Category: Features

  • ලෝක ආහාර දිනය සහ ඇෆ්රොඩිසියැක්

    ලෝක ආහාර දිනය සහ ඇෆ්රොඩිසියැක්

    අද ඔක්තෝම්බර් 16 ලෝක ආහාර දිනය. මේ දවස සමරන්නෙ ලෝකෙන් කුසගින්න තුරන් කිරීම සඳහා එකතුවීමක් විදිහට. ‍‍ආහාර යනු වරප්‍රසාදයක් නොවේ කියන එකයි මේ දවසෙ අවධාරණය. අරමුණු අතින් වෙනස් වුනත් අපි හිතුවා මේ දවස වෙනුවෙන් සෙක්ස් සම්බන්ධ ආහාර ගැන කතා කරන්න. ඒ කියන්නෙ ආශාව වර්ධනය කරන ආහාර වර්ග. මේවාට කියනවා ඇෆ්රොඩිසියැක් කියල. ඒකට ලිංගික ශක්තිය වඩන ආහාර වර්ග, පාන වර්ග සහ ඖෂධ වර්ග අයිති වෙනවා. හැබැයි මූලිකවම අයිති වෙන්නෙ ආහාර පාන. ලංකාවෙ අපි හැමෝම දන්න ආයුර්වේදය පැත්තෙන් එන ඇෆ්රොඩිසියැක් තමයි වැල්පෙණල, කීකිරිඳිය, අශ්වගන්ධ වගේ ඒවා. කංසා, මෝදක අයිතිවෙන්නෙත් මේ කාණ්ඩෙට.

    මේ කාමවර්ධක ඈත ඉතිහාසෙක ඉඳන් තිබුන. පුරාතන ඉතිහාසයන් ඇති ඉන්දියාව, චීනය, ඊජිප්තුව වගේ රටවලින් විවිධ කාමවර්ධක ආහාර පාන ගැන සඳහන් වෙනවා. පිරිසිදු මීපැණිවල ඉඳන් කිඹුලන්ගෙ වෘෂණ කෝෂ දක්වා විවිධ කෑම වර්ග මේ ලැයිස්තුවල තියෙනවා. එක එක රටවල ඇෆ්රොඩිසියැක් වෙනස් වුනත් හැම එකකම අවසාන අරමුණ වෙන්නෙ උත්කෘෂ්ට ලිංගික ආස්වාදයක් කියන එක.

    ගොඩක් වෙලාවට මේ ආහාරපාන වටේ තියෙන්නෙ ‍ගෙතුණු මිත්‍යාවක්. එහෙම ඇත්තට ක්‍රියාකාරීත්වයක් නෑ. හැබැයි සමහර ආහාරපාන වර්ගවල ඇත්තටම කාම උද්දීපනයක් තියෙනවා.

    ඇෆ්රොඩිසියැක් කියන නම එන්නෙ අනුරාගයට සහ සුන්දරත්වයට අධිපති ග්‍රීක දෙවඟන ඇෆ්රොඩයිට් ගෙන්. ග්‍රීක මිත්‍යා කතාවට අනුව ඇෆ්රොඩයිට් ඉපදෙන්නෙ පෙණවලින්. ඇෆ්රොස් කියන්නෙ පෙණවලට කියන ග්‍රීක වචනය. මේ පෙණ හැදෙන විදිහ හරි ප්‍රචණ්ඩයි. ක්‍රොනස් කියන සියුස්ගෙ තාත්තා විසින් යුරේනස් කියන සියුස්ගෙ සීයාගෙ වෘෂණකෝෂ කපලා මුහුදට විසිකරනවා. ඒ කියන්නෙ අකීකරු පුත්‍රයා විසින් අධිපති තාත්තාව කප්පාදු කරනවා. මේ වෘෂණකෝෂවලින් මුහුදෙ හැදෙන පෙණවලින් තමයි ඇෆ්රොඩයිට් ඉපදෙන්නෙ. එයාට මුහුදු දෙවඟන කියලත් කියනවා.

    ඓතිහාසික ඇෆ්රොඩිසියැක්

    ක්‍රිපූ 8 වෙනි සියවසේ විතර ලියවුනු සුශෘත සංහිතාව අනුව ගිතෙල් අරගෙන, කිඹුල්, මී, ගෙඹි, සහ පොල්කිචි බිත්තර හෝ වෘෂණ සමග තම්බලා ඒ මිශ්‍රණය පතුල්වල ගාගන්න පිරිමියෙකුට පුළුවන් වෙනවා අසාමාන්‍ය ලිංගික ශක්තියකින් ගැහැණියක් සමග රමණය කරන්න. ඒ පතුල් නැවත බිම තියන තුරු මේ බලය තියෙනවා කියලයි කියන්නෙ.

    චීනයේ හුආන්-ටි නේ- චින්ග් කියන ක්‍රිපූ 2600 විතර ලියවුනා කියන වෛද්‍ය ග්‍රන්ථයට අනුව චීන අධිරාජයා එයාගෙ 1200ක් මෙහෙසියන් සමග රමණය කරලා අවසානයේ අමරණීයත්වය ලබන්න කලින් වර්ග 22ක් මුසුකර හදපු ඇෆ්රොඩිසියැක් පානයක් අරගන්නවලු.

    • පැරණි ඊජිප්තුවෙ කිඹුල් හදවත අඹරලා ලිංගයේ ආලේප කිරීම සිදුවුනා.
    • ප්ලයිනි කියන ග්‍රීක දාර්ශනිකයා කියනවා මැන්ඩ්‍රේක් මුලෙන් ලිංගික ශක්තිය වැඩිකරනවා කියල. ඒ මුල් ගැහැණු ලිංගේන්ද්‍රියක් හැඩයට පිහිටන්නෙ ඒකලු.
    • පැරණි චීන්නු ලිංගික ශක්තිය වැඩිකරන්න කියල විවිධ සතුන්ගේ ලිංගේන්ද්‍රියන් අනුභව කරලා තියෙනවා.
    • රෝමානුවන් තමන්ගේ තරුණ මදය යළි ලබාගන්න කියල තරුණ පිරිමින්ගේ ශ්‍රක්‍රානු පානය කරලා තියෙනවා.
    • ඇෆ්රොඩයිට්ගේ තියෙන මුහුද එක්ක සම්බන්ධය නිසාම මුහුදුකෑම ජාති සහ බෙල්ලො අනුරාගය වඩවනසුලුයි කියල අතීතයේ ඉඳන් කියනවා.
    • මධ්‍යධරනී මුහුදෙ සර්දීනියාව කියන දූපතේ පණුවො ගහපු නරක් වූ චීස්, මේකට කියන්නෙ කාසු මර්සු කියල, කාම උද්දීපකයක් කියල කියනවා.
    • ලෝකෙ ගඳම කෑමවලින් එකක් කියන දූරියන් ගිනිකොණදිග ආසියාවෙ රටවල දරුණු කාම වර්ධකයක් කියල කෑමට ගන්නවා.
    • රයිනොගෙ අඟ ලිංගික ශක්තිය වැඩිකරනවා කියල අප්‍රිකාවෙ රයිනෝලා මරාගෙන මරාගෙන යනවා.
    • මේ කතාවල ඇත්ත නැත්ත කොහොම වුනත් යම් විද්‍යාත්මක පදනමක් තියෙන ඇෆ්රොඩිසියැක් වර්ග තියෙනවා.

    ඔයිස්ටර්ස්

    කැසනොවා එයාගෙ සෙක්ෂුවල් ස්ටැමිනා, ඒ කියන්නෙ වැඩිවෙලාවක් අල්ලගෙන හිඳීමේ ශක්තිය රඳවා ගන්න අමු මුහුදු බෙල්ලො 50ක් උදේ ආහාරය විදිහට ගත්තා කියනවා.
    ලිංගික සෞඛ්‍ය සහ පෝෂණය පැත්තෙන් විද්‍යාවෙනුත් ඔයිස්ටර්ස්ලාගේ තියෙන මේ ගුණය පිළිගන්නවා. ඔයිස්ටර්ස්වල සින්ක් හොඳටම තියෙනවා. අපේ ලිංගික පරිණතියට සහ ශුක්‍ර නිෂ්පාදනයට සින්ක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම අමු බෙල්ලන්ගෙ තියෙන ඇමිනො අම්ලයක් මගිනුත් ලිංගික හෝමෝන වර්ධනය කරන බව හොයාගෙන තියෙනවා.
    චොක්ලට්

    චොක්ලට් කියන්නෙ ආදරයේ ආහාරය නෙ. ආදර හදවත් කුල්මත් කරන්න චොක්ලට්වලට ලොකු හැකියාවක් තියෙනවා කියල ලොකු පිලිගැනීමක් තියෙනවා. පර්යේෂණවලින් කොකොවා සතු හෘදයට හිතකර බලපෑම් හොයාගෙන තිබුනත් කාමය වර්ධනය කරන කිසිම සාක්ෂියක් හොයාගන්න බැරි වෙලා තියෙනවා.

    මිරිස්

    මිරිස්වලින් අපිව රත් කරනවා. රතු කරනවා. දාඩිය දානවා. හදවතේ ගැස්ම වැඩි කරනවා. අනුරාගය වැඩිවෙද්දි සිද්දවෙන හැමදෙයක්ම වගේ ඇති කරනවා. ඒත් ඇත්තටම ඒකෙන් ලිංගික බලපෑමක් තියෙනවද?

    මීයන්ව යොදාගෙන කරපු පර්යේෂණවලට අනුව මිරිස් කාපු මීයන් ශුක්‍ර පිටකරන වාර ගණන වැඩිවෙලා තියෙනවා. හැබැයි ඒ අතරම ක්ෂණික මෝචනයක් සිද්ද වෙනවා. ඒ මීයන්ගෙ එක වරක් ශුක්‍ර පිටවීමෙන් පස්සෙ නැවත ප්‍රාණවත් වීමට ගතවෙන කාලයත් අඩුවීමක් පෙන්නුම් කරලා තියෙනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ ලිංගික ක්‍රියාවෙ යෙදෙන කාලයත් අඩුවෙන එකයි.

    මේ ප්‍රතික්‍රියා මීයන්ට මෙහෙම වුනාට මිනිස්සුන්ට මෙහෙම වෙනවා කියල හොයාගෙන නම් නෑ.
    රතු ජින්සෙන් සහ මැකා

    විධිමත් පර්යේෂණ මට්ටමෙන් තවම කියන්න බැරි වුනත් රෙඩ් ජින්සෙන් සහ පේරුවලින් එන මුලක් වෙන මැකා වලින් ලිංගික ශක්තිය වැඩි කරන බවට පාවිච්චි කළ පුද්ගලයන් ආශ්‍රයෙන් හෙළිවෙලා තියෙනවා. ඒ අයගෙන් ප්‍රශ්න කරමින් සිදුකළ සමීක්ෂණවලට අනුව ගැහැණු පිරිමි දෙපාර්ශ්වයෙම ලිංගික ආශාවන් වර්ධනය කරන්න මේ මුල්වලට හැකිවෙලා තියෙනවා.

    විද්‍යාත්මක පර්යේෂණ කොහොම වුනත් ඇෆ්රොඩිසියැක් ගැන විශ්වාසය නිසාමත් ඒවා වැඩකරන තත්වයක් තියෙනවා. හොඳම උදාහරණය චොක්ලට්. විද්‍යාත්මක ලිංගික අනුරාගය වඩවන කිසිම සාක්ෂියක් හොයාගන්න බැරි වුනත් චොක්ලට් සුවඳට, ඒ රසට අපේ මනසේ නිර්මාණය වෙලා තියෙන ආශාවේ අනුහස විශාලයි. ඒ හින්දම චොක්ලට් කාම උද්දීපකයක් විදිහට වැඩකරනවා.

    ඒ හින්ද මේ ඇෆ්රොඩිසියැක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. තමන්ට දැනෙන, හැ‍ඟ‍ෙන ඇෆ්රොඩිසියැක් ලැයිස්තුවක් හදාගෙන තමන්ගේ අනුරාගී අත්දැකීම වඩාත් උද්දීපනය කරන්න ඒක පාවිච්චි කරන එකයි වැදගත්. ඇෆ්‍රොඩීසියැක් කියන්නෙ ඇත්තටම විද්‍යාවට වඩා අනුරාගී සංස්කෘතියට සම්බන්ධ කාරණයක්.

  • කොන්දේසි විරහිතව නිදහස වෙනුවෙන්

    කොන්දේසි විරහිතව නිදහස වෙනුවෙන්

    පහන්තුඩාව කලබගෑනියත් එක්ක ප්‍රකාශනයක සභ්‍ය අසභ්‍ය බව ගැන කතා බහක් ආයෙත් ඇති වෙලා. pornography යන්නෙන් “අශ්ලීල” “අසභ්‍ය“ යන සිංහල තේරුමක් තමයි හැඟවෙන්නේ. erotic කියන්නේ සරාගී කියන තේරුම. erotic සහ pornography අතර මායිම් වෙන්වන තැනක් පැහැදිලි නැහැ. මායිම බොඳවී ගිය අඩවීන් දෙකක්. ඒ දෙක අතර වෙනස උත්ප්‍රාස ජනක ලෙස මෙලෙස හඳුන්වන්න පුළුවන්.

    ”ඔබ කැමති නම්, ඒක pornography. මම කැමති නම් ඒක erotic” (If you like it, it’s pornography. If I like it, it’s erotic)

    ඇත්තටම ලංකාවේ නීතිය ඇතුලේ වත්, මම විශ්වාස කරන විදියට වෙන රටක වත්, obscene හෙවත් අසභ්‍ය කියන වචනය හරියට නිර්වචනය කරලා නැහැ. D H ලෝරන්ස් ගේ (Lady Chatterley’s Lover ) චැටර්ලි ආර්යාවගේ පෙම්වතා කියන නවකතාව 1928 ලියුවට එහි සංස්කරණය නොකල මුල් පිටපත් එංගලන්තේ පළවුණේ 1960 ප්‍රසිද්ධ නඩු විභාගයෙන් එම නවකතාව “සරාගී නවකතාවක්” හැටියට තීන්දු කලාට පස්සේ. මේ විභාගය කෙරුනේ 1959 එක්සත් රාජධානි පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරුණු අසභ්‍ය ප්‍රකාශන ආඥාපනත යටතේ. මේ නඩු විභාගයට E M Forster E. M. Forster, Helen Gardner, Richard Hoggart, Raymond Williams and Norman St John-Stevas, ඇතුළු ප්‍රසිද්ධ ලේඛකයින් ගණනාවක් සාක්ෂියට කැඳවා තිබුණා.

    එය ඒ කෘතියට අදාල නඩු තීන්දුවක්. නිර්වචනයක්. තවත් කෘතියක සභ්‍ය අසභ්‍ය බව තීරණය කරන්න මේ තීන්දුව නිර්නායකයක් විදියට යොදා ගත හැකි වුනත් ඒ කෘතියේ, කලාත්මක, සාහිත්‍යමය, විද්‍යාත්මක සහ අධ්‍යාපනික වැදගත් කම සලකලා තමයි එය විනිශ්චය වන්නේ.

    Pornography කියන වචනයට working definition එකක් (ක්‍රියාකාරී නිර්වචනයක්) “ලිංගික ආශාවල් උද්දීපනය කිරීමේ සහ තෘප්තිමක් කිරීමේ අරමුණින් වැඩිහිටි විනෝදාස්වාදන සේවා සපයන සමාගම් විසින් විකුණන/සපයන සවිස්තරාත්මක ඉපැහැදිලි ලිංගික ජවනිකා ඇතුලත් ශ්‍රව්‍ය දෘශ්‍ය නිෂ්පාදන.” විදියට දෙන්න පුළුවන්, කියලා ඒ පිලිබඳ ලියවුනු පොත පතේ සඳහන් වෙනවා.

    ජපාන සිනමාකරු, නගාශි ඔශිමා In the realm of senses ගේ කියන චිත්‍රපටය, පැහැදිලි සවිස්තරාත්මක ලිංගික ජවනිකා ඇතුලත් චිත්‍රපටයක්. එහෙත් එය නිල් හෙවත් pornographic චිත්‍රපටයක් ලෙස සැලකෙන්නේ නැහැ.

