Category: Philosophy

  • කාමසූත්‍ර සිව්වන කොටස

    කාමසූත්‍ර සිව්වන කොටස

    ප්‍රශ්නය

    අර්ථ යන්න ප්‍රධාන යැයි සළකන ඇතැම්හු මෙසේ කියති. තෘප්තිය සොයා යා නොයුතුය. එය අර්ථ සහ ධර්ම දෙකට බාධාවක් වෙයි. ඒ දෙකම ඊට වඩා ප්‍රධානය. එමෙන්ම මේ තෘප්තීන් සත්පුරුෂයන් විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. මේ තෘප්තීන් නිසා මිනිසා ආතතියට අපහසුතාවයට පත්වෙයි. පහත් අය ඇසුරු කිරීමට හුරු වෙයි. මේ අය විසින් මොහුව වැරදි දේ කිරීමට පොළඹවන අතර එනිසාම ඔහු අපවිත්‍ර වෙයි. අනාගතය ගැන නොසිතන්නටත්, නොසැලකිලිමත් සහ ගරුත්වයෙන් තොර ජීවිතයකටත් ඔවුන් විසින් මොහුව පොළඹවනු ලබයි. අවසානයේදී මේ නිසා මොහු කිසිවෙකු විශ්වාසය නොතබන, කිසිවෙකු විසින් බාර නොගන්නා, සියල්ලන් විසින් පිළිකුල් කරන, ඔහුටම පවා ඔහුව අප්‍රිය වුනු තැනකට පත්වෙයි. අවසනාවන්ත තත්වය වන්නේ මෙසේ තෘප්තීන්ට ඇබ්බැහි වූ බොහෝ අය ඔවුන්ගේ පවුල් සහ සම්බන්ධතා සියල්ල විනාශ කරගැනීමයි. මෙයාකාරයෙන් භෝජා වංශයේ දන්දක්‍ය රජු විසින් දුෂ්ට අරමුණු ඇතිව බ්‍රාහ්මණ දුවක් පැහැර යාම නිසා ඔහු පරිහාණියට පත්වී රාජ්‍යයද අහිමි විය. ඉන්ද්‍රටද අහල්‍යාගේ පතිව්‍රතතාවය කෙළෙසීමේ වරදින් අපමණ විඳවීමට සිදුවිය. තවද, ධීරවීර කිචක විසින් දෘපාදිව පොළඹවාගැනීමට යාමෙන්ද, රාවණ සීතාව පැහැරගෙන යාමෙන්ද දඬුවම් වින්දෝය. මෙවන් තව බොහෝ දෙනෙක් තෘප්තිය හඹාගොස් පරිහාණියට පත්ව ඇත්තේය.

    පිළිතුර

    මෙය පිළිගත හැක්කේ නොවේ. ශරීරයේ යහපත සඳහා ආහාර අවශ්‍ය වන්නේ යම්සේද එපරිදිම පැවැත්ම සඳහා තෘප්තිය අවශ්‍ය වේ. මේ තෘප්තීන් ධර්ම සහ අර්ථයන්ගේ ප්‍රතිඵලයෝය. මේ නිසා ප්‍රමාණවත් පරිදි දැනුවත් බවකින් යුතුව තෘප්තීන් හඹා යා යුතුය. යාචකයන් විසින් ඉල්ලාවි යැයි සිතා කිසිවෙකු ආහාර නොපිස සිටින්නේ නැත. මුවන් විසින් වනසාවි යැයි සිතා බීජ වපුරන්නේ නැතිව සිටින්නේද නැත.
    මේ නිසා ධර්ම, අර්ථ, කාම පුහුණු කරන පුරුෂයා මෙලොවත් පරලොවත් සතුට හිමිකර ගනී. යහපත් ලෙස මේ ක්‍රියාවන්ගේ යෙදෙන්නාට පරලොවදී අත්වන ප්‍රතිඵල ගැන බියක් නැත. මෙලොවදී ඔවුන්ගේ සුබසිද්ධියට හානියක්ද නැත. ධර්ම අර්ථ කාම යන මේ තුනට අයත් වන යමක් හෝ, මේ දෙකකට අයත් වන යමක් හෝ මේ එකකට අයත් වන යමක් හෝ ක්‍රියාවේ යෙදවීම සිදුකළ යුත්තකි. එකක් ක්‍රියාවේ යෙදවීමෙන් අනෙක් දෙකට හානියක් වේ නම් පමණක් එය නොකළ යුතුය.


    දෙවන පරිච්ඡේදය

    පුරුෂයෙක් විසින් කාම සුත්‍රයත් ඒ යටතේ එන කලාවන් සහ විද්‍යාවනුත් අධ්‍යනය කළ යුතුය. ධර්ම සහ අර්ථ දෙක යටතට ගැනෙන්නා වූ කලාවන් සහ විද්‍යාවන් අධ්‍යනයට අතිරේකව එය කළ යුතුය. තරුණ යුවතියක් වුවද ඇගේ විවාහයට පෙර කාම සූත්‍රය සහ ඒ යටතේ එන කලාවන් සහ විද්‍යාවන් පුහුණු කළ යුතුය. විවාහයෙන් පසු සැමියාගේ අනුදැනුම මත ඒවා පුහුණුවීම කළ යුතුය.

    මෙතැනදී ඇතැම් වියතුන් කියන්නේ කාන්තාවන්ට වෙනත් කිසිඳු විද්‍යාවක් ඉගෙනීමට අවසර නැති බැවින් කාම සූත්‍රය ඉගෙනීමටද අවසර නොදිය යුතු බවයි.

    නමුත් වාත්ස්‍යානගේ මතය වූයේ මේ අදහස යහපත් එකක් නොවන බවයි. කාම සූත්‍ර හොඳින් දන්නා කාන්තාවන් සිටී. එය කාම ශාස්ත්‍ර හෙවත් කාමය පිළිබඳ විද්‍යාවෙන් ඍජුවම ඔවුන් ලබාගත් දැනුමකි. මෙපරිදිම තවත් බොහෝ අංශන්ගේද විද්‍යාවේ පුහුණුව සියල්ලන් දැන සිටියද විද්‍යාව පදනම් වී ඇති නීති ආදිය පිළිබඳ දන්නේ කීප දෙනෙකු පමණි. යජ්නිකා හෙවත් පූජා පවත්වන්නන් විසින් ව්‍යාකරණ නොදැන සිටියද ඔවුහු අදාල දෙවිවරුන්ට ආමන්ත්‍රණය කිරීමේදී ගැලපෙන වචන යොදා ප්‍රතිඵල ලබාගනිති. ඒ අය මේ වචන සකස් වී ඇති ආකාරය ගැන නොදනී. එමෙන්ම නැකැත් දිනවලට වතාවත් කරන අයද ඒ නැකැත්වල විද්‍යාව ගැන නොදැන සිටියද ඒ ජ්‍යොතිෂමය කාර්යය මැනවින් ඉටු කරගනිති. අශ්වයන් ඇතුන් පුහුණු කරන්නෝද ඒ සතුන් පුහුණු කරනුයේ එහි විද්‍යාව පිළිබඳ දැනගෙන නොවේ. පුහුණුවේ මහිමයෙනි. දුරබැහැර ප්‍රාන්තවල ජනයා රාජ්‍යයේ නීතිවලට අවනත වන්නේද ඔවුන්ට ඉහළින් රජෙකු සිටින නිසා මිස ඒ පිළිබඳ වැඩිදුර ප්‍රශ්න කොට දැනගෙන නොවේ. එපරිදිම අප අත්දැකීමෙන්ම දන්නා පරිදි බිසෝවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ දියණිවරුන්ද, ප්‍රසිද්ධ කාන්තාවන්ද, ආදී ඇතැම් කාන්තාවන් කාම ශාස්ත්‍රය මැනවින් ප්‍රගූණ කළ අයවලුන්ය.

    එනිසා ගැහැණියක් අනිවාර්යෙන්ම කාම ශාස්ත්‍රය උගත යුතුය. විශ්වාසවන්ත මිතුරෙක් සමග අධ්‍යනය කරමින් අඩුම තරමේ එහි කොටසක් හෝ උගත යුතුය. කාම ශාස්ත්‍රයේ කොටසක් ලෙස එන සූසැට ශිල්පය ඇය විසින් තනිව උගත යුතුය. ඇගේ ගුරුවරයා පහත දැක්වෙන කෙනෙක් විය යුතුය. ඇය සමග හැදී වැඩුනු දැන් විවාපත්ව සිටින සේවිකාවකගේ දියණියක්. නොඑසේනම් සියල්ලක් පිළිබඳ විශ්වාසය තැබිය හැකි මිතුරියක්. ඇගේ මවගේ සහෝදරියක්. නැතහොත් වැඩිමහල් සේවිකාවක්. තවද කලින් විවාහකව සිටි හිඟන්නියක වුවද මීට සුදුසුය. නැත්නම් ඇගේම සහෝදරියක්.

    මතු සබැඳියි.

  • Raising the Skirt (රෙද්ද ඉස්සීම)

    Raising the Skirt (රෙද්ද ඉස්සීම)

    කැතරීන් බ්ලැක්ලෙජ්

    ආචාර්ය කැතරීන් බ්ලැක්ලෙජ් කියන්නෙ බ්‍රිතාන්‍ය ජාතික සෙක්ස් සම්බන්ධ විද්‍යාවෙන් සමාජය දැනුවත් කරන්නියක්. ඒ වගේම සෙක්ස් සහ ප්‍රජනනය ගැන කැම්පේන් කරන කෙනෙක්. එයා සමාජයේ ටැබූ බිඳගෙන විද්‍යාවේ දැනුම අරගෙන යනවා. මේ පොතේ කැතරීන් ඉතිහාසයේ පටන් නූතනය දක්වා වැජයිනාව සතු බලය පිළිබඳ අපිට කියනවා. ගැහැණියක් වීමේ ආශ්චර්ය ගැන ලියනවා.

    වැජයිනාවේ (vagina) බලය ගැන නොගැයූ ගීතය

    ඇය කතා කරන්නේ ඇගේ කකුල් දෙක මැද්දෙනි.

    වැජයිනාවක් ඇතුව ඉපදුනු හැමකෙනෙක්ම බෙදාගන්නා එක මොහොතක් තියෙනවා. ඒ මොහොත තමයි ගැහැණු ජීවිතය ආපහු හරවන්න බැරි විදිහට වෙනස් කරන්නෙ. හැඩයක් හදන්නෙ. ඒ තමයි ඔයා ඔයාගෙ තියෙන මොකක් හරි හින්ද පීනසයක් (penis) ඇති විශේෂ කණ්ඩායමකට වඩා වෙනස් විදිහක සැලකුම් ලබන බව වටහා ගන්නා මොහොත.

    මේ අවබෝධයේ මොහොත සාමාන්‍යයෙන් කෙල්ලෙකුගේ මුල්කාලෙදිම ලැබෙනවා. මට ඒ මොහොත මුනගැහුනෙ මං ප්‍රයිමරියෙ ඉඳිද්දි. මට අක්කලා දෙන්නෙකුයි අයියලා දෙන්නෙකුයි ඉන්නවා. මගේ අයියලට බයිසිකල් තිබුන. ඒත් මට පදින්න තහනම්. කෙල්ලෙකුට ඒක නරකයි කිව්වා. අයියලට ගෙදර වැඩ මොකවත් නොකලත් ඒ වැඩ ඔක්කොම කරන මටයි අක්කලටයි සමානවම පොකට් මනී ලැබුන.බ්‍රිතාන්‍ය

    මට ඒකට තරහ ගියා. ඒ වගේම මොකක්ද මේ කියල හිතුන. මගෙයි අයියලගෙයි තිබුන එකම වෙනස මගේ වැජයිනාව විතරයි. වැජයිනාව නරක වෙලා පීනසය හොඳ වුනේ කොහොමද? කවුරුවත් කිව්වෙ නැතත් අදහස ඒක නේද? මං දන්නවා මේක දැනෙන්නෙ මට විතරක් නෙමෙයි කියල. මගේ නෙගටිව් හැඟීම් මගේ වැජයිනාව මත පටවපු එකම කෙනා මං නෙමෙයි. වැජයිනාව නිසා මගේ වටිනාකම අඩුයි කියල දැනුන එකම කෙනා මං නෙමෙයි.

