන් වෙනුවෙන්. ඒ ගොල්ලො දේවල් දකින්නෙ දරුවන්ගෙ ඇස්වලින්. දේවල්වලට දරුවො වගේම බය වෙනවා. තමන්ගෙ වැඩිහිටි ආශාවන් කැපකරනවා. නිදහස කැපකරනවා. සෙක්ස් කියන එක තවදුරටත් ශරීර කෘත්‍යයක් මිස ශෘංගාරයක් නොවී යනවා. පුළුවන් තරම් ඉක්මනට මේ දෙමව්පියන් නිර්මාණය කරගැනීම තමයි සාම්ප්‍රදායික සමාජ අපේක්ෂාව වෙන්නෙ. අම්මා තාත්තා බවට පත්වුනාට පස්සෙ ඒ අය ආදරවන්තයන් වගේ කැරලිකාර නෑ. ඒ අය සංස්කෘතිය සදාචාරය රකින්න නිහඬ ගිවිසුමක ඉන්නවා.

    අම්මා කෙනෙක් විදිහට ඔහොම අඳින එක හරිද?

    අනියම් පෙම්වතා දෙදරු පියෙක්…. වගේ කතා ලියවෙන්නෙ ඒ ගිවිසුම හින්ද.

    අනිත් පාර තමයි සංවෘතබව වෙනුවට විවෘත වීම පිලිගන්න එක. රට අරින එක. එතකොට අර තරු එළි දැල්වෙන අනුරාගී ආදරයට එපිටින් තමන්ට එකට පවතින්න ඇත්ත හේතුවක් තියෙන්න ඕන. වෙනත් වෙනත් ආදර සම්බන්ධතා, රාගී ඇවිලීම්, සියල්ලක් අතර විවෘතව පවතින ආදරයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒක හරියට ආදර කොමියුනයක් නිර්මාණය කරනවා වගේ වැඩක්. මේ අයට තමයි සාම්ප්‍රදායික සමාජය බරපතලම විදිහට විරුද්ධ. මොකද මේ ආදරයට සමාජය එක්ක සම්මුතියක් නෑ. ඒක ඇත්තටම කැරැල්ලක්. කැපකිරීම වෙනුවට ආශාවම තෝරාගැනීමක්. අනාගතය වෙනුවට වර්තමානයම තෝරාගැනීමක්. නැව වරායක නැංගරුම් ලනවා වෙනුවට කුනාටු මුහුදක යාත්‍රා කිරීමටම ගන්න තීරණයක්.

    එතනදි නැවත නැවත ආදරයේ අසනිමල් පිපෙනවා. ඒ මල් තහනම් වෙන්නෙ නෑ. ඒවා ආදරයන් විදිහටම පිලිගන්නවා. දෙමව්පිය ආදරයේදි මේ ආදරයන් අනියම් වෙනවා. වරදකාරී වෙනවා. මොකද දෙමව්පිය ආදරය පවතින්නෙම ලිංගිකත්වයට සීමාවක් පැනවීම මත. දෙවෙනි ආදරය පවතින්නෙම ඒ සීමාව ඉවත් කිරීම මත.

    අපි හැමෝම රොමාන්තික ආදරයේ මුදුනෙදි ආසාවෙන් විලංගු ලාගන්නවා. ඒක ආස්වාදනීය ෆැන්ටසියක්. කන්ද පාමුලට ආවම විලංගුව ඉවත් කරනවද නැත්තං දිගටම තියාගන්නවද කියන යතාර්ථය මුනගැහෙනවා.

    පළමු වර්ගයෙන් පිටපත ලියවුනොත් එතනින් පස්සෙ තියෙන්නෙ දූදරුවො පන්නයේ මෙගා ටෙලියක්. දෙවෙනි වර්ගයෙන් ලිව්වොත් සීරීස් එකෙන් සීරීස් එකට අලුත්වෙන ඇඩ්වෙන්චර් එකක්.

    එතකොට දෙමව්පියන් වෙලා විවෘත ආදරයක පවතින්න බැරිද? ඒ කියන්නෙ මේ ඔප්ෂන් දෙකම පාවිච්චි කරන්න බැරිද? එහෙම වෙනවා නම් ඒක තමයි ලස්සනම. ඒත් ඒකට තමන් දරුවන් ලැබුවත් දෙමව්පිය තනතුරෙන් පිදුම් නොලබා හිතුවක්කාර ආදරවන්තයන් විදිහටම ඉන්නවා කියන තීරණය ගන්න වෙනවා. අම්මෙක් හෝ තාත්තෙක් ඉපදෙනවා කියන්නෙ පෙම්වතෙක් හෝ පෙම්වතියක් මියයනවා කියන එක.

  • දම්පාට කවුළුවෙන් එබෙන්න

    දම්පාට කවුළුවෙන් එබෙන්න

    මං මගේ ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එක පාවිච්චි කරන්නෙ කවි ලියන්න. කවි ලියනවටත් වඩා කවි ලියන අය අඳුරගන්න. ෆේස්බුක් වගේ ආක්‍රමණශීලී, පිරිමි-විවේචනයට බර වේදිකාවක් නොවෙන හින්දම තමන්ගේ පිටුවලට මුවාවෙලා, අවංකව දේවල් කුරුටු ගාන අය ඉන්ස්ටා වැඩියි. උවමනාවටත් වඩා තමන්ව පුම්බාගන්න විසිතුරු ජීවිත එතන බහුලබව නොපිලිගන්නවා නෙමෙයි. ඒත් සොඳුරු හුදකලා කවීන් බොහොමයක් මට එතනදී මුනගැහුන. ඒ අතර ඉංග්‍රීසියෙන් ලියන නමුත් ගැඹුරු තැන් සියුම්ව පිරිමදින කීපදෙනෙක් හිටියා. පර්පල් ෂටර් ටේල්ස්, දම්පාට කවුළුවේ කතාව මට එහෙම මුණගැහුනු, සමීපම නමුත් ස්පර්ශ නොකළ අත්දැකීම්වල ආස්වාදය දනවපු කවි පිටුවක්. වැඩියෙන්ම මං වැටුනෙ ඒ කවිවල ගැහැණුකමට. ඒ ගැහැණුකම රහසින් තරණය කරන ඉසව්වලට. ආසාව හින්දම ඉංග්‍රීසියෙන් ඉතා සුන්දර ඒ කවි මගේ කුරුටු සිංහලෙන් කැත කරන්න තීරණය කළා මම. එක විදිහකට ඒක පිරිමියෙක් හැටියට අනෙක්පස ගැහැණිය නිරුවත් කිරීමක්.
    ඒ එලිවෙන යාමයේ
    ගලායන වතුරෙ හඬ ඇයට ඇසුනා
    බැඳීම අපරාධයක් බව
    මාස ගානක රහස්බව ඇයට කියා දී තිබුනා
    ආස්වාදනීය රාත්‍රි‍යේ මත්වීම මතක්කරමින්
    ඇය ඉතිරි ටිකීලා ටික සින්ක් එකට හැලුවා
    දැල්වුනු සතුටේ ශේෂයන් වූ
    සිගරට් කොට බක්කියට දැම්මා
    ඔහු සාලය හරහා ගියේ හැඟීමක් නැතුව
    නළලතට හාදු නෑ, මෘදු සමුගැනීම් මොකුත් නෑ
    ඔහු, හිස් මාවතේ නවතා තිබුනු කාර්එකට ඉක්මනින් ගොඩ‍වෙමින්
    ඇස්කොනින් පමණක් ඉක්මන් බැල්මක් හෙලුවා
    ඇය, දොර අඩවල්ව තබමින් ඇතුලට ඇදුනා
    මේ ‘අනෙක් ගැහැණිය’ බලා සිටිනා දවස වැඩි ඈතක නොවේ.
    තහනම් අනුරාගයක පසුයාමයේ දැනෙන කාංසිය, පාළුව, හිස්තැන, රහස සියල්ල රූප මැවෙන විදිහට සිත්තම් කරපු කවියක් ඒක. ඒ වගේ කාමර කොයිතරම් ගානක් අපි පහුකරලා ඇත්ද? ඒත් ගැහැණියක් ඒ ගැන ලිව්වා දැක්කාමයි මම.

    මම මගේ හදවත දුර්වලම බලාපොරොත්තුවේ රඳවමි
    බලාපොරොත්තු විරහිත බව කෙතරම්ම පෙනුනත්
    හැකි උපරිමයෙන් එහිම එල්ලී සිටිමි
    ඔබ විහිළුකරන ඒ බලාපොරොත්තුව
    ඔව් එ් මට විසුළ එළියක්

    ඒ කඩාවැටෙන කොලය මත මම මගේ තටු ලිහිල් කරමි
    එය මැසිවිලි නොනගා මගේ සියලු බර දරාගනු ඇත
    දුර්වල නුමුදු මේ බලාපොරොත්තුව මගෙයි
    එය මාත් මගේ වේදනාවත් දරා සිටී
    එබැවින් මගේ හරිත බලාපොරොත්තුවට ඔබේ විහිළු නවතන්න.

    මේ කවිය ලියලා තිබුනෙ හීන් කඩා වැටෙන තණපතක එල්ලුනු සමනලයෙකුගෙ රූපයක් එක්ක. බිඳී යන බව දැනදැනත් එල්ලී සිටින ආදරයක් ගැන හරිම සියුමැලි හේතුවක් ඒ වචනවල තිබුන.

    උත්ප්‍රාසයක් නොවෙද?
    මරණයෙන් වෙන්කරන තුරු -වෙන්නොවී ඉන්නට දිවුරූ
    කිසිදිනක මුනනොගැසෙන මාවතක පියමනින
    සදාතනික යැයි දිසි නමුත් සදා වෙන්වුනු අපි,
    උමං කෙලවර ඇති, කිසිදිනෙක් මුනනොගැසෙන
    ඒ රවටනසුලු එලිය..සොයා යන ගමනේ
    අපි තවත් පිය මනිමු.

    එකටම ආදරෙන් බැඳුනත් කිසිදා මුනනොගැහෙන ජීවිත දෙකක්.. කවදා හෝ මුනගැහෙන බලාපොරොත්තුවෙන් එකට යන, එකට නොබැ‍ඳ‍ෙන ගමනක්… පවතින නමුත් බිඳුනු ආදරයක අමුතු ලස්සනක්. මේ හිස්තැන දම්පාට කවුළුවෙන් ලියවුනු හැම කවියකම තියෙන මං ආස හැඟීමක්.ඇස් නිලංකාර කරන ඒ රැස්
    කාමරය එළිය කරනවා
    හැම මුල්ලක්ම පැල්මක්ම නිරුවත් කරනවා
    කැපුම් නිරාවරණයවී
    කැළැල් හෙළිදරව් වී
    රහස් එලිවෙනවා
    මං ඇකිලෙනවා
    හැංගෙන්න පලක් නැති වෑයමක් දරනවා
    දරාගත නොහැකි නිරුවත
    කුපිතකරනවා
    මම මගේ රැකවල් පහත හෙලනවා
    ඔබට සියල්ල දැකගන්න ඉඩ දෙනවා
    ඔබේ ආදරය ඒ වගෙයි
    ඇස් අන්ධකරන තරම් එලියයි..
    අලුතෙන් හඳුනාගත් ඒ අවදානමේ මං ඇලීගැලෙනවා
    නිබයව නිරුවත් වෙනවා
    මම දැන් මගේ කැළැල් පළඳිනවා
    හරියට කොටිදෙනක් ඇගේ ඉරි රටා පළඳිනවා වගේම..

    මේ කවිවලට සිංහලෙන් මට කරන්න පුළුවන් සාධාරණය අවමයි. ඒත් ඒ ගැහැණු අදහස් සිංහලෙන් කියවන්න ඕන කියල මට හිතුන. පරිවර්තනයෙදි සාහිත්‍ය මැරුනත් ඒ වගේ ගැහැණු හැඟීම් සිංහලෙන් ලියවෙන්නෙ නැති තරම්. කොතනකටවත් වහන් නොවුනු, නිදහස්, අවංක හැඟුම් තැවරුමක ආස්වාදය මං ඒ කවි ඇතුලෙ විඳිනවා.
    දම්පාට ජනේලෙන් නැවත නැවත එබෙන්න මං ආසාවෙන් පෙළෙනවා.


    චින්තන ධර්මදාස

  • හැම පවුලකින්ම එක්කෙනෙක් හරි රට යවමු

    හැම පවුලකින්ම එක්කෙනෙක් හරි රට යවමු

    කාලෙක‍ට පස්සෙ අපේ චන්දන ප්‍රසන්නව හම්බුනා. රටේතොටේ දේශපාලනය ගැන කතා කර කර ඉන්න අතරෙ පාස්පෝට් ගන්න පෝලිම් ගැහෙන ජනසන්නිපාතය ගැනත් කතා වුනා.

    ‘පුළුවන්කමක් තියෙන හැමෝම වගේ යන සීන් එකක් තියෙන්නෙ. ලංකාවෙ ඉඳලා ගොඩඒමක් නෑ කියන එක පොදුවෙ ඇත්තක් විදිහට මිනිස්සු බාරඅරන් ඉවරයි..’

    චන්දන කියන්නෙ අමුම ඔබ්ජෙක්ටිව්, ඒ වගේම පෙසිමිස්ට්, ඒ හින්දම නරුම වගේ පේන, නමුත් තියුණු අදහස්ධාරියෙක්. විශේෂයෙන්ම දේශපාලනය ගැන උගේ කියවීම් හරිම අලුත්, මුවහත්.

    උඹ ඔය ටික ලියපංකො. නැත්තං වීඩියෝවක් කරපංකො.. මං නිතර ඌට කියනවා.

    ‘වැඩක් නෑනෙ බං. ඕවා හැමෝම දන්නවා’ ඌ නොකෙරෙනවාදය දානවා.

    ‘හැමෝම රට යනවා කියන එක රියැලිටියක් විදිහට ප්‍රසිද්ධියේ දේශපාලනිකව බාරගන්නයි තියෙන්නෙ’ චන්දනයාගෙ අදහස ඒක.

    ලංකාවෙ මිනිස්සු රට අතෑරලා යන එක දරුණු ප්‍රශ්නයක් විදිහටයි අපි සාමාන්‍යයෙන් දකින්නෙ. ඒ හින්දම මේ රටට ඔබව අවශ්‍යම මොහොතයි වගේ ඉමෝෂනල් බයිලා කෙලිමින් මේ රටේම ලගින්නට මිනිස්සු පෙළඹවීම තමයි රාජ්‍ය සහ දේශපාලනික මට්ටමෙන් සිද්ද වෙන්නෙ. රටේ මානව සම්පත රටට අහිමිවීමක් විදිහට තමයි මේ එක්සෝඩස් එක කියවමින් ඉන්නෙ.

    චන්දනගෙ යෝජනාව වෙනස්. මිනිස්සු පුද්ගලිකව තමන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ගන්න තීරණ රටක් හෝ ඒ වගේ ඇබ්ස්ට්‍රෑක්ට් සංකල්පයක් වෙනුවෙන් යටපත් කරන්න ඕන නෑ. ඒක කොහොමත් වෙන්නෙත් නැති අතර ඒක බොරුවක් විදිහට මාධ්‍යවල, සෝෂල් මීඩියාවල පාවෙවී තියෙනවා විතරයි.

    ඒත් ඇත්තටම මේ කඩාවැටෙන ආර්ථිකයට විසඳුම පුළුවන් තරම් අපේ මානව සම්පත වෙන රටවල ආයෝජනය කිරීම වෙන්න බැරිද?

    ලංකාවෙන් පිටරට යන මිනිස්සු ඇත්තටම ජීවත් වෙන්නෙ ලංකාව දිහා බලාගෙන. ලංකාවෙ සංස්කෘතියට මෙහේ ඉන්න අපිටත් වඩා නොස්තැල්ජික මරාගෙන මැරෙන ප්‍රේමයකින් ඉන්නෙ මේ ඩයස්පෝරා ශ්‍රී ලාංකිකයො. ඩයස්පෝරාව කිව්වම දෙමළ විතරක් නෙමෙයි ලංකාවෙන් ගිහින් වෙන රටවල ජීවත් වෙන සිංහල ප්‍රජාවත් අයිති වෙනවා.