    Pornographic Sites කියන්නේ වැඩිහිටි වින්දන අවකාශයක්. ඩොලර් බිලියන ගණනක කර්මාන්තයක්. ලෝකයේ හැම දියුණු රටකමත්, අසල්වැසි ඉන්දියාවේත් porn නිෂ්පාදන කෙරෙනවා. දැඩි නීති රීති සහිත අරාබි රටවලත් කෙරෙනවා. වාරණ වැඩි වෙන තරමට ඒවාට තියෙන ඉල්ලුමත් වැඩි වෙනවා.

    porn කර්මාන්තය ට ස්ත්‍රීවාදී විරෝධයක් තියෙනවා. එය පුරුශාධිකාරීයි කියා නිරීක්ෂණය කෙරෙනවා. ඒක බොරුවක් නෙවෙයි. porn හැදෙන්නේ ම පිරිමි ප්‍රේක්ෂකයෙක් ඉලක්ක කරගන බව පේනවා. ඒකට හේතුව මේ නිෂ්පාදන සඳහා වැඩිම ඉල්ලුමක් තියෙන්නේ පිරිමින් ගෙන් නිසා. ලෙස්බියන් දෙන්නෙකු ගේ porn film එකක් වුනත් හැදෙන්නේ පිරිමි වින්දනය සඳහා.

    හැම කර්මාන්තයකම වගේම මේ කර්මාන්තයේත් අකටයුතු කම්, සූරාකෑම් සිද්ධවෙනවා. ස්ත්‍රීන් පීඩාවට පත් කෙරෙනවා. ඒවාට විරුද්ධව කෙරෙන අරගල සමස්ත ස්ත්‍රී විමුක්තියත් සඳහා කෙරෙන අරගල සන්දර්භයක විය යුතුයි.

    පුද්ගලිකව මම කොන්දේසි විරහිත ප්‍රකාශන නිදහසක් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. එය යුටෝපියානු ඉලක්කයක් වෙන්න පුළුවන්. ඒත් ඒක තමයි මගේ ඉලක්කය.

    පහන්තුඩාවේ වීඩියෝව ඇස ගැටෙන්නේ හාමුදුරු කෙනෙකුට. නිරන්තර එහි සරන්නෙකුට හැරෙන්නට, ඒ අඩවි වල වීඩියෝ සොයාගන්නා සෙවුම් පද ( search words) හොඳින් දන්නා කෙනෙකුට ඇරෙන්න එවැන්නක් අහම්බෙන් මුණ ගැසෙන්නට තියෙන ඉඩ කඩ ඉතාම අඩුයි. තහනම යෝජනා කරන්නෙම නිදහස උපරිමයෙන් විඳින කෙනෙක්. හාමුදුරුවන් ඒ පැමිණිල්ල කර මේ මහා කලබගෑනිය නොවන්න ට එය කිහිප දෙනෙකුගේ පමණක් ඇස ගැටී යට ගැසෙන්න ට තිබුණු වීඩියෝවක්. යෝහානි ගේ මැණිකේ මගේ සිතේ සින්දුව වගේම වයිරල් වුනත් පුදුම වෙන්න දෙයක් නැහැ.

    අක්ෂරය තහනම් වුනාට, ඒ තහනම ගෙනා අයම අන්තර් ජාලයට මුදාහැරී වීඩියෝවක් මිලියන ගණනක් දෙනා නැරඹුවා.


    අශෝක හඳගමගේ ෆේස්බුක් පිටුවෙන්

  • ‘මරණින් මතුත් – මැරිලින් සමග’

    ‘මරණින් මතුත් – මැරිලින් සමග’

    ඔහු වීරයෙකි. හැඟුම් විහඟුන් තටු ගසා ඉගිලෙන අඩ අඳුරු නිදන කාමරයේ සැඟවී තිබූ ‘නිරුවතේ ලාලිත්‍යය’ සාහිත්‍යයක් පත් කළ නිසාම, මේ ලෝකය තුළ ඔහු එක්තරා වීරයෙකි. ඔහු ලිංගිකත්වයේ කුහක බැමි ලිහා දමා එයින් විවෘත වෙළඳපොළ තුළ බලපෑම් සහගත නිදහස් සංස්කෘතියක් නිර්මාණය කළේය.

    වයස අවුරුදු 91 දී මියගිය ‘ප්ලේබෝයි’ නිර්මාතෘ හියු හෙෆ්නර්, ලෝකයේ එදා මෙදාතුර බිහිවූ සරාගීම ගැහැනිය ලෙස සැලකෙන අති සුරූපී මැරිලින් මොන්රෝ අසලින් සැතපෙන්නට සූදානමින් සිටියි. ‘අනංග සීයා’ නමින් විරුදාවලි ලබාසිටි හියු හෙෆ්නර්ගේ මරණයටත් වඩා මේ වන විට පුවත් මවමින් තිබෙන්නේ ඩොලර් හැත්තෑපන් දහසක් ක් කලින් ම ගෙවා, එනම් 1992 වසරේ පටන් හියු හෙෆ්නර් විසින් සැලසුම් කර තිබූ මේ අවසන් යහන්ගත වීමයි.

    තම ජීවිත කාලයෙන් වැඩි කොටස ඔහු ගත කළේ ලෝකයේ සරාගීම සුරූපිනියන් පිරිවරාගෙන ප්ලේබෝයි මන්දිරයේ බඹරෙකු විලසිනි. ඇමරිකානු සංස්කෘතිය තුළ ‘ප්ලේබෝයි මන්දිරය’ (Playboy Mansion) යන්න ‘සුඛපරමවාදය’ හෙවත් ‘ආස්වාදවාදයට’ සමාන වචනයක් විය.

    වාර්තාවලට අනුව හියු හෙෆ්නර් විසින් මෙම ‘යහන’ වෙන් කර ගෙන තිබෙන්නේ 1992 වසරේදී ය. මැරිලින් මොන්රෝ සුරූපිනිය මිය ගියේ 1962 වර්ෂයේ ය. කෙසේ නමුත් හියු හෙෆ්නර්ට මොන්රෝ අසලින් ම සැතපෙන්නට විශේෂ හේතුවක් තිබේද? ඔව්. එය එසේ ය. එදා 1953 වසරේදී ඔහු ප්ලේබෝයි මන්දිරය නිර්මාණය කරන්නේ ප්ලේබෝයි සඟරාවේ ආගමනයට සමාන්තරව ය. ඒ පළමු ප්ලේබෝයි සඟරාවේ කවරය සැරසුණේ සුරූපී සරාගිනිය මැරිලින් මොන්රෝගේ රුවෙනි. ප්ලේබෝයි සඟරාවේ තේමාව එහි කවරයේ සඳහන් වෙයි. ‘පිරිමින්ගේ සතුට සඳහා..” කවරයේ තවත් තැනෙක දැක්වෙන්නේ පළමු වතාවට මැරිලින් මොන්රෝ, සඟරාවකට ලබාදෙන නග්න ඡායාරූපවලින් ඇතුල් පිටු සමන්විත වන බවයි.

    ‘ඇතුල් පිටු’?.. ඔව්. ඔහුගේ කතාව කියවා ගත යුත්තේ එතැනිනි. ප්ලේබෝයි කෙනෙක් වශයෙන් හෙෆ්නර්ට හෙන සදාචාරයක් තිබිණි.

    ඉතා සරලව කියන්නේ නම් ඔහු කිසිදා ‘ගෙඩි පිටින් සංසර්ගය’ මාකට් කළේ නැත. ඔහු පහන් නිවා දැමූ නිදන කාමරයක ඇති හැකි ආත්මාර්ථකාමීන් විසින් රහසින් තලු මැරූ ස්ත්‍රී රූපය, සෞන්දර්යාත්මක ලෙසින් ආලින්දයට කැන්දාගෙන ආවේය. කාම සිත්වලට විවෘත වෙළඳපොළක් නිර්මාණය කර දුන්නේය. නමුත් සඟරා නිර්මාණකරුවෙක් වශයෙන් හියු හෙෆ්නර් ලංකාවේ බසින් කියනවා නම් පිටකොටුවේ යට ගසා විකුණන සකලවිධ ‘වැල’ සඟරා සහ පුවත්පත්වලට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටියේය. අද ද එය එසේය.

    හියු හෙෆ්නර් ප්ලේබෝයි සඟරාව පටන් ගන්නා අවධියේ, එනම් දෙවන ලෝක යුද්ධයෙන් පසු 50 දශකයේ ඇමරිකාවේ පැවතියේ අද ලංකාවේ පවතින පසුගාමී කුහක සුචරිතයට නොදෙවෙනි තත්වයකි. ඒ කාලයේ සරසවි සිසුවියක් ගැබ් ගැනීම, සිය දිවි හානි කර ගැනීම සඳහා බලකරන සමාජ බලපත්‍රයක් විය. ගබ්සාව නීතිගත වී නොතිබිණි. ලිංගික අපවාද හොර රහසේ තළු මරමින් සංසරණය වෙමින් තිබිණි. විවාහය තුළ පවා මුඛ ලිංගික සංසර්ගයේ යෙදීම නීතිවිරෝධී විය!

    නමුත් හියු හෙෆ්නර්ගේ ප්ලේබෝයි ආගමනයෙන් පසු 60 සහ 70 දශකවල ඇමරිකානු සංස්කෘතිය අති ධාවනකාරී අන්දමින් විපර්යාසයකට බඳුන් විය. ඇමරිකානු ඩොලර් මිලියන 20 ක මූලික වටිනාකමකින් යුක්ත වූ ප්ලේබෝයි අධිරාජ්‍යය ගොඩනගන විට හියු හෙෆ්නර්ගේ වයස අවුරුදු 27 කි. ඒ වන විට ඔහු ලෝකයට අවශ්‍ය භෞතික සැප සම්පත් පිළිබඳ මනා සංජානනයකින් පසු වූ තරුණයෙක් විය. සංගීතයෙන් සහ ගෘංගාර රසයෙන් පිරුණු 30 දශකයේ ඇමරිකානු චිත්‍රපටවලට ඔහු රාගාන්විත ලෙස ආදරය කරමින් සිටියේය. සැබවින්ම හියු හෙෆ්නර් කළේ තම ෆැන්ටසිය යථාර්ථයක් බවට පත් කර ගැනීමයි. එහිදී ඔහු කිසිවිටෙක පරාජිතයෙක් වූයේ නැත. ඒ මන්ද? ‘පිරිමි ලෝකයේ බහුතරයේ සතුට’ යනු කුමක්දැයි ඔහු හොඳින් අවබෝධ කරගෙන සිටි නිසා ය. එය කලාත්මක හෝ සෞන්දර්යාත්මක ලෙසින් විදාරණය කරන ආකාරය පිළිබඳ ඔහුට සාර්ථක ‘මාකටින් ප්ලෑන්’ එකක් තිබූ නිසා ය. ඒ අනුව ඔහු හොඳ විෂනරි කෙනෙක් වූ නිසා ය. අදටත් කෙසෙල් ගෙඩි සහ මැද්දෙන් ක්‍රීම් වැක්කෙරෙන සොසේජස් පෙන්වමින් ලිංගිකත්වය ගොන් පාට් එකෙන් මාකට් කරන්නට තැත් කරන ඉරාජ් වැනි ලංකාවේ මෝඩ පහේ තරුණයන්ට හියු හෙෆ්නර් අසලින් දණගසාගෙනවත් හිටගන්නට බැරි ඒ නිසා ය.

    2008 වසරේදී නිව්යෝක් ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් (මෙය හියු හෙෆ්නර්ගේ අවසන් මාධ්‍ය හමුව ලෙස සැලකෙයි) ඔහු මෙසේ කීවේය. “මට ප්ලේබෝයි කියන්නෙ බිස්නස් එකක් විතරක් නෙවෙයි. ප්ලේබෝයි කියන්නෙ මගේ ප්‍රේමයේ ආයාසයයි. (It’s the labour of Love!) ඒ ආයාසයට ප්‍රේම කරන්නේ නැතිනම් ඔබ මෝඩයෙක්”!!

    ජීවන ලලාසාවට පෙම් බඳින්නේ කෙසේදැයි ඔහු මැනවින් දැන සිටියේය. ගැහැනු සිරුර සයුරක් සේ විඳින අයුරු මේ පිරිමියා දැන සිටියේය.

    මැරිලින් මොන්රෝ අසලින් සැතපෙන්නට ඔහු ගෙන තිබූ තීරණය ප්‍රකට වීමත් සමග දැන් ඉතින් සුචරිතවාදී ඊනියා ස්ත්‍රීවාදීහු කුපිත වී සිටිති. ඔවුන්ට අනුව හියු හෙෆ්නර් මේ ලෝකයේ සිටින ලොකුම කාම අපරාධකරුවා ය. හියු සමුගත් දිනයේ බීබීසී පුවත් සේවයේ ‘නිව්ස් නයිට්“ වැඩසටහන වෙත කැඳවූ හියුගේ ජීවිත කතාව සහ චිත්‍රපට තිර පිටපත ලියූ බ්‍රිජට් බර්මන් අවධාරණයෙන් කියා සිටියේ හියු කිසිවිටෙක Pornographer කෙනෙකු නොවූ බව ය. ඊට වඩා බෙහෙවින් ඔහු සිවිල් අයිතිවාසිකම් සහ මානව නිදහස අගය කළ ‘සෙක්ෂුවල් ලිබරේටර්“ කෙනෙකු බව ය. ඒ සාකච්ඡාවටම සජීවී ලෙස අදහස් ඉදිරිපත් කරන ටිපිකල් ස්ත්‍රීවාදිනියක වන නයෝමි වුල්ෆ් මේ සඳහනින් කෝප වන්නීය. ඇය එහිදී ගෙන එන එක් තර්කයක් වන්නේ ලිබරල් ධනවාදය තුළ හියු විසින් ස්ත්‍රිය තවදුරටත් ලිංගික භාණ්ඩයක් බවට පත් කිරීම සහ ලිංගික සූරාකෑමකට ඇය ලක්කිරීමයි. මේ විවාදය කොතරම් උණුසුම් වේ ද යත් නයෝමි වුල්ෆ් අතරමගදී “මට මේ සාකච්ඡාවට තවත් එකතු වෙන්න උවමනා නෑ.. සොරි..” යනුවෙන් පවසමින් ඉයර්ෆෝන් ගළවා දමා තිරයෙන් බැහැර වන්නීය.

    ප්‍රාග්ධනය විසින් නිර්මාණය කළ ශ්‍රම වෙළඳපොළ තුළ ශ්‍රමය සූරාකෑම සහ ලිංගික සූරාකෑම යන දෙකම නොවැළැක්විය හැකි සාධකයන් ය. ලිංගික සූරාකෑම තුළ සිදුවන්නේ ද ධනවාදය තවදුරටත් ස්ථාපිත වීමයි. එසේ නම් ප්ලේබෝයි නිර්මාතෘ විසින් සිදුකර තිබෙන්නේ අලුත් අපරාධයක් නොවේ. නමුත් ඔහු ඉතා සුමට අයුරින් ප්‍රාග්ධන වෙළඳපොළ තුළ ලිංගිකත්වය සම්බන්ධයෙන් නව මානයක් නිර්මාණය කළේය. ඒ ගැන කිසිදු තර්කයක් නැත.

    මෝඩ ගෑනුන්ගේ බුල්ඩෝසර් කතා මදකට පසෙකින් තැබුවහොත් හියු හෙෆ්නර්ගේ ලෝකයේ විසල් චිත්‍රය ඔබ ඉදිරියේ දිස්වනු ඇත. ඔහු සැබවින්ම කළේ Art of Nudity හෙවත් නග්නත්වයේ කලාව (නිරුවත් කලාව)ට කැමරාව හයි කිරීමයි. කාමසූත්‍රය ලියූ වාත්ස්‍යාන කීවේ රතිය, කෙළියක් (ක්‍රීඩාවක්) බව ය. නමුත් හියු, රති කෙළිය සඟරාවක් බවට පත් කරන විට වාත්ස්‍යානටත් වඩා සංයමයකින් එය කළේය. එතැනදී සම්භෝගයේ ඉරියව් එකසිය ගණනක් සිතියම් ගතකරන වාත්ස්‍යාන තරම්වත් ඔහු දුර නොගියේය. ඒ වෙනුවට ලොව පුරා ශතවර්ෂ ගණනාවක් තිස්සේ විවිධ ශිෂ්ටාචාරයන් විසින් රහසේ රස විඳි නග්නත්වයේ කලාව, අපවාද මැදින් සුගම ලෙස සමාජගත කළේය. ඉතිහාසය තුළ සංයමයෙන් සක්මන් කළේය. එනිසාම කාමසූත්‍ර සමග වාත්ස්‍යානගේ නම බැඳී තිබෙන්නේ යම් සේ ද, ප්ලේබෝයි සංස්කෘතිය සමග හියුගේ නම ඊටත් වඩා නෑකමකින් බැඳී තිබේ. එනිසා ඔහුව හැඳින්විය හැක්කේ, Pornography සහ Art of Nudity අතර වෙනස රචනා කළ ‘‘ප්‍රාග්ධනයේ මිනිසෙකු“ ලෙස ය.