    මේ විදිහට වැජයිනාව කියන්නෙ පාපය නැත්තං නරක විදිහෙ සම්බන්ධයක් හැදුනම කෙල්ලෙකුට හෝ ගැහැණියකට තමන්ගේ ලිංගේන්ද්‍රය ගැන ආඩම්බරයක් දැනෙන්නෙ කොහොමද? අපි කොහොමද අපේ වැජයිනාව උපරිමයෙන් විඳින්නෙ? මොකද ඉතාම ගැඹුරෙන් අපිට දැනෙනවා ඒක තමයි අපේ ජීවිතේ මුහුනදෙන වේදනාවෙ සහ අසමානතාවයෙ මූලය කියල. කොහොමද මේ වැජයිනා තුවාලය සුව කරන්නෙ?

    හිතන්න. හැම දෙමාපියෙකුම, භාරකරුවෙකුම, ආච්චි සීයා කෙනෙකුම, යාළුවෙකුම වැජිනාවක් තිබීම ගැන රැඩිකල් විදිහට වෙනස් කතාවක් තමන්ගේ දරුවන්ට කියන ලෝකයක් ගැන. ගැහැණියක් වීමේ අභිමානය සහ ශක්තිය ගැන කතා කියන කාලයක් ගැන. ගැහැණු ලිංගේන්ද්‍රයේ, ගැහැණුකමේ වටිනාකම ගැන කතා කියන කතන්දර ගැන. මේ වගේ කතන්දර ඇත්තටම තියෙනවා. වැජයිනාවේ ගැහැණු බලය ගැන ඒ වගේ කතා ලෝකෙ තියෙනවා. ඒවා තමයි රෙද්ද ඉස්සීමේ කතා. හැම ගැහැණියෙක්ම ඒ කතා දැනගන්න ඕන.

    ලෝකෙ ඕනම රටක ඉතිහාසයේ, මිත්‍යා කතා ඇතුලෙ, ජනකතා ඇතුලෙ මේ කතා ඕනතරම් හොයාගන්න පුළුවන්. ඒ හැම කතාවකින්ම කියන්නෙ ගැහැණියක් රෙද්ද ඉස්සුවොත් සිද්ද වෙන්න පුළුවන් මහා වෙනස්කම් ගැන.

    මේ විදිහට වැජයිනාව විදහාපෑමෙන් ගැහැණු ලෝකය පාලනය කිරීමේ බලය අතට ගන්නවා. තමන්ගේ සැමියන් රකින්න චණ්ඩ මාරුත මැඩපවත්වනවා. මහ මුහුදු කුණාටු සමනය කරනවා. රෙද්ද ඉස්සීම කියන්නෙ නරක පාලනය කිරීමේ බලයක්. මහ වලස්සු සිංහයො වැජයිනාවට බයේ පලායනවා. යක්කු පෙරේතයො පැනලා දුවනවා.

  • කොවිඩ් සෙක්ස් ගැන ස්ලැවොයි ජිජැක්

    කොවිඩ් සෙක්ස් ගැන ස්ලැවොයි ජිජැක්

    කොවිඩ් අපිට කියන්නෙ ආධ්‍යාත්මික මාධ්‍යයක් හැටියට සෙක්ස්වල වැදගත්කමද?

    කොවිඩ් 19 නිසා අනිවාර්යෙන්ම ඩිජිටල් සෙක්ස් ගේම්වල වැඩිවීමක් සිද්ද වෙයි. හැබැයි ඒ වගේම අපේ ශාරීරික සමීපතාවයේ වටිනාකම අගය කරන්නත්, දෙන්නෙක් අතර සෙක්ස් කියන එක ආධ්‍යාත්මික මාවතක් හැටියෙන් තේරුම්ගන්නත් කොවිඩ් අපිව පොළඹවයි.

    අයිරිෂ් සෞඛ්‍ය බලධාරීන් විසින් කොවිඩ්වලදි සෙක්ස් කළ යුතු ආකාරය ගැන නිර්දේශ වගයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙ තියෙන ප්‍රධානම නිර්දේශ දෙකක් තියෙනවා.

    එකක් ශාරීරික සහ මුහුණට මුහුණ සම්බන්ධතාවලින් ඈත් වෙලා ඉන්න එක සලකා බැලීම වැදගත් කියන එක, විශේෂයෙන් සෙක්ස් ආශ්‍රිත රැකියා කරන අයට වීඩියෝ ඩේට්ස්, චැට් රූම්ස්, සෙක්ස්ටින් වගේ දේවල් පාවිච්චි කරන්න සලකා බලන්න කියල උපදෙස් දෙනවා. අනිත් අය එක්ක කීබෝර්ඩ් එක බෙදාගන්නවා නම් පාවිච්චි කරන්න කලින් ඒක විශබීජහරණය කරන්නත් ඕන. අනිත් කාරණය තමයි ස්වයං වින්දනයෙන් කොරොනා වයිරසට බෝනොවෙන බව. විශේෂයෙන්ම ස්වයං වින්දනයට  තත් 20ට කලින් ඔබේ අත් සහ සෙක්ස් ටෝයිස් සබන් යොදා පිරිසිදු කරගත්තොත් එය ආරක්ෂිතයි කියල කියනවා.

    මේවා ශරීරයෙන් ශරිරයට බෝවෙන වසංගතයක් ඇති කාලෙක සාමාන්‍ය කාරණා. හැබැයි කෙනෙකුට පේන්න ඕන මේ නිර්දේශයන්ගෙන් ඇත්තටම කරන්නෙ දැනටමත් අපේ ජීවිතේ සිද්ද වෙමින් යන ඩිජිටල්කරනය වඩා හොඳින් ස්ථාපිත කරන එකයි කියල. සංඛ්‍යා දත්ත වලින් පේනවා මේ වෙද්දි නව යෞවනයෙක් තමන්ගේ ලිංගිකත්වය හොයාගෙන යාමට යොදවන කාලය එයා වෙබ් එකේ ගත කරන කාලයට සාපේක්ෂව ඉතාම අඩු ප්‍රමානයක් කියල.

    ඒ ගොල්ලො සෙක්ස් කළත් ඒක කරන්නෙත් ඩිජිටල් ස්පේස් එකක. සමහර විට පෝර්න් එක්ක. ඒක ලේසියි වගේම ඉක්මන් තෘප්තියක්.

    මේ හේතුව නිසාම HBO එකෙන් හයිස්කූල් ශිෂ්‍ය පිරිසක්  ඩ්‍රග්ස්, සෙක්ස් සමග අනන්‍යතා, ඛේදවාචක, සෝෂල් මීඩියා, ආදරය සහ යාලුකම් අතර යන ගමනක් කියල යුෆෝරියා සීසන් එක ගෙනෙද්දි ඒ ගොල්ලො ගේන්නෙ දැන් යෞවනයේ නැතිම දේ. ඒක මේ කාලෙ නව යෞවනය නෙමෙයි. ඒ හින්ද ඒක අදාල නැති කාලයක කතාවක් වගේම දැන් මැදිවියේ කාගෙ හරි නොස්තැල්ජියාවක් වගේ වෙනවා.

    හැබැයි අපි මෙතනින් අඩියක් ඉස්සරහට ගිහින් ඇහුවොත්, ඇත්තටම කවදාවත් එහෙම රියල් සෙක්ස් කියල දෙයක් තිබුනද? ෆැන්ටසියකින් තොරව පැවතුනු රියල් එකක් ඉතිහාසෙවත් තිබුනද? ස්වයං වින්දනය කියන එකම සාමාන්‍ය අර්තයෙන් ගත්තොත් වෙන අයව මවාගනිමින් තමන් විසින් කරගැනීම. රියල් සෙක්ස් කියන්නෙ කොහොමත් තව කෙනෙක් එක්ක කරන මාස්ටර්බේෂන් එකක් කියල කිව්වොත්?  මොකක්ද මං ඒකෙන් අදහස් කරන්නෙ? ගාඩියන් එකේ කමෙන්ට් එකක් විදිහට ඊවා වයිස්මන් විසින් ජොන් රොන්සන්ගෙ ඉන්ටර්නෙට් පෝර්න් කම්පනය ගැන කරපු බටර්ෆ්ලයි අෆෙක්ට් කියන පොඩ් කාස්ට් සීරීස් එක මතක් කරනවා. පෝර්න් සෙට් එකක නළුවාට මගදි බහිනවා. ඒක ආපහු නග්ගගන්න නළුවා කරන්නෙ නිළියගෙන් අනිත් පැත්තට හැරිලා ෆෝන් එකෙන් පෝර්න් හබ් බලබල ස්වයං වින්දනයෙ යෙදෙන එක. නිරුවත් ගෑනියෙක් එයාගෙ කකුල් දෙක ළඟ ඉන්නවා. මේ සිද්දිය ඇයව කම්පනය කළා කියල ඊවා කියනවා.

    ‘සෙක්ස් කියන දේ මොකක් හරි නරක් වෙලා’ ඊවා අවසන් කරන්නෙ එහෙම.

    මං එකඟයි. ඒත් මං මේකට සයිකොඇනලසිස් පාඩමක් එකතු කරනවා. සෙක්ස් කියන එකේ කොහොමත් ස්වභාවයෙන්ම නරක් වෙලා තමයි තිබුනෙ. මානව ලිංගිකත්වය කොහොමත් විපරීතයි. සැඩොමැසිකිස්ට් දේවල්වලට විවෘතයි. විශේෂයෙන්ම ඒක රියැලිටියෙ සහ ෆැන්ටසියෙ මිශ්‍රණයක්. මං මගේ සහකරුවා හෝ සහකාරිය සමග ඉඳිද්දී පවා ඔහු/ඇය සමග මගේ සම්බන්ධය මගේ ෆැන්ටසි එක්ක ගැටගැහිලයි තියෙන්නෙ. හැම ලිංගික සම්බන්ධයක්ම ගොඩනැගිලා තියෙන්නෙ ඇත්ත සහකරුවෙක් එක්ක ස්වයං වින්දනය කිරීමක් විදිහට. මං මගේ සහකරුවාගේ මාංශය, ශරීරය පාවිච්චි කරන මගේ ෆැන්ටසිය අත්පත් කරගන්න මෙවලමක් විදිහට.

    අපිට මේ සහකරුවකුගේ ශරීරමය යතාර්ථය සහ ෆැන්ටසි විශ්වය අතර පරතරය පීතෘමූලික සහ සමාජ ආධිපත්‍යයික ස්වරූපය නිසා හෝ සූරාකෑම නිසා ඇතිවුනු තත්වයක් විදිහට ලඝු කරන්න බෑ. මේක ආරම්භයේ ඉඳන්ම මෙහෙමයි. ඒ හින්ද මට හොඳටම තේරෙනවා නැවත ප්‍රානවත් වෙන්න පෝර්න් හබ් බලන නළුවාගෙ තත්වය. එයා හොයන්නෙ එයාගෙ පර්ෆෝමන්ස් එකට ෆැන්ටැස්මික උදව්වක්. සෙක්ස් කරද්දි කෙනෙක් අනෙකාට මොනවා හරි කියන්න, ගොඩක් වෙලාවට වල් දේවල් කියන්න කියන්නෙත් මේ හේතුවටමයි. අපි අපේ අත්වලින් ඒ දේ, අපේ සහකරුවාගේ ශරීරය අල්ලගෙන හිටියත් අපි ඉල්ලනවා ෆැන්ටසියක උදව්ව.