    චන්දන ප්‍රසන්න

    මේ රටකට යන බහුතරයට තමන්ගේ සංස්කෘතික සහ දේශපාලන ජීවිතය කැප කරන්න සිද්ද වෙනවා. ඒ හින්දම ලංකාවෙ සංස්කෘතික දේශපාලන කලාපයත් එක්ක වැඩියෙන්ම අනුරාගයෙන් බැඳ‍ෙන්නෙ මේ අය. ඉන්ටර්නෙට් එක තියෙන හින්ද දැන් භෞතිකව නොහිටියත් මේ අහිමි අවකාශය සජීවීව ‍බෙදාගැනීමේ හැකියාව දැන් වැඩියි.

    තමන්ගේ වෘත්තීය හැකියාවකින් ඒ රටවල උපයන මුදල් මේ අය පවුල්වලට, නෑදෑයන්ට, හිතමිතුරන්ට එවනවා. සමහර අය පවුල් පිටින් ගොඩදානවා කියල එකක් කරනවා. පුළුවන් අය ඉඩකඩම් සහ වෙනත් ව්‍යාපාරවල ආයෝජනය කරනවා. නාට්‍ය චිත්‍රපටි තමන්ගේ රටවලට ගෙන්නගෙන ප්‍රදර්ශනය කරනවා. ආර්ටිස්ට්ලා ගෙන්නගෙන සංස්කෘතික ප්‍රසංග පවත්වනවා. ඇත්තටම මේ පිරිස ලංකාවෙ හිටියට වඩා විශාල මෙහෙවරක් ඒ රටවල ඉඳන් ලංකාව වෙනුවෙන් කරනවා.

    මැද පෙරදිග රටවලට යන ප්‍රවණතාවය දැන් ක්‍රමයෙන් අඩුවෙමින් යන්නෙ. ඒ වෙනුවට බොහෝ අය යුරෝපයට, ඇමරිකාවට, කැනඩාවට, ඔස්ට්‍රේලියාවට, නවසීලන්තයට ආදී රටවලට යනවා. මේ රටවල දියුණු සංස්කෘතික ජීවිතය විඳිනවා. රටකට ගිය බයියෙක් වුනත් ලංකාවෙ බයියෙකුට වඩා යම් විවෘතභාවයක්, සංස්කෘතික දරාගැනීමක් ප්‍රකට කරනවා. ඇත්තටම හැම පවුලකින් එක දරුවෙක් හෝ බටහිර රටකට යවන්න පුළුවන් නම් මේ රටේ ලොකු සංස්කෘතික පෙරලියක් නොදැනීම සිද්ද වෙනවා.

    ‘හැම පවුලකින්ම එක දරුවෙක් හරි රට යවන්න අපේ ආණ්ඩුවක් යටතේ අපි පොරොන්දු වෙනවා..’

    මේක ප්‍රසිද්ධ චන්ද පොරොන්දුවක් කරන්න ඕන කියන එකයි චන්දනගෙ අදහස.

    ‘මංගල වගේ කෙනෙක් හිටියා නම් බය නැතුව ඔය වගේ එකක් කියයි. ඒත් මේකෙ වෙන කිසි එකෙකුට ඔහොම එකක් කියන්න තරමෙ කොන්දක් නෑ..’

    ඇත්ත ලංකාවෙ සීයට අනූවකටත් වඩා පිරිසක් බලාගෙන ඉන්නෙ පුළුවන් කොහොමෙන් හරි බටහිර රටකට පැනගන්න. අමුම අමු සිංහල බෞද්ධයෙක්වත්, කොමියුනිස්ට්කාරයෙක්වත් චීනෙට රුසියාවට‍ හෝ කියුබාවට පනින්න බලන් ඉන්නෙ නෑ. ඒක ඇත්තටම හොඳ තත්වයක්. අපි යටිහිතෙන් හරි ආශා කරන්නෙ වඩා නිදහස් සංස්කෘතික ජීවිතයකට.

    මේ ආශාව අපිට එලියෙ පිලිගන්න පුළුවන් නම්, ඒක ඇත්තක් විදිහට බාර අරගෙන, වෙන රටවල සේවා සඳහා සුදුසුකම් ඇති පිරිස් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ඒක කුසලතා අපනයනයක් විදිහට වාසිදායක වෙන්න පුළුවන්. නොදැනීම සංස්කෘතික පසුගාමීත්වයත් වෙනස් වෙන්න ඒක හේතු වෙනවා.

    චන්දනයාගෙ නරුමකමට ඌ තව කතාවක් කිව්වා.

    ‘දැන් මචං ඔය චීනෙට විරුද්ධව නිකං එන්ජීඕ වගේ ඒවට සල්ලි දාලා නාස්ති කරනවා වෙනුවට ඇමරිකාවට වුනත් තියෙන්නෙ ලංකාවෙ හැම පවුලකින්ම වගේ එකෙකුට එහේ රස්සාවක් දෙන්න. මොකක් හරි භූගෝලීය වැදගත්කමකට උන්ට ලංකාව වටිනවා නම් ඒක චීනෙ බලය ග්‍රවුන්ඩ් ලෙවල් එකෙන්ම ඉවර කරන්න පුළුවන් වැඩක්. පුතා ඇමරිකාවෙ ඉන්න හැම පවුලක්ම චීනෙට විරුද්ද වෙනවා. ඇමරිකාවෙ ආර්තිකය කියන්නෙ එතකොට ඒ පවුලට බලපාන ආර්තිකය වෙනවා. දන්නෙම නැතුව ලංකාවෙ හැම මිනිහෙක්ම ඓන්ද්‍රියවම චීනෙට විරුද්දවාදියෙක් එතකොට’

    කොහොමටත් අපේ රටේ මිනිස්සු මේ රටවලදි පකිස්ථානුවන්ට ඉන්දියානුවන්ට වඩා හොඳ විදිහක සම්බන්ධතා ඇතුව වැඩකරන ස්වභාවයක් ගැන පොදු විශ්වාසයක් තියෙනවා. විදේශිකයන් අතර යම් මට්ටමක ආචාර ධාර්මිකබවක් පිළිබඳ පිලිගැනීමක් ඇතිකරගෙන තියෙනවා. ඒ වගේම අයින්ස්ටයින්ලා වගේ ව්‍යවසායකයො බිහිකරනවා වෙනුවට නලින්ද සිල්වා කියනවා වගේ හොඳ අනුකාරකයන් බිහිකිරීමේ හැකියාවක් අපේ සිස්ටම් එකට තියෙනවා.

    ඉතින් මේක ආර්ථිකයක් නැත්නම් ආයෝජන මාර්ගයක් විදිහට දෙබිඩි නැතුව පිලිගන්න විතරයි තියෙන්නෙ. කොවිඩ්වලින් පස්සෙ ලංකාවෙ ආර්ථිකයට ඇතිවෙන ලොකුම ශක්තිය මේ පෝලිමේ රට යන ශ්‍රී ලාංකිකයන් වෙන්න පුළුවන්.

    අපි තව තවත් අය රට යන්න උනන්දු කරන්න ඕන. ඒ වගේම රට යන්න පුළුවන් තරමෙ හැකියාවන් සංවර්ධනය කරන්න ඕන. ඊළඟ චන්දෙදි හැම පවුලකින්ම රට යන දරුවෙක් හදන්න ‍මහපොලොවෙ පොරොන්දුවක් ජනතාවට දෙන්න ඕන.

  • ඒලියන්ත වයිට්ගේ සමුගැනීම

    ඒලියන්ත වයිට්ගේ සමුගැනීම

    මගේ ජීවිතය සම්බන්ධ තීරන ගැනීමේ අයිතිය වෙන පාර්ශ්වවලට පැවරෙන තැන් ගැන මං ගොඩක් සැලකිලිමත්. ඒක තනි පුද්ගලයෙක් මත පැවරෙන කිසිම තැනක් මං විශ්වාස කරන්නෙ නෑ. ඒ වෙනුවට ඒක ප්‍රශ්න කළ හැකි, වෙනස් කළ හැකි, කාලයත් එක්ක පර්‍යේෂනයට ලක්වුනු සම්ප්‍රදායකට පවරන්න මං කැමතියි.

    මං විකල්ප වෛද්‍ය ක්‍රම පිලිගන්නවා. ගොඩක් කැමැත්තෙන් ඒවායේ සරණ යනවා. මට රෝගයක් සම්බන්ධ ආර්ට් එක වැදගත් හින්ද. මාව යන්ත්‍රයක් වගේ නොසලකා මාව පුද්ගලයෙක්, සමස්තයක් විදිහට සලකන ප්‍රතිකාර ක්‍රම මං විශ්වාස කරනවා. ඒත් තනි පුද්ගලයෙක් විසින් මගේ ශරීරය පිළිබඳ ආධිපත්‍යය පවරාගන්න ලෑස්ති වෙන තැන් මං සැකයෙන් බැහැර කරනවා. ඒ වගේම මගේ ජීවිතේට සීමා පනවන විශ්වාස පද්ධතීන් දිහා අවඥාවෙන් බලනවා. ඒක සෞඛ්‍ය පිළිබඳ මගේ දේශපාලනය.

    ඒලියන්ත වයිට් කියන්නෙ ඒ වගේ තනි පුද්ගලයෙක් ජීවිත සම්බන්ධ බලයක් අත්පත් කරගත්ත තැනක්. හරියටම පැණි ධම්මික වගේම. ඒත් මං පැණි ධම්මිකට අකමැතියි. ඒලියන්ත වයිට්ට කැමතියි .

    වයිට් කියන්නෙ වැඩකාරයෙක්. එයාගෙ ඇදහිලිවන්තයො වුනෙ ප්‍රභූන්. ධම්මික ළඟට ආවා වගේ සරණක් නැති ලක්ෂ සංක්‍යාත ජනතාව නෙමෙයි වයිට් ළඟට ආවෙ. ඕන තරම්, ලෝකයේ ඉහලම ප්‍රතිකාර ගන්න පුළුවන් වත්කම් ඇත්තන් තමයි වයිට් හොයාගෙන ආවෙ. ඒක රැවටීමකට වඩා තෝරාගැනීමක්. අර ඩෙනිස් පෙරේරා කියනවා වගේ ඒලියන්ත වයිට් කියන්නෙ ආර්ටිස්ට් කෙනෙක්.

    මං ඉමේශ් රංගනගෙ සිංදුව ආපහු ඇහුවා. ඒක මං ආස සිංදුවක්. එතන ඉඳන් ඒලියන්ත වයිට් දිහා බැලුවා. ඒක කොහෙත්ම හිතාගන්න බැරි ප්‍රතිරූප දෙකක්. ඒත් මේ දෙකම එකම මිනිහෙකුගෙ නිර්මාණ. තමන්ව නැවත රීඉන්වෙන්ට් කරගැනීම සහ ඒකෙන් සාර්ථක වීම කියන්නෙ මං ඉතාම ගරු කරන දෙයක්. ඒකට සුවිශාල නිර්මාණශීලීත්වයක් ඕන වෙනවා.

    ඒලියන්ත වයිට් අපිට එකපාරට මුනගැහෙන්නෙ මහින්ද රාජපක්ෂ එක්ක. මහින්ද තමයි ඒලියන්ත වයිට්ගෙ බ්‍රෑන්ඩ් එම්බැසඩර්. මහින්ද සමහර ප්‍රභූන්ට තෑගි කරන්නෙ වයිට්ව. ඒක මාරයි.

    වයිට් කස්තුරි සහ ඔටුකිරි ගැන කතාවක් එක්ක මුලින්ම තමන්ගේ මිත්‍යා කලාපය නිර්මාණය කළා මතකයි. ඊට පස්සෙ අපි එක දිගට වයිට්ගේ ප්‍රාතිහාර්යයන් දැක්කා. දහස් ගනං මිනිස්සු තමන්ගේ ආබාධයන්ට වයිට්ගෙන් බෙහෙත් ගන්න බැරුව තැවුනා. ඒලියන්තගෙ ඒ නැරටිව් එක විශිෂ්ට එකක්. තමන්ගේ මැනික්හින්න පළාතේ ගුරුකම් උරුමයත් එක්ක එක එක බෙහෙත් වට්ටෝරු, කුන්ඩලිනී ශක්තීන් මුහුකරගෙන එයා තනි විෂයක් ප්‍රබන්ධ කරනවා.

    සමහරක් වයිට්ගෙන් බෙහෙත් අරගෙන මැරෙනවා. ඒත් බෙහෙත්වල ගුන කියන බහුතරයක් තාමත් ඉන්නවා. රටේ සියලු සහතිකලත් වෛද්‍යවරුන් පරද්දලා වයිට් ජාතියේ මහා වෛද්‍යවරයා වෙනවා. කිසිම වෛද්‍ය මණ්ඩලයක් වයිට්ව ප්‍රශ්න කරන්නෙ නෑ.

    මොකක් හරි හේතුවක් හින්දා කාලයක් යද්දි වයිට් ෆේල් වෙන්න ගන්නවා. ඒක වයිට්ගේ ක්‍රම පරීක්ෂාවකට ලක්වීම හෝ කවුරුන් හෝ අභියෝග කිරීමෙන් නිසා සිදුවූ දේකට වඩා මොකක් හෝ අභ්‍යන්තරික සිස්ටමික අර්බුදයක් වීමේ ඉඩ වැඩියි.

    ඊට පස්සෙ වයිට් කොවිඩ් වෙනුවෙනුත් තමන්ගේ ප්‍රසාංගික පෙලහරක් පෑවා.

    අපි මේ වගේ ආර්ට්වල ඇත්ත නැත්ත හොයන්න යන එකෙන් වෙන්නෙ ආර්ට් එක මගඇරෙන එකයි. ඒ මනුස්සයාගෙ විශිෂ්ටත්වය මගහැරෙන එකයි.

    අඩුගානෙ වයිට් තමන්ගෙ ආර්ට් එකට අවංක වුනු වග සටහන් කරන්න ඕන.

    වෙදකම කෙසේ වෙතත් ඒලියන්ත වයිට් කියන්නෙ මං ආඩම්බරයට පත්වෙන ආර්ටිස්ට් කෙනෙක්. එයා කරමින් හිටියෙ අපේ රටෙන් ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් ආර්ට් එකක්.


    චින්තන ධර්මදාස

  • වෙන්වීමේ කලාව

    වෙන්වීමේ කලාව

    මං මගේ යාළුවෙක් එක්ක කතා කරමින් හිටියා. අපි හිටියෙ හිරිකැටියෙ.

    ‘මචං පොඩ්ඩක් හිටපං. එක්ස්ගෙන් කෝල් එකක්..’

    ඌ කෝල් එකක් ගන්න එලියට ගියා. විනාඩි පහකින් විතර ආපහු ආවා. ආයිමත් අපි කතා කරනවා.

    ‘ආ.. සොරි බං. එක්ස්ගෙන් කෝල් එකක් ආපහු..’

    යාළුවා ආයිමත් එලියට ගියා. විනාඩි පහලොවකට විතර පස්සෙ ආවා. මූනෙ විස්සෝපයක් බලාපොරොත්තු වුනත් යාළුවගේ මූනෙ තිබුනෙ සතුටු හිනාවක්. එක්ස්ගෙන් කෝල් දෙකක් එනවා කියන්නෙ ඉතිං සාමාන්‍යයෙන් අර්බුදයක්නෙ.

    ‘සොර‍ි මචං.. මගේ බල්ලො දෙන්නා ඉන්නෙ එක්ස් එක්ක මේ දවස් ටිකේ. ඉතින් නිතර කෝල් එනවා උන්ගෙ ඒවා ගැන අහන්න..’

    ‘කවුද මචං මේ එක්ස්?’

    ‘අ‍පේ තිබුන මචං අවුරුදු හතක රිලේෂන්ෂිප් එකක්. අපි අවුරුදු තුනක් ගත්තා සෙපරේට් වෙන්න. දැන් සෙපරේට් වෙලත් අවුරුද්දක් විතර. ඒත් මගේ ඕනම දේකට උදව්වට ඉන්නෙ එයා’

    සම්බන්ධතාවයක වෙන්වීම කියන්නෙ අපි නිතර අත්දකින මරාගැනීමක්. සම්බන්ධයක් පටන්ගත්ත තැන පටන්ම අපි බයෙන් පෙළෙන හීනයක්. සමහර අවුරුදු ගනන් දිග සම්බන්ධතා එක දවසකින් අවසන් වෙනවා. වෙන්වෙනවා. ඒ අය ජන්මාන්තර වෛරක්කාරයන් වෙනවා. වෙන්වීම තිත්ත අත්දැකීමක්. කඳුළු ගලන, බීලා වැටෙන, අඬන, වැළපෙන මැරෙන්න හිතෙන වෙන්වීම් අපි හැමෝම විඳලා තියෙනවා.