    හියු හෙෆ්නර් සිය මුල්ම රැකියාව වශයෙන් තෝරාගෙන තිබෙන්නේ ඇමරිකානු හමුදාවේ ලේඛකයෙකු වශයෙන් කටයුතු කිරීමයි. ඔහුට තිබෙන්නේ මනෝවිද්‍යා උපාධියකි. පසුව චිකාගෝ නුවර එස්ක්වයර් මැගසිනයේ ප්‍රවර්ධන නිලධාරියෙකු වශයෙන් කටයුතු කළේය. ළමා සඟරාවක බෙදාහැරීමේ කළමනාකරු වශයෙන් ද කටයුතු කළේය. පළමු ප්ලේබෝයි සඟරාව බිහිකරන විට ඔහු හැදී වැඩුණු චිකාගෝ නුවර පැවතියේ, මැරිලින් මොන්රෝ පිළිබඳ පුවත් අසන්නට තැපැල් කන්තෝරු සහ තැබෑරුම් අසල ජනයා පොරකමින් සිටි තත්වයකි. සියල්ලන්ටම ඇයව විඳින්නට අවශ්‍ය වී තිබිණි. නමුත් කිසිවෙක් හරිහැටි ඇයව දැක තිබුණේ නැත. “මේක මෙහෙම වෙන්න ඕනෙ නෑ.” යැයි එදා තමන් සිතූ බව හියු හෙෆ්නර් පසුව කියයි. ඔහු පළමු සඟරාව මුද්‍රණය කිරීම සඳහා ඩොලර් 8000 ක් ණයට ගත්තේය. අවසානයේ මැරිලින්ගේ කවරයෙන් සැරසුණු ප්‍රථම ප්ලේබෝයි සඟරාවේ පිටපත් 50,000 ක් ඉතා ලෙහෙසියෙන්ම අලෙවි කළේය. මැරිලින් මොන්රෝ පසුව මේ ගැන කීවේ කුමක්ද? ඇය විසින්ම පසුකලෙකදී ඒ පිළිබඳ කරන ප්‍රකාශවලට අනුව මැරිලින්, ප්‍රථම ප්ලේබෝයි සඟරාවේ කවරය සරසන්නේ ඇයට ඒ වන විට රංගනයෙන් ලැබෙන ආදායම අඩු වී තිබූ නිසා ය. මොඩ්ලින් ගාස්තුව වශයෙන් හියු හෙෆ්නර් ඩොලර් 50 ක් ඇයට ගෙව්වේය. සිය ස්වයං චරිතාපදානය වන Marilyn: Her Life in Her Own Words හි මැරිලීන් මෙසේ ලියන්නීය. “නිරුවත් මැරිලින් ගේ ඡායාරූපවලින් මිලියන ගණන් මුදල් උපයාගත් අය කිසිවිටෙක මට ‘ස්තූතියි’ යනුවෙන්වත් කියා නැත. මා පෙනී සිටි කවරය දැකබලා ගැනීම සඳහා මට ද සඟරාවක් මිලදී ගන්නට සිදුවිය.” නමුත් මේ කවරයෙන් පසුව මැරිලීන්ට රංගන අවස්ථා ගලා ආවේය. ඇය අවසානයේ නතර වුණේ එවකට ප්‍රබල දේශපාලනඥයෙකු වූ සහ අනාගත නායකයෙකු වූ ජෝන් එෆ් කෙනඩිගේ තුරුලේ ය. 1993 වසරේ කවරය සැරසූ ‘ප්ලේමේට්’ ඇනා නිකොල් ස්මිත්, එම නිරූපණයෙන් අනතුරුව එක රැයින් තරුවක් බවට පත්වූ අතර, එවකට 26 හැවිරිදි වූ ඈ, 89 හැවිරිදි ධන කුවේරයෙකු සහ ඛනිජ තෙල් ව්‍යාපාරිකයෙකු වූ ජේ. හොවාඩ් මාෂල් සමග එයින් වසරකට පසු අතිනත ගත්තාය. සුරූපී මැඩෝනාගේ රුවින් 1985 සැප්තැම්බර් ප්ලේබෝයි සඟරාවේ කවරය සැරසීමෙන් අනතුරුව ඇය එක රැයින් තරුවක් බවට පත්විය. 2016 වසරේදී හියු නිවේදනය කර සිටියේ මින් ඉදිරියට කිසිදු පූර්ණ නග්න රූපයක් ප්ලේබෝයි සඟරාවල පළ නොකරන බවය. 2000 වසර වන විට කේට් මොස් වැනි ලෝකයේ අංක එකේ නිරූපණ ශිල්පිනියන්, ප්ලේබෝයි සඟරාවේ කවරයට පෙනී සිටීම සිය වෘත්තීය ජීවිතයට ඉණිමගක් සහ ගෞරවයක් සේ සලකන්නට පටන් ගත්හ.

    “මට කිසිදාක සෙක්ස් මැගසින් එකක් කරන්න උවමනා වුණේ නැහැ.” හියු හෙෆ්නර් පසුව කියයි. “මම හැමවිටම සිතුවේ ලිංගිකත්වය වැදගත් අමුද්‍රව්‍යයක් වශයෙන් යොදාගත් ලයිෆ්ස්ටයිල් සඟරාවක් නි්රමාණය කරන්නයි” ඔහු තම ජීවන ලලාසාව ‘ජීවන විලාසයක්’ (ලයිෆ් ස්ටයිල් එකක්) බවට පත් කර සමාජ ගත කරමින් සිටියේය.

    මෙයට සමාන්තරව ලොව පුරා ප්ලේබෝයි සමාජ ශාලා බිහිවිය. කායික සතුට වෙනුවෙන් නිර්මාණය වූ වීදි, විසල් හුදෙකලා නගර අතික්‍රමණය කළේය. 1966 වසරේ එංගලන්තයේ ප්ලේබෝයි ලන්ඩන් ක්ලබ් විවෘත කෙරුණේය. එය පළමු අන්තර්ජාතික ප්ලේබෝයි රජදහන විය. 60 සහ 70 දශකයේ එහි දැකගත හැකි වූ ලෝ ප්‍රකට මුහුණු අතර සුපිරි ජේම්ස් බොන්ඩ් නළු ෂෝන් කොනරි, ජෝන් කොලින්ස්, රොජර් මුවර්, වූඩි ඇලන්, ප්‍රකට ලේඛිකා කෙනත් ටයිනන් යනාදීහු වූහ. ඒ වන විට ලන්ඩනය අත්දකිමින් සිටි සමාජ නිදහස දළු ළමින් වැඩෙන්නට හියු හෙෆ්නර්ගේ සංස්කෘතිය තෝතැන්නක්ම විය. 1981 වසරේදී එංගලන්තය කැසිනෝ සඳහා නව නීති ගෙන ඒමත් සමග ඒ ව්‍යාපාරය යම් පසුබෑමකට ලක්වුවද අද පවා ප්ලේබෝයි ක්ලබ්ස්, ලන්ඩන් ඉතිහාසයේ සන්ධිස්ථානයකි. පාක් ලේන් හි පිහිටි එම සමාජ ශාලාව අද වන විට සුවිසල් හෝටලයකි. 2011 වසරේදී හියු පාක් ලේන් වෙනුවට මේෆෙයර් ප්‍රදේශය තෝරාගනිමින් නැවත පණ ගසා එයි. එහි සේවය සඳහා සුරූපී තරුණියන් හෙවත් ‘බනීස්’ලා 80 දෙනෙක් සමග සේවකයන් 850 දෙනෙක් බඳවා ගනියි. සුපිරි ඉංග්‍රීසි ගායක එල්ටන් ජෝන්ගේ දීර්ඝ කාලීන සහකරු සහ පෙම්වතා වන ඩේවිඩ් ෆර්නිෂ් ද ඒ අතර වෙයි. ඔවුන් මුලින්ම හමුවන්නේ ද එහිදී ය.

    පසුකලෙක හියු හෙෆ්නර් සමලිංගික විවාහ වෙනුවෙන් කතා කරන්නෙක් සහ පෙනී සිටින්නෙක් බවට ද පත්විය. ඒ ගැන ඔහු කීවේ මෙසේ ය. “එය අපේ සියලු අයිතිවාසිකම් වෙනුවෙන් කරන සටනක්..” හියුගේ සඟරාවේ මාතෘකා පුළුල් පරාසයක විහිදුණේය. එය ලිබරල් මත්ද්‍රව්‍ය නීති, ගබ්සා අයිතිය මෙන්ම සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ද කතා කළේය. ඔහු මාටින් ලූතර් කිංගේ අයිතිවාසිකම් ව්‍යාපාරයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු මෙන්ම මාටින් ලූතර්ගේ හොඳ මිතුරෙකු ද විය. ජෙසී ජැක්සන් ද ඔහුගේ මිතුරු ලැයිස්තුවේ සිටියේය. මාටින් ලුතර් කිං ඝාතනයට ලක්වන්නට පෙර ලියූ අවසන් ලිපිය පළ වුයේ ද ප්ලේබෝයි සඟරාවේ ය. හියු විසින් ඉතිහාසයේ ප්‍රථම වතාවට කළු ජාතික සුරූපිනියන් සඳහා වෙළඳපොළක් නිර්මාණය කර දුන්නේය. මේ නිසා සෙක්ස් ඉල්ලන ටිපිකල් සුදු පිරිමියා විටෙක ස්නේහයෙන් වැළඳගන්නේ එතෙක් කල් පිළිකෙව් ඇසින් බැලූ, කළු සම ඇති ආදරියකි. හියුගේ දේශපාලනික නිලය අල්ලා ගැනීමට මෙයම ප්‍රමාණවත් ය.

    70 දශකය මුල භාගය වන විට ප්ලේබෝයි සඟරාව ලොව පුරා පිටපත් මිලියන 7කට වඩා අලෙවි වී තිබුණේය. ඒ කාලයේ සිදුකෙරුණු එක් සමීක්ෂණයකින් හෙළි වූයේ ඇමරිකානු කොලීජි ශිෂ්‍යයන්ගෙන් හතරෙන් එකක්ම පුරුද්දක් වශයෙන් ප්ලේබෝයි සඟරාව මිලදී ගන්නා බවයි.

    ප්ලේබෝයි සඟරාවට ලිපි සැපයූවන් අතර ශ්‍රීමත් ආතර් සී ක්ලාක් සහ රෝලන්ඩ් ඩාල් වැනි සුප්‍රසිද්ධ සහ සම්මානීය ලේඛකයන් ද සිටි බව ඔබ දන්නවාද? ළමා ප්‍රබන්ධකරුවෙක් වශයෙන් අසිරිමත් නමක් දිනා සිටි රෝල් ඩාල් 1965-1974 අතර කාලයේදී අඳුරු ෆැන්ටසි සපිරි කතා මාලා 4 ක් ප්ලේබෝයි සඟරාවට තමන්ගේ නමින්ම ලියුවේය. ඒවා 1974 වසරේදී Switch Bitch නමින් පොතක් වශයෙන් ද පළ කෙරුණේය. ප්ලේබෝයි හි ලේඛක ලැයිස්තුව ඉතා දිගුය. එහි සඳහන් ලෝක ප්‍රකට නාමයන් අතර ජැක් කෙරෝක්, ඉයන් ෆ්ලෙමිං ආදීහු ද වෙති. සුපිරි ජේම්ස් බොන්ඩ් රචක ඉයන් ෆ්ලෙමිං On Her Majesty’s Secret Service නමැති ප්‍රකට ජේම්ස් බොන්ඩ් කතාව කොටස් වශයෙන් පළ කළේ ප්ලේබෝයි සඟරාවේ ය. එනමින් යුත් චිත්‍රපටය එළි දකින්නේ එයට සය වසරකට පසු ය. ලොලිතා ලියූ ව්ලැදිමීර් නැබකොව් ප්ලේබෝයි සඟරාවේ සම්පූර්ණ නවකතා දෙකක්ම කොටස් වශයෙන් පළ කළේය. ගේබ්‍රියෙල් ගාෂියා මාකේස් නිතර ප්ලේබෝයි වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදුණු අයෙකි. මායාවී මළකඳක අබිරහස සොයාගනු වස් කියන කුඩා දකුණු ඇමරිකානු ධිවර ගම්මානයක කතාව රැගත් The Handsomest Drowned Man in the World ඔහු පළ කළේ 1968 වසරේ පළ වූ ප්ලේබෝයි සඟරාවල ය. ශ්‍රී ලාංකිකයන් සදා ආඩම්බර වන ශ්‍රීමත් ආතර් සී ක්ලාක් එවකට යාවජීව ප්ලේබෝයි සම්මාදම්කරුවෙක් විය. මේ සුපිරි විද්‍යා ප්‍රබන්ධකරුවාගේ Dial F For Frankenstein කතාව වෙනුවෙන් හියු හෙෆ්නර් නොමසුරුව ප්ලේබෝයි සඟරාවේ ඉඩ වෙන් කළේය.

    ප්ලේබෝයි සඟරාවේ පස්වන සංවත්සරය වන විට එහි ප්‍රින්ට් ඕඩරය හෙවත් මුද්‍රණ ඇණවුම, මසකට පිටපත් දස ලක්ෂයක් හෙවත් මිලියනයක් විය. හියු හෙෆ්නර් ඒ පුරවමින් සිටියේ රික්තකයකි. ඒ රික්තකය තුළ ඔහු ‘පණ පිටින් දිව්‍ය ලෝකයට යාම’ ඔහුගේ ආයාසයේ ප්‍රතිඵලයකි. දශක හයක් තිස්සේ ඒ දිව්‍ය ලෝකය නඩත්තු කර ගැනීමට සමත් වීම හෙවත් ‘එක්ස්පයර් නොවීම’ හෙවත් ‘කල් ඉකුත් නොවීම’ ඔහුගේ පෙර දැක්මේ ප්‍රතිඵලයකි.

    ඔහු මෙසේ කියා ඇත.

    “මා ව්‍යාපාරිකයෙකු නොව සෙල්ලක්කාර දාර්ශනිකයෙකි. එය ඇමරිකානු සිහිනයයි… ලිංගික මර්දනය සහ ආඥාදායකත්වය එක්ව ගමන් කරන දේ ය. ලිංගික විප්ලවයේ එක් අරමුණක් වන්නේ ලිංගිකත්වයට තාර්කිකත්වය ගෙන ඒමයි.. මේ ලෝකය ශිෂ්ට සම්පන්න කරන ප්‍රධානතම බලවේගය ලිංගිකත්වය මිස ආගම නොවේ… අනුන්ගේ සිහිනයක ජීවත් වීමට තරම් ජීවිතය කෙටි වැඩි ය…!!!”


    ක්‍රිෂාන්ති රාජපක්ෂ

  • මිහිරි ආදරය හලාහල විසක් කර නොගන්නට

    මිහිරි ආදරය හලාහල විසක් කර නොගන්නට

    “…මම නම් පුද්ගලිකව විශ්වාස කරන්නෙ ආදරය කියන්නෙ හෙනම හෙන ගුප්ත, රොමෑන්ටික්, ෆට්ටන්දර විකසිත සීන් එකක් නෙමෙයි.

    සාර්ථක ප්‍රේමයක් කියන්නෙ අනිවාර්යයෙන්ම මිත්‍රත්වයේ දිගුවක්. අපි යාළුවන්ට හැම දේම කියනවා. නමුත් පෙම්වතුන් හෝ පෙම්වතියන්ගෙන් බොහෝ දේ සඟවනවා. මේක පට්ටම කුජීත වැඩක් මම හිතන්නෙ.

    පෙම්වතුන් අතර මිතුරන් අතර ඇති තරමේවත් මානසික බැඳීමක් නැත්තම් දෙන්නම නොදන්නව වුණාට ඒ සබඳතාවය යන්නෙ හෙනම අවුල් ට්‍රැක් එකක.

    මේ නිසා මෙම ප්‍රශ්නය අපි සාමාන්‍ය ජීවිතයේදී මිතුරන් සමග ක්‍රියා කරන හැටි ඇසුරෙන් විග්‍රහ කරන්ඩ පුළුවන් මම හිතන්නෙ.