    මේක අර නළුවට හරියටම වැඩකරනවා. මොකද එයා ඒ නිළිය එක්ක ආදර සම්බන්දයක ඉන්නවා නෙමෙයි. ඇගේ ශරීරය එයාට පන තියෙන සෙක්ස්බොට් කෙනෙක් විතරයි. ඔන්න ඒ නළුවා ඇය සමග අනුරාගී ආදරයකින් පසුවුනා නම් ඒ ශරීරය එයාට දැනෙන්න තිබුන. මොකද එහෙම වුනා නම් ඔහුගේ හැම ස්පර්ශකින්ම ඇගේ ආත්මයේ අරටුව කම්පනය කරන හින්ද. කෙනෙක් තමන් ආදරය කරන කෙනෙක් සමග සංවාසයේදී ඒ සහකරුවාගේ ශරීරය ස්පර්ශ කිරීම හරිම වැදගත් දෙයක්. ඒ හින්ද අපිට සිද්ද වෙනවා ලිංගික අනුරාගය ශාරීරිකයි -ආදරය ආධ්‍යාත්මිකයි කියන සාමාන්‍ය පිලිගැනීම වෙනස් කරන්න. ලිංගික ආදරය ශාරීරීකයි, දැනෙනසුලුයි, ආදරයෙන් තොර ලිංගිකයට වඩා. තවත් විදිහකින් කිව්වොත් ආදරයත් එක්ක සෙක්ස් දැනෙනවා වැඩියි, ආදරයක් නැති සෙක්ස්වලට වඩා.

    එහෙම නං මේ වසංගතය නිසා ලිංගිකත්වය සීමා වෙලා ආදරය පැතිරෙන්න පටන් ගනීද? ස්පර්ශ කළ නොහැකි දුරින් සිටින ආදරවන්තයා ගැන වර්ණනාත්මක හැඟීම් විකසිත වෙයිද? වසංගතය නිසැකවම ඩිජිටල් සෙක්ස් ගේම්වලට නම් ලොකු තල්ලුවක් දේවි.

    ඒ වගේම ලිංගික අනුරාගය ගැන සමීපත්වය ගැන අලුත් විදිහක වටිනාකමක් වසංගතය නිසා මිනිස්සු තේරුම් ගනීවි කියලත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

    මෙතනදි ආන්ද්‍රෙයි තර්කොව්ස්කිගෙ පාඩමක් මතක් කරන එක හොඳයි. තර්කොව්ස්කිට පොලොව කියන්නෙ ඒ පොලොව ඇතුලෙ තියෙන තෙත සහිත බවත් එක්ක, ආධ්‍යාත්මිකබවට විරුද්ධ යමක් නෙමෙයි. පොලොව කියන්නෙ ආධ්‍යාත්මිකත්වයේ මාධ්‍යයමයි. තර්කොව්ස්කිගෙ මාස්ටර්පීස් එකක් වුනු මිරර් ෆිල්ම් එකේ එයාගෙ තාත්තා අර්සෙනි තර්කොව්ස්කි මේ වචන කියනවා. ‘ශරීරයක් නැති ආත්මය පව්කාරයි. හරියටම ඇඳුම් නැති ශරීරයක් වගෙයි’

    පෝර්න් බලාගෙන මාස්ටර්බේට් කරන එක පව්කාරයි. ශරීරයෙන් ශරීරය ස්පර්ශය ආධ්‍යාත්මිකයට මාර්ගයයි.

  • සෙක්ස් පොසිටිව් අරගලය

    සෙක්ස් පොසිටිව් අරගලය

    ‘මගේ ජීවිතේ ලොකුම බය ජීවිතේ බේසික් වෙන එක. හරියටම කිව්වොත් ආපහු බේසික් එක දක්වා අපගමනය වෙන එක. මං නිතර දකින බයවෙන හීනයක් තියෙනවා ,දවසක මං ඇහැරෙද්දි මං හස්බන්ඩ් කෙනෙකුයි, ළමයි දෙන්නෙකුයි, අගනාගරික පුංචි ගේකුයි එක්ක ජීවත් වෙමින් ඉදී කියල. මං එතනට කොහොම ආවද කියල මට මතක නෑ. නිකං හරියට ඒක මගේ ඉරණම වගේ. මේ හීනෙ ඇත්ත වෙන එක වලක්වන්න මෙතෙක් මගේ ස්ට්‍රැටජිය වුනේ මේ ලක්ෂණ පහල වුනු ගමන් මගේ සම්බන්ධතා විනාශ කරලා දාන එක. මේ රොමැන්ටික් කඩාබිඳ දැමීමේ මං 100%ක් සාර්ථක වෙලා තියෙනවා “

    -කාර්ලි සියොර්ටිනෝ-

    සෙක්ස් පොසිටිව් කියන්නෙ මොකක්ද කියන එක ගැන අදහසක් නැති වුනත් ඒ වෙනුවෙන් කරපු කැම්පේන් ගොඩක් අය දැකල ඇති. උදා විදිහට #freethenipple වගේ ට්‍රෙන්ඩ්ස්. ඒත් නිරුවත, ත්‍රීසම්, නිතර කරන ලිංගික රෝග පරීක්ෂාව වගේ දේවල්වලට  වඩා ලොකු කතාවක් සෙක්ස් පොසිටිව් කතිකාවෙ තියෙනවා . ඒක ජීවිත විලාසයක් වෙනවා. ලැජ්ජාව කියන දේ තෘප්තිය කියන දෙයිනුත්, විනිශ්චය කියන දේ නිදහස කියන දෙයිනුත් රිප්ලේස් වීමක් එතනදි වෙනවා.

    සෙක්ස් පොසිටිව් කියන එකේ මූලික අදහස සෙක්ස් කියන දේ මනුස්ස ජීවිතේට පොසිටිව් හැටියෙන් බාරගැනීම. ඒ වගේම මිනිස්සුන්ට තමන්ගේ ලිංගිකත්වය ගවේෂණය කරන්න, අත්හදා බලන්න, ඒ ගැන ඉගෙන ගන්න අවකාශ තිබිය යුතුයි කියල විශ්වාස කිරීම.

    කිසිවෙක් විනිශ්චය නොකිරීම සහ සියලු ලිංගිකත්වයන්ට ගරු කිරීම කියන්නෙ සෙක්ස් පොසිටිව් ශික්ෂාවක්. ලිංගික හැසිරීමක් සදහා එකිනෙකාගේ කැමැත්ත නැත්තං කන්සෙන්ට් එක තියෙනව නං එච්චරයි. එවැනි ක්‍රියාවක කිසි නරකක්  නෑ. 

    අපිට හිතෙන්න පුළුවන් ‘අයියො ඕක සාමාන්‍ය දෙයක්නෙ’ කියල. ඒ අපි ජීවත් වෙන්නෙ ස්වභාවයෙන්ම සෙක්ස් නෙගටිව් සමාජයක කියල නොදන්නාකම. දවස ගානෙ ගොසිප් පිටු පුරා බෙදන්නෙ සෙක්ස් නෙගටිව් රෝග ලක්ෂණ. ආගම, සදාචාරය හරහා අපිට උගන්නන්නෙ සෙක්ස් නෙගටිව් වීම සාමාන්‍යයක්, නැත්තං එතනිනුත් එහාට උසස් ඵලයක් වගේ තත්ත්වයක් කියල.

    කෙල්ලන්ට කොටගවුං අදින්න එපා කියන්නෙ සෙක්ස් නෙගටිව් සංස්කෘතියක ලක්ෂණ. බීච් එකක ලව් කරන ජෝඩු පොලිසියෙන් අල්ලන්නෙ සෙක්ස් නෙගටිව් නීතියක ලක්ෂණ .

    ගණිකා සේවයේ නියුතු අයට, ට්‍රාන්ස් ජෙන්ඩර් සහ අනෙක් විකල්ප ලිංගිකයන්ට, කාන්තාවන්ට සිදුවන අතවර, ලිංගික අධ්‍යාපනයට විරෝධය , කන්‍යාභාවය පිලිබද, හොද/නරක කෙල්ලො පිලිබඳ අදහස් ආදිය අපි ජීවත් වෙන්නෙ සෙක්ස් නෙගටිව් වටපිටාවක කියන එක ගැන මතක් කිරීම්.

    ඉන්ස්ටා, ෆේස්බුක් වගේ සමාජ ජාලා මාධ්‍ය පවා තන පුඩුවක් පෙන්නීමේ සිට ලිංගික අධ්‍යාපනය බෙදන ක්‍රියාකාරීන් දක්වා වාරණය කරන්නෙ ඒ සෙක්ස් නෙගටිව් ඇටිටියුඩ් එකට ඇති බලය හින්ද.

    සෙක්ස් ගැන බයක්, පීඩනයක්, ලැජ්ජාවක් හෝ වරදකාරී හැගීමක් පැනවෙනවා නම් ඒක සෙක්ස් නෙගටිව්. සෙක්ස් නෙගටිව් අදහසට අනුව සෙක්ස් කියන්නෙ  කැත, භයානක, අප්‍රසන්න, අස්වාභාවික , හානිකර, අන්තරායකර, පාලනය කර ගත නොහැකි දෙයක්.

    මේ මෑතක මං ත්‍රීවිලේක එන ගමන් ඒ ඩ්‍රයිවර් මා එක්ක කතාවට වැටුන. කලින් සම්බන්ධයක් තිබුනු, ඒ නිසා කන්‍යාභාවයද නැති කරගත් කෙල්ලෙක් සමග තමන්ගේ යාලුවෙක් පටන්ගත් සම්බන්ධයක්  ගැන ඌ මට කියනවා. 

    ‘ වැඩක් නෑ මහත්තයා. ගෑනියෙක් දෙවෙනි මිනිහා එක්ක ඉන්නවා කියන්නෙ ඒ ගෑනිව එතනින් නවත්තන්න බෑ. මොකද ඒ ගෑනිගෙ බය නැති වෙනවා. ඊට පස්සෙ ඕනම මිනිහෙකුට කකුල් දෙක පලල් කරනවා ඈ..’

    ගැහැනියක් සතෙක් මෙන් කොටුකර බයකර තබාගැනීමේ වැදගත්කම ඌ මට පැහැදිලි කරන්නෙ තමන් කියන ඒ දේ ගැන කිසිම සැකයක් ඇතුව නෙමෙයි . ඒක තමයි ලංකාවේ සාමාන්‍ය පිරිමි ඇදහිල්ල.

    අපි උපතින්ම සෙක්ස් නෙගටිව්. අම්මගෙ බඩෙන් ආපු අය මිස යෝනියෙන් බිහිවුනු අය නෙමෙයි .

    සෙක්ස් පොසිටිව් කියන වචනය හැදෙන්නෙ 1920 දි විල්හෙල්ම් රීච් කියන මනෝවිශ්ලේෂකයා අතින්. ඒ කාලෙ පැවතුනු ජනප්‍රිය සෙක්ස් නෙගටිව් අදහස්වලට විරුද්ධව යමින් එයා කියනවා සෙක්ස් කියන්නෙ ඇත්තටම හොද නිරෝගී දෙයක් කියල.