    ‘ඉතිං ඇයි උඹලා සෙපරේට් වුනෙ?’

    ‘අපේ ලව් එක එක්ස්පයර් වුනා. කාලයත් එක්ක මට ඉස්සර එයාගෙ දැකපු පුංචි පුංචි ලස්සන දේවල් පේන්නෙ නැතුව ගියා. එයාටත් එහෙම වෙන්න ගත්තා. ඉස්සර හුරතල් වැඩ විදිහට දැකපු දේවල්වලට පොඩි නොරිස්සුම්කම් දැනෙන්න ගත්තා. අපිට ‍තේරුනා අපේ ආදරේ නරක් වෙමින් තමයි එන්නෙ කියල. ඉතිං අපි ඩිසයිඩ් කළා සෙපරේට් වෙන්න. අපිට ආපහු අපිව අර මුල් කාලෙ දැනුන හයි ෆීලින්ග් එකෙන්ම දැනෙන දවසක් ආවොත් ආපහු එකතු වෙන්න. ‘

    යාළුවගෙ කතාව මට ඉන්ටරෙස්ටින්. ඒ තරම් සවිඥානකව සම්බන්ධයක් ඇතුලෙ ඉන්නවා කියන එක හරි ලස්සන දෙයක්. කෙනෙක් තමන්ව රැවැට්ටුවා, පාවිච්චි කළා වගේ හැඟීමක් නැතුව දෙන්නෙක් වෙන්වීම තේරුම් ගන්නවා කියන එක අවබෝධයක්. ආදර සම්බන්ධයක් ඇතුලෙ විතරක්ම අවබෝධ වෙන තත්වයක්.

    අපි හැමතිස්සෙම වෙන්වෙන්න හදිස්සියි. සම්බන්ධය පටන් ගන්න තිබුණට වඩා ලොකු හදිස්සියක් අපිට වෙන්වෙද්දි තියෙනවා. ගොඩක් වෙලාවට අපි වෙන්වෙන්නෙ බරපතල තුවාල සහිතව. සමහර විට අපිට අනෙකාගේ රහස් සම්බන්ධයක් ගැන දැනගන්න ලැබෙනවා. අපිව පාවා දුන්නා කියල ලොකු වේදනාවක් ඇතිවෙනවා. බොරු කීම, වංචා කිරීම ගැන ජුගුප්සාවක් අවදි වෙනවා.

    ඒකම අනිත් පැත්තටත් දැනෙන්න පුළුවන්. තමන්ගේ රහස දැනගැනීම නිසා ලැජ්ජාවක්, අපහසුවක්, තමන් ගැනම වරදකාරී හැඟීමක්, මේ ඔක්කොමත් එක්ක දැඩි ආරක්ෂාකාරී පවුරු බැඳගැනීමක් සිද්ද වෙනවා. ඊට පස්සෙ අපි දකින්නෙ සටනක්. වෙන්වීම හෝ සාමය ඇතිවෙන්නෙ මේ සටනෙ ප්‍රතිඵල විදිහට. අපිට අමතක වෙන කාරණය අපි කොයිතරම් ආදරෙන් හිටියද කියන එක.

    වෙන්වීම නරක දෙයක් නෙමෙයි. බොරුකීම අසාමාන්‍ය දේකුත් නෙමෙයි. ඕනම බොරුවක තියෙනවා ඇත්තකට වඩා ඇත්තක්. උදා විදිහට කෙනෙකුට තමන්ගෙ වෙනත් සම්බන්ධයක් ගැන තමන්ගේ පෙම්වතියට හෝ පෙම්වතාට කියන්න බැරි වෙන්නෙ ඒ දෙන්නා අතර ගොඩනැගිලා තියෙන සම්බන්ධතාවයේ දුරස්බව හින්දමයි. රොමාන්තික ආදරෙන් එහාට මනුස්ස සම්බන්ධයක් ගොඩනගා ගන්න ඒ අය අසමත් වෙලා තියෙනවා.

    එ් කොහොම වුනත් වෙන්වීම නරක දෙයක් නෙමෙයි. හැබැයි වෙන්වීම ලස්සන එකක් වෙන්න ඕන. මිනිස්සු දෙන්නෙක්, ආදරවන්තයන් දෙන්නෙක් වෙන්වුනු තැනක ආදරය ඉතුරු වෙන්න ඕන.

    හොඳම දේ වෙන්වීමට කල් ගන්න එක. එකට හිඳිමින් වෙන්වීම පුහුණු කරන එක. අනෙකාගේ රිදුම් තුවාලවලට සත්කාර කරන එක. සුවපත් මනසකින් වෙන්වෙන තැනට එකිනෙකා පර‍ිණත කරන එක. ඒක අමාරු දෙයක් නෙමෙයි. අපිට සියල්ල නිමා කරන්න තියෙන හදිස්සිය, එමෙ නැත්තං තෘප්තිය, සාමය අත්පත් කරගන්න තියෙන කඩිමුඩිය අපේ සම්බන්ධතාවල වැදගත්ම මොහොතවල් අපිට මගහරවනවා. වෙන්වීම කියන්නෙ ආදර සම්බන්ධයක වැදගත්ම මොහොතක්.

    වෙන්වීමේ අයිතිය පිළිගැනීම, ඒකට ගරු කිරීම ආදරයක් ඇතුලෙ පුරුදු කළ යුතුම පුහුණවක්.

    අපි නොදන්නවා වුනාට එකට පවතින සම්බන්ධයක් ඇතුලෙ කාලයත් එක්ක අපි එකිනෙකා මත වැඩෙන්න ගන්නවා. අපි අතර පෙනෙන නොපෙනෙන ගොඩක් දේවල් හුවමාරු වෙනවා. එකට බෙදාගන්න අවකාශය පවා ලොකුවට අපේ ජීවිත ඇතුලෙ දැනෙනවා. එක ඇඳක නිදාගන්නවා කියන්නෙ කොහෙත්ම ලිංගික කාර්යයට සීමා වුනු අත්දැකීමක් නෙමෙයි. ඒ ඇ‍‍ඳ‍ෙ අනිත් පැත්‍ත හිස්වීම දරාගන්න බැරි වෙනවා.

    මේ දේවල් එකට පහු කරන්න තියෙනවා නම් ඒ වේදනාව රසයක්. සමහර විට අපි බෙදාගෙන කරන අපේ බැංකු වැඩ, බිල් ගෙවන වැඩ වගේ මතුපිට දේවල් වුනත් අපි හිතනවට වඩා ගැඹුරු තැන්වල සම්බන්ධ වෙලා තියෙනවා. මේ දේවල් හෙමින් නිදහස් කරන්න ඕන. ඒ නිදහස් කිරීම් එක්ක දැනෙන කම්පන සමනය කරන්න ඕන. ඒකට ඒ සම්බන්ධතාවය බෙදාගත්ත අනෙකා ඕන.

    වෙන්වීමෙන් පස්සෙ එකිනෙකා සුවෙන් ගතවෙන තැනක් නිර්මාණය කරගන්න වෙනවා. තවදුරටත් සමහර දේවලට එකිනෙකාගේ උදව් උවමනා වෙනවා. රොමාන්තික ආදරය කෙලවර වුනත් මනුස්ස ආදරය, නැත්තං හොඳම යාළුවෙක් විදිහට ඉන්න එක ඉතුරු කරගැනීමයි වැදගත්. එතකොට අපි ලස්සන ආදරයක ගමනාන්තයට ළඟවුනා වෙනවා. අපිට ලැජ්ජාවක් නැතුව වෙන්වෙන්න පුළුවන්.

    ‘මචං, ඊට පස්සෙ එයාට තව කෙනෙක් හම්බුනා. අපි එකට මුනගැහුනා. එයා මාත් එක්ක ගොඩක් ඒ අලුත් යාළුවා ගැන කතා කළා. මටත් හිතුනා එයාට ඒ සම්බන්ධය හොඳ එකක් වෙයි කියල. ඒත් මට තාම කවුරුවත් නැති එක එයාට අවුලක්. ඉතින් නිතරම මට කතා කරනවා. වීකෙන්ඩ්ස්වල එ‍් ගොල්ලොන්ගෙ ගෙදර ලන්ච් හරි ඩිනර් හරි යන්න වෙනවමයි’

    ‘ඉතිං උඹට දුක නැද්ද?’ මං ඇහුවෙ ඒ හැඟීම තවත් යටට කොනිත්තන්න.

    ‘දුකක් තියෙනවා. ඒක විඳින්න ආස හිතෙන එකක්. මට එයාව අර ඉස්සර මුනගැහුනා වගේම ලස්සනට ආපහු පෙන්න අරන් තියෙනවා. මං හිතන්නෙ අපි එකට හිටියට වඩා මං දැන් එයාට ආදරෙයි. එයා වෙන කෙනෙක්ව කසාද බැඳලා ඉන්න එක එයාටවත් මටවත් ඒ බැඳලා ඉන්න යාළුවටවත් ප්‍රශ්නයක් නෙමෙයි. අපි ජීවිතේ අවුරුදු හතක් එකට බෙදාගත්ත මිනිස්සු දෙන්නෙක්නෙ මචං. කොයිතරම් දේවල් ගොඩක් අපි දෙන්නා අතරෙ තියෙනවද?’

    ගියොත් තරහ වෙන බේබදු ආදරෙන් අපි එලියට එන්න ඕන. එකිනෙකා අතර බැඳීම් අසීමිත වෙන ආදරණීය පැවැත්මකට පරිණාමය වෙන්න ඕන. හැම සම්බන්ධයකම වෙන්වීමේ කාලය දීර්ඝ එකක් වෙන්න ඕන. අපේ ඉමෝෂනල් කැළඹීම් සමනය වෙලා, සිහියෙන් හැමදෙයක් ගැනම කතා කරලා අපි වෙන්න ඕන.

    ආදරෙන් පටන්ගන්න වගේම ආදරෙන් ඉවරකරන්නත් පරිණත වෙන්න.

  • අශිෂ්ට අසභ්‍ය තලංගම පොලිසිය සහ යූටියුබ් ගණිකාවෝ.

    අශිෂ්ට අසභ්‍ය තලංගම පොලිසිය සහ යූටියුබ් ගණිකාවෝ.

    තලංගම පොලිසිය ගණිකා නිවාසයක් වටලන්න යනවා. නිම්රෝස් මීඩියා කියල පාදඩ යූටියුබ්කාරයො ටිකක් තමයි තලංගම පොලිසියේ මීඩියා පබ්ලිසිටිවලට පාවිච්චි කරන්නෙ. පොලිසිය විසින් මේ කියන ගණිකා නිවාසයෙන් කාන්තාවන් පිරිසක් එලියට අරගෙන එනවා. කිසිදු උසාවියකින් තවමත් වරදකරුවන් කර නැති මේ කාන්තාවන් ඒ කැමරා ඉදිරියේ නිරුවත් කරනවා. ගර්භනී කාන්තාවන් වෙනම අරගෙන පෙන්නනවා.

    මොකක්ද මේ නීතියේ සදාචාරය? මේ පොලිස් නිලධාරීන්ට විරුද්ධව පුද්ගලිකව නඩු පැවරිය යුතුමයි. යූටියුබ්කාරයන්ට මෙවන් අවස්ථා වීඩියෝගත කරමින් තමන්ගේ චැනල්වල විව්ස් වැඩි කරගන්නට කාන්තාවන් බිලිදීමේ වරද කරන්නෙ මෙතන පොලිසියයි. මේක අශිෂ්ට අසභ්‍ය අමුනුස්ස ක්‍රියාවක්. නීතිය ක්‍රියාත්මක කරන අය එය කරන්නේ මෙයාකාරයෙන් නම් මේ රටේ මිනිස් ගරුත්වය සහ මිනිස් අයිතිවාසිකම් ගැන කවර කතන්දරද? පොලිසිය කරන්නෙ කුණු රහ බෙදන එකයි. ඒ වෙනුවෙන් මිනිස් ජීවිත බිලිදෙන එකයි. අපි කියන සදාචාරය මේකයි.

    ලංකාවෙ නීතියෙන් ගණිකා වෘත්තියේ යෙදීම වරදක් නෙමෙයි. මේ කාන්තාවන් වරදකරුවන් වෙන්නෙ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විතරයි. ගණිකා නිවාසයක් පවත්වාගෙන යන ලද්දේ නම් ඒ අයිතිකරුවන් හෝ තැරැව්කරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වනු ඇති. ‍නමුත් මෙතන බරපතලම වරද කරන්නේ පොලිසියයි.

    කාන්තාවක් ගර්භනීව හිඳිමින් මේ අවදානම් කාලෙදි ලිංගික ශ්‍රමිකයෙක් විදිහට රස්සාව කරන්න එනවා කියන්නෙ ඒක ඒ මිනිස්සු මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුදය ගැන මානුෂීය ප්‍රකාශනයක්. එහෙම දුක් විඳින කාන්තාවන් කැමරාව ඉස්සරහට ගෙනත් අවමන් කරනවා කියන්නෙ අමානුෂිකත්වයේ පාදඩම මොහොතක්.

    මේ පණිවුඩය අපිට දැනුම් දෙන්නෙ උපුල් සන්නස්ගල. රාත්‍රී 11ට ලැබෙන ප්‍රවෘත්තිය දැකලා කැළඹෙන සන්නා වහාම ලයිව් ඇවිත් මේ අසභ්‍ය පොලිස් සංස්කෘතිය එලිකරනවා. මාධ්‍ය සහ නීති අංශවල අයගෙන් වගේම පොලිස්පති, පොලිස් ඇමති ආදීන්ගෙනුත් මේ වෙනුවෙන් සාධාරණය ඉල්ලා සිටිනවා. මේ සිදුවීම වෙනුවෙන් පුරවැසියෙක් විදිහට වගකීම්සහගතම මැදිහත්වීම කිරීමෙ වෙනුවෙන් සන්නස්ගලට අපේ ගෞරවය හිමිවෙනවා.

    එතනදි සන්නා මේ වගේ මීඩියා චැනල් කරන අයට නිවැරදිම වචනය පාවිච්චි කරනවා. ‍යූටියුබ් ගණිකාවො. මේ වගේ පබ්ලිසිටි වෙනුවෙන් නීතිය ගණිකා වෘත්තියේ යොදවන පොලිස් නිලධාරීන්ටත් නිවැරදිම වචනය වෙන්නෙ ඒක. පෙ‍ාලිස් ගණිකාවො. ගණිකාවන් යැයි කියමින් අත්අඩංගුවට ගත් පිරිස ගැන සාක්ෂි නැති වුනාට සදාචාරයේ වේශයෙන් එතනට ගිය යූටියුබ් සහ පොලිස් ගණිකා පිරිසගේ වීඩියෝ සාක්ෂි තියෙනවා.

    නීතියෙන් යුක්තිය ඉටු කරන හැටි, කාන්තා සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත් වෙන හැටි අපි බලාගෙන ඉන්නවා.

  • ඇල්ලයි එල්ලුංගහයි – සෙක්ස් කතා දෙකක්

    ඇල්ලයි එල්ලුංගහයි – සෙක්ස් කතා දෙකක්

    සැප්තැම්බරය පටන් ගත්තෙ පහන්තුඩාව ඇල්ල ළඟ යුවළක් කරපු වැඩිහිටි වීඩියෝවක අනුරාගයත් එක්ක. පෝර්න්හබ්වල පළවුනු ඒ වීඩියෝව රටම එක දවසින් අවුළුවාලන්න සමත් වුනා. හැම කෙනෙක්ම ඒක නැරඹුවා. නරඹා ආස්වාදය වාවාගත නොහුනු සමහරු ගල්ගැහුවා. පහන්තුඩාව පූජා ස්ථානයක් බවට පත්වුනා. එතන රමණය මහා පාපකාරී වරදක් වුනා. අන්තර්ජාතික ප්‍රජාව අතර පහන්තුඩාවේ පිවිතුරුබව කෙලෙසීම ගැන විදග්ධ රචනා ලියවුනා. හාමුදුරුවරු ජනාධිපතිට ලියුම් ලිව්වා. පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති මැදිහත් වුනා. පැය 48කින් මහා මෙහෙයුමක් කරලා ඒ යුවළ අත්අඩංගුවට ගත්තා.

    ඒ තමයි පළවෙනි කතාව.