    අපි සාමාන්‍ය ජීවිතයේදී මිතුරන්ට නීති දානව ද? දාන අවස්ථා අතළොස්සක් තියෙන්ඩ පුළුවන්, නමුත් බොහෝ විට මිතුරන්ගේ මූලික ස්වරූපයන් වෙනස් කිරීමට බලපාන නීති දැමීමක් සිදු වන්නෙ නෑ.

    මගේ හොඳම මිතුරිය මට කිව්වොත් “හැම මාසෙම පන්සල් පලයන්” කියල මම අනිවා කියන්නෙ “උඹ පන්සල රෝල් කරල ඔබාගනින් ____” කියල..

    ඒක අහලා ඇයට අවශ්‍ය නම් “මේ යාළුකම හරි යන්නෙ නෑ” කියල අත ඇරල දැම්මැහැකි. එහෙමත් නැතිනම් “මූ පන්සල් නොගියට හොඳ එකා” කියලා යාළුකම පවත්වාගත හැකි.

    යාළුවන් සම්බන්ධයෙන් අප මේ තීරණ දෙකම ගන්නා විවිධ අවස්ථා තියෙනවා.. මේ අනුව පෙනෙන්නේ අප යාළුවන් තෝරා ගැනීමේ දී එක්කෝ සමාජයීය, මතවාදීමය හෝ වෙනත් ආකාරයේ සමානතාවයන් දැක ආසක්ත වෙනවා. සමාන නැති උන් එක්ක යාළු වෙන්නෙ නෑ.

    එහෙමත් නැතිනම් ඒවා සම්බන්ධ වෙනස්කම් තිබියදීත් පුද්ගලික ගති ලක්ෂණ හෝ වෙනත් හේතූන් නිසා ආසක්ත වී අර වෙනස්කම් ඉවසනවා. මේ විදි දෙකෙන් කොයි එක හරි ද කියලා අපිට තීරණය කරන්ඩ බෑ. මේ සම්බන්ධව එක එක්කෙනාගේ ආකල්ප විවිධයි. නමුත් එබඳු වෙනස්කම් තිබියදී මිතුරු වී පසුව එම වෙනස්කම් දුරු කර ගැනීම සඳහා නීති දැමීම හෝ බලපෑම් කිරීම නම් අමුම කුජීතයි.

    එකම දේ එලෙස බලපෑම් කරන තුරු එම යාළුකම් පැවතීමට තියෙන ඉඩ අඩුයි, මොකද මේ ලෝකයේ කවුරුවත් කාවවත් පාලනය කිරීම සාර්ථක නැති නිසා. එල්සේම එබඳු අවස්ථා වලදී විකල්ප යාළුවන් බොහෝ විට සිටින නිසා.

    දැන් අපි බලන්ඩ ඕනෙ ප්ලේටොනික් සහ රොමෑන්ටික් සම්බන්ධතා අතර මහලොකු වෙනසක් තියෙනවද කියලා?

    යම් වෙනස්කම් කිහිපයක් තියෙනවා. එකක් නම් ප්‍රේම සබඳතා වල සාමාන්‍ය යාළුකමකට වඩා මනෝමය සමීපතාවක් තිබීම. සාමාන්‍ය මිතු දමක වගේම නොගැලපෙනව නම් දමා ගසා යාමට හැකි වුවත් මෙහිදී එකිනෙකා අනෙකා තුළ කර ඇති මානසික ආයෝජනය වැඩි නිසා වෙන්ව යාමෙන් ඇති වන මානසික ගැටළු වැඩියි.

    අනෙක් එක තමා දෙදෙනෙක් පෙම්වතුන් වූ වහාම සමාජ පෙළඹවීම වන්නේ හැකි ඉක්මනින් විවාහ වී දරුවන් සාදා මේන්ස්ට්‍රීම් එකේ ගමන් කිරීමටයි.

    ඊට පෙර ඔවුන් වෙන් වී, වෙනත් අය සමග එක් වී, නැවත වෙන් වී, ආදී වශයෙන් සිදු වීම අප සමාජය ලොව වෙනත් විවෘත සමාජ එක්ක බලද්දි ඉවසන්නෙ අඩුවෙන්. මේ නිසා බිඳී යාමකින් යම් සමාජ පීඩනයක් ද එල්ල වෙනවා. මෙලෙස බිඳී ගියහොත් ඇති වන පීඩනය නිසා අකමැත්තෙන්, අසතුටෙන්, යටහත්කමින් ඉන්න පෙම්වතුන් හා පෙම්වතියන් අප දැක තිබෙනවා.

    මගේ විශ්වාසය නම් එය ජාතික අපරාධයක් බවයි”


    “…. බුද්ධික තාඹුගල කියන්නට තියෙන දෙයින් සෑහෙන කොටසක් කියල ඔහු නවත්තපු තැනින් කන්ටිනියු කරන්නම්.

    ..ආදරය කරද්දි මං හිතන විදියට එකිනෙකාගේ අනන්‍යතා සහ පෞරෂයන් තේරුම් ගන්න එක වැදගත්.

    ඒ පුද්ගලයාව ඒ පුද්ගලයා විදියට භාර අරගෙන ඉන් එහාට තමයි මේ ආදරය කියන ගනුදෙනුව සිද්ධ වෙන්න ඕන.

    නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ අපි අපේ සහකරුවාගේ/කාරියගේ අනන්‍යතාව කපලා කොටලා ඔවුන්ගේ ආසාවල් වලට කෙළවල දාලා, ඔවුන්ගේ බලාපොරොත්තු අපිට ඕන විදියට වෙනස් කරල, ඔවුන්ගේ සැබෑ අනන්‍යතාවය විනාශ කරල, අපිට ඕන විදියට අපි කැමති ආකාරයේ අනන්‍යතාවයක් ඔවුන් තුළින් නිර්මාණය කරගන්න දඟලන එක.

    කොටින්ම අපිට මුලින්ම මුණ ගැහෙද්දි හිටපු කෙනාව වෙනස් කරල ඌව/ඒකිව අපේ කැමැත්තට අනුව වැඩ කරන හිතන පතන රොබෝ කෙනෙක් කරන්න හදන එක.

    තමාගේ ඔලුවේ තියෙන අයිඩියල් සහකරුවෙක්/කාරියක්ව තමන්ට හම්බුන මනුස්සයා තුළින් නිර්මාණය කරගන්න හද හද දෙන්නාම ඔය විදියට අනිත් කෙනාගෙ අනන්‍යතාවය මරල දාලා අලුත් පුද්ගලයෙක් නිර්මාණය කරගන්න කරන මේ පොරය නිසයි ගොඩක් ආදර සබඳතාවල් වලට කෙළ වෙන්නෙ. (කෙළ වෙනවා කියන්නේ අවසාන වෙනවා නෙමේ. සතුට නැති වෙලා විඳීම වෙනුවට විඳවීම ඉස්මතු වෙනවා කියන එකට)

    දැන් ඔහොම ටෝක් දුන්නට තමන්ගේ කොල්ලව/කෙල්ලව වෙනස් කරන්න දඟලන්න එපාය කියල, ඇත්තටම බැලුවොත් ඕක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරද්දි පට්ට අමාරුයි.

    ඇයි?

    ඇයි ඉතින් තමන්ගේ සහකරුවා/කාරිය තමන් අකමැති මලමගුල් කරද්දි ඌ එක්ක/ඒකි එක්ක ඉන්නෙ කොහොමද?

    එතනදි තමයි අදහස් හුවමාරුව කියන පට්ටම වැදගත් පාර්ට් එක එන්නෙ.

    තමාගේ සහකරුවා/කාරිය තුල තියෙන තමා කැමති දේ මොනවද අකමැති දේ මොනවද කියන එක ගැන ඉඳල හිටල දෙන්නට එකතු වෙලා කතා කරල ඒ ඒ දේවල් ගැන එකඟතා වලට එන එක වැදගත් දෙයක්. මේක කරන්න පට්ටම අමාරු වුනත්, මේක කරන්නම ඕන දීර්ඝ කාලයක් හොඳින් ඉන්න නම්. එකිනෙකාට සවන් දීලා, අනෙකාගේ අවශ්‍යතා තේරුම් ගැනීමයි මෙතනදි වෙන්න ඕන.

    කොහොම කලත් මේ “වෙනස් කම්” කියන දේවල් නැත්තටම නැති වෙන්නෙ නං නෑ ලොවෙත්. එතනදි කරන්න වෙන්නේ තමාගේ සහකරුවාගේ/කාරියගේ හොඳ විදියට තමා දකින දේ වෙනුවෙන් ඔවුන්ගේ අඩුපාඩු ඉවසන එක. කතාවක් තියෙන්නෙ “අපි ආදරවන්තයා/ආදරවන්තිය විදියට තෝරගන්න ඕන අපිට ඉවසන්න පුළුවන් වැරදි තියෙන කෙනෙක්ව” කියල. ඒ මොකද අපි වැරදි/අඩුපාඩු විදියට දකින දේවල් නැති එකෙක් හොයාගන්න මේ ලෝකයේ කිසිම ජගතෙක්ට කිසිම විදියකට බෑ.

    ඊළඟට, තමන්ගේ සහකරුවාට/කාරියට ඔවුන්ගේ ජීවිතය විඳින්න ඔවුන්ට තියෙන නිදහස අහිමි කරන්න තමන්ට කිසිසේත්ම අයිතියක් නැති බව නම් දෙන්නම තේරුම් ගන්න ඕනම දෙයක්. මේ නිදහස කියන එක තමා විසින් අනෙකාට “දෙන” දෙයක් නෙමේ. ඒක කොහොමත් හැමෝටම තිබිය යුතු දෙයක්.

    හැම වෙලේම තමාගේ සහකරුවාට/කාරියට තමන්ගේ අදහස කියන්න. එකඟ වී හෝ නොවී තීරණය කිරීම ඔවුන්ට බාර දෙන්න. විධාන දෙන්න යන්න එපා. තමන් කියන දේට එකඟ වුනේ නෑ කියල, අවනත වුනේ නෑ කියල පළිගන්න එපා.

    තමා කියන්නේ තමාගේ සහකරුවාගේ/කාරියගේ ජීවිතයේ එක කොටසක් බවත්, තමන්ගෙන් පිට ඔහුට/ඇයට තවත් ජීවිතයක් තියෙන බවත් තේරුම්ගන්න ඕන. මොකද තමන්ගේ සහකරුවා/කාරිය කියන්නේ පෙම්වතෙක් සහ පෙම්වතියක්වත් සැමියෙක් සහ බිරිඳක්වත් විතරක් නෙමේ. පුතෙක්, සහෝදරයෙක්, මිතුරෙක්, රාජකාරිකරන තැනදි සේවකයෙක්.. වගේ සෑහෙන භූමිකා රඟපාන්න වෙන ඔහුත් මනුස්සයෙක්. මේකෙ සහකාරියන්ට අදාලව අනිත් පැත්තත් එහෙමයි. ඒ නිසා තමා ගැන විතරක් තමාගේ සහකරුවා/කාරිය සිතිය යුතුය, තමාටම හැම වෙලේම මුල් තැන දිය යුතුය කියල හිතල ආත්මාර්ථකාමී මුග්ධයෙක් විදියට වැඩ කරන්න යන්න එපා.

    මේ ඔක්කොම කරලත් දිගින් දිගටම තියෙන්නේ දෙන්නගේ වෙනස් කම් නම්, ඉතින් හොඳම දේ තමා අකමැත්තෙන් වුනත් එකිනෙකාට “ගුඩ් බායි” කියන එක. මොකද එකිනෙකාව රවට්ටගෙන අවුරුදු දෙකතුනක් ලව් කලත් බැඳලා මාස හය හතක් යද්දි තමන් හංගන් හිටිය තමාගේ සහකරුවා/කාරිය අකමැති පැත්ත එළියට එන එක අනිවාර්‍යයි.

    ඊට පස්සෙ ඉතින් දෙන්නගෙම කසාද ජීවිතේට සොරි ඩොට් කොම්ම තමා”

    අදහස් දැක්වීම අහවරයි. අසා සිටි ඔබ සැමට ඉස්තූතියි.

    ප/ලි –

    1. මේ බණ කිව්වාට අපිත් ලව් කරන රහස සොයාගත් ශාස්තෲවරුන් නොවෙමු. අපි විසින්ම සහ අපි වටේ ඉන්නා උන් කන පරිප්පු දැක දිනෙන් දින ඉගෙනගෙන අපිත් අමාරුවෙන් අනුගමනය කරන කරුණු කාරනා කිහිපයක්ය මෙතනදි කියවන අය සමඟ බෙදා ගත්තේ.

    2. බුද්ධික තාඹුලගේ අදහස් දැක්වීම දැනට වසර කිහිපයකට පෙර බුකියේ දැක මා විසින් සේව් කරගත් අදහසකි. කාලයකට පසු සේව් කරගත් තැනින් අද එය දුටු නිසා මගේ අදහස් සමඟින් අද මෙසේ පල කලෙමි.


    ජේමිස් බණ්ඩා

  • ආදර පොලිසිය

    ආදර පොලිසිය

    ආදරේ කියන්නෙ අපි වැඩියෙන්ම කතා කරන දේ වෙන්න පුළුවන්. හැබැයි අඩුවෙන්ම කරන දේ වෙන්න පුළුවන්. ආදරය නැති තැන මොකක්ද තියෙන්නෙ කියල කවුරු හරි හිතුවොත්, ආදරේ නැති තැන තියෙන්නෙ දේශපාලනය කියල තේරුම් ගන්න පුළුවන්. ආදරයෙදි අපි එක්කෙනා දෙන්නෙක් විදිහට හිතනවා හෝ දෙන්නා එක්කෙනෙක් විදිහට හිතනවා කියල කියනවා නම් දේශපාලනයේදි දෙන්නා දෙන්නෙක් විදිහට හෝ දෙන්නා බහුතරයක් විදිහට හිතන්න ගන්නවා.

    ඒ කොහොම වුනත් ආදරය කියන එක ස්ක්‍රිප්ට් රයිටින් තාක්ෂණයෙන් ගත්තොත් කොහොමත් ෆේල් ස්ක්‍රිප්ට් එකක්. ආදරය පටන්ගන්නෙ උපරිමෙන්. ඒ කියන්නෙ දෙන්නෙක් ආදරෙන් බැඳෙන තැන තමයි ඒ දෙන්නාගේ ආදර කතාවෙ කූටප්‍රාප්තිය වෙන්නෙ. ඊට පස්සෙ තියෙන්නෙ පල්ලම. ආදරය ගැන හීන දකින එක තමයි ආදරයේ උපරිම ආස්වාදය. ඇත්ත අත්දැකීමට කිසි දවසක ඒ හීනවලට ළංවෙන්නෙ බෑ. ඒක හරියට පෝර්න් වගේම තමයි. පෝර්න් බැලීමෙන් ලබන ආස්වාදය ඒ පෝර්න්වල දේවල් ඇත්තට කිරීමෙන් ලබන්න බෑ.

    ඉතින් ආදරේ එක මොහොතක විකසිත වෙනවා. ඊට පස්සෙ මුකුලිත වෙන්න ගන්නවා. අපි ගොඩක් පරමල් පරිස්සම් කරනවා. වැඳුම් පිදුම් කරනවා.

    අපි මෙතනදි කතා කරන රොමාන්තික ආදරය කියන්නෙ සංවෘත රටක් වගේ. රට වහගනිද්දි ඒක සෑහෙන දේශානුරාගයක් දනවන වැඩක් වෙන්න පුළුවන්. ඒත් වහගෙන කාලයක් යනකොට ඒ අනුරාගය කෙලවර වෙන්නෙ එකඑකා මරාගෙන. ආදරෙත් එහෙමයි. විකසිත මොහොතෙ දෙන්නා විතරක් ඉන්න ගල්ගුහාවක, මහා වනාන්තරේක නවතින්න තරම් පිරිපුන් ස්වයංපෝෂිත හැඟීමක් දැනෙන්නෙ.