    මේ අදහස ඒ කාලෙ ඒ තරම් ජනප්‍රිය වුනේ නෑ. ඒත් 1960 හිපි අරගලය එක්ක මේ අදහස පුනරුත්පත්තිය ලැබුවා. ඒ වගේම පහුගිය ට්‍රම්ප් පාලනය විසින් ලිංගික ශ්‍රමිකයන්ගේ, ට්‍රාන්ස් සහ විකල්ප ලිංගිකයන්ගේ අයිතිවාසිකම් නොතකා හැරීම නිසා සෙක්ස් පොස්ටිව් රැල්ලක් පැන නැගුනා. 

    ඒ කියන්නෙ  දැන් හැමෝම සෙක්ස් පොසිටිව් වෙන්න ඕනද?

    කොහෙත්ම නෑ. ඒක ඔයාගෙ තෝරාගැනීම. ඒත් අනිත් අයට තමන්ගේ කැමැත්තෙන් , තමන්ට රිසි පරිදි ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන්න නිදහස තියෙනවා කියල ඔයා අවංකව පිලිගන්නවා නම්, එච්චරයි අවශ්‍ය.

    ඩොසී ඊස්ටන් සහ ජෙනට් හාඩිගෙ එතිකල් ස්ලට්, කාර්ලි සියොර්ටිනෝගෙ ස්ලට් එවර් වගේ පොත්, බ්ලොග්, සෙක්ස් පොසිටිව් සංස්කෘතිය වගේම විශේෂයෙන් ස්ත්‍රිය පිලිබද සමාජ දෘෂ්ටිය වෙනස් කරන මේ ධාරාවෙ ප්‍රශස්ත ව්‍යායාම් වෙනවා.

  • ශෘංගාර දර්ශනයේ ඉතිහාසය – ඇලන් සොබල්

    ශෘංගාර දර්ශනයේ ඉතිහාසය – ඇලන් සොබල්

    දෙවෙනි කොටස

    තව උදාහරනයක් විදිහට අයිරිස් මර්ඩොක්ව කියන්න පුළුවන්. මර්ඩොක් මුලින් දාර්ශනිකාවක් වෙන්න පුහුණු වුනා. එයා දාර්ශනික ලේඛන කළා. ඊට පස්සෙ නවකතා ලියන්න පටන් ගත්තා. ඒක ගොඩක් සාර්ථක වුනා. එතකොට අපි අයිරිස්වත් සෙක්ස් ගැන කතා කරපු මහා දාර්ශනිකයන් අතරට ගන්නවද? එහෙම නං අපිට තව නවකතාකරුවො ඉන්නවා. උදා විදිහට පිලිප් රොත් සහ ඩොරිස් ලෙසින්ග් වුනත් අපිට මේ එලීට් කන්ඩායමට ගන්න වෙනවා. අයිරිස්ගෙ බ්ලැක් ප්‍රින්ස් කතාවෙ ප්‍රධාන චරිතය බ්‍රැඩ්ලි පියර්සන් කියන අවුරුදු 60ක විතර බුද්ධිමතා එයාට වඩා අවුරුදු 40ක් බාල කෙල්ලෙක් ගැන ආදරෙන් ආශාවෙන් වෙළිලා ඉන්න අතරෙ මෙහෙම කල්පනා කරනවා.

    “සැබෑ ආදරයේ තියෙන සදාකාලික බව තමයි නොලැබෙන ආදරයක් වුනත් තෘප්තිමත් එකක් බවට හරවන හේතුව. මනුස්ස ආත්මය මේ සදාතනිකත්වයට දැඩි ලෙස ආශා කරනවා. ඇතැම් දුර්ලභ ආගමික අද්භූත සිද්ධිවලින් බැහැරව මේ හැඟීම යන්තමින් හෝ ලබාදිය හැක්කේ ආදරයට සහ කලාවට පමණයි. ආදරය එය සමග මමත්වය දුරු කිරීමේ තත්වයක් ගේනවා. ආදරනීය කොල්ලෙක් වැළඳගැනීමෙන් ඔහු තමන් යහපත කරා ඇති මාවතේ සිටින වග ප්ලේටොට හිතෙන එක කොයිතරම් නිවැරදිද? මං මෙතන මමත්වයෙන් තොර බවේ විෂන් එකක් කියල කියන්නෙ අපේ පැටලුම් සහගත ස්වභාවය විසින් ඕනෑම අරමුණක  ශුද්ධභාවය ඉක්මනින්ම පහතට ඇද දමන නිසයි. නමුත් එවන් දැනීමක්, මොහොතකට වුනත් ලොකු වාසනාවක්. එහි තියුනු බව නිසාම සදාකාලිකව පවතින වටිනාමකමක් එයින් එකතු කරන්න පුළුවන්.  ඇයි මේ මමත්වයෙන් ලැබෙන නිදහසෙන් අපිට අලුත් තැනකට ළඟාවෙන්න බැරි? තව තවත් ඒ වගේ අය එකතු වෙමින් අපි හැමෝම අපේ මමත්වයෙන් මිදුනු  ජනාවාසයක් දක්වා විශාල වෙන්න බැරි? ප්ලේටොගේ හීනය වුනේ ඒකයි”

    මෙතනදි අපි තේරුම් ගත යුත්තේ සාහිත්‍යයට යම් අවධානයක් දීමෙන් ලිංගිකත්වයේ ඉතිහාසය සහ දර්ශනය ගවේෂනයට කිසි අගතියක් නොවෙන බවයි. මර්ඩොක් විසින් නගන මනෝවිද්‍යාත්මක ප්‍රශ්නය වෙන්නෙ ඇගේ ප්‍රධාන චරිතය ඔහුගේ සාක්ෂාත් කළ නොහැකි බැඳීම දැඩිලෙස සාධාරනීකරනය කරන්න යාම ඇතුලෙ රළු තාර්කිකත්වයේ ගොදුරක් බවට පත්වුනාද කියන එකයි. ඒක අපිට ඔහුගේ මනෝවිශ්ලේෂකයාට ඉතුරු කරන්න පුළුවන් කාරණයක්.

    පැරණි ග්‍රීකයෝ

    බටහිර ලිංගිකත්වය ගැන දාර්ශනික සාකච්ඡාව ඉතාම කුඩා වුනත් ඒක ආරම්භ වුනේ ප්ලේටෝ සහ කිවිඳියක් වුනු සෆෝ ආදීන් වෙතින්. ඒක කිසිසේත්ම නොතකා හැරිය යුතු එකක් නෙමෙයි. සෆෝගේ අදහස් පසුකාලීන මහා දාර්ශනිකයන් අතින් පවා නැවත ලියවෙනවා.

    මොහොතකට හෝ
    ඔබ වැළඳගත් ඇසිල්ලෙන්
    මා ගොළුව යනවා
    මගේ දිව පලකට නැති වෙනවා
    ගින්දරක් මා සිරුර තුල දුවනවා
    ඇස් අඳව යනවා
    දෙසවන් නින්නාද වෙනවා
    මට උණ ගැනෙනවා
    දැඩි ලෙස ගැහෙනවා
    තණපත් වලටත් වඩා මා සුදුමැලිව
    උමතුවෙන්. අඩක් මියගොසින්.
    -කාර්මන් 1904-

    සෆෝ ගොළුවෙනවා. ගල්වෙනවා, ශෘංගාරයෙන්. පිස්සු වැටෙනවා ඒ සුන්දරත්වයෙන්. මේක අපි ලිංගිකත්වය පිළිබඳ දර්ශනයේ ඉතිහාසය පුරාම දකිනවා. ශෘංගාරය විසින් සදාතනිකව අතාර්කික චර්යාවන් ඇති කරනවා. ඇමරිකානු ජනාධිපතිවරයෙක් ධවල මන්දිරය වටේ ලිංගික අත්දැකීම් හොයමින් ඇවිදින්නෙ ඇයි? සුන්දර හෙලන් ඇගේ පවුල දරුවා සහ සැමියා අත්හරිමින් කඩවසම් පැරිස්ට බැඳෙන්නේ ඇයි? ඇයව පොළඹවාගත්තාද, පැහැර ගත්තාද? මර්ඩොක්ගේ බ්‍රැඩ්ලි පියර්සන් ශෘංගාරයෙන් ගොළුව නොගියත් දණින් වැටී ඔහුගේ තරුණ කෙල්ල සිටගෙන සිටි පාපිස්ස පවා සිපගන්නේ ඇයි?

    ප්ලේටොගෙ සිම්පොසියම් සංවාදයෙදි ඉරොස් නැත්තං ආදරය ගැන කතා කරනවා. ප්ලේටොට අනුව ආදරය කියන්නෙ යහපත සහ සුන්දරත්වය පමණක් දරන්නක්. සිම්පොසියම් කියන්නෙ ලිංගිකත්වයේ දර්ශනය හදාරන්න කියවන්නම ඕන පදනමක්.  ප්ලේටො ලිංගික හැඟීම පිළිබඳ සානුකම්පිත වෙන්නෙ නෑ. පසුකාලීන ක්‍රිස්තියානියේ ලිංගික විරෝධී අදහස්වල පදනම ප්ලේටොගෙ දකින්න තියෙනවා. සිම්පෝසියම් සංවාදයේ ප්ලේටො වනචර ආදරය සහ ආධ්‍යාත්මික ආදරය ගැන කතා කරනවා.

    මුලින්ම පෝසෙනියස් විසින් මතු කරන (ෆ්‍රොයිඩ්ගෙ වචනවලින් ඉතාම පහත් දේ දෙස පවා ඔහු ගරුත්වයෙන් බලනවා) ඊට පස්සෙ සොක්‍රටීස්ගෙ ගුරුවරිය වුනු ඩයොටිමා පූජකවරිය විසින් වඩා විස්තරාත්මක කරන (ඇය පෝසෙනියස්ට වඩා වෙනස්) මේ ආදරයන් දෙක අතර වෙනස අපිව පොළඹවන්නෙ අපේ පුද්ගලික සම්බන්ධතාවලින් ලිංගික ක්‍රියා ඈත් කරන්නයි. ඒ වෙනුවට අපේත්  අපේ සහකරුවන්ගේත් සදාචාරාත්මක, බුද්ධිමය වර්ධනය ඇති කරන දේට උනන්දු වෙන්න කියලයි. වනචර ආදරයට වෙනස්ව දිව්‍යමය ආදරය ආශාවෙන්, කෑදරකමින් සහ අනුරාගයෙන් තොරයි. දිව්‍යමය ආදරයේදි මේ මනසින් සුන්දර වූ ආදරවන්තයන්ගේ මූලික උනන්දුව වෙන්නෙ යහපතේ යෙදෙන්නයි. ප්ලේටොගෙ රිපබ්ලික් වල සොක්‍රටීස් ග්ලොකන්ට කියනවා, නිවැරදි ආදරයේදී ලිංගික ආතතියක් ඇතිවෙන්න බෑ  කියල. ප්ලේටො එයාගෙ සංකීර්ණ ෆේද්‍රස් සංවාදයෙදි මේ ලිංගිකත්වය ප්‍රතික්‍ෂේප කිරීමේ ගුනයම විදහා දක්වනවා. ඒකෙ ප්‍රධාන චරිතය වෙන සොක්‍රටීස් අවධාරනය කරනවා නියම ආදරවන්තයො නම් ඒ අය යහපතම හොයාගෙන යන අය කියල. මේ අරමුණ දුර්වල වීමෙන් හෝ වයින් වීදුරුවකින් අවකල් වීමෙන් තමයි ඔවුන් ලිංගික ක්‍රියාවට වැටෙන්නෙ.