    දෙවෙනි කතාව සිද්ද වෙන්නෙ ඊට දෙසතියකට පස්සෙ. ඇමතිවරයෙක් තමන්ගේ පෙම්වතිය සමග මධුවිතෙන් මත්ව හෙලිකොප්ටර් සවාරියක් යනවා. ලංකාවෙ ජනතාව මේ ටුවර් එක ස්පොන්සර් කරනවා. ඒ ගොල්ලො මහ රෑ අනුරාධපුර හිරගෙදර නරඹන්න යනවා. එතනින් වැලිකඩ හිරගෙදරට එනවා. ඒකෙ එල්ලුම්ගහේ පහස ලැබීමේ රති උන්මාදයකින් පෙළෙනවා. ඒ යට රමණය කිරීමේ ආශාවද, නැත්නම් ඒ ස්මරණය කිරීමේ ආශාවද කියල පැහැදිලි නෑ. නමුත් ඒක ඉරොතික ෆැන්‍ටසියක් බව පැහැදිලියි. පිස්තෝලයක් ඇදගෙන රැඳවියන් දනගස්සනවා. ඒ සුරතාන්තය එසේ නිමාවෙනවා.

    ඇමතිවරයා තමන්ගේ අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වෙනවා. බන්ධනාගාර අධිකාරීන් කිසිම සිදුවීමක් සිද්ද වුනේ නෑ කියල සනාථ කරනවා. ඒ කියන්නෙ ඒක තනිකරම අපේ මනසේ මැවුනු සිහිනයක් කියන එක.

    දැන් මේ සිදුවීම් දෙකෙන් අසභ්‍ය සිදුවීම වෙන්නෙ මොකක්ද? වඩා වරදකාරී වන්නේ එල්ලුම් ගහ යට රමණයද නැත්නම් ඇල්ල ළඟ රමණයද? තමන්ගේ බලය පාවිච්චි කරමින්, කිසිවක් කරකියාගත නොහැකි රැඳවියන් පෙලමින්, අපේ සල්ලිවලින් ලත් මේ පරපීඩක කාමයද නැත්නම් ඇල්ල ළඟ වීඩියෝවක් කරලා චැනල් එකක දාලා මුදල් ඉපැයූ ඒ ප්‍රදර්ශනකාමයද අසභ්‍ය? ඇල්ල ළඟ වීඩියෝව සුවහසක් නැරඹුම්කාමීන්ට ආස්වාදයක් වුනා. එල්ලුම්ගහ ළඟ රමණය ආස්වාදයක් වුනේ කාටද? ප්‍රසිද්ධ ස්ථානය වෙන්නෙ හිරගෙදර එල්ලුම් ගහද, නැත්තං කවුරුත් නැති වෙලාවක පහන්තුඩාව ඇල්ලද?

    හාමුදුරුවරු ලියුම් ලිව්වෙ නෑ. පොලිස්පති නියෝජ්‍ය පොලිස්පති කිසිම කැළඹීමක් නෑ. ගිනිඅවි ආඥා පණත ක්‍රියාත්මක නෑ. සරලව ඇමතිකම බාරදීලා ගෙදර යනවා. පෙම්වතිය ඒ තමන්ට කරන අපහාසයක් කියල ෆේස්බුක් එකේ ලියනවා. ගල්ගහන සදාචාරවාදියො මෙතන නෑ. ඒ වෙනුවට ඇමතිව වීරත්වය‍ට නංවන මහා පිරිසක් ඉන්නවා. එල්ලුංගහ යට පරපීඩක කාමය බාරගන්න අපේ සමාජය සරල අඹුසැමි එක්වීම බාරගන්නෙ අසභ්‍ය විදිහට.

    බලය පාවිච්චි කිරීම අසභ්‍ය නෑ. රජයේ තනතුරු පාවිච්චි කිරීම අසභ්‍ය නෑ. මිනිස් අයිතිවාසිකම් උදුරාගැනීම අසභ්‍ය නෑ. වරප්‍රසාද අවභාවිතා කිරීම අසභ්‍ය නෑ. අධිකාරීන් වගකීම පැහැර හැරීම අසභ්‍ය නෑ. ඇල්ලක් ළඟ දෙන්නෙක් සෙක්ස් කිරීම අසභ්‍යයි.
    පළවෙනි කතාවට අතිරික්තව නැරඹුම් ශාංගාරය එකතු වෙන අතරෙ දෙවෙනි කතාවට නීතිය කැඩීමේ ශෘංගාරය එකතුවෙනවා.
    මේ මධ්‍යම රාත්‍රියේ මධුවිතෙන් මත්වී එල්ලුම්ගහ නරඹන්නට ඇතිවෙන පරපීඩකකාමය වඩාත් සමීප වෙන්නෙ BDSM කියන රති කලාපයට.

    B – Bondage – බන්ධනය
    D – Discipline or Dominance – විනය හෝ පාලනය
    S – Sadism or Submission – පරපීඩකකාමය හෝ යටත්වීම
    M – Masochism – ස්වපීඩකකාමය

    ඒකෙ තියෙනවා එල්ලුම්ගහ බෙහෙවින්ම සමපාත වෙන බ්‍රෙත්ප්ලේ නැත්තං හුස්ම ක්‍රීඩාව කියල ලිංගික විලාසයක්. මේක වඩාත්ම ජනප්‍රිය වුනේ අපේ සුප්‍රකට කුංෆු නළුවා ඩේවිඩ් කැරඩේන් මේ බ්‍රෙත්ප්ලේ ඇක්ට් එකකින් මරණයට පත්වීමත් එක්ක. හැබැයි කැරඩේන් පරපීඩකකාමයක් වෙනුවට ස්වපීඩකකාමයක් අත්විඳිමින් අනුන්ට හානියක් නැතිව ලබපු ආස්වාදයක් ඒක.

    කොහොම වුනත් මේ බ්‍රෙත්ප්ලේ නැත්තං ඉරොටික් ඇක්ෆික්සියේෂන් කියන රති ක්‍රීඩාව ඉතාමත් ඉතාමත් අන්තරායකාරී වෙන අතරම ඒ තරමටම ආස්වාදනීය වෙනවා කියලයි කියන්නෙ. ලිංගික ක්‍රියාව අතරදී මොළයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුකිරීම තමයි මෙතනදි සිද්ද වෙන්නෙ. ඒ කියන්නෙ යම් විදිහකින් සෙක්ස් කරන අතර හුස්ම හිරකිරීම. මෙතන තියෙන අවදානම වෙන්නෙ එක්තරා ප්‍රමාණයකට පස්සෙ ඔක්සිජන් අහිමිව මොළයට හානි සිදුවෙන අතර ඒ කොයි ප්‍රමාණයකින්ද කියන එක අතිශයින් අවිනිශ්චිත වෙන එකයි. නමුත් මේ ස්වයංපීඩක ක්‍රියාව නිසා ලිංගික ක්‍රියාව වඩාත් ඉන්ටෙන්ස් වන අතරෙම ඒ නිසා ලබන සුරතාන්ත අත්දැකීමක් අසමසම වෙනවා. ලිංගික උපදෙස් ලබාදෙන කිසි කෙනෙක් බ්‍රෙත්ප්ලේ එක දිරිමත් කරන්නෙ නැත්තෙ ඒ නිසා ලබන ආස්වාදය පරදන තරමෙ හානි සිදුවන අවස්ථා බොහොමයක් තියෙන හින්දයි.

    මේ රති ක්‍රීඩාවෙදි මොළයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙන අතරම අනිත් පැත්තෙන් රුධිරයේ කාබොන්ඩයොක්සයිඩ් ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒ නිසා බ්‍රෙත්ප්ලේ කරන දෙන්නෙක් නම් එකිනෙකාගේ ශරීර ගැන ඉතාම සියුම් මට්ටමේ අවබෝධයක් තියෙන්න ඕන. ඒ වගේම හුස්ම හිරකරන යාන්ත්‍රණය මගින් ශරීරයට දිගුකාලීන ආබාධ ඇති නොකිරීමේ දැනුමත් තියෙන්න ඕන. ඒ කියන්නෙ මේක නිසි අධ්‍යනයකින් සහ පුහුණුවකින් පස්සෙ කරන්න ඕන.

    අනෙක් බොහොමයක් BDSM ක්‍රීඩාවලදි යොදා ගැනෙන සේෆ් වර්ඩ් එක ඒ කියන්නෙ නතර කිරීමේ වචනය මෙතනදි ප්‍රමාණවත් වෙන්නෙ නෑ. ඒ නිසා ඇහැක පිල්ලම් ගැසීමක් හෝ අතක චලනයක් හෝ වැනි ඉරියව්වකුත් යොදාගන්න වෙනවා. එහෙම වුනත් ඒ දෙකටමත් වඩා සහකරුවා හෝ සහකාරිය විශේෂ අවධානයකින් සහ වටහා ගැනීමකින් පසුවෙන්නත් ඕන. බීලා බ්‍රෙත්ප්ලේ කරන්න ගියොත් නං අබසරණයි.

  • සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය – දෙවෙනි කොටස

    සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය – දෙවෙනි කොටස

    සුජිත් අක්කරවත්ත එක්ක ලංකාවෙ ශෘංගාරවංශය ගැන කරගෙන ගිය නිදහස් කතාබහේ දෙවෙනි කොටසයි මේ.

    ක්‍රිව දෙවෙනි සියවසේදි වගේ වෝහාරික තිස්සයි ගෝඨාභය රජුයි විසින් සෙක්ස් කියන එක පිටමං කළා. ඕක මිහිඳු හාමුදුරුවො ආපු වෙලාවෙ ඉඳලා තිබුනු ප්‍රශ්නයක්. බුදු දහම තිබුනෙ දහමක් විදිහට. ඒක රාජ්‍යයට පිලිගන්න ඕන වුනාම රාජ්‍යයට ගැලපෙන විදිහට සංස්කරණය කරන්න වෙනවා. ඉතින් බුදුදහම රාජ්‍ය ආගම වෙද්දි රාජ්‍යයට ගැලපෙන විදිහට බුදුදහම හැඩගැහුනා. සාහිත්‍යය, ආගම, රාගය වගේ ඒවා කොහෙත්ම රාජ්‍ය එක්ක බැඳිලා පවතින්න පුළුවන් දේවල් නෙමෙයි. රාජ්‍යයන් මේවා පිලිගන්න ගියාම වෙන්නෙ රාජ්‍යයේ හැඩයට මේවා තලාගන්න එකයි. බුදුදහම ලංකාවෙ තිබුනෙ මිනිස්සු කැමති දහමක් විදිහට. රාජ්‍ය ආගමක් ලංකාවෙ තිබුනෙ නෑ. අශෝක අධිරාජයාගෙ බලපෑමත් උඩ අපි මේ බුදුදහම රාජ්‍ය ආගම විදිහට පිලිගත්තා. ඒකත් එක්කම බුදුදහමෙ වෙන වෙන හැඩතල හැදුනා. මුල්කාලෙ ඕක අවුලක් වුනේ නෑ. මොකද මිහිඳු හාමුදුරුවො මහරහත් කෙනෙක් නිසා. එයාට සෙක්ස් ඇරියස් තිබුනෙ නෑ. ඊට පස්සෙ සංඝ පීතෘන් වෙන්නෙ මහරහතුන් නෙමෙයි. අපි වගේම ඇරියස් තියෙන අය. එතකොට ඒ ගොල්ලොන්ගෙ අතින් ඔය දහම එන්න එන්න පටුවෙනවා.
    පළවෙනි ගෝඨාභයයි වෝහරික තිස්සයි තමයි ඕක පටන්ගන්නෙ. වෝහාරික තිස්ස කියන්නෙම ව්‍යවහාරයට ගෙනාවා කියන එක. ව්‍යාවහාරික තිස්ස. ඔය කියන්නෙ ප්‍රැක්ටිකල් බුඩිසම් ගෙනාවෙ එයා කියන එක. යතාර්ථයට ඔබ්බෙන් වූ යතාර්ථයක් විදිහට ආගමක් තියෙන්න බෑ, ඒක තියෙන්න ඕන මේ යතාර්ථය තුලමයි කියන එක තමයි වෝහාරික කිව්වෙ. හැබැයි බුදුදහම යතාර්ථයේ හිරකරන්න බෑනෙ. ඒක යතාර්ථයෙන් එපිට පවතින එකක්නෙ. සම්මුති සත්‍යයෙන් ඔබ්බෙ තියෙන දෙයක් ගැනනෙ බුදුදහම කතා කරන්නෙ. මෙතනදි වෝහාරික කරන්නෙ ඒක සම්මුතියට ගේන එක. මොකද රාජ්‍යයට සම්මුතියක් ඕන කරනවා. බුදුදහමත් එක්ක රාජ්‍යයක් ගෙනියන්න බෑ.

    මේ සිදුවීම වෙන්නෙ මිහිඳු ඇවිත් අවුරුදු 500ට විතර පස්සෙ. වෝහාරිකට තිබුන ප්‍රශ්නෙත් අපි තේරුම් ගන්න ඕන. සම්මුතිය පිලිගන්නෙ නැති දහමක් එක්ක කොහොමද රාජ්‍ය ඉස්සරහට ගෙනියන්නෙ කියන එක ඇත්ත ප්‍රශ්නයක්. ඉතින් ඔතනින් පටන්ගත්ත එක දිගටම එන්න ගත්තා. අන්තිමට මිනිස්සුන්ට ලෞකික ජීවිතයක් ඉතුරු නොවෙන ගානටම බුද්ධාගම රාජ්‍ය ඇතුලෙන් ඉස්සරහට ගෙනාවා. ඕක දරාගන්න බැරුව තමයි මහසෙන් ඇවිත් ක්‍රි.ව 300දි ගැහුවෙ. මහා විහාරයයි අභයගිරියයි දෙකම කඩලා දාලා ජේතවනාරමය කියන නව චින්තන ගුරුකුලය හදනවා. ඒත් මේ ගැටුම ඉවර වුනේ නෑ. සීගිරි කාශ්‍යප තමයි තීරණය කළේ මේක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත පෙරලන්න ඕන කියල. ලෞකිකකරණය කරන්න ඕන කියල. ඒක හින්දයි ඉතිහාසෙන් සීගිරිය පිටමං වෙන්නෙ.

    දඹදෙනි යුගයෙදි අපි සම්මුති බුදුදහම හොඳටම පිලිගත්තා. ඒ කියන්නෙ රාජ්‍ය විසින් පනවන හැමදේම අපි පිලිගන්නවා කියන එකයි. හාමදුරුවරු ටික බ්‍රාහ්මණයොත් එක්ක එකතු වෙලා රාජ්‍යයට ඕන විදිහට බුදුදහම හදලා දුන්නා. මත්පැන් තහනම් කලොත් වැඩියෙන් භාන්ඩාගාරයට සල්ලි ලැබෙනවා. තහනම් කරලා තියන්න තියන්න පාවිච්චි කරන ප්‍රමාණය වැඩි වෙනවා.

    ඉතින් රාජ්‍යයට ඕන විදිහට බුදුදහම අර්ථකතනය කරලා දෙන එක තමයි භික්ෂුන්ට පැවරිලා තියෙන්නෙ. භික්ෂුන්ට වෙන ජීවිතයක් නැති වුනා. භික්ෂුත්වය රාජ්‍යයේ පිරුවටයක් විදිහට තමයි පවතින්න ගත්තෙ. භික්ෂුන් කල්පනා කළා අපිට සීල සමාධි ප්‍රඥා කිසි එකක් ඕන නෑ, රාජ්‍යයට ඕන විදිහට ආගම සකස් කරලා දීමෙන් සුඛෝපභෝගී ජීවිත ගත කරන්න පුළුවන් කියල. ඉතින් මොකද වුනේ රාජ්‍යයි ආගමයි එකතු වෙලා මිනිස්සුන්ට ලෞකිකත්වය අහිමි කළා. රාජ්‍යයි ආගමයි විතරක් ලෞකික සුව විඳින්න පටන්ගත්තා.

    දැන් පහන්තුඩාවෙ සිද්ධියට මිනිස්සු පහර දෙන විදිහ බලන්න. භික්ෂුන් සම්බන්ධ වුනු ඔයිට වඩා නරක දේවල් කොයිතරම් අපි ප්‍රවෘත්ති වල දකිනවද? කවුරුවත් ඒවට පහර දෙන්න ඉදිරිපත් වෙන්නෙ නෑ. පාදිලියන්ටත් එහෙමයි.