    මහ වන පියසක අඳුරු ගුහාවෙක
    යම් දිනයක ඔබ සඟවා තබනෙම්
    හිරු රැස් බිඳකුදු ඔබ රුව දුටු සඳ
    ඉරිසියාවෙන් පිරවේ මා හද

    ආදරේ පල්ලම් බැහැගෙන එද්දි අපිට තෝරගන්න පුළුවන් පාරවල් දෙකක් මුනගැහෙනවා. ගොඩක් අය තෝරගන්න පොදු මාවත තමයි ආදරවන්තයින් දෙමව්පියන් බවට පත්වෙන එක. ළමයි හදන එක. දෙන්නගෙ ආදරේ කොමියුනිටි එකක් කරගන්නවා. හැබැයි තවදුරටත් අර පටන්ගත්ත ආදරය පවතිනවා නෙමෙයි. ඒ දෙන්නා අම්මා සහ තාත්තා වෙනවා. මේ අම්මලා තාත්තලා ජීවත් වෙන්නෙ දරුවන් වෙනුවෙන්. ඒ ගොල්ලො දේවල් දකින්නෙ දරුවන්ගෙ ඇස්වලින්. දේවල්වලට දරුවො වගේම බය වෙනවා. තමන්ගෙ වැඩිහිටි ආශාවන් කැපකරනවා. නිදහස කැපකරනවා. සෙක්ස් කියන එක තවදුරටත් ශරීර කෘත්‍යයක් මිස ශෘංගාරයක් නොවී යනවා. පුළුවන් තරම් ඉක්මනට මේ දෙමව්පියන් නිර්මාණය කරගැනීම තමයි සාම්ප්‍රදායික සමාජ අපේක්ෂාව වෙන්නෙ. අම්මා තාත්තා බවට පත්වුනාට පස්සෙ ඒ අය ආදරවන්තයන් වගේ කැරලිකාර නෑ. ඒ අය සංස්කෘතිය සදාචාරය රකින්න නිහඬ ගිවිසුමක ඉන්නවා.

    අම්මා කෙනෙක් විදිහට ඔහොම අඳින එක හරිද?

    අනියම් පෙම්වතා දෙදරු පියෙක්…. වගේ කතා ලියවෙන්නෙ ඒ ගිවිසුම හින්ද.

    අනිත් පාර තමයි සංවෘතබව වෙනුවට විවෘත වීම පිලිගන්න එක. රට අරින එක. එතකොට අර තරු එළි දැල්වෙන අනුරාගී ආදරයට එපිටින් තමන්ට එකට පවතින්න ඇත්ත හේතුවක් තියෙන්න ඕන. වෙනත් වෙනත් ආදර සම්බන්ධතා, රාගී ඇවිලීම්, සියල්ලක් අතර විවෘතව පවතින ආදරයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒක හරියට ආදර කොමියුනයක් නිර්මාණය කරනවා වගේ වැඩක්. මේ අයට තමයි සාම්ප්‍රදායික සමාජය බරපතලම විදිහට විරුද්ධ. මොකද මේ ආදරයට සමාජය එක්ක සම්මුතියක් නෑ. ඒක ඇත්තටම කැරැල්ලක්. කැපකිරීම වෙනුවට ආශාවම තෝරාගැනීමක්. අනාගතය වෙනුවට වර්තමානයම තෝරාගැනීමක්. නැව වරායක නැංගරුම් ලනවා වෙනුවට කුනාටු මුහුදක යාත්‍රා කිරීමටම ගන්න තීරණයක්.

    එතනදි නැවත නැවත ආදරයේ අසනිමල් පිපෙනවා. ඒ මල් තහනම් වෙන්නෙ නෑ. ඒවා ආදරයන් විදිහටම පිලිගන්නවා. දෙමව්පිය ආදරයේදි මේ ආදරයන් අනියම් වෙනවා. වරදකාරී වෙනවා. මොකද දෙමව්පිය ආදරය පවතින්නෙම ලිංගිකත්වයට සීමාවක් පැනවීම මත. දෙවෙනි ආදරය පවතින්නෙම ඒ සීමාව ඉවත් කිරීම මත.

    අපි හැමෝම රොමාන්තික ආදරයේ මුදුනෙදි ආසාවෙන් විලංගු ලාගන්නවා. ඒක ආස්වාදනීය ෆැන්ටසියක්. කන්ද පාමුලට ආවම විලංගුව ඉවත් කරනවද නැත්තං දිගටම තියාගන්නවද කියන යතාර්ථය මුනගැහෙනවා.

    පළමු වර්ගයෙන් පිටපත ලියවුනොත් එතනින් පස්සෙ තියෙන්නෙ දූදරුවො පන්නයේ මෙගා ටෙලියක්. දෙවෙනි වර්ගයෙන් ලිව්වොත් සීරීස් එකෙන් සීරීස් එකට අලුත්වෙන ඇඩ්වෙන්චර් එකක්.

    එතකොට දෙමව්පියන් වෙලා විවෘත ආදරයක පවතින්න බැරිද? ඒ කියන්නෙ මේ ඔප්ෂන් දෙකම පාවිච්චි කරන්න බැරිද? එහෙම වෙනවා නම් ඒක තමයි ලස්සනම. ඒත් ඒකට තමන් දරුවන් ලැබුවත් දෙමව්පිය තනතුරෙන් පිදුම් නොලබා හිතුවක්කාර ආදරවන්තයන් විදිහටම ඉන්නවා කියන තීරණය ගන්න වෙනවා. අම්මෙක් හෝ තාත්තෙක් ඉපදෙනවා කියන්නෙ පෙම්වතෙක් හෝ පෙම්වතියක් මියයනවා කියන එක.

  • දම්පාට කවුළුවෙන් එබෙන්න

    දම්පාට කවුළුවෙන් එබෙන්න

    මං මගේ ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එක පාවිච්චි කරන්නෙ කවි ලියන්න. කවි ලියනවටත් වඩා කවි ලියන අය අඳුරගන්න. ෆේස්බුක් වගේ ආක්‍රමණශීලී, පිරිමි-විවේචනයට බර වේදිකාවක් නොවෙන හින්දම තමන්ගේ පිටුවලට මුවාවෙලා, අවංකව දේවල් කුරුටු ගාන අය ඉන්ස්ටා වැඩියි. උවමනාවටත් වඩා තමන්ව පුම්බාගන්න විසිතුරු ජීවිත එතන බහුලබව නොපිලිගන්නවා නෙමෙයි. ඒත් සොඳුරු හුදකලා කවීන් බොහොමයක් මට එතනදී මුනගැහුන. ඒ අතර ඉංග්‍රීසියෙන් ලියන නමුත් ගැඹුරු තැන් සියුම්ව පිරිමදින කීපදෙනෙක් හිටියා. පර්පල් ෂටර් ටේල්ස්, දම්පාට කවුළුවේ කතාව මට එහෙම මුණගැහුනු, සමීපම නමුත් ස්පර්ශ නොකළ අත්දැකීම්වල ආස්වාදය දනවපු කවි පිටුවක්. වැඩියෙන්ම මං වැටුනෙ ඒ කවිවල ගැහැණුකමට. ඒ ගැහැණුකම රහසින් තරණය කරන ඉසව්වලට. ආසාව හින්දම ඉංග්‍රීසියෙන් ඉතා සුන්දර ඒ කවි මගේ කුරුටු සිංහලෙන් කැත කරන්න තීරණය කළා මම. එක විදිහකට ඒක පිරිමියෙක් හැටියට අනෙක්පස ගැහැණිය නිරුවත් කිරීමක්.
    ඒ එලිවෙන යාමයේ
    ගලායන වතුරෙ හඬ ඇයට ඇසුනා
    බැඳීම අපරාධයක් බව
    මාස ගානක රහස්බව ඇයට කියා දී තිබුනා
    ආස්වාදනීය රාත්‍රි‍යේ මත්වීම මතක්කරමින්
    ඇය ඉතිරි ටිකීලා ටික සින්ක් එකට හැලුවා
    දැල්වුනු සතුටේ ශේෂයන් වූ
    සිගරට් කොට බක්කියට දැම්මා
    ඔහු සාලය හරහා ගියේ හැඟීමක් නැතුව
    නළලතට හාදු නෑ, මෘදු සමුගැනීම් මොකුත් නෑ
    ඔහු, හිස් මාවතේ නවතා තිබුනු කාර්එකට ඉක්මනින් ගොඩ‍වෙමින්
    ඇස්කොනින් පමණක් ඉක්මන් බැල්මක් හෙලුවා
    ඇය, දොර අඩවල්ව තබමින් ඇතුලට ඇදුනා
    මේ ‘අනෙක් ගැහැණිය’ බලා සිටිනා දවස වැඩි ඈතක නොවේ.
    තහනම් අනුරාගයක පසුයාමයේ දැනෙන කාංසිය, පාළුව, හිස්තැන, රහස සියල්ල රූප මැවෙන විදිහට සිත්තම් කරපු කවියක් ඒක. ඒ වගේ කාමර කොයිතරම් ගානක් අපි පහුකරලා ඇත්ද? ඒත් ගැහැණියක් ඒ ගැන ලිව්වා දැක්කාමයි මම.

    මම මගේ හදවත දුර්වලම බලාපොරොත්තුවේ රඳවමි
    බලාපොරොත්තු විරහිත බව කෙතරම්ම පෙනුනත්
    හැකි උපරිමයෙන් එහිම එල්ලී සිටිමි
    ඔබ විහිළුකරන ඒ බලාපොරොත්තුව
    ඔව් එ් මට විසුළ එළියක්

    ඒ කඩාවැටෙන කොලය මත මම මගේ තටු ලිහිල් කරමි
    එය මැසිවිලි නොනගා මගේ සියලු බර දරාගනු ඇත
    දුර්වල නුමුදු මේ බලාපොරොත්තුව මගෙයි
    එය මාත් මගේ වේදනාවත් දරා සිටී
    එබැවින් මගේ හරිත බලාපොරොත්තුවට ඔබේ විහිළු නවතන්න.

    මේ කවිය ලියලා තිබුනෙ හීන් කඩා වැටෙන තණපතක එල්ලුනු සමනලයෙකුගෙ රූපයක් එක්ක. බිඳී යන බව දැනදැනත් එල්ලී සිටින ආදරයක් ගැන හරිම සියුමැලි හේතුවක් ඒ වචනවල තිබුන.

    උත්ප්‍රාසයක් නොවෙද?
    මරණයෙන් වෙන්කරන තුරු -වෙන්නොවී ඉන්නට දිවුරූ
    කිසිදිනක මුනනොගැසෙන මාවතක පියමනින
    සදාතනික යැයි දිසි නමුත් සදා වෙන්වුනු අපි,
    උමං කෙලවර ඇති, කිසිදිනෙක් මුනනොගැසෙන
    ඒ රවටනසුලු එලිය..සොයා යන ගමනේ
    අපි තවත් පිය මනිමු.

    එකටම ආදරෙන් බැඳුනත් කිසිදා මුනනොගැහෙන ජීවිත දෙකක්.. කවදා හෝ මුනගැහෙන බලාපොරොත්තුවෙන් එකට යන, එකට නොබැ‍ඳ‍ෙන ගමනක්… පවතින නමුත් බිඳුනු ආදරයක අමුතු ලස්සනක්. මේ හිස්තැන දම්පාට කවුළුවෙන් ලියවුනු හැම කවියකම තියෙන මං ආස හැඟීමක්.ඇස් නිලංකාර කරන ඒ රැස්
    කාමරය එළිය කරනවා
    හැම මුල්ලක්ම පැල්මක්ම නිරුවත් කරනවා
    කැපුම් නිරාවරණයවී
    කැළැල් හෙළිදරව් වී
    රහස් එලිවෙනවා
    මං ඇකිලෙනවා
    හැංගෙන්න පලක් නැති වෑයමක් දරනවා
    දරාගත නොහැකි නිරුවත
    කුපිතකරනවා
    මම මගේ රැකවල් පහත හෙලනවා
    ඔබට සියල්ල දැකගන්න ඉඩ දෙනවා
    ඔබේ ආදරය ඒ වගෙයි
    ඇස් අන්ධකරන තරම් එලියයි..
    අලුතෙන් හඳුනාගත් ඒ අවදානමේ මං ඇලීගැලෙනවා
    නිබයව නිරුවත් වෙනවා
    මම දැන් මගේ කැළැල් පළඳිනවා
    හරියට කොටිදෙනක් ඇගේ ඉරි රටා පළඳිනවා වගේම..

    මේ කවිවලට සිංහලෙන් මට කරන්න පුළුවන් සාධාරණය අවමයි. ඒත් ඒ ගැහැණු අදහස් සිංහලෙන් කියවන්න ඕන කියල මට හිතුන. පරිවර්තනයෙදි සාහිත්‍ය මැරුනත් ඒ වගේ ගැහැණු හැඟීම් සිංහලෙන් ලියවෙන්නෙ නැති තරම්. කොතනකටවත් වහන් නොවුනු, නිදහස්, අවංක හැඟුම් තැවරුමක ආස්වාදය මං ඒ කවි ඇතුලෙ විඳිනවා.
    දම්පාට ජනේලෙන් නැවත නැවත එබෙන්න මං ආසාවෙන් පෙළෙනවා.


    චින්තන ධර්මදාස

  • වෙන්වීමේ කලාව

    වෙන්වීමේ කලාව

    මං මගේ යාළුවෙක් එක්ක කතා කරමින් හිටියා. අපි හිටියෙ හිරිකැටියෙ.

    ‘මචං පොඩ්ඩක් හිටපං. එක්ස්ගෙන් කෝල් එකක්..’

    ඌ කෝල් එකක් ගන්න එලියට ගියා. විනාඩි පහකින් විතර ආපහු ආවා. ආයිමත් අපි කතා කරනවා.

    ‘ආ.. සොරි බං. එක්ස්ගෙන් කෝල් එකක් ආපහු..’

    යාළුවා ආයිමත් එලියට ගියා. විනාඩි පහලොවකට විතර පස්සෙ ආවා. මූනෙ විස්සෝපයක් බලාපොරොත්තු වුනත් යාළුවගේ මූනෙ තිබුනෙ සතුටු හිනාවක්. එක්ස්ගෙන් කෝල් දෙකක් එනවා කියන්නෙ ඉතිං සාමාන්‍යයෙන් අර්බුදයක්නෙ.

    ‘සොර‍ි මචං.. මගේ බල්ලො දෙන්නා ඉන්නෙ එක්ස් එක්ක මේ දවස් ටිකේ. ඉතින් නිතර කෝල් එනවා උන්ගෙ ඒවා ගැන අහන්න..’

    ‘කවුද මචං මේ එක්ස්?’

    ‘අ‍පේ තිබුන මචං අවුරුදු හතක රිලේෂන්ෂිප් එකක්. අපි අවුරුදු තුනක් ගත්තා සෙපරේට් වෙන්න. දැන් සෙපරේට් වෙලත් අවුරුද්දක් විතර. ඒත් මගේ ඕනම දේකට උදව්වට ඉන්නෙ එයා’

    සම්බන්ධතාවයක වෙන්වීම කියන්නෙ අපි නිතර අත්දකින මරාගැනීමක්. සම්බන්ධයක් පටන්ගත්ත තැන පටන්ම අපි බයෙන් පෙළෙන හීනයක්. සමහර අවුරුදු ගනන් දිග සම්බන්ධතා එක දවසකින් අවසන් වෙනවා. වෙන්වෙනවා. ඒ අය ජන්මාන්තර වෛරක්කාරයන් වෙනවා. වෙන්වීම තිත්ත අත්දැකීමක්. කඳුළු ගලන, බීලා වැටෙන, අඬන, වැළපෙන මැරෙන්න හිතෙන වෙන්වීම් අපි හැමෝම විඳලා තියෙනවා.

    ‘ඉතිං ඇයි උඹලා සෙපරේට් වුනෙ?’

    ‘අපේ ලව් එක එක්ස්පයර් වුනා. කාලයත් එක්ක මට ඉස්සර එයාගෙ දැකපු පුංචි පුංචි ලස්සන දේවල් පේන්නෙ නැතුව ගියා. එයාටත් එහෙම වෙන්න ගත්තා. ඉස්සර හුරතල් වැඩ විදිහට දැකපු දේවල්වලට පොඩි නොරිස්සුම්කම් දැනෙන්න ගත්තා. අපිට ‍තේරුනා අපේ ආදරේ නරක් වෙමින් තමයි එන්නෙ කියල. ඉතිං අපි ඩිසයිඩ් කළා සෙපරේට් වෙන්න. අපිට ආපහු අපිව අර මුල් කාලෙ දැනුන හයි ෆීලින්ග් එකෙන්ම දැනෙන දවසක් ආවොත් ආපහු එකතු වෙන්න. ‘

    යාළුවගෙ කතාව මට ඉන්ටරෙස්ටින්. ඒ තරම් සවිඥානකව සම්බන්ධයක් ඇතුලෙ ඉන්නවා කියන එක හරි ලස්සන දෙයක්. කෙනෙක් තමන්ව රැවැට්ටුවා, පාවිච්චි කළා වගේ හැඟීමක් නැතුව දෙන්නෙක් වෙන්වීම තේරුම් ගන්නවා කියන එක අවබෝධයක්. ආදර සම්බන්ධයක් ඇතුලෙ විතරක්ම අවබෝධ වෙන තත්වයක්.