  • ස්ත්‍රී විමුක්තිය ගැන ජිජැක්

    ස්ත්‍රී විමුක්තිය ගැන ජිජැක්

    ගැහැණියක් පිරිමින්ගේ ඇල්ම බැල්ම ඇදබැඳගන්නා විදිහෙ ඇඳුමක් අඳිද්දි වෙන විදිහකට කිව්වොත් ඇය විසින් ඇයව ඔබ්ජෙක්ටිෆයි (පිරිමි ආශාවේ වස්තුවක්) කරගෙන පිරිමින්ව අනුරාගීව පොළඹවද්දි ඇය ඒක කරන්නෙ අක්‍රිය වස්තුවක් විදිහට නෙමෙයි. ඇය තමයි ඇගේ ඔබ්ජෙක්ටිෆිකේෂන් එකේ ක්‍රියාකාරී නියෝජිතයා වෙන්නෙ. පිරිමින්ව ඇවිස්සීමේ, ඔවුන් සමග සෙල්ලම් කිරීමේ වගේම අවශ්‍ය ඕනම වෙලාවක ඒ සෙල්ලමෙන් ඉවත්වීමේ හැකියාවත් ඇයට තියෙනවා. ඇගේ කලින් දුටු ඇලුම්බැලුම් එක්ක පිරිමින්ට මේක තේරුම්ගන්න බැරි දෙයක් වෙන්නත් පුළුවන්.

    ස්ත්‍රී ලිංගික විමුක්තිය කියන්නෙ පිරිමින්ගේ ආශා වස්තුවක් බවට පත්වීමෙන් වැලකී සිටීමේ පාරිශුද්ධ එකක් නෙමෙයි. ඇයට එම ආශා වස්තුව හැටියට සෙල්ලම් කිරීමට ඇති අයිතියයි. අවශ්‍ය විටක ඒක බවට පත්වෙන්නත් ඉන් ඉවත් වෙන්නත් ඇයට ඇති නිදහසයි.

    ස්ලැවොයි ජිජැක්

  • ලිංගිකත්වයේ දර්ශනය පලවෙනි කොටස

    ලිංගිකත්වයේ දර්ශනය පලවෙනි කොටස

    (ඇලන් සොබ්ල් කියන්නෙ ඇමරිකානු දාර්ශනිකයෙක් සහ ලේඛකයෙක්. එයා ලිංගිකත්වයේ දර්ශනය ගැන ලියනවා. නිව් ඔර්ලියන්ස් විශ්ව විද්‍යාලයේ සහ ඩේ‍රක්සල් විශ්ව විද්‍යාලයේ දර්ශනය පිළිබඳ මහාචාර්යවරයෙක්. මේ ලියමන එයාගෙන්).

    “පැරන්නන්ගේ ශෘංගාරය සහ අපි අතර වෙනස වෙන්නෙ පැරැන්නො අවශ්‍යතාවය මත ක්‍රියාත්මක වීම. අපි ක්‍රියාත්මක වෙන්නෙ වස්තුව මත. පැරැන්නො උත්කර්ෂයට නැගුවෙ ඒ අවශ්‍යතාවය. බාල වස්තුවක් වුනත් අවශ්‍යතාවය වෙනුවෙන් උස්සලා තිබ්බා. අපි අවශ්‍යතාවය පිලිකුලෙන් බැහැර කරනවා.  අපි නිර්මාණය කරගන්නා වස්තුවේ සුවිශේෂත්වය ඇතුලෙ ගැන නිදහසට කරුණු හොයනවා.”

    සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්

    විසිවෙනි සියවසේ අගභාගයෙදි දර්ශනයෙ අලුත් අංශයක් බිහිවෙනවා. ලිංගිකත්වයේ දර්ශනය නැත්තං ෆිලොසොෆි ඔෆ් සෙක්ස් කියන එක ඇකඩමික් මාතෘකාවක් වෙනවා. විශ්ව විද ්‍යාල විෂය ධාරාවන් මේ වෙනුවෙන් හැදෙනවා. මොකක්ද සෙක්ස් කියන්නෙ? ශාස්ත්‍රීය දාර්ශනිකයො සංවාද කරනවා. ක්ලින්ටන් මොනිකා එක්ක තමන් ලිංගික සම්බන්ධයක් පැවැත්වුවෙ නෑ කියල කිව්වම මහජනතාව සෙක්ස් ගැන කතා කරන්න ගන්නවා. මොකක්ද ස්වභාවික මානව ලිංගිකත්වය කියන්නෙ? මොකක්ද සදාචාරාත්මක ලිංගික චර්යාව කියන්නෙ? මේවා ගැන දාර්ශනික සංවාද ඇතිවෙනවා.

    මේක සිද්ද වෙන්නෙ දෙවෙනි ෆෙමිනිස්ට් රැල්ල විසින් විෂම ලිංගික දේශපාලනය සහ ලිංගිකව වෙනස් කොට සැලකීම ප්‍රශ්න කරන්න පටන් ගැනීමත් එක්ක.

    ඒ වගේම  සුළුතර ලිංගික ප්‍රජාවන් නීතිමය සහ සමාජමය විදිහට ටිකෙන් ටික බාරගැනීමක් සිද්ද වෙන වටපිටාවක. සාංදෘෂ්ටිකවාදීන්, පරිනාමවාදීන්, මාක්ස්වාදීන්, ආරක්ෂණවාදීන්, ලිබරල්වාදීන්, ස්ත්‍රීවාදීන්, විවිධ ආගමිකවාදීන් ලිංගිකත්වයේ පාරභෞතිකය සහ ආචාර විද්‍යාව ගැන ලියනවා. ඒත් ෆිලොසොෆි ඔෆ් සෙක්ස් කියන්නෙ මේ සියලු විෂයන් අතර පවතින අන්තර් විෂයික අවකාශයක් මිස මේ කිසිම මතවාදයකට අයිති එකක් නෙමෙයි.

    මේ විදිහට අමතරව ලිංගිකත්වයේ දර්ශනය දිහා ඓතිහාසිකව බලන දැක්මකුත් තියෙනවා. ඉතිහාසයේ ප්‍රසිද්ධ චරිත ලියූ කියූ දෙවල් අරගෙන ඒවායින් ලිංගිකත්වය ගැන කියවෙන කොටස්වලින් සමස්තය ගැන කියවීමක් කරන්න උත්සාහ කරනවා. නැත්තං දාර්ශනිකයෙකුගෙ අදහසක් ඔස්සේ ඒ කාලය සහ සංස්කෘතිය ගැන අදහසක් ගන්න උත්සාහ කරනවා. නැත්තං ඉතිහාසය කණ්ණාඩියක් විදිහට අල්ලලා වර්තමානය කියවන්න උත්සාහ කරනවා. නැත්තං චින්තකයො පෙලක් අරගෙන ඒ අයගෙ සිතීම් පුරා ලිංගිකත්වය පිළිබඳ අදහසේ වෙනස්වීම අධ්‍යනය කරනවා. ඒත් මේ ඓතිහාසික ධාරාව තමයි ලිංගිකත්වය පිලිබඳ දර්ශන විෂයේ අඩුවෙන්ම වර්ධනය වෙලා තියෙන කොටස.

    මානව ලිංගිකත්වය කියන එක මිනිස්සු තැන් තැන්වල කෙලවරක් නැතුව කතා කරන දෙයක්. ශාස්ත්‍රීය සංවාදවල ඉඳන් බාර්වල වෙරිකාරයො වෙනකල් මේක කතා කරනවා. මේ විෂය කොහෙත්ම ශාස්ත්‍රීය දාර්ශනිකයන්ට විතරක් අයිති එකක් නෙමෙයි. මේ ගැන පොත් සාප්පුවල රාක්ක පිරෙන්න ලියලා තියෙන්නෙ සාමාන්‍ය මිනිස්සු. මේ ගැන පරිනාමීය, මනෝවිද ්‍යාත්මක, සමාජ විද ්‍යාත්මක, ආගමික අදහස් සමාජගත කරන්නෙ ජනප්‍රිය ලේඛකයො. ශාස්ත්‍රීය දාර්ශනිකයෙක් ලිංගිකත්වය ගැන කරන විමසුමක සහ අපේ අම්මා දරන සෙක්ස් පිළිබඳ දර්ශනයෙ හෝ කොනේ කඩේ මනුස්සයා සෙක්ස් පිළිබඳ දරන දර්ශනයෙ වෙනස මොකක් වෙන්න පුළුවන්ද?

    එකක් විදිහට කියන්න පුළුවන් සොක්‍රටීසියානු කුතුහලය. සෙක්ස් පිලිබඳ දාර්ශනික වෑයම වෙන්න පුළුවන් ඒකයි. තමන්ගේ අදහස වෙනස් කරගත හැකි නම්‍යශීලී බව, අලුත් අදහස්වල විවෘතබව, නිරන්තරයෙන් නොදන්නා කරුණු සොයා යාමේ ගුණය ආදියෙන් සමන්විත සොක්‍රටීස් ප්‍රවේශය. හැබැයි මේකත් අර  දාර්ශනික යැයි කියාගන්නා අයට වඩා දාර්ශනික නොවන මිනිස්සු ළඟ තියෙනවා.

    මේ ලියමෙනේදි මං කරන්නෙ ප්‍රධාන දාර්ශනිකයො කියල හඳුන්වන අයගෙ ලේඛන හරහා ලිංගිකත්වය ගැන දාර්ශනික කියවීමක් කරන්න. ඒකෙන් කොහෙත්ම කියවෙන්නෙ නෑ අනිත් දාර්ශනිකයන් හෝ කුඩා ලේඛකයන් මේ ගැන ඉදිරිපත් කරන අදහස් කොහෙත්ම නොවැදගත් කියල. ඒ වෙනුවට ඒක වෙන්නෙ මෙහෙම. ඔයා අහන්න ලෝකය දුවන්නෙ සෙක්ස් හින්දද බලය හින්දද කියල. ඔයාට පබ් එක වහන්න වෙන්නෙ නෑ එලිවෙනකල්. ඔය ප්‍රශ්නෙම ගිහින් අහන්න දාර්ශනික සම්මන්ත්‍රණයක. එතන උන් කරන්නෙ ඇස් රෝල් කරන එක විතරයි. ඒ හින්ද එතන නියැදිය පොඩියි. මං උත්සාහ කරනවා දාර්ශනිකයො සෙක්ස් ගැන කියපු කතා අතර අනෙක් විෂයයන්වල වැඩ කරපු අය ඉදිරිපත් කළ ආකර්ශනීය අදහසුත් මතු කරන්න. උදා විදිහට ජේම්ස් තර්බර් සහ ඊ බී වයිට් දෙන්නා පොඩි පොතක් ලියනවා සෙක්ස් අවශ්‍යද කියල. ඒක 20 වෙනි සියවසේ ලිංගිකත්වය ගැන මනෝ විද ්‍යාවට පැරඩියක්. ඒත් මේ පොතෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් ගොඩයි. මිනිහෙක් එයාගෙ කසාදය පරක්කු කරනවා. මේ ගැන තර්බර් සහ වයිට් පරීක්ෂා කරනවා.

    බලද්දි ඒ මනුස්සයා පෙලෙනවා අමුතු රෝගයකින්. ඒ මනුස්සයට හිතෙනවා තව පැය විසි හතරක් සමහර විට ඊට වඩා අඩු වෙලාවක් ඉවසන් හිටියොත් එයාට මේ ඉන්න පෙම්වතියට වඩා තමන්ට වඩා ගැලපෙන කෙනා මුනගැහෙනවා කියල. මේ සැකය හැම පිරිමියෙකුටම තියෙනවා. ඒක රාජකීය විදිහට විඳිනවා. මේ මනුස්සයා මේ සැකය වැඩිය හයියෙන් අල්ලගන්නවා මොකද මිනිහට හිතෙනවා තමන්ට මේ හරියටම ගැලපෙන අනෙකා ගැන ඡායාමාත්‍රයන් කීප තැනකදිම මුනගැහුනා කියල.