    අපේ පැවතුනු සංස්කෘතියම ශෘංගාර එකක්. රන්මසු උයන, නාලන්දා ගෙඩිගේ වගේ තැන් ගැන අහලා ඇතිනෙ. අපි ව්‍යවහාරය කියල දෙයක් පිලිගත්තෙ නෑ 1824 වෙනකල්. ඉතින් ශාංගාරය කියල වෙනම බෙදීමක් අවශ්‍ය වුනෙත් නෑ. දැන් උදා විදිහට අපේ සංස්කෘතියෙ සමලිංගිකත්වය ගැන වෙනම සඳහනක් වෙන්න දෙයක් තිබුනෙ නෑ මොකද ඒක තහනම් වෙලා තිබුනෙ නැති හින්ද. බයිසෙක්ෂුවල්, ගෲප් සෙක්ස් වගේ දේවල් ගැන වෙනම සඳහන් කරන්න දෙයක් නෑ. අපේ කැටයම්වලත් ඒවා දකින්න පුළුවන්. ඒවා හරි ලොකු වෙන්නෙ ඒවා තහනම් කරපු රටවල. දැන් ලිංගික නිදහස මේ රටේ තිබුන නම් චින්තන ධර්මදාසගේ පොත් බල්ලෙක්වත් කියවන්නෙ නෑ. ඒවාට තැනක් හම්බුවෙලා තියෙන්නෙම ලිංගික නිදහස නැති හින්ද.

    නාලන්දා ගෙඩිගේ, බෙල්ගෙ කාලෙ සංරක්ෂණය කරන්න පවා ඉඩ දුන්නෙ නෑ. ඒ කාලෙ තිබුනෙ වික්ටෝර‍ියා රැජිනගෙ බලය. නාලන්දා ගෙඩිගේ ඔය තියෙන තැන නෙමෙයි තිබුනෙ. ඔය ජලාශෙ මැද තිබුනු දූපතේ තිබුනෙ. උන් නාලන්දා ජලාශය පුළුල් කළා. ඕක කැඩුවා. පස්සෙ පරණවිතාන ලොකු අරගලයක් කරලා තමයි ඕක ඔතන පිහිටෙව්වෙ. නාලන්දා ගෙඩිගේ තිබුනු තැන තමයි නාලන්දා ජලාශය හැදුවෙ. මේක යටකළා ජලාශෙට. පුළුවන් නම් කිමිදිලා බලන්න. තව ගොඩක් ඔය වගේ මූර්ති තියෙනවා වතුර යට. ඔය අපි දකින්නෙ ගොඩට ගෙනල්ලා හයිකරපු ටික විතරයි.

    නාලන්දා ගෙඩිගේ ඔතන පිහිටන්නෙ ලංකාවෙ මධ්‍ය ලක්ෂය ඔතන පිහිටන හින්ද. ඉතිං ඒකත් එක්ක බැඳුනු විශ්ව ශක්තීන් ගැන විශ්වාස එක්ක පිහිටපු තැනක්. බුදුදහමයි තන්ත්‍රයාන බලපෑමයි එකට තිබුනෙ. රාගයේ උපරිම තැන නිවනයි කියන අර්ථයෙන් ඒක ආධ්‍යාත්මික වුනා. කජිරාවො වලටත් වඩා ඉස්සරහ ගිය තැනක්.

     

    මේ හැමදෙයක්ම සම්පූර්නයෙන් නැතිවෙන්නෙ සුද්දන්ගෙ වික්ටෝරියානු එක හින්ද තමයි. දැන් මීට අවුරුදු තිහ හතලිහකට කලින් වුනත් ලංකාව මීට වඩා සෙක්ෂුවලි නිදහස් තැනක්. මහින්ද ඇවිත් නැති කරපු ටික තමයි අද මේ අපි දකින්නෙ. එතකොට සුද්දොන්ගෙන් ඇතිවුනු බලපෑම තේරුම් ගන්න පුළුවන්නෙ. ඒ ගොල්ලො ඒක-විවාහ නීතිගත කළා, අනිත් ලිංගිකත්වයන් තහනම් කළා. ලංකාව කවදාවත් විවාහ ජීවිතයක් කියන එක පිලිගත්තෙ නෑ. විවාහය පිලිගත්තෙ නෑ කියන්නෙ ලිංගිකත්වය රාජ්‍යයට අදාල නෑ කියන එක. ඒක 1824 වෙනකල් අපේ රටේ තිබුන. දඹදෙනි කාලෙදි යම් යම් නීති පැවතුනා. ත්‍රීසම්වලට නීතියක් පැනවුනා ඒක කුල සිරිත් සම්ප්‍රදායක් වෙන්න ඕන කියල. මුලින් තිබුනෙ කවුරු හරි කැමති නම් ඒ අයගෙ සෙක්ස් ගැන රාජ්‍යයට ප්‍රශ්නයක් නෑ කියන එක. දඹදෙනි යුගයෙන් පස්සෙ අපි කැමති වුනාට බෑ අපේ කුල සම්ප්‍රදායන් ඒකට එකඟ වෙන්න ඕන. ඒක සම්මුතියක්. හැබැයි ලියාපදිංචියක් නෑ.

    ලංකාවෙ කසාදය කියල එකක් තිබුනෙ නෑ. පෘතුගීසින් තමයි පහතරටට කසාදය අඳුන්නලා දුන්නෙ. පෘතුගීසින් කළේ පහත රට කසාදය අඳුන්නලා දීලා උඩරට මිනිස්සුන්ගේ නිදහස් ලිංගිකත්වය පහත් අශිෂ්ට විදිහට හඳුන්වපු එක. ඒ කාලෙ පහතරට මිනිස්සු උඩරැටියන්ට පහරදුන්නෙ එහෙමයි. ඒ අය වනචරයි කියල. අපිට කසාදය කියන එකට සිංහල වචනයක්වත් නෑනෙ.

    රාජ්‍යය කසාදය පිලිගන්නෙ නෑ කියන්නෙ ලිංගික දේවල් ඒ ඒ අයගෙ රුචි අරුචිකම් මත සිදුවිය යුතුයි කියන එකනෙ. ඒක කොයිතරම් ලිබරල්ද? මෙච්චර දියුණු සංස්කෘතියක් තිබුනත් අපි විවාහය පිලිගත්ත නැති ජාතියක්. අපිට තිබුනෙ අඹුව කියන එකනෙ. අඹාගන්නවා කියන එකයි අදහස. අඹුකමට තියාගන්නවා කියලනෙ කියන්නෙ. සහේට ගන්නවා කියලත් කිව්වා. ඒ කියන්නෙ හවුල්කාරයා කියන එකනෙ.

    අපි පෘතුගීසි කසාදෙට කිව්වෙ හිරයක් ගන්නවා කියල. ඒක හිරේ යනවා වගේ වැඩක් විදිහටයි අපේ මිනිස්සුන්ට දැනුනෙ. කසාද නොබැඳ කවුරු හරි එක‍ට හිටියොත් හිරේ දානවා කියන එකයි නීතිය. මිනිස්සු ඒකම හදාගත්තා එයා හිරයක් ගත්තනෙ කියල. ඒ ඒකට දාපු පොඩි අපහාසාත්මක යෙදුමක්. වහරෙන් හැදෙන වචනවල තියෙනවා ඒ කාලෙ මිනිස්සුන්ට ඒ ගැන තිබුනු හැඟීම. ආගම කියන වචනෙත් එහෙම එකක්. ආගම කියන්නෙම පිට කියන එක. බුදුදහම අදහන්නෙ නැති අයටනෙ ආගමේ කියන්නෙ. බුදුදහම නෙමෙයි කියන එක. ආගම කියන එක අපේ නෙමෙයි කියලයි කියවෙන්නෙ. බුදුදහම අ‍පිට ආගමක් නෙමෙයි. ඒක අපේ ජීවන විලාසය.

    දැන් කොයිතරම් ලිබරල් වුනත් රනිල් වික්‍රමසිංහටත් බෑනෙ ලිංගිකත්වය විවෘතව බාරගන්න. කොයිතරම් නිර්භීත වුනත් මංගල සමරවීර වුනත් ලිංගිකත්වය සම්බන්ධ ප්‍රශ්නය බලය ඇතුලට ගෙනාවෙ නෑ කියල මං හිතනවා. මේක තමයි ලංකාවෙ මේ වෙලාවෙ තියෙන ලොකුම ප්‍රශ්නය.

  • ලිබරල් සහ ඉලිබරල්

    ලිබරල් සහ ඉලිබරල්

    ලිබරල්වාදය ගැන ලංකාවෙ කතාවෙන්නෙ අඩුවෙන්. වෙන ටිකත් වෙන්නෙ ගොඩක් වෙලාවට සෙක්ස් සම්බන්ධ ප්‍රශ්නයක් ආවම බනින්න. උඹලගෙ ලිබරල් නිදහස හරියන්නෙ නෑ කියන්න. අපි රටක් විදිහට ලිබරල් රාමුවක් ඇතුලෙ වැඩ කළාට ඒ වටිනාකම් ගැන දැනුමක් රටේ මිනිස්සුන්ට නෑ. ඒ රාමුව අපේ පොලොවට සම්බන්ද නෑ.  ඒක හින්ද ගොඩක් වෙලාවට එන්ජීඕකාරයො, විදේශීය කුමන්ත්‍රණ කියල ගුටිකන්න තමයි නියමිත. අනිත් රටවල බලපෑම හින්ද ආරක්ෂා කරනවා මිසක් ලිබරල් මූලධර්ම රටේ කාටවත් ඕන නෑ. හරියට බුදු දහම වගේමයි. නමට තිබුණට කාටවත් ඒකෙ හරයන්ගෙන් ඇති වැඩක් නෑ. බුදුන් දේශනා කළාට පෘතග්ජන ජීවිතේ ඕවා බෑ.

    මේක ලිබරල්වාදයේ ආධ්‍යාත්මික නිවහන කියල කියන ඇමරිකාවෙත් මෙහෙමයි. බටහිර ලිබරල් මතවාදය දැවැන්ත අභියෝගයකට ලක්වෙලා තියෙනවා. එක පැත්තකින් බලවත් වෙන චීනය ලිබරල් අදහස්වලට ඔලොක්කුව දානවා. අනිත් පැත්තෙන් රට ඇතුලෙම ජාතිකවාදී දක්ෂිනාංශිකයො සහ අන්තගාමී ලිබරල් වම මේ අදහස් යටපත් කරන්න සටන් කරනවා.

    මේ බටහිර ලිබරල්වාදයේ දෝෂය ගැන ඉකොනොමිස්ට් සඟරාවෙ හොඳ ලිපියක් තිබුන. බටහිර ශිෂ්ටාචාරය පදනම් වුනු නිදහස මූලික මේ අදහස් පද්ධතිය බිඳවැටෙයිද කියන කාරණය ඒකෙ සාකච්ඡා කරලා තිබුන. මේ සටහන පදනම් වෙන්නෙ ඒ සාකච්ඡාව මත.

    ලිබරල්වාදය කියන්නෙ මිනිස්සු අතර සංවාදයෙන් සහ විවිධ සමාජ ප්‍රතිසංස්කරණ හරහා මානව ප්‍රගතිය අත්පත් කරගන්න පුළුවන් කියල විශ්වාස කරන දර්ශනයක්. මෙතනදි ලිබරල්වාදීන් සමා‍ජයේ සංවර්ධන පිමි පනින්න කාරණා තුනක් පාවිච්චි කරනවා. පුද්ගල ගරුත්වය, ඒ කියන්නෙ පුද්ගල අයිතීන් ආරක්ෂා කිරීම- රජයෙන් හෝ ඒකාධිකාරයන්ගෙන් බාධා නොවෙන විවෘත වෙළඳපොල – ඊළඟට දුර්වල ආන්ඩුව. නැත්නම් කුඩා වූ රාජ්‍ය බලපෑම. මේ කාරණා තුන හරහා තමයි ලිබරල්වාදය ලෝකෙ මේ අද අපි අත්පත්කරගෙන විඳින සුවිශාල දියුණුව නිර්මාණය කළේ. අවුරුදු 250ක් පුරා ලිබරල්වාදය විසින් ලෝකෙ පුරාම හිතාගන්න බැරි තරමෙ සංවර්ධනයක් ඇති කළා. ඒ වගේ මතවාදයක් මේ වගේ සරලව ලෝකෙන් තුරන් වෙලා යයි කියල හිතන්න අමාරුයි. නමුත් දරුණු අර්බුදයකට මුහුණ දීලා තියෙනවා කියන එක ඇත්තක්. මේක හරියටම අවුරුදු 100ට කලින් යුරෝපයේදි මුහුණ දුන්නා හා සමානම අර්බුදයක්. ඒ කාලෙ එක පැත්තකින් ‍බොල්ෂෙවික්වාදයයි, අනිත් පැත්තෙන් නාසිවාදයයි යුරෝපය තුලම වර්ධනය වෙද්දි බටහිර ලිබරල්වාදය මේ වගේම අවුලකට ගියා.

    චීනයට අනුව ආත්මාර්ථය මුල් කරගැනීම, සුඛපරම වීම, ඉතාම අස්ථාවර වීම හින්ද  ලිබරල්වාදය ඉවර වෙන්න යනවා. ඇමරිකාවෙ දක්ෂිනාංශිකයන්ට සහ වාමාංශිකයන්ට අනුව ප්‍රභූවාදයක් වූ ලිබරල්වාදය එහි අවසානය කරා යමින් ඉන්නවා. ඇමරිකාවෙ මේ තත්වය දරුනුයි. පසුගිය සතියක තවමත් පවතින ගබ්සා විරෝධී නීතිය ඉවත් කිරීම ඇමරිකානු සුප්‍රිම් උසාවිය මගින් ප්‍රතික්ෂේප කරනවා. ට්‍රම්ප්වාදී දකුනෙන් ලිබරල්වාදය හොඳටම බැටකනවා.

    ඇමරිකාවෙ තත්වයත් පුදුම විදිහට ලංකාවට සමානයි.  ජාතිකවාදී දක්ෂිනාංශිකයො, හරියට අපේ පොහොට්ටුව වගේම විද්‍යාව, නීතිය වගේ දේවල් පිලිගන්නෙ නෑ. තර්කයට, දත්ත වලට වඩා ගෝත්‍රික, සමූහ ඉමෝෂන්වලින් තමයි දුවන්නෙ.

    අනිත් පැත්තෙන් ලිබරල් කඳවුර ඇතුලෙම ඉන්නවා ලිබරල් නොවන වමක්. මේ වම බිහිවුනේ සමාජයෙ ඉහළ ස්ථරවල පවුල්වල දරුවන්ගෙන්. කැම්පස් ඇතුලෙන් මේක පටන් ගත්තෙ. මීඩියා, බිස්නස්, පොලිටික්ස් හැම තැනකම ඉහළම තැන්වලට බලපෑම් කරන්න මේ අයට සම්බන්ධතා තියෙනවා. ට්විටර් කොමියුනිටි එකේ වැඩිපුරම ඉන්නෙ මේ පිරිස. පොලිටිකල් කරෙක්ට්නස් තමයි ඒ ගොල්ලොන්ගෙ මෙහෙයුම.

    මේ අය සමාජය ඇතුලෙ අනාරක්ෂිතයි කියන හැඟීමක් නිර්මාණය කළා. සමාජයේ පීඩිතයන්ගේ අලුත් කුල ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒ කියන්නෙ කලු කියන එකට වඩා මුස්ලිම් කියන එක පීඩිත කුල අතර ඉහලයි. සමහර විට කාන්තාවක් වීමට වඩා ආබාධිත වීම හෝ ට්‍රාන්ස්ජෙන්ඩර් වීම ඉහල කුලයක් වෙන්න පුළුවන්. සමාජයේ විඳින පීඩාව අනුව මේ බල ධූරාවලියෙ තැන ලැබෙනවා. මේ නිසා කතා කරන හැම කාන්තාවක්ම වගේ පොඩි කාලෙ තමන්ට අතවර සිද්දවුනු ඉතිහාසයක් නිර්මාණය කරගැනීමේ ට්‍රෙන්ඩ් එකක් පවා හැදුනා. එහෙම නැත්තං ඔයා අදාල නොවෙන කෙනෙක් වගේ. මේ කියන්නෙ සමාජයේ ඇත්තට අතවර සිද්ද නොවෙනවා කියන එක නෙමෙයි. ඒක විලාසිතාවක් වුනා කියන එක.