    අපි හැමතිස්සෙම වෙන්වෙන්න හදිස්සියි. සම්බන්ධය පටන් ගන්න තිබුණට වඩා ලොකු හදිස්සියක් අපිට වෙන්වෙද්දි තියෙනවා. ගොඩක් වෙලාවට අපි වෙන්වෙන්නෙ බරපතල තුවාල සහිතව. සමහර විට අපිට අනෙකාගේ රහස් සම්බන්ධයක් ගැන දැනගන්න ලැබෙනවා. අපිව පාවා දුන්නා කියල ලොකු වේදනාවක් ඇතිවෙනවා. බොරු කීම, වංචා කිරීම ගැන ජුගුප්සාවක් අවදි වෙනවා.

    ඒකම අනිත් පැත්තටත් දැනෙන්න පුළුවන්. තමන්ගේ රහස දැනගැනීම නිසා ලැජ්ජාවක්, අපහසුවක්, තමන් ගැනම වරදකාරී හැඟීමක්, මේ ඔක්කොමත් එක්ක දැඩි ආරක්ෂාකාරී පවුරු බැඳගැනීමක් සිද්ද වෙනවා. ඊට පස්සෙ අපි දකින්නෙ සටනක්. වෙන්වීම හෝ සාමය ඇතිවෙන්නෙ මේ සටනෙ ප්‍රතිඵල විදිහට. අපිට අමතක වෙන කාරණය අපි කොයිතරම් ආදරෙන් හිටියද කියන එක.

    වෙන්වීම නරක දෙයක් නෙමෙයි. බොරුකීම අසාමාන්‍ය දේකුත් නෙමෙයි. ඕනම බොරුවක තියෙනවා ඇත්තකට වඩා ඇත්තක්. උදා විදිහට කෙනෙකුට තමන්ගෙ වෙනත් සම්බන්ධයක් ගැන තමන්ගේ පෙම්වතියට හෝ පෙම්වතාට කියන්න බැරි වෙන්නෙ ඒ දෙන්නා අතර ගොඩනැගිලා තියෙන සම්බන්ධතාවයේ දුරස්බව හින්දමයි. රොමාන්තික ආදරෙන් එහාට මනුස්ස සම්බන්ධයක් ගොඩනගා ගන්න ඒ අය අසමත් වෙලා තියෙනවා.

    එ් කොහොම වුනත් වෙන්වීම නරක දෙයක් නෙමෙයි. හැබැයි වෙන්වීම ලස්සන එකක් වෙන්න ඕන. මිනිස්සු දෙන්නෙක්, ආදරවන්තයන් දෙන්නෙක් වෙන්වුනු තැනක ආදරය ඉතුරු වෙන්න ඕන.

    හොඳම දේ වෙන්වීමට කල් ගන්න එක. එකට හිඳිමින් වෙන්වීම පුහුණු කරන එක. අනෙකාගේ රිදුම් තුවාලවලට සත්කාර කරන එක. සුවපත් මනසකින් වෙන්වෙන තැනට එකිනෙකා පර‍ිණත කරන එක. ඒක අමාරු දෙයක් නෙමෙයි. අපිට සියල්ල නිමා කරන්න තියෙන හදිස්සිය, එමෙ නැත්තං තෘප්තිය, සාමය අත්පත් කරගන්න තියෙන කඩිමුඩිය අපේ සම්බන්ධතාවල වැදගත්ම මොහොතවල් අපිට මගහරවනවා. වෙන්වීම කියන්නෙ ආදර සම්බන්ධයක වැදගත්ම මොහොතක්.

    වෙන්වීමේ අයිතිය පිළිගැනීම, ඒකට ගරු කිරීම ආදරයක් ඇතුලෙ පුරුදු කළ යුතුම පුහුණවක්.

    අපි නොදන්නවා වුනාට එකට පවතින සම්බන්ධයක් ඇතුලෙ කාලයත් එක්ක අපි එකිනෙකා මත වැඩෙන්න ගන්නවා. අපි අතර පෙනෙන නොපෙනෙන ගොඩක් දේවල් හුවමාරු වෙනවා. එකට බෙදාගන්න අවකාශය පවා ලොකුවට අපේ ජීවිත ඇතුලෙ දැනෙනවා. එක ඇඳක නිදාගන්නවා කියන්නෙ කොහෙත්ම ලිංගික කාර්යයට සීමා වුනු අත්දැකීමක් නෙමෙයි. ඒ ඇ‍‍ඳ‍ෙ අනිත් පැත්‍ත හිස්වීම දරාගන්න බැරි වෙනවා.

    මේ දේවල් එකට පහු කරන්න තියෙනවා නම් ඒ වේදනාව රසයක්. සමහර විට අපි බෙදාගෙන කරන අපේ බැංකු වැඩ, බිල් ගෙවන වැඩ වගේ මතුපිට දේවල් වුනත් අපි හිතනවට වඩා ගැඹුරු තැන්වල සම්බන්ධ වෙලා තියෙනවා. මේ දේවල් හෙමින් නිදහස් කරන්න ඕන. ඒ නිදහස් කිරීම් එක්ක දැනෙන කම්පන සමනය කරන්න ඕන. ඒකට ඒ සම්බන්ධතාවය බෙදාගත්ත අනෙකා ඕන.

    වෙන්වීමෙන් පස්සෙ එකිනෙකා සුවෙන් ගතවෙන තැනක් නිර්මාණය කරගන්න වෙනවා. තවදුරටත් සමහර දේවලට එකිනෙකාගේ උදව් උවමනා වෙනවා. රොමාන්තික ආදරය කෙලවර වුනත් මනුස්ස ආදරය, නැත්තං හොඳම යාළුවෙක් විදිහට ඉන්න එක ඉතුරු කරගැනීමයි වැදගත්. එතකොට අපි ලස්සන ආදරයක ගමනාන්තයට ළඟවුනා වෙනවා. අපිට ලැජ්ජාවක් නැතුව වෙන්වෙන්න පුළුවන්.

    ‘මචං, ඊට පස්සෙ එයාට තව කෙනෙක් හම්බුනා. අපි එකට මුනගැහුනා. එයා මාත් එක්ක ගොඩක් ඒ අලුත් යාළුවා ගැන කතා කළා. මටත් හිතුනා එයාට ඒ සම්බන්ධය හොඳ එකක් වෙයි කියල. ඒත් මට තාම කවුරුවත් නැති එක එයාට අවුලක්. ඉතින් නිතරම මට කතා කරනවා. වීකෙන්ඩ්ස්වල එ‍් ගොල්ලොන්ගෙ ගෙදර ලන්ච් හරි ඩිනර් හරි යන්න වෙනවමයි’

    ‘ඉතිං උඹට දුක නැද්ද?’ මං ඇහුවෙ ඒ හැඟීම තවත් යටට කොනිත්තන්න.

    ‘දුකක් තියෙනවා. ඒක විඳින්න ආස හිතෙන එකක්. මට එයාව අර ඉස්සර මුනගැහුනා වගේම ලස්සනට ආපහු පෙන්න අරන් තියෙනවා. මං හිතන්නෙ අපි එකට හිටියට වඩා මං දැන් එයාට ආදරෙයි. එයා වෙන කෙනෙක්ව කසාද බැඳලා ඉන්න එක එයාටවත් මටවත් ඒ බැඳලා ඉන්න යාළුවටවත් ප්‍රශ්නයක් නෙමෙයි. අපි ජීවිතේ අවුරුදු හතක් එකට බෙදාගත්ත මිනිස්සු දෙන්නෙක්නෙ මචං. කොයිතරම් දේවල් ගොඩක් අපි දෙන්නා අතරෙ තියෙනවද?’

    ගියොත් තරහ වෙන බේබදු ආදරෙන් අපි එලියට එන්න ඕන. එකිනෙකා අතර බැඳීම් අසීමිත වෙන ආදරණීය පැවැත්මකට පරිණාමය වෙන්න ඕන. හැම සම්බන්ධයකම වෙන්වීමේ කාලය දීර්ඝ එකක් වෙන්න ඕන. අපේ ඉමෝෂනල් කැළඹීම් සමනය වෙලා, සිහියෙන් හැමදෙයක් ගැනම කතා කරලා අපි වෙන්න ඕන.

    ආදරෙන් පටන්ගන්න වගේම ආදරෙන් ඉවරකරන්නත් පරිණත වෙන්න.

  • ඇල්ලයි එල්ලුංගහයි – සෙක්ස් කතා දෙකක්

    ඇල්ලයි එල්ලුංගහයි – සෙක්ස් කතා දෙකක්

    සැප්තැම්බරය පටන් ගත්තෙ පහන්තුඩාව ඇල්ල ළඟ යුවළක් කරපු වැඩිහිටි වීඩියෝවක අනුරාගයත් එක්ක. පෝර්න්හබ්වල පළවුනු ඒ වීඩියෝව රටම එක දවසින් අවුළුවාලන්න සමත් වුනා. හැම කෙනෙක්ම ඒක නැරඹුවා. නරඹා ආස්වාදය වාවාගත නොහුනු සමහරු ගල්ගැහුවා. පහන්තුඩාව පූජා ස්ථානයක් බවට පත්වුනා. එතන රමණය මහා පාපකාරී වරදක් වුනා. අන්තර්ජාතික ප්‍රජාව අතර පහන්තුඩාවේ පිවිතුරුබව කෙලෙසීම ගැන විදග්ධ රචනා ලියවුනා. හාමුදුරුවරු ජනාධිපතිට ලියුම් ලිව්වා. පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති මැදිහත් වුනා. පැය 48කින් මහා මෙහෙයුමක් කරලා ඒ යුවළ අත්අඩංගුවට ගත්තා.

    ඒ තමයි පළවෙනි කතාව.

    දෙවෙනි කතාව සිද්ද වෙන්නෙ ඊට දෙසතියකට පස්සෙ. ඇමතිවරයෙක් තමන්ගේ පෙම්වතිය සමග මධුවිතෙන් මත්ව හෙලිකොප්ටර් සවාරියක් යනවා. ලංකාවෙ ජනතාව මේ ටුවර් එක ස්පොන්සර් කරනවා. ඒ ගොල්ලො මහ රෑ අනුරාධපුර හිරගෙදර නරඹන්න යනවා. එතනින් වැලිකඩ හිරගෙදරට එනවා. ඒකෙ එල්ලුම්ගහේ පහස ලැබීමේ රති උන්මාදයකින් පෙළෙනවා. ඒ යට රමණය කිරීමේ ආශාවද, නැත්නම් ඒ ස්මරණය කිරීමේ ආශාවද කියල පැහැදිලි නෑ. නමුත් ඒක ඉරොතික ෆැන්‍ටසියක් බව පැහැදිලියි. පිස්තෝලයක් ඇදගෙන රැඳවියන් දනගස්සනවා. ඒ සුරතාන්තය එසේ නිමාවෙනවා.

    ඇමතිවරයා තමන්ගේ අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වෙනවා. බන්ධනාගාර අධිකාරීන් කිසිම සිදුවීමක් සිද්ද වුනේ නෑ කියල සනාථ කරනවා. ඒ කියන්නෙ ඒක තනිකරම අපේ මනසේ මැවුනු සිහිනයක් කියන එක.

    දැන් මේ සිදුවීම් දෙකෙන් අසභ්‍ය සිදුවීම වෙන්නෙ මොකක්ද? වඩා වරදකාරී වන්නේ එල්ලුම් ගහ යට රමණයද නැත්නම් ඇල්ල ළඟ රමණයද? තමන්ගේ බලය පාවිච්චි කරමින්, කිසිවක් කරකියාගත නොහැකි රැඳවියන් පෙලමින්, අපේ සල්ලිවලින් ලත් මේ පරපීඩක කාමයද නැත්නම් ඇල්ල ළඟ වීඩියෝවක් කරලා චැනල් එකක දාලා මුදල් ඉපැයූ ඒ ප්‍රදර්ශනකාමයද අසභ්‍ය? ඇල්ල ළඟ වීඩියෝව සුවහසක් නැරඹුම්කාමීන්ට ආස්වාදයක් වුනා. එල්ලුම්ගහ ළඟ රමණය ආස්වාදයක් වුනේ කාටද? ප්‍රසිද්ධ ස්ථානය වෙන්නෙ හිරගෙදර එල්ලුම් ගහද, නැත්තං කවුරුත් නැති වෙලාවක පහන්තුඩාව ඇල්ලද?

    හාමුදුරුවරු ලියුම් ලිව්වෙ නෑ. පොලිස්පති නියෝජ්‍ය පොලිස්පති කිසිම කැළඹීමක් නෑ. ගිනිඅවි ආඥා පණත ක්‍රියාත්මක නෑ. සරලව ඇමතිකම බාරදීලා ගෙදර යනවා. පෙම්වතිය ඒ තමන්ට කරන අපහාසයක් කියල ෆේස්බුක් එකේ ලියනවා. ගල්ගහන සදාචාරවාදියො මෙතන නෑ. ඒ වෙනුවට ඇමතිව වීරත්වය‍ට නංවන මහා පිරිසක් ඉන්නවා. එල්ලුංගහ යට පරපීඩක කාමය බාරගන්න අපේ සමාජය සරල අඹුසැමි එක්වීම බාරගන්නෙ අසභ්‍ය විදිහට.

    බලය පාවිච්චි කිරීම අසභ්‍ය නෑ. රජයේ තනතුරු පාවිච්චි කිරීම අසභ්‍ය නෑ. මිනිස් අයිතිවාසිකම් උදුරාගැනීම අසභ්‍ය නෑ. වරප්‍රසාද අවභාවිතා කිරීම අසභ්‍ය නෑ. අධිකාරීන් වගකීම පැහැර හැරීම අසභ්‍ය නෑ. ඇල්ලක් ළඟ දෙන්නෙක් සෙක්ස් කිරීම අසභ්‍යයි.
    පළවෙනි කතාවට අතිරික්තව නැරඹුම් ශාංගාරය එකතු වෙන අතරෙ දෙවෙනි කතාවට නීතිය කැඩීමේ ශෘංගාරය එකතුවෙනවා.
    මේ මධ්‍යම රාත්‍රියේ මධුවිතෙන් මත්වී එල්ලුම්ගහ නරඹන්නට ඇතිවෙන පරපීඩකකාමය වඩාත් සමීප වෙන්නෙ BDSM කියන රති කලාපයට.

    B – Bondage – බන්ධනය
    D – Discipline or Dominance – විනය හෝ පාලනය
    S – Sadism or Submission – පරපීඩකකාමය හෝ යටත්වීම
    M – Masochism – ස්වපීඩකකාමය

    ඒකෙ තියෙනවා එල්ලුම්ගහ බෙහෙවින්ම සමපාත වෙන බ්‍රෙත්ප්ලේ නැත්තං හුස්ම ක්‍රීඩාව කියල ලිංගික විලාසයක්. මේක වඩාත්ම ජනප්‍රිය වුනේ අපේ සුප්‍රකට කුංෆු නළුවා ඩේවිඩ් කැරඩේන් මේ බ්‍රෙත්ප්ලේ ඇක්ට් එකකින් මරණයට පත්වීමත් එක්ක. හැබැයි කැරඩේන් පරපීඩකකාමයක් වෙනුවට ස්වපීඩකකාමයක් අත්විඳිමින් අනුන්ට හානියක් නැතිව ලබපු ආස්වාදයක් ඒක.