    කෝච්චියෙදි කෝපි කඩේදි, බස් ස්ටෑන්ඩ් එකේදි යන්තම් මිස් වුනා වගේ හැගීමක් එයාට තියෙනවා. මේ හරියටම ගැලපෙන අනෙකා පවතින බව ඇත්තක් කියල විශ්වාස නොකිරීම එයාටත්, තමන්ටත්, තමන් සමග මේ වෙලාවෙ ඉන්න පෙම්වතියටත් කරන දරුණු අසාධාරනයක් කියල එයා විශ්වාස කරනවා.

    තර්බර් සහ වයිට් කියන්නෙ ඉතිහාසයේ මාර දාර්ශනිකයො නෙමෙයි. හැබැයි සොරන් කියකගාර්ඩ් කියන්නෙ එහෙම කෙනෙක්. එයා මේකම මීට අවුරුදු සීයකට කලින් ලියනවා.

    “මිනිහෙක් ඉන්නවා කෙල්ලෙක් බැඳගෙන. මේ මිනිහා මේ කෙල්ලට කාලෙක ආදරය කරන්න ඇති නැත්තං කවදාවත්ම හරියට ආදරය නොකරන්න ඇති. එයා දකිනවා තව කෙල්ලෙක් හරියටම තමන්ට ගැලපෙන. මිනිහා ජීවිතේ වරදක් කරනවා. මේ පාර හරි හැබැයි ගේ වැරදියි. හරියටම පාර අනිත් පැත්තෙ දෙවෙනි තට්ටුවෙ ඉන්නවා එයාට හරියටම ගැලපෙන කෙල්ල. මේක කවියකට ගැලපෙන මාතෘකාවක්. පෙම්වතෙක් මිස්ටේක් එකක් කරගෙන. ලයිට් එලියෙන් එයා පෙම්වතිය දැක්කෙ කලු කෙස් ඇත්තියක් විදිහට. ඒත් ඇත්තටම බලද්දි එයා බ්ලොන්ඩ්. එයාගෙ සහෝදරිය තමයි හරියටම ගැලපෙන කෙනා. මේක කවියකට මාතෘකාවක්. මගේ අදහස හැටියට මේ විදිහෙ මිනිහෙක් කියන්නෙ ජීවිතේ වාතයක් විය හැකි ලැජ්ජාවක් නැති බල්ලෙක්. එලියට විසි කරලා දාන්න ඕන.”

    ෆියර් ඇන්ඩ් ටේ‍රම්බ්ලින්
    සොරන් කියකගාර්ඩ්

    දැන් මොකක්ද මේ දෙන්නගෙ දාර්ශනික හෝ ප්‍රවේශමය වෙනස? තර්බර් සහ වයිට් අපිව අපි ගැනම හිනස්සනවා. කියකගාර්ඩ් එයාගෙ ක්‍රිස්තියානියෙ ඉඳගෙන අපේ සාමාන්‍ය නැඹුරුවට අපහාස කරනවා.

    තර්බර් සහ වයිට් කතා කරනවා කෙනෙකුට ලිංගිකව ආශා කිරීම සහ ආදරය කිරීම අතර සදාතනික ප්‍රහේලිකාව ගැන.

    “හැම කෙනෙකුටම ජීවිතේදී මේ ප්‍රශ්නෙ ඇතිවෙනවා. මං ආදරය කරනවද? නැත්තං මං ආශාවෙන් පැටලිලා විතරද? මේක හරිම අමාරු ප්‍රශ්නයක්. මේක ඇතිවෙන්නෙම ඇති නොවිය යුතු තැන්වලදි. සමහර විට ලියුමක් ලියන්න ගනිද්දි, බදාගෙන ඉන්න අතරෙදි, රෑකදි. කෙනෙකුට පුළුවන් නම් ලේසියෙන්ම උත්තරයක් දෙන්න, ඔව් මං ආදරෙන් ඉන්නෙ කියල, නැත්තං නෑ මේක ආශාවක් කියල එයාට පුළුවන් වෙනවා පැය ගානක අපහසුතාවයකින් මිදෙන්න. ඒත් ලේසියෙන් කෙනෙකුට ඒ වගේ සරල උත්තරයක් දීගන්න බෑ”

    ගොඩක් ශාස්ත්‍රීය දාර්ශනිකයන් අතර ජේ මාර්ටින් ස්ටැෆර්ඩ් මේ අභියෝගය බාරගන්නවා. තර්බර් සහ වයිට් වගේ හාස්‍යමුසුව නෙමෙයි. සීරියස් විදිහට. ඒක සරල උත්තරයක් විදිහට නැතුව බරපතලට. ආශාව සහ ආදරය, එයා ලියනවා.

    “ආදරය කියන්නෙ විශේෂ ඇල්මක්, කාලයක් පුරා රැකබලාගන්නා ක්‍රියාවක්. අනෙකා සමග පමනක්ම තනිව බොහෝ කල් ගත කිරීමේ අවශ්‍යතාවයක්. ලිංගික ආශාව කියන්නෙ තෘප්තිමත් වීම හඹා යන උවමනාවක්. ඒකට තැනක් නොතැනක් නෑ. අනෙකාට අත්වෙන හොඳක් ගැන හැගීමක් නෑ. ”

    තර්බර් සහ වයිට් උනන්දු වෙන්නෙ සංකල්පීය විශ්ලේෂනයක් හෝ අර්ථ දැක්වීමක් ගැන නෙමෙයි. ඇඟට දැනෙන ආදරය සහ ආශාවේ හැඟීම ගැන. ඒක ඒ ගොල්ලො කියන්නෙ වෙන් කිරීම ඉතාම දුෂ්කරයි කියල. ඒ වගේම සමහර දාර්ශනිකයෙක් අහන්න පුළුවන්, ලිංගික ආශාවෙ අනෙකාගෙ යහපතක් ගැන හැගීමක් නෑ කියන්න පුළුවන්ද කියල. ආදරය ස්වභාවයෙන්ස ස්ථාවරයි, සුවිශේෂයි ලිංගික ආශාවට වඩා කියන එක ඇත්තක්ද කියල.

    අනෙක් කොටස ඉක්මනට.

  • දර්ශනයට එරෙහිව සුරතාන්තය

    දර්ශනයට එරෙහිව සුරතාන්තය

    වික්ටෝරියා බෲක්ස් කියන්නෙ ලේඛිකාවක් වගේම ලිංගික ආචාර ධර්ම ගැන පර්යේෂිකාවක්. එයා ප්‍රකාශන ගනනාවක්ම කරනවා දර්ශනය, ආචාර ධර්ම සහ කාන්තා ලිංගිකත්වය ගැන. එයාගෙ අලුත් පොතේ නම, ෆකින්ග් ලෝ- ඇගේ ලිංගික ආචාර ධර්ම සොයා යාම. එයා කුයර් කියලා හඳුන්වන ගේ, ලෙස්බියන්, බයි සහ ට්‍රාන්ස්ජෙන්ඩර් ලිංගිකත්නවන් ගැන වඩාත් උනන්දුයි. ඊලග ව්‍යාපෘතිය විදිහට කරමින් ඉන්නෙත් කුයර් ආශාව ගැන ප්‍රබන්ධ රචනයක්.

    ප්‍රශ්නය-
    ඔයාගෙ පොත ඔයා හදුන්වන්නෙ බටහිර දර්ශනවාදයට සුරතාන්ත ප්‍රහාරයක් කියල. මේ පොතේ ඔයා ගේන චරිතයක් ඉන්නවා ඇගේ දාර්ශනිකයා කියල හඳුන්වන. එයා ඔයත් එක්ක අර්බුදකාරී සම්බන්ධතාවක් පවත්වපු කෙනෙක් කියල ඔයා කියනවා. ඇත්තටම මේ සම්බන්දෙ ඇතුලෙ ඔයා මතුකරන ප්‍රශ්න ඔයාට දර්ශනවාදයත් එක්ක තියෙන ප්‍රශ්න කියල කියන්න පුළුවන්. ඔයා ලිංගිකත්වයේ දර්ශනය පරීක්ෂා කරන අතර දර්ශනවාදයේ ලිංගිකත්වය ප්‍රශ්න කරනවා. දාර්ශනිකයො වෙනස් විදිහකට හුකනවද? ඔයා කියන විදිහට ඔව්. සෙක්ස්වලට පස්සෙ කොට්ටෙ උඩට වෙලා ඒ ගොල්ලොන්ට නොනවත්වාම දේවල් කතා කරන්න පුළුවන්.

    වික්ටෝරියා – මේ පොතේ තැනක එනවා මං ඇගේ දාර්ශනිකයා කියල හඳුන්වන පිරිමියා එක්ක ෆෝන් කෝල් එකකින් ඇවිලෙන. මං ෆෝන් එක කාමරේ මුල්ලකට විසි කරලා දානවා තරහෙන්. මං ඒක ආපහු උස්සලා ගනිද්දිත් එයා තාමත් කතා කරනවා. කිසිම බාධාවක් එයාට දැනිලා නෑ. මේ නොනවත්වා කතාව දාර්ශනිකයන්ගෙ විදිහක්. වෙන කාටවත් ඒකට ඇතුල්වෙන්න ඉඩක් නෑ. ඒක තමයි ස්ත්‍රී ලිංගික දෘෂ්ටිකෝනයකට මේක පේන විදිහ. මං දර්ශනය උගන්නද්දි මං කාමරේ ඉන්න ගෑනුන්ගෙන් වගේම පිරිමින්ගෙනුත් සමාව ඉල්ලනවා. අපි ඉගෙනගන්න හැමදෙයක්ම පිරිමි විසින් ලියපුවා. දර්ශනය කොහොමත් දිග බෝරිං කතන්දර. ඒ වගේම ඉහල ඉඳන් පහල බලලා කතා කරන විලාසයක් තියෙන්නෙ.

    ප්‍රශ්නය- ඒ කියන්නෙ දර්ශනය හරියට මෑන්ස්ප්ලේන්වල (පිරිමින් විසින් අනෙකාට උගන්වන ස්වරූපයෙන් කරන පැහැදිලිකිරීම්) අන්තයක් වගේ?

    වික්ටෝරියා- හරියටම හරි. ඒක උපරිම මෑන්ස්ප්ලේන් එකක්. මං මේ මෑතක ලිව්වා ස්ත්‍රී ලිංගිකත්වය සහ දර්ශනය ගැන ලිපියක්. ඒකට කමෙන්ට් විදිහට ආපු තරමක් ආවෙත්, නෑ නෑ කාන්ට් කියන්නෙ එහෙම වර්ගවාදියෙක් නෙමෙයි වගේ මෑන්ස්ප්ලේන් කතන්දර. කාන්ට් කියපු වර්ගවාදී කතා ඕනතරම් තියෙනවා. මං කියන්නෙ නෑ පිරිමින්ගෙ කමෙන්ට්ස්වල වලංගුතාවයක් නෑ කියල. ඒත් ස්ත්‍රී ලිංගිකත්වය කියන කාරනයෙදි ඒවා අදාල නොවෙන්න පුළුවන්. මාව වැරදියට තේරුම් ගන්න එපා. මං මාර කැමතියි දර්ශනයට. ඩෙලියුසෙ වගේ අයට විශේෂයෙන්. ඒත් මේ ටෙක්ස්ට් අපි කියවන්න ඕන සිතීම් විදිහට විතරයි පැරඩයිම් නැත්තං සුසමාදර්ශ විදිහට නෙමෙයි.