    සෝෂල් ජස්ටිස් වොරියර්ස් නැත්තං සමාජ යුක්ති‍යේ සටන්කරුවො බිහිවුනේ මේ විදිහට. මේ නව වමේ සමස්ත දේශපාලනයම පදනම් වුනේ  පීඩිතයා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම කියන පටු දෘෂ්ටියක. ඒ අය මතවාදී කන්‍යාභාවයක් විශ්වාස කළා. වෙනස් මත දරන අය එක්ක කිසිම සම්බන්ධතාවයක් පවත්වන්නෙ නෑ. සාකච්ඡාව විශ්වාස කරන්නෙ නෑ. වෙනස් අදහසක් දරන අයට ඒ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පිලිගන්නෙ නෑ. 18 වෙනි සියවසේ ලිබරල්වාදය එන්න කලින් යුරෝපයේ තිබුනු ආගමික මුහුණුවරමයි එහෙම්පිටින්ම.

    ප්‍රශ්නෙ තියෙන්නෙ සම්භාව්‍ය ලිබරල්වාදයෙත් මේ ලිබරල් නොවන ප්‍රගතිශීලී වමේත් සමාන තැන් තියෙන එක. මේ දෙකේම අවසාන පරමාර්ථයන් සමානයි. මූලික වෙනස තියෙන්නෙ ලිබරල්වාදීන් වර්තමානය පිළිගන්න එක. අනාගත අරමුණක් වෙනුවෙන් ඒක පාවා නොදෙන එක.  උදා විදිහට ජාතිය හෝ ලිංගය පදනම් කර  නොගන සියල්ලන්ට සමාන අවස්ථා ලැබිය යුතුයි කියන එක දෙගොල්ලොම පිලිගන්නවා. ඒ වගේම වෙනස්වීමේ අවශ්‍යතාවය විශ්වාස කරනවා. අධිකාරීන්ගේ බලය අවිශ්වාස කරනවා.

    ඒත් මේ තත්වයන් ළඟා කරගැනීමට යෝජනා කරන මාර්ගය වෙනස්. සම්භාව්‍ය ලිබරල්වාදීන් ප්‍රගතිය විශ්වාස කළාට ප්‍රගතිය යනු මෙසේ විය යුතුයි කියල අදහසක නෑ. ඒක අහම්බයක් විදිහටයි දකින්නෙ. පහළ සිට ඉහළටම සිදුවන ක්‍රියාකාරීත්වයන් රැසක ප්‍රතිඵලයක් විදිහටයි ප්‍රගතිය දකින්නෙ. ඒ සඳහා අවශ්‍ය තත්වයන් සම්පාදනය කිරීම විතරයි ලිබරල් දේශපාලනයෙදි කරන්නෙ. උදා විදිහට බලය කේන්ද්‍රගත නොවී හැකිතරම් බෙදී යාමට සැලැස්වීම, සමූහය හා සමානවම පුද්ගලයාටද ප්‍රමුඛත්වය දීම වගේ දේවල්. ලිබරල්වාදය ඇතුලට රිංගගත්ත ලිබරල් නොවන වම කරන්නෙ බලය තමන් වෙත කේන්ද්‍රගත කරගැනීමක්.

    ලිබරල් නොවන වම හරියටම දන්නවා මේ ප්‍රගතිය කෙසේ විය යුතුද කියන එක. ඒ අයට අනුව ප්‍රගතිය කරා ගමන් කළ හැක්කේ සියලු වාර්ගික, ලිංගික ධුරාවලීන් බිඳදැමීමෙන් පස්සෙයි.

    ලිබරල් පිලිගැනීම වෙන්නෙ සාධාරණ කොන්දේසි මත එකිනෙකා අතර ඇතිවන තරගයෙන් සමාජය ඉස්සරහට යනවා කියන එක. ඒ සඳහා මොනොපොලි නැතිකිරීම, ගිල්ඩ්ස් හදන එක, ටැක්ස් ප්‍රතිසංස්කරණ, අධ්‍යාපන වවුචර් ලබාදීම ව‍ගේ දේවල් ක්‍රියාත්මක කරනවා.

    මේ නව වාම ප්‍රගතිශීලීන් නිදහස් ගනුදෙනු කියන එක ගැන විශ්වාස කරන්නෙ නෑ. ඒවා පවතින තත්වය ස්ථාපිත කරන උපායන් විදිහටයි දකින්නෙ. ඒ වෙනුවට බලෙන් සමානත්වයක් ආරෝපණය කරන්න උත්සාහ කරනවා. යුක්තිය පසිඳලීමේ කාර්යය තමන්වෙත පවරාගන්නවා. උදා විදිහට වර්ණය පදනම් කර නොගන්නා විභාගයකින් සමත් වෙන ශිෂ්‍ය පිරිස යම් හෙයකින් වර්ණ භේදය දැක්වෙන ප්‍රතිඵලයක් නම් මේ ප්‍රගතිශීලීන් කියන්නෙ පරීක්ෂණය වර්ණභේදවාදීයි කියල.

    දැන් මෙතනදි වර්ණභේදවාදය නැති කිරීම කියන අරමුණ හොඳ එකක්. ඒත් ඒ හරහා සමස්ත පරීක්ෂණය විනිශ්චය කිරීම පටු එළඹුමක්. වර්ණයට අමතර තවත් බොහෝ කාරණාවලින් සමත් අසමත්බව තීරණය කරනවා වෙන්න පුළුවන්.

    වර්ණභේදවාදී නොවෙන ප්‍රතිපත්ති ඇති කරන එක වැදගත්. ඒත් ඒකෙන් පීඩාවට පත් සුදු ජාතිකයන්ට අසාධාරණයක් නොවීමත් වැදගත්. අනිත් අතට කලු ජාතිකයන්ට තමන්ගේ දක්ෂතා හඳුනාගැනීමට තියෙන ඉඩකඩ අහිමි වීමත් අවුලක්. කලුවීම නිසාම යමකට කෙනෙක් සුදුසු වෙනවා නම් එතන තියෙනවා ගැටලුවක්.

    පිරිස්වලට පමණක් නෙමෙයි පුද්ගලයාටත් සාධාරණව සලකන්න ඕන කියන එකයි ලිබරල් අදහස. සමාජය කියන්නෙ පුද්ගයන්ගෙන් හැදුනු එකතුවක් වන අතර පුද්ගලයා දියුණු වෙද්දි සමාජය දියුණු වෙනවා.

    සමාජයක් ගත්තම ඒක අරමුණු ගොඩක්. ආර්ථිකය, සුබසාධනය, අපරාධ, පරිසරය, ජාතික ආරක්ෂාව වගේ කාරණා තොගයක් එතන තියෙනවා. මේ අරමුණු එක්ක ගැටගැහුනු මිනිස්සු ඉන්නවා. එතනදි ප්‍රතිපත්තියක් හුදෙක්ම යම් පිරිසකට වාසිදායක වීම හෝ නොවීම මත පමණක් විනිශ්චය කරන එක දරුණු වරදක් වෙනවා.

    මේ නිසා ලිබරල්වාදීන් සංවාද කරනවා. ප්‍රමුඛතාවලට උඩට මතුවෙන්න ඉඩහරිනවා. හැම ආකාරයකින්ම බහුත්වවාදී සමාජයක් පිලිගන්නවා. චන්දවලින් දේවල් වෙනස් කරනවා.

    ඉලිබර‍ලයො, ඒ කියන්නෙ මේ ලිබරල් නොවන වාම ප්‍රගතිශීලීන් අදහස් වෙළඳපොල පිලිගන්නෙ නෑ. යමක් ගැන සාක්ෂි පිලිගන්නෙ නෑ. සංවාදයන් බැහැර කරනවා. ඒ අයට අනුව ඒවා එලීට් වැඩ.

    ලිබරල්වාදී විශ්වාසය වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවට මේ ප්‍රගතිශීලීන් විශ්වාස කරන්නෙ වේදිකාව තරමක් ඇලව පිහිටන්න ඕන කියලයි. ඒ කියන්නෙ පීඩිත කුලයට වාසි වෙන විදිහට. පීඩිතයන්ට එරෙහිව කිසි අදහසක් ප්‍රකාශ වෙන්න බෑ. එහෙම වුනොත් සමාජ යුක්ති විරුවන් විසින් දඬුවම් කරනවා.

    මිල්ටන් ෆ්‍රීමන් කාලෙකට කලින් මේක ගැන ඉතාම ලස්සන කතාවක් කියනවා. යම් සමාජයක් නිදහසට වඩා ඉස්සරහින් සමානත්වය ආරක්ෂා කරන්න යනවද, ඒ සමාජයට ඒ දෙකම නැති වෙනවා කියල.

    මේ නව වාම ප්‍රගතිශීලීන්ගේ තියෙන අපරිණත බව වෙන්නෙ  පීඩිතයන් ගලවා ගැනීමේ එකම ආකාරය ඔවුන් සතුයි කියල හිතන එක. මේ හරහා ඔවුන් දක්ෂිනාංශිකයන් වගේම පුද්ගලයා පීඩාවට ලක් කරනවා.  අනාගතයේ පොරොන්දු දේශයක් වෙනුවෙන් දැන් වැරදි මාර්ගය  තෝරාගන්නවා. ගමනට වඩා ගමනාන්තයට මුල්තැන දෙනවා. වර්තමානය කැප කරනවා.

    ඒ අය පුද්ගලයා වෙනු‍වට සමූහය මූලික කරගන්නවා.

    ජාතිකවාදීන් විශ්වාස කරන ශක්තිමත් රාජ්‍ය කියන්නෙ වික්ටර් ඕබන්ගේ හංගේරියාව, පුටින්ගෙ රුසියාව වගේ බලය පිළිබඳ ඉතාම නරක නිදර්ශන. අනිත් පැත්තෙන් කියුබාව වෙනිසියුලාව වගේ රටවල් කියන්නෙ අවසානයේ උදාවන යහපතක් අරමුණු කරගෙන වැරදි මාර්ගයන් තෝරාගැනීම ගැන හොඳම නිදර්ශන.

    ජාතිකවාදීන් කරන්නෙ දේශප්‍රේමය කියන එක දාලා සමාජය බෙදන එක. අනිත් පැත්තෙන් ප්‍රගතිශීලින් කරන්නෙ අලුත් පීඩිත කුල ධුරාවලියක් හඳුන්වාදීලා සමාජය කඩන එක. අවසානයේ හමුවන යුක්තිය කො‍හොම වුනත් මේකෙන් සමාජ ගැටුම් නම් උපරිම කරනවා.

    මේ දෙපිරිසම එකිනෙකා මත යැපෙනවා. දෙගොල්ලොන්ගෙම හතුරා වෙන්නෙ ලිබරල් නිදහස. මේ දෙපිරිසම විශ්වාස කරන්නෙ තමන්ගේ පාර්ශ්වයේ කෙනෙක් විවේචනය කිරීම ද්‍රෝහීවීමක් කියල. මේ හින්ද වෙන්නෙ ලිබරල්වාදයේ අවශ්‍යම කොන්දේසිය වන සංවාදය සංකෝචනය වෙන එක. එකිනෙකා ආරක්ෂා කරගැනීමක් මිස විවෘත අදහස් මුනගැහීමක් සිද්ද වෙන්නෙ නෑ. සමාජය ඉස්සරහට යාමක් නෑ.

    අපි සරලව ලිබරල් කියල කිව්වට තේරුම්ගන්න ඕන කාරණයක් තමයි ලිබරල්වාදය කියන්නෙ අපේ මානව ස්වභාවයට ප්‍රතිවිරුද්ධ දහමක් කියන එක. අපි අපේ විරුද්ධවාදියාගේ කතා කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න ඕන. ඒ කතා කරන දේට තමන් එකඟ නැති වුනත්, ඒකෙන් තමන්ට හානියක් වුනත්, ඒ අයිතිය ආරක්ෂා කරන්න ඕන.  ඒ වගේම හැමවෙලාවකම අපි අපිව සැකකරන්න ඕන. අපෙන්ම හැරිලා ප්‍රශ්න කරන්න ඕන. අපි නිවැරදියි කියන අදහස ලිබරල් එකක් නෙමෙයි. පවතින ව්‍යාපාර නිර්මාණාත්මකව අභියෝගවලට ලක්වෙන්න ඉඩ දෙන්න ඕන. ඒවා ආරක්ෂා කරන ප්‍රතිපත්ති හදන එක නෙමෙයි කරන්න ඕන. ඔයාගෙ පවුලෙම අයට වුනත් දක්ෂතාවයෙන් ඉස්සරහට එන්න ඉඩදෙන්න ඕන. තමන්ගෙ සම්බන්ධතාවලින් උඩට ගන්න බැරි වෙන්න ඕන. තමන්ගෙ විරුද්ධවාදියාගේ වුනත් ජයග්‍රහණය බාරගන්න ඕන. ඒකෙන් රටටම කෙළවෙලා යන බව දැනදැනම වුනත් පරාජය බාරගෙන ඉඩදෙන්න ඕන.

    මේ විදිහට බලද්දි පේන දෙයක් තමයි ලිබරල්වාදියෙක් වෙන එක ලේසි නෑ කියන එක. ඒක පුද්ගලයා තුල ඇතිවෙන සිතීමේ වෙනසක් එක්ක සම්බන්ධයි. ඒක තමන්ගෙන් එලියෙ පවතින දේශපාලනයක් නෙමෙයි, තමන්වත් ඇතුලෙන් වෙනස් කරන දහමක්.

    සෝවියට් රුසියාව බිඳවැටුන‍ට පස්සෙ ලිබරල්වාදයට අභියෝගයක් නැති වුනා. ඊටපස්සෙ ඇමරිකානු ලිබරල් එලීට් එකට ඒකෙ තිබුනු ඉතාම වැදගත් ගුණයන් වන මානවවාදී බවයි, තමන්ව සැක කිරීම කියන එකයි මගහැරුනා. සියල්ල නිවැරදියි කියල ඒ අය හිතුවා. ඒ ඉහල ඉන්න අයටම වාසි වෙන්න සිස්ටම් හැදුවා. සුදු- වැඩකරන පංතියේ මිනිස්සුන්ගේ ගරුත්වය නොතකා හැරියා. ඒ අය තුල හීනමානයක් ඇති කළා.

    මේක තේරුම් ගන්න හොඳම තැනක් තමයි අපේ මෛත්‍රිපාල සහ රනිල් අතර ගැටුම. මෛත්‍රිපාලට රනිල්ව පෙන්නන්න බැරි වෙන්නෙ රනිල් විසින් තමන්ගේ ඉහල පාංතිකබව හරහා ඇතිකරපු හීනමානය නිසයි. ඒ හීනමානයට පුළුවන් වුනා රටම ගිනිතියන්න. රනිල් ලංකාවෙ කළේ මේ ඇමරිකානු ලිබරල් එලීටය එහේ කරපු වරදමයි.

    මේ කාලෙ ඇමරිකානු ආර්ථිකයේ වර්ධනය මන්දගාමී වුනා. ඉතිහාසය පුරා එන වර්ගවාදය පිළිබඳ ප්‍රශ්නයට විසඳුමක් තිබුනෙ නෑ. අඩුම තරමෙ ඒ ප්‍රශ්න හෙමින් විසඳ‍ෙමින් තියෙනවා කියන විශ්වාසයවත් ජනතාව මත ගොඩනගන්න පුළුවන් වුනේ නෑ. චීනය ඉතා වේගයෙන් ඉස්සරහට ආවා. වොෂින්ටනය බිඳවැටුනා.

    ලිබරල්වාදීන් මේ අවදානම සුලුවෙන් තකන්න නරකයි. මේ වෙනස්කම් මැද ලිබරල්වාදයේ සමහර පිරිස් දකුනට තල්ලු වුනු අතර අතර අනෙක් පිරිස වමට තල්ලු වුනා. ලිබරල්වාදී ප්‍රවේශය වෙන්නෙම මිනිස්සු අන්තයන්ට තල්ලුවීමට එරෙහිව වැඩකරන එක. ධ්‍රැවීකරණය වලක්වන එක. ඕනෑම ආකාරයක විවිධත්වයක් එකට පැවතීම පිලිගන්නෙ ලිබරල්වාදීන් විතරයි. ඒක ඔවුන්ට අනුව ශක්තියක්.

    ලිබරල්  ප්‍රතිපත්ති සකස් කරන්නෙ මිනිස්සුන්ගෙ නිර්මාණශීලීත්වයට  විවෘත ඉඩක් තියලයි. අපි විසින් දැනට ගන්නා තීරණයට වඩා මිනිස් ක්‍රියාකාරීත්වයේදී වඩා සාධනීය, පිමි පනින තත්වයන් ඇතිවෙන්න පුළුවන් කියන එකයි ඒ විශ්වාසය.