    කොහොම වුනත් මේ බ්‍රෙත්ප්ලේ නැත්තං ඉරොටික් ඇක්ෆික්සියේෂන් කියන රති ක්‍රීඩාව ඉතාමත් ඉතාමත් අන්තරායකාරී වෙන අතරම ඒ තරමටම ආස්වාදනීය වෙනවා කියලයි කියන්නෙ. ලිංගික ක්‍රියාව අතරදී මොළයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුකිරීම තමයි මෙතනදි සිද්ද වෙන්නෙ. ඒ කියන්නෙ යම් විදිහකින් සෙක්ස් කරන අතර හුස්ම හිරකිරීම. මෙතන තියෙන අවදානම වෙන්නෙ එක්තරා ප්‍රමාණයකට පස්සෙ ඔක්සිජන් අහිමිව මොළයට හානි සිදුවෙන අතර ඒ කොයි ප්‍රමාණයකින්ද කියන එක අතිශයින් අවිනිශ්චිත වෙන එකයි. නමුත් මේ ස්වයංපීඩක ක්‍රියාව නිසා ලිංගික ක්‍රියාව වඩාත් ඉන්ටෙන්ස් වන අතරෙම ඒ නිසා ලබන සුරතාන්ත අත්දැකීමක් අසමසම වෙනවා. ලිංගික උපදෙස් ලබාදෙන කිසි කෙනෙක් බ්‍රෙත්ප්ලේ එක දිරිමත් කරන්නෙ නැත්තෙ ඒ නිසා ලබන ආස්වාදය පරදන තරමෙ හානි සිදුවන අවස්ථා බොහොමයක් තියෙන හින්දයි.

    මේ රති ක්‍රීඩාවෙදි මොළයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙන අතරම අනිත් පැත්තෙන් රුධිරයේ කාබොන්ඩයොක්සයිඩ් ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒ නිසා බ්‍රෙත්ප්ලේ කරන දෙන්නෙක් නම් එකිනෙකාගේ ශරීර ගැන ඉතාම සියුම් මට්ටමේ අවබෝධයක් තියෙන්න ඕන. ඒ වගේම හුස්ම හිරකරන යාන්ත්‍රණය මගින් ශරීරයට දිගුකාලීන ආබාධ ඇති නොකිරීමේ දැනුමත් තියෙන්න ඕන. ඒ කියන්නෙ මේක නිසි අධ්‍යනයකින් සහ පුහුණුවකින් පස්සෙ කරන්න ඕන.

    අනෙක් බොහොමයක් BDSM ක්‍රීඩාවලදි යොදා ගැනෙන සේෆ් වර්ඩ් එක ඒ කියන්නෙ නතර කිරීමේ වචනය මෙතනදි ප්‍රමාණවත් වෙන්නෙ නෑ. ඒ නිසා ඇහැක පිල්ලම් ගැසීමක් හෝ අතක චලනයක් හෝ වැනි ඉරියව්වකුත් යොදාගන්න වෙනවා. එහෙම වුනත් ඒ දෙකටමත් වඩා සහකරුවා හෝ සහකාරිය විශේෂ අවධානයකින් සහ වටහා ගැනීමකින් පසුවෙන්නත් ඕන. බීලා බ්‍රෙත්ප්ලේ කරන්න ගියොත් නං අබසරණයි.

  • කොරෙ‍ානා ඉවර වුනු ගමන් දඟකාර රමණයක්

    කොරෙ‍ානා ඉවර වුනු ගමන් දඟකාර රමණයක්

    කොරොනා ඉවර වුන ගමන් කරන්න බලන් ඉන්න ශෘංගාරාත්මක දේවල් ලැයිස්තුවක් හැදුවොත් කොහොම වෙයිද? ඒ කියන්නෙ ගෙවල් ඇතුලෙ හිරවෙලා, එලියෙ සියලු සම්බන්ධතා ගැලවිලා, ගතකරපු හුදකලා කාලයක් අවසන් කරන සැමරුමක් මොන වගේ වෙන්න ඕනද? අපි ආයිමත් පරණ විදිහටම වැඩට යනවා, ගෙදර එනවා, නිදාගන්නවද? නැත්තං පොඩි දඟකාර අනුරාගයකින් ආපහු මිනිස්සු විදිහට උණුසුම් වෙනවද? එහෙම කල්පනා කරනකොට මගේ හිතට ආපු දේවල් ලිස්ට් එකක් මේ. මීට අමතරව කරන්න හිතේ තියෙන තව ගොඩක් දේවල් ඇති. කැමති නම් ඒවත් එක්ක මෙතනින් බකට් ලිස්ට් එකට දාගන්න හොඳම 3 කමෙන්ට් කරන්න. (ෆේස්බුක් පිටුවෙ)

    1. Public sex
    අපිට වැඩිපුරම නැති වුනේ සමාජය. එලිමහන. මිනිස්සු. ඉතින් මිනිස්සු අතර රමණය කරනවා තරම් සොඳුරු අත්දැකීමක් කොවිඩ්වලට පස්සෙ තියෙන්න පුළුවන්ද? කා‍ගෙවත් ඇස නොගැටෙන ගොඩනැගිලි කෙලවරක, බීර අවන්හලක, සුවපහසු පොදු වැසිකිලියක තව ගොඩක් තැන්වල අපිට පුළුවන් අනුරාගයෙන් වෙලෙන්න. කවුරුවත් දකීද කියන සිතුවිල්ල හැඟීම් තවත් උන්මාදනීය කරනවා. ඉක්මනත්, හදිස්සියත්, ඇඩ්රිනලින් රෂ් එකත් අත්දැකීමේ තීව්රතාවය වැඩි කරනවා. ඒක සැමරුමක්. හැබැයි මේ ලංකාව කියන එකත් මතක තියාගන්න ඕන. හෙට ‍රටේ වැදගත්ම ප්‍රවෘත්තිය බවට පත්නොවී මේ රසය විඳින්නත් නිර්මාණශීලී වෙන්න ඕන. අපි ජීවත්වෙන්නෙ ලිංගික කුහකයන්ගෙන් පිරුනු රටක නිසාම කාටවත් හිරිහැරයක් නැති විනෝදයක් රටේ බරපතල අපරාධයක් වෙන්න පුළුවන්.


    2. Water sexදියඇල්ලක, ඇලක, දොළක, සමහර විට පූල් එකක වුනත් සෙක්ස් කරන එක සුන්දර අත්දැකීමක්. කවුරුවත් නොගැවසෙන අවසරයක වතුරෙ ගිලිලා එකිනෙකාගෙ සිරුරු වෙලෙන එක රමණීය රමණයක්. අපි අතර දියකඳක් තියෙනවා කියන එකත්, ඒ සොබාදහමට දියවීමේ අනුහසත් හැමදෙයක්ම වඩාත් සෞන්දර්යාත්මක කරනවා. සමහර වෙලාවට ලිංගිකව එක්වීමම අවශ්‍ය වෙන්නෙ නෑ. නිරුවතින් නිදහසේ දියකෙළින එකමත් පැහැදිලි ශෘංගාරයක්. සැළලිහිණින්ට නොපෙනෙන්න විඳිය යුතු අසිරියක්.


    3. Sex in the Wildකාගෙන්වත් හිරිහැරයක් නැති වනාන්තරයක ගස්කොලන් අතර වැතිර කරන රමණයක් කියන්නෙ ට්‍රිප් එකක්. ඉහලින් පේන තුරු වියන් දිහා බලාගෙන එකිනෙකාගේ ඇස් සමවඳින සුයාමයක්. කැලයක් කියන්නෙ නිරුවත් වෙන්නම ඕන තැනක්. මඩ, දිරාපත් කොල, තරමක් රළු තන පලස් තමයි මේ අනුරාගයේ අනිවාර්යතා වෙන්නෙ. ඒත් වනාන්තරයක් ඇතුලෙ රමණයක් මේ ශිෂ්ටත්වයේ රැහැන්වලින් මිදිලා අපේ පැවැත්මේ ගැඹුරු මොහොතක් ස්පර්ශ කරන්නත් පුළුවන්.


    4. Car Sex

    මේක නම් අපි හැමෝම වගේ කරලා තියෙන දෙයක්. ඒත් අනිවාර්යෙන්ම කාලෙකින් මගහැරුනු දෙයක්. වාහනයක් ඇතුලෙ සෙක්ස් කරනවා කියන්නෙ හරියට නාට්‍යයක් රඟදක්වනවා වගේ වැඩක්. ඒ තියෙන ඉඩට ගැලපෙන විදිහට ඉරියව් හසුරුවාගන්න ඕන. ඒ වගේම තමන් ඉන්නෙ වීදුරු ‍කුටියක කියන එකත් මතක තියාගන්න ඕන. හැබැයි මේ ආස්වාදය විඳපු කෙනෙකුට ඒක අමතක කරන්න නම් බැරි තරමෙ එකක්.


    5. Sex in a Tent

    කෑම්පින් ගිහින් ටෙන්ට් එකක් ඇතුලෙ සෙක්ස් කරනවා කියන්නෙ වෙනස්ම අත්දැකීමක්. කඳු වළල්ලක් මැද, සමහර විට හඳ පායන තැනිතලාවක පුංචි කූඩාරමක් ඇතුලෙ ගුලිවෙනවා කියන්නෙ හීනයක් තරම් ලස්සන රමණයක්. පරිසරය මැද නමුත් පුංචි රෙදි කඩකින් වෙන්වෙලා විඳින සුවයක්. කොවිඩ් ඉවර වුනු ගමන් ආපහු පැක් කරගන්න, යන්න කන්දක් තැන්නක් ඇලක් දොලක් හොයාගෙන. ඒ අපේ හුස්ම පිරුන කූඩාරමක සමෙන් සමට දැනෙන ආදරය විඳගන්න.

    අපි හිතමු ගෙදරින් එලියෙ අනුරාගය විඳින මේ උරුමයන් අපිට ආපහු ඉක්මනට ලැබේවි කියල. වඩාත් කැමති විදිහට අපි ඒවා සැලසුම් කරලා තියාගමු. ඒ වගේ සැමරුම් සිහින නොවේ සැමදා කියල නිතර මතක් කරමු.


     

    6. Make a sex tape

    ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය විශ්වාස කළ හැකි, වගකීමක් ගැන වැටහීමක් තියෙන කෙනෙක් නම් ඔබට පුළුවන් මේ එලිමහන් ආස්වාදයන් සම්මත සීමාවලින් එලියට අරන් යන්න. කොවිඩ් වලින් පස්සෙ සමරන මේ නිදහස් අනුරාගයන් වීඩියෝ ෆිල්ම් එකකට ගන්න. ඒ තැන්, ඒ දඟකාරකම් නැවත නැවත නරඹන සොඳුරු මතකයන් කරගන්න. මේවා ලීක් වීමේ අවදානමක් තියෙනවා තමයි. ඒත් ඒ අවදානමට වඩා ලැබෙන ආස්වාදය වැඩි නම් අපි අවදානම කළමනාකරණය කරගන්න නිර්මාණශීලී වෙන්න ඕන.

  • අසභ්‍ය යනු කුමක්ද?

    අසභ්‍ය යනු කුමක්ද?

    ‘කතා කිරීමේ නිදහස කියන දේ තියෙන්නෙ ඔබ කැමති දේ ආරක්ෂා කිරීම නෙමෙයි. ඔබ අකමැති දේ ආරක්ෂා කිරීමටයි.’ – ලැරී ෆ්ලින්ට්

    පහන්තුඩාවෙ සිද්දියත් එක්ක ගොඩක් කතාබහට ආපු කාරණයක් තමයි අසභ්‍ය කියන එක. ඉංග්‍රීසියෙන් ඔබ්සීන් කියල කියනවා. මේ අසභ්‍ය කියන කාණ්ඩයේ දේවල්,  කතා කිරීමේ නිදහස කියන මූලික මිනිස් අයිතිවාසිකම යටතේ ආරක්ෂා වෙන්නෙ නෑ.

    හැබැයි ලංකාවෙ බහුතරයක් හිතන් ඉන්නෙ පෝර්න් කියන්නෙ අසභ්‍ය දේවල් කියල. ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. පෝර්න් කියන්නෙ වැඩිහිටි ප්‍රකාශන කාණ්ඩයක්. පෝර්න්වල ඉතා කුඩා ප්‍රමාණයක් තියෙන්න පුළුවන් අසභ්‍ය කියන දේවල්. මේ අසභ්‍යයි කියන දේ හරියට අර්ථකතනය කරන්න මානව නිදහස අගය කරන සාධාරණ නීතියට සෑහෙන අමාරු කාරණයක්.

    මේ ගැන ඉතිහාසයක් පුරාම විවිධාකාරයේ අභියෝග ඇතිවෙලා තියෙනවා. ලංකාවෙ නම් අසභ්‍යයි කියල මොකක් හරි නඩුවක් දැම්‌මොත් ඒකෙ වරද පිළිඅරන් දඩයක් ගෙවලා වැඩේ එතනින් ඉවර කරන්නයි ඔ්‍න කෙනෙක් ට්‍රයි කරන්නෙ. ඒක නිසා නීතිය යාවත්කාලීන වෙන්නෙ නෑ. එක්දාස් අටසිය ගණන්වල පාදඩ නීතිවලින් අදටත් මිනිස්සු දුක් විඳිනවා.

    අපේ රටේ අසභ්‍ය නීතිය ඇමරිකාවෙ අසභ්‍ය නීතියට ගොඩක් ළඟයි. ඉතින් අපිට මේ සම්බන්ධ පූර්වාදර්ශ විදිහට ඇමරිකාවෙ නීතිය අර්ථකතනය වෙලා තියෙන විදිහ බලන්න පුළුවන්. ඒ සංස්කෘතික අභියෝග එක්ක නීතිය පරිණාමය වුනු හැටි තේරුම් ගන්න පුළුවන්. ඇමරිකාව අසභ්‍ය නීතිය ක්‍රියාත්මක කරද්දි වඩාත්ම සැලකිලිමත් වෙන කාරණය තමයි පළමු සංශෝධනය හෙවත් කතා කිරීමේ නිදහස (ප්‍රකාශනයේ නිදහස)  අවහිර වෙනවද කියන එක.

    (ලැරී ෆ්ලින්ට් කියන්නෙ හස්ලර් කියන පොර්නොග්‍රෆි සඟරාවෙ නිර්මාතෘ. එයා මේ අසභ්‍ය යනු කුමක්ද කියන එක අරඹයා නීතිය එක්ක දරුනුවට ගැටුනු කෙනෙක්. මං කැමති චරිතයක් හින්දම අතරින් පතර ලැරී ෆ්ලින්ට්ගෙ අදහස් කීපයකුත් එකතු කළා. පුළුවන් අය ‘people vs larry flint ෆිල්ම් එක බලන්න.)

    ‘මෝසස් යුදෙව්වන්ට නිදහස ලබාදුන්නා. ලින්කන් වහල්ලුන්ට නිදහස ලබාදුන්නා. මම නියුරෝසිකයන්ට නිදහස ලබා දුන්නා’ – ලැරී ෆ්ලින්ට්

    අද මූලිකව ගත්තම අසභ්‍ය කියන එක තීරණය කරන්න පාදක වෙන්නෙ නූතන ප්‍රජා පිලිගැනීම්වලට එරෙහිව යන ලිංගික චර්යාවන් නිරූපණය කරනවා නම් හෝ එහි කිසිදු සාහිත්‍යමය, කලාත්මක හෝ විද්‍යාත්මක අගයක් නොමැති නම් කියන කාරණායි. මේ අර්ථකතනය අනුව බොහෝ වැඩිහිටි ප්‍රකාශන – පෝර්න් කතා කිරීමේ නිදහස යටතේ ආරක්ෂාව ලබනවා. අසභ්‍ය යැයි තීරණය කළ හැකි සහ ළමයින් යොදාගන්නා ලිංගික ප්‍රකාශන විතරයි මේ ආරක්ෂාවෙන් පිටත තියෙන්නෙ.

    අපි මේ සංවාදය ආපු විදිහ බලමු. කොහොමත් මුල ඉඳන්ම අසභ්‍ය කියන නීතිය මූලික මිනිස් නිදහසත් එක්ක තදබල විදිහට ගැටුනා. 1964දි ‘ද ලවර්’ කියන ප්‍රංශ  ෆිල්ම් එක පෙන්නුවා කියල තියටර් මැනේජර්ට නඩු දානවා. එතනදි අධිකරණයේ තීන්දුව වෙන්නෙ ඒක අසභ්‍යයි කියල කියන්න බෑ කියන එක.

    ‘මට ඒක ගැන හරියටම කියන්න බෑ. ඒත් මට ඒක දැක්කම කියන්න පුළුවන්’

    විනිසුරු පොටර් ස්ටුවර්ඩ්ට ඊට වඩා හොඳ නිර්දේශයක් අසභ්‍ය කියන එකට දෙන්න බැරි වෙනවා.