    ප්‍රශ්නය-
    ඔයාට දර්ශනය එක්ක තියෙන්නෙ ලව් හේට් සම්බන්ධයක් කියල ඔයාගෙ ලිවීම්වලින් පේනවා. ඔයා එක වෙලාවක කියනවා, ඔයාගෙ වචනවලින් මාව විනාශ කරන්න. නැත්තං මට ඕගසම් එකට එන්න බෑ කියල. තව තැනක කියනවා, ඔයාට සෙක්ෂුවලිටි ගැන පර්යේෂන ඇතුලෙ ඔයාගෙ ඔලුව නන්නත්තාර කරගන්න ඕන. ඒත් ඔයාට ඒක කරන්න බෑ මොකද ඔයාගෙ ඔලුව හැමතිස්සෙම සෙක්සි කියල. ඔයා සෙක්ස්වල මේ උභතෝකෝටිකය ගැන ගොඩක් උනන්දුයි නේද?

    වික්ටෝරියා – මං හිතන්නෙ මට ඔය පැරඩොක්ස් හරියට කරදර කරනවා. මේ දාර්ශනිකයන්ට බලයක් තියෙනවා. ඒක අන්තිම විසකුරු එකක්. ඒ වගේම ඒක සෙක්සිත් එක්ක. ඒක ඔයාව අවදි කරනවා. ඔයාගෙ වචනවලින් මාව විනාශ කරන්න කියල මං කියන්නෙ ඒ ෆ්‍රස්ටේ්‍රෂන් එක.

    ප්‍රශ්නය-
    ඔයාගෙ පොතේ වැඩිහරියක් තියෙන්නෙ ප්‍රථම පුරුෂෙන්. ඒ අතර ඉටැලික්වලින් ඔයාට හිතෙන දේවල් උත්තම පුරුෂ විදිහටත් ලියලා තියෙනවා. එහෙම ඒවා අවශ්‍යයි කියල පස්සෙ තීරණය කළාද?

    වික්ටෝරියා –
    මට ඒ ආරක්ෂිත කලාපය ඕන වුනා. ප්‍රථම පුරුෂ කතාවක මට දේවල් කියන්න පුළුවන්. පාඨකයාටත් මේක මෙහෙම වුනාද නැද්ද කියල අහන්න පුළුවන්. මට හිතෙනවා ප්‍රථම පුරුෂෙන් ලියද්දි ඔයා පාඨකයා එක්ක සමානව කතාව ඇතුලට යනවා කියල. දෙන්නම කතාව තාම දන්නෙ නෑ වගේ. ඒ වගේම ප්‍රථම පුරුෂයෙන් ලියන එක ෆන්. වඩා නිදහස් සහ අඩුවෙන් රිදවනසුලුයි.

    ප්‍රශ්නය- අඩුවෙන් රිදවනසුලුයි කියන්නෙ?

    වික්ටෝරියා -කවුරු හරි මේක කියවල විනිශ්චයන්ට එනවා නම් මට ඒක ගන්න පුළුවන් එයා විනිශ්චය කරන්නෙ කතාව මිසක් මාව නෙමෙයි කියල. මෙතන පුදුම දේ වෙන්නෙ මගේ වැඩ ගොඩක්ම වාස්තවික දේවල් ගැන සහ ඒවායින් ඔබව දුරස් කර නොගැනීම ගැන. ඒ එකට බැඳුනු බව ගැන. ඒත් මෙතනදි මේ දුරස්තබව ලස්සනයි.

    ප්‍රශ්නය- පොත ඉවර වෙන්නෙ මේ ඇගේ දාර්ශනිකයා කියන චරිතය එක්ක සම්බන්ධය බිඳෙන තැනින්. ඒ කියන්නෙ ඔයා දර්ශනවාදයත් එක්කත් බිඳීමක් ඇති කරගත්තා කියන එකද? වික්ටෝරියා- මං ක්‍රියාවක් විදිහට දර්ශනයට කැමතියි. ඒත් දර්ශනය මට පිටතින් තියෙන න්‍යායක් විදිහට ඉහල ඉඳන්  මං ගැන සහ මගේ ලිංගිකත්වය ගැන මං දන්නවට වඩා දන්නවා වගේ පෙන්නන්න යන තැනින් ගැලවෙන්න මට ඕන.  මට තියෙන මගේ ආශා පද්ධතියක් බටහිර සංකල්ප රාමුව එක්ක නිතර ගැටෙන. ඒක නිසා මට ඒ රාමුවෙන් ගැලවෙන්න ඕන.

    ප්‍රශ්නය- ඔයා ලියන භාෂාව හරිම ප්‍රීතිමත් එකක්. ඒක ඇකඩමික් රචනා වලින් ආවා කියල හිතන්නවත් බෑ. ඔයාට කොයි වගේ ලේඛකයොද බලපෑවෙ?

    වික්ටෝරියා- උල්බෙක් මට සෑහෙන බලපෑමක් කළා. ඒක හරි ගැටලුකාරීයි මොකද එයා හරිම පුරුෂවාදී ලියන්නෙක්. ඒත් සෙක්ස් සහ දර්ශනය මුනගැහෙන ලේඛනය මං උල්බෙක්ගෙන් ගත්තා. ඊට පස්සෙ ඒක ස්ත්‍රී ලිංගිකත්වය ඇතුලෙන් කියෙව්වොත් කොහොමද කියල හිතුවා. නිකොල්සන් බේකර්ගෙ හවුස් ඔෆ් හෝල්ස් කියන්නෙත් මට වැදුන පොතක්. අනික චාර්ලට් රොෂ්ගෙ වෙට්ලන්ඩ්ස්. ඒක මට මට ඕන දේ ලියන්න ධෛර්ය දුන්නා. 

    රශ්නය- ඔයාගෙ පොත සබ්ටයිට්ල් කරලා තියෙන්නෙ ‘සර්ච් ෆොර් සෙක්ෂුවල් එතික්ස්’ කියල. ඒත් පොත ඉවර වෙනකලුත් ඔයා මොනවද ඒ එතික්ස් කියල කියන්නෙ නෑ. ඔයාට ගුරුවරයෙක් වගේ වෙන්න උවමනා නැති වුනාද?

    වික්ටෝරියා- හරියටම හරි. නැත්තං මාත් මෑන්ස්පේලේනිං කරනවා වගේ වෙනවා. ඔයා එහෙම කෝඩ් එකක් ලියපු ගමන් ඒක බයිබල් පාඨයක් වගේ වෙනවා. ඒක කඩන්න බැරි නීතියක් වෙනවා. ලිංගික වර්ධනය කියන්නෙම රූල් කඩන එක. මං පිලිගන්නෙ අපි විනිශ්චය කරන සෙක්ෂුවල් එතික්ස් වලින් කරුණාව මූලික සෙක්ෂුවල් එතික්ස්වලට මාරු වෙන්න ඕන කියල. අනික මං විශ්වාස කරන්නෙ ඒවා පුද්ගලයා අනුව වෙනස් වෙනවා කියල.

    ප්‍රශ්නය- පොත කියවද්දි එක තැනක් තිබුනා මාව තිගැස්සෙන. ඔයා විස්තර කරනවා බීච් එකක ඕර්ජි එකකට සම්බන්ධ වෙන අවස්ථාවක්. තව මිනිස්සු වටවෙලා ඉන්න අතරෙ. ඔයා එතනදි කියනවා ඔයාගෙ ඉමෝෂන් එක වුනේ සටන් කරන්න කියල. අනිත් අයට වඩා වැඩි ආස්වාදයක් වෙනුවෙන් සටන් කරන්න. අනිත් අයගෙ ආශාව පරදවන්න. මං පොත කියවලා නැති අයගෙ රසය විනාශ කරන්නෙ නෑ. ඒත් ඒක ලොකු ජීවිත අත්දැකීමක් වගේ දැනෙන තැනක්. මේ අත්දැකීම ඔයා දර්ශනය බාරගන්න විදිහ වෙනස් කරයි කියල ඔයා දැනගෙන හිටියද?

    වික්ටෝරියා- හැමතිස්සෙම මගේ ලිංගික අත්දැකීම් සහ දර්ශනවාදය අතර සංවාදයක් තිබුනා. ඒක යුක්තිය පිළිබඳ දෙයක්. ඇයි පිරිමි ආශාව මගේ ආශාවට වඩා බලවත් වෙන්න හදන්නෙ? මගේ ලිංගිකත්වය සහ දර්ශනය අතර දෙබසක් තිබුනට ඒක දර්ශනය එක්ක සම්බන්ධ වුනේ නෑ කොතනදිවත්. මට කාන්ට්ගෙන් මගේ ලිංගිකත්වය දකින්න බෑ. මං හිතන්නෙ ප්‍රෙතියාඩො තමයි කිව්වෙ හැනා ඇරන්ඩ්ට්ව කෝට් කරන අතරෙ කාටවත් සුරතාන්තයක් ගන්න බෑ කියල.

    ප්‍රශ්නය- ඔයාට එහෙම ඉන්නවද සුරතාන්තයට බාධා නොකර දාර්ශනිකයෙක් කවුරු හරි?

    වික්ටෝරියා- මොකක් හරි ෆෙටිෂ් එකක් තිබුනොත් නම් පුළුවන් වෙයි.

    ප්‍රශ්නය- ප්‍රෙතියාඩෝ ඔයාගෙ පොත ගැන කියල තිබුන මීටූ කාලෙ නිදහස්කාමී ප්‍රේම නිබන්ධයක් කියල. ඒ ගැන මොකද හිතන්නෙ?

     

    වික්ටෝරියා- මේ කාලෙ මොනවා හරි යන්තම් ෆෙමිනිස්ට් හෝ ජෙන්ඩර් සහ සෙක්ෂුවලිටි ගැන හෝ නම් ඒක කියවන්නෙ මීටූ මූව්මන්ට් එක හරහා නෙ. ප්‍රෙතියාඩො කියන එකේ වරදක් නෑ. මීටු කියන්නෙම සෙක්ස් ගැන සංවාදය පුළුල් කිරීමක්. විශේෂයෙන්ම සෙක්ස්වල ගැහැණු අත්දැකීම ගැන. ඇකඩමික් දෙපාර්තමේන්තුවලටත් මේක බලපෑවා. නැත්තං ගොඩක් කථිකාචාර්යවරු සහ මහාචාර්යවරු, විශේෂයෙන්ම දර්ශනය කරන අය වයසක පිරිමි. මේ පොත ගැහැණු ලිංගිකත්වය ගැන. මං ආරාධනා කරනවා පිරිමින්ටත් ඒ සංවාදයට එකතු වෙන්න කියල.

  • දාර්ශනිකයන්ගේ ලිංගික ජීවිතය

    දාර්ශනිකයන්ගේ ලිංගික ජීවිතය

    2002දි ඩෙරිඩා එක්ක කරපු ඩොකියුමෙන්ටි්‍රයක ඒකෙ ඩිරෙක්ටර් ඇමි සීරින්ග් කොෆ්මන් මේ දාර්ශනිකයගෙන් අහනවා ප්‍රශ්නයක්.

    කාන්ට්, හයිඩගර්, හෝ හේගල් ගැන කරන ෆිල්ම් එකක ඔයා දකින්නම ආස මොනවද?
    ඩෙරීඩා ටිකක් වෙලා ගන්නවා උත්තර දෙන්න. ඊට පස්සෙ එයා කියනවා,
    ඒ ගොල්ලොන්ගෙ ලිංගික ජීවිතය.

    කොෆ්මන් ආපහු ප්‍රශ්න කරනවා.

    ඒ ඇයි?

    ඩෙරීඩා කියනවා මේ දාර්ශනිකයො කවදාවත් ඒ ගොල්ලොන්ගෙ දර්ශනය ඇතුලෙ ඒ අයගෙ ලිංගික ජීවිතය ගැන කතා කරන්නෙ නෑ. ඒ ගොල්ලො පෙනී ඉන්නෙ හරියට ඒසෙක්ෂුවල් වගේ. ඒත් ඩෙරීඩා කල්පනා කරනවා ඒ අයට සහ ඒ අයගෙ ලිවීම්වලට ඒ අය ආදරේ කරපු අය, සෙක්ස් කරපු අයට වඩා වැදගත් වෙන්නෙ මොනවද කියල. දර්ශනයට ආදරය ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා. සමහර විට දර්ශනය පටන්ගන්න ඇත්තෙම ඒ ප්‍රශ්නෙත් එක්ක.
    ආදරය කියන්නෙ මොකක්ද?