    ඉතිං ලිබරල් සටන් නැවත පටන් ගන්න ඕන. පුද්ගල නිදහස අහිමි කරන පටු දෘෂ්ටිවාදයන්ට ලෝකය පාලනය කරන්න ඉඩහරිනවා වෙනුවට ඒ නිදහස ආරක්ෂා කරන්න පෙනී සිටින්න ඕන. වාරණයන්ට සීමාවන්ට එරෙහිව සංවාදය ආරක්ෂා කරන්න ඕන.

    ඇමරිකාවෙ විතරක් නෙමෙයි ලංකාවෙත් සැබෑ දේශප්‍රේමය කියන්නෙ ඉලිබරල්  අගාධයෙන් එපිටට සමාජය තල්ලු කරන එකයි.

  • සෙක්ස් කරන්න ගැබ් නොගන්න

    සෙක්ස් කරන්න ගැබ් නොගන්න

    උපත් පාලනය කියන්නෙ මිනිසාගේ ලිංගික නිදහස අත්පත් කරගැනීමෙදි වැදගත්ම විප්ලවය. එතෙක් දරුවන් හැදීම සහ ලිංගික සතුට අතර ගැටගැහිලා තිබුනු අගුල ගැලවුනේ මේ විද්‍යාවෙ පෙරලියෙන් පස්සෙ. උපත් පාලනය කියන එකේ මූලික අදහස වෙන්නෙම සෙක්ස් කරන්නෙ තෘප්තිය වෙනුවෙන් මිස දරුවන් හැදීමේ පරමාර්ථයෙන්ම නෙමෙයි කියන එක.

    දැන් අවුරුද්දක කාලයක් ළමයි හදන්නෙ නැතුව ඉන්න කියල ලංකාවෙ වෛද්‍යවරු අවවාද කරනවා. ඒක සලකා බැලිය යුතු ඇත්ත කාරණයක්. වසංගතයෙ අවදානම වගේම වංගතයෙන් බිඳවැටෙන ආර්තිකයෙ අවදානමත් ඒ දරුවට දරන්න වෙනවා. මේක ළමෙයක් මේ ලෝකෙට ඉපදෙන්න හොඳ වෙලාවක් නෙමෙයි. විශේෂයෙන්ම ලංකාව වගේ රටක.

    හැබැයි මේක වෛද්‍යවරු කිව්වට රටේ ජනතාවට උපත්පාලනය ගැන තියෙන්නෙ කොහොම දැනීමක්ද? උපත්පාලනය කියන්නෙ ජාතිය වඳකිරීමේ සැලැස්මක්. ඒක තමයි රාජපක්ෂ ආන්ඩුව විසින් ජනගත කළ මතය. ලිංගික අධ්‍යාපනයට එරෙහිව වගේම හාමුදුරුවරු, පූජකවරු උපත්පාලනයට එරෙහිවත් පාරට බැස්සා.

    කොවිඩ් නිසා ලොක්ඩවුන්වෙලා ගෙදර ඉන්න අතරෙ වැඩිවැඩියෙන් මිනිස්සු සංසර්ගයේ යෙදෙනවා. සමහර විට කොන්ඩම් එකක්, උපත්පාලන පෙති පැකට් එකක් මේ වෙලාවෙ ගෙදරක අවශ්‍යම ලැයිස්තුවෙ නැතුව ඇති. එතකොට ප්‍රායෝගිකව මේක කරන්නෙ කොහොමද? මේ කාරණයෙ වැදගත්කම අවධාරණය කිරීමට සහ ඒක පිළිබඳ දැනුම ජනතාව අතරට අරන් යන්න රජය විසින් කරන වැඩකොටස මොකක්ද? වඳ කොත්තු, වඳ බ්‍රා, පැලෝපීය නාල ගැන භීතිකා ජනිත කළ රජයකට (චන්න ජයසුමන කියන ඇමතිවරයා එහි ප්‍රමුඛයෙක්) උපත්පාලනය කරන්න කියල ජනතාවගෙන් ඉල්ලා සිටින්න සිදුවීම උත්ප්‍රාසයක්. ඒ කොහොම වුනත් අර භීතිය ජනනය කරන්න මීඩියාවල වෙන්කරපු කාලයෙන් කොයිතරම් ප්‍රතිශතයක් උපත්පාලන දැනුම වෙනුවෙන් ලබාදෙයිද?

    ලංකාවෙ උපත්පාලන ක්‍රමවේද පිළිබඳ දැනුම පවතින්නෙ අන්තිම අවම මට්ටමක. කොන්ඩම් එක පැළඳීම රේන්කෝට් ලා නෑමක් වැනිය කියල පැත්තකට දැම්මම බහුලව පවතින්නෙ උපත් පාලන පෙති. එහෙම වුනත් ලෝකෙ මේ වෙද්දි නිර්මාණය වුනු උපත්පාලන ක්‍රමවේදයන් බොහොමයක් තියෙනවා. ඒ ක්‍රමවලින් හොඳම ක්‍රමය තෝරගන්න එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ වගේම එකම පුද්ගලයෙකුගේ වුනත් ගැලපෙන උපත් පාලන ක්‍රමය කාලය අනුව වෙනස් වෙන්න පුළුවන්.

    ආණ්ඩුව කතා නොකරන හින්ද උපත් පාලනය ගැන අපි කතා කරන්න හිතුවා. උපත් පාලන ක්‍රමයක් තෝරගනිද්දි අපි අපෙන් විමසන්න ඕන ප්‍රශ්න කීපයක් තියෙනවා.

    1. අපි කොයිතරමක විතර ආරක්ෂිත බවක් බලාපොරොත්තු වෙනවද?
    2. ඒ වෙනුවෙන් අපිට දරන්න පුළුවන් වියදම කොයිතරම්ද?
    3. ප්‍රිවසි නැත්තං රහස්‍යභාවය කොයිතරම් වැදගත්ද?
    4. ස්ථිර සහකරුවෙක් ඉන්නවද?
    5. ලිංගික රෝගවලින් ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වීම අවශ්‍යද?
    6. පීරියඩ්ස් නැත්නම් ආර්තවයට එහි බලපෑම අවුලක්ද?
    7. ඒ වෙනුවෙන් කොයිතරමක විතර වෙහෙසක් දරන්න ලෑස්තිද?
    8. ඉදිරියේදී දරුවෙක් ලැබීමට අපේක්ෂා කරනවද?

    මෙන්න මේ ප්‍රශ්න අනුව තමන්ට වඩා ගැලපෙන උපත් පාලන ක්‍රමය තෝරගන්න වෙනවා. උපත් පාලන ක්‍රම වැඩකරන විදි කීපයක් තියෙනවා. ඒ කියන්නෙ ගැබ්ගැනීම පාලනය කරන්න පාවිච්චි කරන ටෙක්නික් එක වෙනස්.
    1. චර්යාමය – මේ කියන්නෙ අපේ චර්යාමය වෙනසකින් ගැබ්ගැනීම පාලනය කරන එකට. යන්න යද්දි එලියට ගන්න එක, සෙක්ස් නොකර ඉන්න එක, පීරියඩ් සයිකල් එක නැත්තං ඔසප් චක්‍රයේ දින අනුව සංසර්ගයේ යෙදෙන එක වගේම විකල්ප ලිංගික ක්‍රම පාවිච්චිය ආදිය වැටෙන්නෙ මේ කාන්ඩයට.
    2. බාධකමය – ඒ කියන්නෙ මොකක් හරි විදිහකින් ශුක්‍රානු සහ ඩිම්බ අතර බාධකයක් ඇති කරන ක්‍රමවේද. මේ නිසා ඩිම්බ සංසේචනය වීම නවතිනවා.
    3. හෝමෝනමය – කාන්තාවගේ ශරීර රසායනය වෙනස් කිරීමේ ක්‍රම. මේ හෝමෝන මගින් ඩිම්බ නිපදවීම වළක්වනවා, නැත්තං ගැබ්ගෙල ප්‍රදේශ රළු කිරීමෙන් ශුක්‍රානු ඇතුල්වීම වළක්වනවා, ගර්භාෂ බිත්තිය තුනී කිරීමෙන් ඩිම්බය රෝපනය වීම වළක්වනවා.
    4. වෛද්‍යමය – යම් ශල්‍යමය මැදිහත්වීමකින් ශරීරයේ වෙනසක් ඇති කිරීමෙන් ගැබ්ගැනීම වළක්වනවා.

    දැන් අපි බලමු අපිට ලබාගන්න පුළුවන් උපත්පාලන ක්‍රම මොනවද කියල. ඒවායේ වාසිඅවාසි එකිනෙකට වෙනස්. ගැලපෙන ආකාර වෙනස්.

    1. වැලකීමඒ කියන්නෙ සෙක්ස් නොකරම ඉන්න එක. එහෙම නැත්තං යෝනි මාර්ගයේ ලිංගික ක්‍රියාවන්ගෙන් වළකින එක. මේක වැටෙන්නෙ චර්යාමය උපත්පාලන කාන්ඩයට. මේ විදිහෙන් කිසිම අතුරු ආබාධයක් නෑ. සෙක්ස් සම්පූර්නයෙන් නවත්තලා ඉන්න එක නම් මානසික සෞඛ්‍යයට ඒ තරම් හොඳ නෑ.


    2. ස්ටෙරිලයිස්මේ

    මේක වෛද්‍යමය මැදිහත්වීමකින් සිද්ද කරන දෙයක්. අර දොස්තර සාෆිව අල්ලගෙන මැරෙන්න හැදුවෙ මෙන්න මේ උපත්පාලනය අනවසරයෙන් කරනවා කියලයි. මෙතනදි කරන්නෙ පැලෝපීය නාල අවහිර කරන එක. ගැටගැසීමක් වගේ දෙයක්. මේක ස්ථාවර එකක්. ආපහු නිවැරදි කරන්න බලාපොරොත්තුවක් නැත්නම් තමයි සුදුසු වෙන්නෙ. සිහිනැති කරලා කරන සැත්කමක්. නරක ප්‍රතිඵල විදිහට සමහර අයට වේදනාව, රුධිර ගලනය, ආසාදන වීම් වගේම සමහර දුර්ලභ අවස්ථාවල ගර්භාෂයෙන් පිටත කළලයක් වර්ධනය වෙන තත්වයන් ඇතිවෙන්න පුළුවන්.


    3. පිරිමි ස්ටෙරිලයිස්

    මේකට වාසෙත්කමී කියලත් කියනවා. ඉස්සර මේ සැත්කම කරගන්න අයට රජයෙන් යම් මුදලක් දුන්නා. මේකත් වෛද්‍යමය කාණ්ඩයේ උපත්පාලනයක්. මෙතනදි කරන්නෙ වෘෂණකෝෂ වලින් එන නාල අවහිර කරන එකයි. ඒ නිසා තරලයක් පිටවුනත් ශුක්‍ර පිටවීමක් සිද්‍ද වෙන්නෙ නෑ. ස්ථාවරයි. අදාල ප්‍රදේශය හිරිවැට්ටීමකින් කරන්න පුළුවන් සරල සැත්කමක්. හැබැයි ආපහු හරවන්න බෑ.


    4. උපත්පාලන රෝපනය

    සම යටට ඉඳිකටුවක උදව්වෙන් ප්‍රොජෙස්ටින් හෝමෝනය අඩංගු ගිනිකූරු හිසක තරම් පොඩ් එකක් ඇතුල්කරනවා. මේක දිගුකාලීන ක්‍රමයක්. නමුත් ආපහු අයින් කරන්න ලේසියෙන් පුළුවන්. අයින් කිරීමෙන් පස්සෙ ගැබ්ගැනීම සිද්ද වෙනවා. අතුරු ප්‍රතිඵල විදිහට මහත් වෙන එක, පීරියඩ්ස් වෙනස් වීම, බඩේ සහ පියයුරුවල වේදනා ආදිය ඇතිවෙන්න පුළුවන්.


    5. ප්‍රොජෙස්ටින් IUD

    නමෙන්ම තේරෙනවා මේක හෝමනල් වැඩක් කියන එක. මෙතනදි කරන්නෙ ප්‍රොජෙස්ටින් අඩංගු ටී හැඩයේ උපකරණයක් ගර්භාෂයේ රඳවන එක. අවුරුදු 3-5ක් අතර කාලයක් ගැබ්ගැනීම් වළක්වාගන්න මේකෙන් පුළුවන්. වාසි පැත්තෙන් බැලුවොත් සෙක්ස් කරන්න කලින් ලෑස්ති වෙන්න දෙයක් නෑ. IUD එක අයින් කළාම ආපහු ළමයි හදන්න පුළුවන්. පීරියඩ්ස් හැදෙන එකත් අඩුවෙනවා හෝ නැති වෙනවා.

    අවාසි පැත්තට තියෙන්නෙ සමහර විට සමහර අයට මේකෙන් පස්සෙ අවිධිමත් පීරියඩ්ස් ඇතිවෙන්න පුළුවන්. වේදනාව වැඩියෙන් එන්න පුළුවන්. ඩිම්බකෝෂවල කුඩා ගෙඩි ඇතිවෙන්න ඉඩතියෙනවා
    (මේවායෙන් අවදානමක් නෑ) ඉතා අඩු අවස්තාවල මේක ඉන්‍ෆෙක්ට් වෙන්න හෝ ගර්භාෂයේ ඇලෙන්න පුළුවන්.


    6. කොපර් IUD

    මේක වෛද්‍යමය මැදිහත්වීමක්. මෙතනදි කරන්නෙ ටී හැඩයෙ තඹ උපකරණයක් ගර්භාෂයේ තැන්පත් කරන එකයි. මේ උපකරණයෙන් ශ්‍රකානු ඩිම්බ ළඟාවෙන එක වලක්වනවා. ඩිම්බ ගර්භාෂ බිත්තියේ ඇලෙන එකත් වලකනවා.

    මේ උපකරණය අවුරුදු 10ක් පාවිච්චි කරන්න පුළුවන්. සෙක්ස් කරද්දි කලින් ලෑස්ති වෙන්න කියල දෙයක් නෑ. හැබැයි සමහර විට ක්‍රෑම්ප් (කෙන්ඩා පෙරලීම්) ඇතිවෙන්න පුළුවන්. අසාමාන්‍ය තත්වවලදි ශ්‍රෝනි ප්‍රදේශයේ ආසාදනවලට මේක උදව්වක් වෙන්නත් පුළුවන්. ඉතා දුර්ලබ අවස්තාවලදි මේක ගර්භාෂයේ ඇලෙන්න ඉඩතියෙනවා.


    7. උපත් පාලන එන්නත – ඩිපොප්‍රොවෙරා

    හෝමොන එන්නතක් මගින් උපත් පාලනය කරන එකයි වෙන්නෙ. වෛද්‍යවරයෙක් මගින් එන්නත ලබාගන්න ඕන. මාස තුනක කාලයකට පිළිසිඳගැනීම් වළක්වනවා. මාස තුනකට පස්සෙ නැවත එන්නත ගන්න ඕන. මේකෙදිත් සෙක්ස් කරද්දි ලකලෑස්ති වෙන්න කියල දෙයක් නෑ. විදපු වෙලාවෙ ඉඳන් පාලනය වැඩකරනවා. කරදරයක් විදිහට නැවත නැවත ගන්න සිදුවීම තියෙනවාත. ඒ වගේම අවුරුදු දෙකක් එක දිගට ගත්තොත් ඇට වල ඝනත්වය අඩුවෙනවා. පීරියඩ් කාල අතර රුධිර ගලනය ඇතිවෙන්න පුළුවන්. හිසරුදාව, මහත්වීම, නොසන්සුන්බව, බඩේ අපහසුව ඇතිවෙන්න පුළුවන්. එන්නතෙන් පස්සෙ සමහර විට අවුරුද්දක් විතර ඩිම්බ නොහැදෙන්නත් පුළුවන්.


    8. යෝනි මුදුව (නුවාරිංග්)

    මේකත් හෝමෝනමය ක්‍රමයක්. මෙතනදි නම්‍යශීලී මුදුවක් යෝනියට දානවා. එයින් ප්‍රොජෙස්ටින් සහ ඊස්ට්‍රජන් හෝමෝන නිදහස් කරනවා.