    1960 ගනංවල චිත්‍රපට වර්ගීකරන මණ්ඩලය විසින් පනවපු දර්ශකයක් තිබුන ඩලස්-ටෙක්සාස් නීතිය කියල. ඒක යටතේ ඕනම චිත්‍රපටයක් අපරාධ සහ සෙක්ස් මත පදනම් වෙලා  ළමයින්ට සුදුසු සහ නැති විදිහට වර්ගීකරණය කරනවා. මේ මණ්ඩලය විසින් ලුයී මාලේගෙ ‘විවා මරියා’ ෆිල්ම් එක ළමයින්ට සුදුසු නැති ලෙස නිර්දේශ කිරීමට විරුද්ධව ඒකෙ නිෂ්පාදක නඩු පවරනවා.  එතනදි අධිකරණය  වර්ගීකරණ මණ්ඩලය විසින් නිශ්චිත නිර්දේශ දක්වා නෑ කියල  කියනවා. මෙම නිර්දේශ මගින් ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය වෙනවා කියල තීන්දු කරනවා. ඒ නිසා නිෂ්පාදකවරයා නඩුව දිනනවා.

    මේ කාලෙදිත් සමහර අධිකරණ 1868 බ්‍රිතාන්‍යයේ හෙක්ලින් නීතිය මිනුම් දන්ඩක් විදිහට පාවිච්චි කළා. ඒක හරි අපූරු නීතියක්. ඒ අනුව, යම් ප්‍රකාශනයකින් දූෂණය වීමට ඉඩ ඇති යම් අයගේ සිත් එමගින් දූෂනය වෙනවා නම්, එම ප්‍රකාශනය එසේ දූෂනය විය හැකි සිත් ඇත්තන් අතට පත්වෙනවා නම් ඒක අසභ්‍යයි කියල තීරණය කරනවා.

    මෙතනදි අසභ්‍ය කියන සීමාව පැනවෙන්නෙ යම් තෝරාගත් ජන කොටසක් මත පදනම් වෙලයි. ඒ වගේම කෘතියක් සමස්තයක් හැටියෙන් නොගෙන එහි ඇතැම් කොටස් මත පදනම්ව අසභ්‍ය බව තීරණය කෙරුනා. මේක ප්‍රකාශනයේ නිදහස දැඩි විදිහට යටපත් කිරීමක් කියලයි සැලකෙන්නෙ.

    අසභ්‍ය නීතියේ පරිණාමයට වැදගත් වුනු මූලිකම සිද්ධියක් තමයි 1957 සැමුවෙල් රොත්ගෙ නඩුව. සැමුවෙල් රොත් කියන ප්‍රකාශකයා අසභ්‍ය යැයි සැලකෙන දේවල් තැපැල් කළා කියල වරදකරුවෙක් වෙනවා. මේ සිදුවීමෙදි විලියම් ජේ බ්‍රෙනන් කියන විනිසුරුවරයා අසභ්‍ය දෙයක් මනින්න නිර්ණායක තුනක් ඉදිරිපත් කරනවා. රොත් ටෙස්ට් එක කියල පස්සෙ හැඳින්වෙන්නෙ මේ නිර්ණායක. එතනදි හෙක්ලීන් නීතියට වඩා වෙනස්වන තැන් දෙකක් අවධාරණය වෙනවා. එකක් තමයි අසභ්‍ය කියන එක අර දූෂණය විය හැකි මනස් ඇති සුවිශේෂය මත තීරණය වෙන්න බෑ කියන එක. ඒ වෙනුවට සාමාන්‍ය පුද්ගලයෙක් විසින් මෙය අසභ්‍ය හැටියෙන් දකිනවද කියන කාරණය සැලකිල්ලට ගන්නවා. ඒ එක්කම ඒ කාලයට අනුරූප ප්‍රජා වටිනාකම් මත ඒක තක්සේරු කරන්න අවශ්‍ය වෙනවා. අතීත වටිනාකම් මත ඒ මොහොතේ අසභ්‍යකම තීරණය කරන්න බෑ.

    දෙවෙනි කාරණය තමයි කෘතියේ කොටස් මත පදනම් වෙලා අසභ්‍යයි කියන්න බෑ. සමස්තයක් හැටියට කෘතිය අරගෙන බලන්න අවශ්‍යයි කියන එක අවධාරණය වෙනවා.

    1966 ‘මෙමොයර්ස් ඔෆ් අ වුමන් ඔෆ් ප්ලෙෂර්’ නැත්තං ෆැනී හිල් කියන පොතත් එක්ක ආපහු අසභ්‍ය ප්‍රශ්නෙ මතු වෙනවා. රොත් පරීක්ෂාව හරියටම තහවුරු වෙන්නෙ මේ සිද්දියත් එක්ක. මේ පොත කිසිම සාහිත්‍යමය අගයක් නැති ලිංගික තෘප්තිය පිනිසම ලියවුනු එකක් කියන චෝදනාව එනවා.

    මේ පරීක්ෂාවට ගන්න කාරණා 03 මෙහෙමයි. යමක් අසභ්‍ය වෙන්න නම්, ඒක තනිකරම සෙක්ස් වෙන්න ඕන.

    වත්මන් ප්‍රජා පිලිගැනීම් අනුව පැහැදිලි වරදකාරීත්වයක් තියෙන්න ඕන. ඒ කියන්නෙ ඒ කෘතියෙ සෙක්ස් නිරූපනය කර ඇති ආකාරය වරදකාරී වෙන්න ඕන.

    සමාජ වටිනාකම් බරපතල විදිහට නොසලකා හැරලා තියෙන්න ඕන.

    66 පිලිගැනුනු රොත්/මෙමොයර්ස් නීතිය අනුව මේ තුනම සම්පූර්ණ වුනු එකක් තමයි අපිට අසභ්‍යයි කියල ගන්න පුළුවන් වෙන්නෙ.

    ඊට පස්සෙ 1968දි මාර්වින් මිලර් සෙක්ස් පොත් හතරක් සහ ෆිල්ම් එකක් ගැන ප්‍රචාරණ දැන්වීම් තැපැල් කරලා අහුවෙනවා. මාර්වින් මිලර්ට ඒ කාලෙ කිව්වෙ කුනුහරුපවල කිංග් කියල. මෙන්න මේ නඩුවෙදි මිලර් ටෙස්ට් එක නිර්මාණය වෙනවා. නීතිය ක්‍රියාත්මක කරන අයට පහසු වෙන්න කියලයි මේ පරීක්ෂාව ඉදිරිපත් කරන්නෙ.

    ඒ අනුව දෙයක් අසභ්‍ය වෙන්න නම්,

    අදාල ප්‍රාන්තයේ සාමාන්‍ය පුද්ගලයෙක් විසින් අද පවතින තත්වයන්ට අනුව එම කෘතිය සමස්තයක් හැටියෙන් අරගෙන අසභ්‍යයි කියල තීරණය කරන්න ඕන.

    නීතියේ දක්වා ඇති පැහැදිලි වරදකාරී ලිංගික හැසිරීම් අඩංගු වෙන්න ඕන.
    සාහිත්‍ය, කලා, දේශපාලන හෝ විද්‍යාත්මක වටිනාකමකින් තොර වෙන්න ඕන.

    රොත් පරීක්ෂාවෙ තිබුනු සමාජ වටිනාකම්වලට පටහැනි වීමේ කාරණය මිලර් පරීක්ෂාවෙදි ඉවත්වෙනවා. ඒ අනුව යමක් අසභ්‍ය වීමට මේ කාරණා තුනම එකවර සම්පූර්ණ කරන්න වෙනවා. ඒ යටතේ මිලර් නිදහස් වෙනවා. පැහැදිලි වරදකාරී දරුණු ලිංගික චර්යාවන් කියන වගන්තිය නිසා බොහොමයක් පෝර්න් අසභ්‍යයි කියල පිලිගන්නෙ නෑ. ඒ වගේම සාහිත්‍ය, කලා, දේශපාලන හෝ විද්‍යාත්මක වටිනාකමකින් තොර බව ඔප්පු කරන එකත් අසීරු කාරණයක්.

    1973 පැරිස් වැඩිහිටි සිනමාහල් නඩුව කියල එකක් එනවා. එතනදි වෙන්නෙ වැඩිහිටි සිනමාශාලා දෙකක් අසභ්‍ය චිත්‍රපට ප්‍රදර්ශනය කළා කියල නඩු පැවරීමක්. ‘මැජික් මිරර්’ සහ ‘ඉට් ඕල් කම්ස් අවුට් ඉන් දි එන්ඩ්’ චිත්‍රපටි දෙක තමයි මේ විදිහට අසභ්‍යයි කියල චෝදනා ලබන්නෙ. ඒත් මේ ප්‍රදර්ශකයො වැඩිහිටියන් වෙනුවෙන් මෙවන් චිත්‍රපට ප්‍රදර්ශනය කළ හැකිය කියල අධිකරණයෙ පෙනී ඉන්නවා. එතනදි අධිකරණය ඒක පිලිගන්නවා.  මේ අවස්තාවෙ රොත් පරීක්ෂාව ඉදිරිපත් කරපු විලියම් බ්‍රෙනන්ම කියනවා තමන් ඉදිරිපත් කරපු පරීක්ෂාවෙන් ප්‍රකාශනයේ නිදහසට බාධා වෙනවා කියල.  ඔහු විරුද්ද වෙනවා මේ තහනමට.

    ‘මිනිමැරුමක් නීතිවිරෝදීයි. හැබැයි ඒ අවස්ථාව ඡායාරූපගත කලොත් ඔයාට සම්මාන ගන්න පුළුවන්. ඒත් සෙක්ස් නීති විරෝධී නෑ. හැබැයි ඒක ඡායාරූපගත කලොත් ඔයා හිරේ’ – ලැරී ෆ්ලින්ට්

    1976 වෙද්දි එනවා ඩීප්ත්‍රෝට් නඩුව. පෝර්නොග්‍රැෆික් ෆිල්ම් එකක් කතාවක්, චරිත ගොඩනැංවීමක් සහිතව, ප්‍රධාන ධාරාවෙ ප්‍රදර්ශනය වෙන පළවෙනි වතාව මේක. මේක විවිධ ප්‍රාන්තවල තහනම් වෙනවා. තවත් ප්‍රාන්තවල නිදහස ලබනවා.

    එක තැනකදි මනෝ වෛද්‍යවරයෙක් ලවා මේ ෆිල්ම් එක පරීක්ෂා කරනවා. එතනදි මනෝවෛද්‍යවරයා කියන්නෙ ඒ චිත්‍රපටියෙ කිසිදු මානසික රෝගී තත්වයක් නෑ, ඒ ලිංගික ක්‍රියා සාමාන්‍යයි කියල. සිනමා විචාරකයෙක් ඒක බලලා ඒ තුල කාන්තාවන් පිළිබඳ මානුෂික දෘෂ්ටියක් පිළිඹිඹු වෙනවා කියනවා. ඒ වුනත්  ප්‍රාන්ත 23ක චිත්‍රපටය තහනම් වෙනවා. පළවෙනි වතාවට චිත්‍රපටයේ නළුවාට විරුද්දව නඩු පැවරෙනවා. එතනදි ජැක් නිකල්සන්, නෝරා බියෙටි වගේ හොලිවුඩ් තරු හැරී රීම්ස් වෙනුවෙන් පෙරට එනවා. උසාවි තීන්දුව ආපහු හරවන්න ඔවුන්ට පුළුවන් වෙනවා. අද වෙද්දි ඩීප් ත්‍රෝට් කියන්නෙ කල්ට් ක්ලැසික් එකක්.

    ‘පෝර්න්වලට විරුද්ද ජාති දෙකක මිනිස්සු ඉන්නවා. එක කට්ටියක් තමන් මොනවා ගැනද කතා කරන්නෙ කියල දන්නෙ නෑ. අනිත් කට්ටිය තමන්ට මගඇරිලා තියෙන්නෙ මොනවද කියල දන්නෙ නෑ’ – ලැරී ෆ්ලින්ට්

    1983දි ඉලිනොයිවල පොලිස්කාරයො දෙන්නෙක් ‘පෝප්’ කියන සේවකයා වැඩකරන කඩේට ඇවිත් වැඩිහිටි සඟරා මිළට අරගෙන ඊට පස්සෙ පෝප්ව සහ තවත් සේවකයෙකුට විරුද්දව අසභ්‍ය ප්‍රකාශන අලෙවියට නඩු පවරනවා. පළාතේ සාමාන්‍ය කෙනෙකුගේ අවබෝධය අනුව මෙය අසභ්‍යයි කියන කරුණ මුල්කරගෙන ඉලිනොයි අධිකරණයෙන් වරදකරුවන් විදිහට නියම වෙන මේ දෙන්නා ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. එතනදි ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරනවා සාමාන්‍ය බහුතරයගේ අදහස අසභ්‍ය දේ තීරණය කිරීමට යොදා ගැනීම වැරදියි කියල. ඒ වෙනුවට තමන්ගේ මතවාදයෙන් බැහැරව, සාධාරණව සහ තාර්කිකව ඒ දෙස බැලිය හැකි කෙනෙක් එය අසභ්‍ය හැටියෙන් දකින්න අවශ්‍යයි කියල අධිකරණය කියනවා. සේවකයන් දෙදෙනා නිදහස් වෙනවා.

    මෙතනදි පළවෙනි සංශෝධනයට බාධා නොවන පරිදි අසභ්‍යබව තීරණය කිරීම දුෂ්කර වෑයමක් බවත්,  වැඩිහිටියන් වෙනුවෙන් පළවෙන, ඔවුන්ගේ කැමැත්තෙන් පරිහරණය කරන ප්‍රකාශනවල අසභ්‍යබව පාලනය කිරීමට නීතිය උත්සාහ නොකල යුතු බවත් විනිසුරු බ්‍රෙනන් නැවත අවධාරණය කරනවා.

    නමුත් ඇමරිකාවෙ අදාල ප්‍රාන්තය අනුව අසභ්‍යකම තීරණය කිරීම දිගටම සිද්ද වුනා. මේ නිසා 2002 දි තීරණය කරනවා අසභ්‍යබව තීරණය කිරීමේදි ප්‍රාදේශීයව නෙමෙයි ජාතික මට්ටමෙන් ප්‍රජා පිලිගැනීම කියන සාධකය සලකන්න ඕන කියල. මේ යෝජනාව ඉදිරිපත් වෙන්නෙ 1998දි දරුවන් වැඩිහිටි ප්‍රකාශන නැරඹීම වැලැක්වීමේ නීති ගෙන ඒමත් සමග. වැඩිහිටි ප්‍රකාශන අවකාශයකට අවුරුදු 17ට අඩු කෙනෙකුට පිවිසීමට ඉඩ තැබීම වරදක්. පෝර්න් සයිට්වලට ඇතුල්වෙද්දි වයස සහතික කරන්න සිද්ද වෙන්නෙ මේ හින්ද.

    නමුත් අසභ්‍ය කියන කැටගරිය ඇතුලට දරුවන්ට ප්‍රචන්ඩත්වය හුරුවෙන වීඩියෝ ගේම් ආදිය ගේන්න හදන උත්සාහයට අධිකරණය එකඟ වෙන්නෙ නෑ.  ඒ හින්ද ලිංගිකමය නොවන ප්‍රචණ්ඩත්වය අසභ්‍ය දෙයක් විදිහට නීතියෙන් සැලකෙන්නෙ නෑ.

    මේ ඉතිහාසය දිහා බලන කෙනෙකුට පේන්න ඕන දෙයක් තමයි ඇමරිකානු අධිකරණය හැමවිටකම ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම පැත්තෙන් වඩාත් අවධානය යොමු කරමින් අසභ්‍ය නීති හසුරුවන්න උත්සාහ කරන වග. ඒ වෙනුවට බහුතරයේ මතය පිලිගෙන, සංස්කෘතික පොලිසිය පැත්තෙ හිටගෙන, අසභ්‍ය නීතිය අර්ථකතනය කරන්න යාමෙන් සිද්ද වෙන්නෙ ප්‍රකාශනයේ නිදහස කියන මූලික අයිතිවාසිකම බාධා කරන එකයි.

    ‘බහුතරයේ කැමැත්ත කියන එක වැඩකරන්නෙ පුද්ගලයාගේ අයිතිය කියන කාරණය සැලකිල්ලට ගන්නවා නම් විතරයි. වෘකයො පස්දෙනෙක් එක්ක තනි බැටළුවෙක් තියා‌ගෙන රෑ කෑමට ගන්නෙ මොනවද කියල චන්දයක් විමසන්න බෑ’ – ලැරී ෆ්ලින්ට්


    චින්තන ධර්මදාස