    එක වලල්ලක් මාසයක කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. වෛද්‍යවරයෙකුගේ සහය ඕන වෙනවා. හැබැයි හරිම ලේසියි. මේක දැම්මම සෙක්ස්වලට කලින් හිතන්න ඕන නෑ. අවාසි විදිහට තියෙන්නෙ හරියට නිසිතැන වළල්ල රඳවාගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒ වගේම නිසිකලට මාරු කිරීම කරන්න වෙනවා. සමහර අයට මේ නිසා යෝනි ශ්‍රාවය වීම් ඇතිවෙන්න පුළුවන්. සියුම් අපහසුතා දැනෙන්න පුළුවන්. කලාතුරකින් හෘදයාබාධ ඇති කරන්න ඉඩතියෙනවා. ඒ වගේම කරදරකාරී විදිහට සංසර්ගය අතර එලියට එන්න පුළුවන්.


    9. වැජයිනා ජෙල් (ෆෙක්සි)

    මේක හෝමෝනමය නොවන ක්‍රමයක්. සංසර්ගයට කලින් මේ ජෙලි ආධාරකයක් මගින් යෝනි මාර්ගයේ තවරන්න ඕන. යෝනි මාර්ගයේ PH අගය අඩුකිරීම මගින් ශුක්‍රානු වලට ඩිම්බය කරා ළංවීමට බාධාවක් ඇතිකිරීමයි සිද්ද වෙන්නෙ. එක පාරයි වැඩකරන්නෙ. ලේසියි. ජෙලි එක හින්ද ලුබ්‍රිකේට් වීමකුත් වෙනවා. පැයක කාලයක් විතරයි මේක වැඩ කරන්නෙ. සමහර අයට සුළු ඉරිටේෂන් එන්න පුළුවන්.


    10. උපත් පාලන ස්ටිකරය

    මේකත් හෝමෝනමය විදිහක්. අඟල් දෙකක විතර පැච් එකක් යටිබඩ ප්‍රදේශයේ හෝ තට්ටම්වල හෝ අතේ හෝ පිටේ අලවන එකයි කරන්නෙ. ‍මේ ස්ටිකරයෙන් පිටවන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටින් හෝමෝන සම හරහා ශරීරයට ඇතුල්වෙනවා. සති තුනක් විතර පාවිච්චි කරන්න. ඊට පස්සෙ සතියක් විතර අතාරින්න. එතකොට නැවත පීරියඩ්ස් එනවා.

    එක පැච් එකක් වැඩකරන්නෙ සුමානයයි. මේකටත් වෛද්‍යවරයෙකුගේ සහය ඕනකරනවා. හැබැයි වැඩේ හරිම ලේසියි. සෙක්ස් කරන්න කලින් හොයන්න දෙයක් නෑ. සමහර අයගෙ සමට මේ ස්ටිකරය කහන්න වගේ ගන්නවා. අවදානමක් විදිහට ලේ කැටි ගැසීම් සහ හෘදයාබාධ ඇතිකරන්න පුළුවන්.


    11. අඛන්ඩ උපත් පාලන පෙත්ත

    දිනපතා ලබාගන්නා හෝමෝනමය පෙත්තක්. ප්‍රොජෙස්ටින් සහ ඊස්ට්‍රජන් සහිත පෙත්තක් දිනපතා ගැනීමයි කරන්නෙ. මාස තුනක කාලයක් හෝ අවුරුද්දක කාලයක් වෛද්‍ය නිර්දේශය අනුව ගන්න ඕන. පෙති 84ක් සාමාන්‍යයෙන් එනවා. අමතරව අක්‍රිය පෙති 07ක් එනවා. මේ පෙති ගනිද්දි බ්ලීඩ් වෙන්නෙ අවුරුද්දටම හතරවතාවයි. ඒ අර අක්‍රිය පෙති ගන්න දිනවලදියි. ඇක්ටිව් පෙති විතරක්ම ගන්නත් පුළුවන්.

    සෙක්ස් කරන්න කලින් කරදර නෑ. ඔසප් වේදනා සහ කුරුලෑ ඇතිවීමත් අඩු කරනවා.
    හැබැයි හැමදාම එකම වෙලාවට පෙත්ත ගන්න ඕන. සාමාන්‍ය උපත් පාලනයට වඩා පීරියඩ් අතර රුධිර පිටවීම වැඩි වෙන්න පුළුවන්. පීරියඩ්ස් නැති හින්ද ගර්භනීද නැද්ද කියල බලාගන්න අමාරුයි. කැරකිල්ල, පියයුරු මෘදුවීම, හිසරුදාව, අධික රුධිර පීඩනය, රුධිරය කැටි ගැසීමෙන් හෘදයාබාද ඇතිවීම වගේ අවදානම් තත්වයන් තියෙනවා.


    12. සාමාන්‍ය උපත් පාලන පෙත්ත

    දිනපතා ප්‍රොජෙස්ටින් සහ ඊස්ට්‍රජන් සහිත පෙත්තක් ගැනීමයි සිද්ද වෙන්නෙ.පැකට් එක මාසයයි. සෙක්ස්වලට කලින් කිසි අවුලක් නෑ. පීරියඩ්ස් වේදනා පවා අඩුවෙනවා. අක්‍රමවත් නම් වඩා පිලිවෙල වෙනවා. හැබැයි හැමදාම පෙත්ත ගන්න ඕන. අවදානමක් හැටියට සමහර අයට මේ නිසා අධික රුධිර පීඩනය, රුධිරය කැටිගැසීම. හෘදයාබාද ඇතිවෙන්න ඉඩතියෙනවා. මේ ක්‍රමයෙදි මාස්පතා බ්ලීඩ් වීම සිද්ද වෙනවා.


    13. උපත් පාලන මිනිපිල් එක

    කලින් ඒවා වගේම හෝමෝන පෙත්තක්. මේකෙ තියෙන්නෙ ප්‍රොජෙස්ටින් හෝමෝනය. දිනපතා ගන්න ඕන. මේකෙන් පීරියඩ්ස් සැහැල්ලු කරනවා. වේදනාව අඩු කරනවා. අධික රුධිර පීඩනය, රුධිරය කැටිගැසීම, ඉරුවාරදය වගේ වෙනත් උපත්පාලන පෙති ගන්න බැරි තත්වයක් තියෙනවා නම් මේක සුදුසුයි.

    හැමදාම ගන්න ඕන. අක්‍රමවත් රුධිරවහනය, හිසරුදාව, පියයුරු මෙලෙක් වීම, කැරකිල්ල වගේ තත්වයන් ඇතිවෙන්න පුළුවන්.


    14. ශ්‍රක්‍රඝාතක ඩයෆ්‍රම්

    මේ ක්‍රමය වැඩකරන්නෙ බාධකයක් විදිහටයි. ඩෝම් එකක් හැඩයෙ ශුක්‍ර ඝාතක ජල්ලියක් අඩංගු රබර් හෝ සිලිකන් කප් එකක් යෝනිමාර්ගයේ ගැබ්ගෙල ආවරණය වෙන මෙන් තැන්පත් කිරීමයි කරන්නෙ. ඒ වෙලාවෙම වැඩකරනවා. මේක නිසා සහකරුවාට කිසිම අපහසුවක් දැනෙන්නෙ නෑ. ඔයාට දැනෙන්නෙත් නෑ. සංසර්ගයට පැය කීපයකට කලින් දාන්න පුළුවන්. පැය 24ක් තියෙන්න අරින්න පුළුවන්. හැබැයි ක්‍රියාකාරීත්වය තියෙන්නෙ පැය දෙකයි. සෙක්ස් කරලා පැය දෙකකට පස්සෙ ආපහු කරනවා නම් රිෆිල් කරන්න ඕන. කප් එක හරියට ෆිට් වෙන්න ඕන. සමහර අයට ඉරිටේෂන් ඇතිවෙන්න පුළුවන්. නොනොක්සිනොල් සහිත ස්පර්මිසයිඩ්/ ශුක්‍රඝාතකවලින් HIV ආසාදනය වීමේ අවදානම වැඩි වෙන්නත් ඉඩතියෙනවා. සෙක්ස් කරලා පැය 06ක්වත් ඉවත් නොකර ඇතුලෙ තියන්න ඕන.


    15. කොන්ඩම්

    මේක තමයි සුප්‍රසිද්දම ක්‍රමය. හොඳ බැරියර් එකක්. ලේසිම ක්‍රමයත් මේක. වැදගත්ම දේ ලිංගිකව බෝවන රෝග පවා මේ ක්‍රමයෙන් වළක්වනවා. වාතෙකට තියෙන්නෙ හැමපාරකම අලුතෙන් එකක් දාන්න ඕන. ඒ වගේම වින්දනය අඩු කරනවා කියන එකත් ලොකු චෝදනාවක්. සමහර අයගෙ හමට සුළු ඉරිටේෂන් තත්වයන් ඇතිවෙන්න පුළුවන්.
    ලේසිම වැඩිම ක්‍රමය. එස්ටීඩීත් වලක්වනවා. හැමපාරකම අලුතෙන් දාන්න ඕන. සෙක්ස්වල වින්දනය අඩුකරනවා කියන හැගීම. සමහර විට සුළු ඉරිටේෂන් ඇතිවෙන්න පුළුවන්.


    16. ෆීමේල් කොන්ඩම්

    මෙතනදි කරන්නෙ ශිෂ්නය වෙනුවට වැජයිනා එකට තුනී කොපුවක් දාන එකයි. පිරිමි කොන්ඩම් එකෙන් ලැබෙන ඔක්කොම වාසි තියෙනවා. ඒ වගේම පිරිමින්ට කොන්ඩමයක් නිසා දැනෙන අවුල මේකෙන් අඩුකරනවා. හැබැයි සමහර විට කරද්දි අතරමග ගැලවෙන්න පුළුවන්. දාන්න අමාරු වෙන්න වගේම ගලවන්න අමාරුවෙන්නත් පුළුවන්. ගොඩක්ම අවුල තියෙන්නෙ මේක හොයන්න අමාරු එකයි. පිරිමි කොන්ඩමයට වඩා මිළත් වැඩියි.


    17. එලියට ගැනීම

    ගොඩක් අය සුලබව පාවිච්චි කරන ක්‍රමයක්. යන්න කිට්ටු වෙද්දි එලියට ගන්න එක. එකම අවුල මේක ඒ තරම් ෂුවර් ක්‍රමයක් නොවෙන එක. මේක චර්යාමය ගනයටයි වැටෙන්නෙ.


    18. දින ගනං කිරීම

    හරියට පීරියඩ්ස් දින අනුව සිද්ද වෙනවා නම් ආර්තවය දින ගනං කරමින් සෙක්ස් කරලා ගැබ්ගැනීම් වළක්වන්න පුළුවන්. වඩාත්ම සරුභාවයක් තියෙන්නෙ පීරියඩ් සයිකල් එකේ 12-14 දිනවල. ඩිම්බයක් මෝචනය සිද්ද වෙන දවස්. ඒ කාලෙ තමයි අවදානම වැඩිම. පිරියඩ්ස් සිද්ද වුනු ගමන්ම මුල් සතිය යම් ආරක්ෂිත බවක් තියෙනවා. ඒත් මේ ක්‍රමයත් සාර්ථක වෙනවා කියල නිශ්චිතව කියන්න බෑ. අනිත් පැත්තට දවස් ගැනලා මිසක් උවමනා වෙලාවට සෙක්ස් කරන්න බෑ.

    19. විකල්ප ක්‍රම භාවිතා කිරීම

    යෝනි මාර්ගයෙන් බැහැරව සංසර්ගය සිදු කරන්නත් පුළුවන්. මේ සඳහා ගුද සංසර්ගය, මුඛ සංසර්ගය ආදී ක්‍රමයන් යොදා ගන්න පුළුවන්. ගැබ්ගැනීමක් ගැන කිසිදු බයක් ඇති කරගන්න දේකුත් නෑ. චර්යාමය ක්‍රමයක් නිසා අතුරු ආබාධත් නෑ.

    20. ස්පර්මිසයිඩ් ස්පොන්ජ්

    ස්පර්මිසයිඩ් හෙවත් ශුක්‍රඝාතක ද්‍රව්‍ය අඩංගු කුඩා තැටියක් ආකාර ස්පොන්ජ් එකක් ලිංගිකව එක්වීමට කලින් යෝනි මාර්ගයට ඇතුල් කරනවා. මෙයින් ආකාර දෙකකින් ගැබ්ගැනීම වළක්වනවා. එකක් ශුක්‍රානුවලට ගැබ්ගෙල ප්‍රදේශයට ඇතුල්වෙන්න බාධකයක් හැටියෙන් ක්‍රියාකිරීමෙන්. දෙවැන්න ශුක්‍රඝාතක රසායනයෙන්.

    මේ ස්පොන්ජ් එක පැළඳු වෙලාවෙ පටන්ම වැඩකරනවා. පැය 24ක කාලයක් මේ බලය පවතිනවා. නැවත නැවත ඇඩ් කරන්න දෙයක් නෑ. දරුවන් ලැබූ අලුත අම්මලට මේක හරියටම ෆිට් වෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඉරිටේෂන් ඇතිවෙන්නත්, ඉවත් කිරීම අපහසු වෙන්න පුළුවන්. සංසර්ගයෙන් පස්සෙ පැය හයක්වත් ස්පොන්ජ් එක තියන්න ඕන. හැබැයි පැය 24ට වඩා තියන එක නරකයි.

    21. ස්පර්මිසයිඩ්

    ශුක්‍රඝාතක රසායන කියන්නෙ බාධකයක් පාවිච්චි කරන ක්‍රමයක්. මේ ස්පර්මිසයිඩ් ජෙලි, ක්‍රීම්, පෙන, හෝ පෙති විදිහට එන්න පුළුවන්. එක්වීමට කලින් යෝනි මාර්ගයට ඇතුල්කිරීමයි කළ යුත්තෙ. එකපාරකට විතරයි වැඩකරන්නෙ. දෙවෙනිවර සංසර්ගයේදී නැවත ඇතුල්කරන්න වෙනවා.
    විනාඩි 05ට විතර කලින් දාලා, ඉවර වුනාට පස්සෙත් පැය 6ක් විතර තියන්න ඕන.

    22. මෝනිං ආෆ්ටර් පිල්

    පොස්ටිනො කියල ජනප්‍රිය පෙත්ත මේකයි. මේක හදිසි හෝමෝන බලපෑමක් ඇතිකරන පෙත්තක්. මේක පාවිච්චි කරන්නෙ උපත්පාලනයක් රහිතව ලිංගිකය එක්වීමක් ඇතිවුනාට පස්සෙ. ඒ අතපසු වීමෙන් පැය 72ක කාලයක් ඇතුලත පෙත්ත ගන්න පුළුවන්. මෙමගින් ඩිම්බය ඩිම්බකෝෂයෙන් පිටවීම වළක්වනවා. ඒ වගේම ඩිම්බය ශුක්‍රානුවක් සමග එක්වීමත්, ගර්භාෂ බිත්තියේ රෝපණය වීමත් වළක්වනවා. මේකට කියන්නෙ ප්ලෑන් බී කියල. නිතර පාවිච්චි කරන්න හොඳ ක්‍රමයක් නම් නෙමෙයි. කැරකිල්ල, මහන්සිය, ඔලුවෙ කැක්කුම සහ බඩ රුදාව ඇතිවෙන්න පුළුවන්.

    23. Ella

    මේක තවත් හදිසි හෝමෝන පාලනයක්. අනිත් හැම පියවරක්ම මගහැරුනම ගන්න තියෙන්නෙ මේ පෙත්ත. අතපසු වීමෙන් මුල් දවස් 05ක කාලට ඇතුලත ගන්න පුළුවන්. ‍මේක ගන්න නම් වෛද්‍ය නිර්දේශයක් ඕන වෙනවා. මහත අයට මේ ක්‍රමය වැඩ කරනවා වැඩියි. හැබැයි නිතිපතා පාවිච්චි කරන්න හොඳ ක්‍රමයක් නම් නෙමෙයි.

    ඉතින් මේ අතරින් කෙනෙකුට තමන්ට වඩා ගැලපෙන උපත් පාලන ක්‍රමය තෝරගන්න පුළුවන්. චර්යාමය සහ බාධකමය ක්‍රමයන්ට බැහැර අනෙක් ක්‍රමවල විවිධ අතුරු ආබාධ ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. උපත් පාලන ක්‍රමයක් තෝරාගනිද්දි ඇයගේ සෞඛ්‍ය ගැන හිතන එක ඉතා වැදගත්. ඇත්තටම මේ තීරණයේ අයිතිය තියෙන්නෙ ඇයටයි. ඒ නිසා නිසි වෛද්‍ය උපදෙස් මත වඩා සරල පහසු අතුරු ආබාධ රහිත ක්‍රමයක් තෝරාගැනීම ආදරය කරන කෙනෙකුගේ වගකීම වෙනවා.