    ඒත් ඩෙරීඩා කියන්නෙ තනි තනි දාර්ශනිකයො ඒ අයගෙ ආදර ජීවිත ගැන ඒ අයගෙ දාර්ශනික සටහන් අතර කතා කරන්නෙ හරිම අඩුවෙන් කියල. දර්ශනය කියන්නෙ තාර්කික සහ විශ්වීය සිතීම් පද්ධතියක් ඇතුලෙ කරන අපුද්ගල ගොඩනැංවීමක්.   සාම්ප්‍රදායිකව කෙනෙකුගෙ ජීවිතේ ඇතුලෙන් එන දේට දර්ශනය තුල ඉඩක් දිය යුතු නෑ කියලයි විශ්වාස කරන්නෙ. ඒත් දාර්ශනික ඉතිහාසය බලද්දි කෙනෙකුට තේරෙනවා මේ දාර්ශනිකයන්ට තමන්ගෙ දර්ශනයට බලපාපු ලිංගිකත්වය ගැන කොයිතරම් දේවල් කියන්න තියෙන්න ඇද්ද කියල.

    ප්ලේටොගේ සහ ඇරිස්ටෝටල්ගෙ ලියවිලි ග්‍රීක ආදරය ගැන කතාවලින් පිරිලා තියෙනවා. මේ ලියලා තියෙන චරිත අතර සම්බන්ධතා හැමතිස්සෙම ප්ලෙටොනික වර්ගයේ (පරමාදර්ශී) ඒවා නෙමෙයි. දේවධාර්මික දාර්ශනිකයෙක් වුනු ශාන්ත ඔගස්ටයින් ලිවීමේදී පාපොච්චාරන ශෛලියක් දර්ශනයට හඳුන්වලා දෙනවා. එයා බ්‍රහ්මචාරී වෙන්න කලින් බොහෝ කාන්තාවන්ගෙ පෙම්වතා වුනු යුගය ගැන ලියනවා.

    දෙවියනි,මට බ්‍රහ්මචර්යාව දෙන්න. හැබැයි දැන්ම නෙමෙයි.. එයා කියනවා.මධ්‍යතන බුද්ධිමතෙක් වුනු පීටර් අබෙලාර්ඩ් සහ එයාගෙ පෙම්වතා වුනු දාර්ශනික අලොයිස් ඩාජෙන්ටුඅයිල්ගෙ කතාව බොහොම ප්‍රසිද්ධ එකක්. ඒ ගොල්ලොන්ගෙ ආදර කවි බටහිර ලේඛන සාහිත්‍යයේ බොහොම වැදගත් විදිහට ගන්නවා. ඇබෙලාර්ඩ්ගෙ ආදර කවි එයාගෙ දීර්ඝ දාර්ශනික ලිවීම් තරමටම සම තත්වයෙන් ගන්න පුළුවන්.

    ජෝ ජාක් රූසො එයාගෙ ‘ජුලි ඕර් ද නිව් හෙලොයිස්’ කියන ලිපිමය නවකතාවෙ මේ ගැන සඳහන් කරනවා. රූසොගෙ ගොඩක් දේවල් වගේම මේ නවකතාවත් ප්‍රබන්ධය සහ දාර්ශනික අදහස් එකතු වුනු කෘතියක්. එයාගෙම පාපොච්චාරන වලදි රූසො අපිට කියනවා එයාගෙ ආදරයන් සහ විරහවන් ගැන. මැඩම් ඩි වොරන්ස්ගෙ ගෙදර අයට සහ එයාගෙ පෙම්වතාට රූසො සේවකයෙක් විදිහට වැඩකරපු හැටි එයා කියනවා. රූසොට වගේම  එයාගෙන් පස්සෙ එන කාන්ට්ටත් ස්වයං වින්දනය ගැන කියන්න පුදුම තරම් දේවල් තිබුන. කාන්ට් එයාගෙ දර්ශනය ඇතුලෙ විෂම ලිංගික විවාහයේ අයිතීන් ගැන දීර්ඝ වශයෙන් ලියනවා වගේම ස්වයං ප්‍රේමයේ සදාචාරාත්මක නොවන පැත්ත ගැන දැඩි විදිහට කතා කරනවා.

    තවත් හොඳ උදාහරණයක් තමයි සොරෙන් කියකගාර්ඩ්ගෙ ‘සෙඩියුසර්ස් ඩයරි’ කියන පොත. ඒකෙ තියෙන්නෙ තරුණ කෙල්ලෙකුගෙ අනුරාගී පෙළඹවීම් ගැන. සරලවම එතන කියවෙන්නෙ කියකගාර්ඩ් රෙජින් ඔල්සෙන් එක්ක තිබුනු සම්බන්ධතාවය.

    ෂොපෙන්හවර් ගැහැනිය පිළිබඳව දීර්ඝ විශ්ලේෂනයක් ලියනවා. හැබැයි මේක කොහෙත්ම පිරිමි දාර්ශනිකයෙකුගෙ තමන්ගෙ ශෘස්ත්‍රීය ස්වාධීනත්වය, පවුල් සංතුෂ්ටිය ගැන ආශාව සහ දහඅටවන සියවසේ තිබුන ස්ත්‍රිය පහත් කොට දකින දෘෂ්ටිය අතර දෝලනයකට වැඩි දුරක් යන්නෙ නෑ.

    හේගල්ට තිබුන ගොඩක් දේවල් කියන්න. ක්‍රිස්තියානි පවුල, විවාහය සහ ලිංගිකත්වය ගැන දාර්ශනිකව සහ වාරණමය විදිහට. ඒවා හරියට එයා ලියපුවා නෙමෙයි වගේ. මේවා එයා එයාගෙ සහෝදරියට සහ අනෙක් අයට ලියන ලියුම්වලට සීමා කළා. මේ සමහරක් ලියුම් එයාගෙ දරුවන් විසින් පුළුස්සා දැම්මා. ඒ ගොල්ලො කිව්වෙ හේගල් එයාගෙ නිවෙස්හිමියාගෙ බිරිඳගේ නීත්‍යානුකූල නොවන දරුවාට තාත්තා වීම ගැන වැරදි වටහාගැනීමක් ඇති කරගනීවී කියල ඒවා පිච්චුවා කියලයි.

    විසිවෙනි සියවසේදී හයිඩගර් එයාගෙ දර්ශනයට ගේනවා ‘කෙයාර්’ නැත්තං පරිස්සම කියල තේමාවක්. ඒත් එයාගෙ ශිෂ්‍යාවක් වුනු හැනා ඇරන්ඩ්ට් එක්ක තිබුනු සම්බන්ධය ගැන කිසි දෙයක් කියන්නෙ නෑ. ඒකත් නවකතාවක් විදිහට ප්‍රකාශයට පත්වෙන තවත් දාර්ශනික ආදර සම්බන්ධයක් විතරයි.  අයිරනියක් වෙන්නෙ ඇරන්ඩ්ට් හයිඩගර් යටතේ ලියන තිසීසය ලියන්නෙ ශාන්ත ඔගස්ටයින් සහ ආදරය ගැන.

    ෂන් පෝල් සාත්‍ර සහ සිමොන් ඩි බොවාට ගොඩක් දේවල් තියෙනවා ඒ දෙන්නාගෙ ආදරය සහ ඒ දෙන්නා අනිත් අය එක්ක පවත්වපු ආදර සම්බන්දතා ගැන කියන්න. කැමුගෙ වගේම ඒ වගේ දේවලුත් එලියට එන්නෙ ප්‍රබන්ධ ඇතුලෙන්.  රෝලන්ඩ් බාත්ගෙ මාර ප්‍රසිද්ධ ආදරවන්තයෙකුගෙ කතිකාව, ‘අ ලවර්ස් ඩිස්කෝස්’ කියන ප්‍රකාශනය ඇත්තටම එයාගෙ මරණයෙන් පස්සෙ ප්‍රසිද්ධ වුනු බාත් ලිංගික සම්බන්ධතා පවත්වපු අය එක්ක පෙලට තියාගෙන කියවිය යුතු එකක්.

    මිෂෙල් ෆුකො  ලිංගිකත්වය පිළිබඳ විශිෂ්ටතම දාර්ශනිකයා  වෙළුම් තුනක් ලියනවා ලිංගිකත්වයේ ඉතිහාසය ගැන. ඒ  1984 එයා ඒඩ්ස් හැදිලා මැරෙන්න කලින්. ඩෙරීඩා එයාගෙ ඇත්ත ජීවිතේ ආශාවන් සහ ලිංගික අත්දැකීම් ‘ද පෝස්ට් කාර්ඩ්’ වගේ දාර්ශනික ලියමනක කේන්ද්‍රය කර ගත්තට ෆුකො කිසි දවසක එයාගෙ නිදන කාමරයේ දර්ශනය (මාකි ඩි සාද්ගෙ වදනක්) එයාගෙ පොත්වලට ගේන්නෙ නෑ.

    ඉතිහාසය පුරාම මේ විදිහට දාර්ශනිකයන්ගෙ සිතීමට ඒ අයගෙ ලිංගික ජීවිතය බලපාපු හැටි හොයන්න අසීරු නෑ. වැදගත් ප්‍රශ්නය වෙන්නෙ මේ අවස්ථා කොහොමද ඒ අයගෙ දාර්ශනික කෘති තේරුම් ගන්න උදව් වෙන්නෙ කියන එක. මං හිතන්නෙ නෑ නියැල් ෆර්ගියුසන් කියන ඉතිහාසවේදියා මේනර්ඩ් කීන්ස් ගැන කියනවා වගේ ‘ලිංගිකත්වය සිතීමේ සියල්ල පැහැදිලි කරයි’ කියන කාරණය මෙතනදි ඒ තරම් සුදුසුයි කියල. ඒක තරමක ඌනිත කියවීමක්. ඒත් අපිට දකින්න පුළුවන් කියකගාර්ඩ්, ඩිබොවා, හෝ ඩෙරීඩා වගේ දාර්ශනිකයන්ගෙ ලිංගිකත්වය සම්බන්ධ සිද්ධීන් ඒ ගොල්ලොන්ගෙ දාර්ශනික තේමාවන්ගෙ මායිමේ අත්හැර දැමූ සාහිත්‍යයක ස්වරූපයෙන් පවතිනවා කියන එක.

    සාහිත්‍ය විසින් දර්ශනය නිරුවත් කරනවා. දර්ශනය වෙන්නෙ මේකයි නොවෙන්නෙ මේකයි වශයෙන් පනවා ගන්නා  සීමාවන් ප්‍රතික්‍ෂේප කරනවා. දාර්ශනිකයන්ගෙ ලිංගික ජීවිත කියන්නෙ දර්ශනයෙ අවසර ලත් සහ අවසර නොලත් කියන බෙදීම සලකුනු කරන තැනක් වීම අහම්බයක් නෙමෙයි. දර්ශනය යනු කුමක්ද කියන එක එන්නෙ මේ බැහැර කිරීමත් එක්ක.
    මං හිතන්නෙ නෑ ලේඛකයාගෙ ලිංගික ජීවිතය දැනගැනීමෙන් මේකට උත්තරයක් ලැබෙනවා කියල. ඒත් ඒකෙන් අපිට පුළුවන් වෙනවා මේ ප්‍රශ්නෙ නැවත නැවත අහන්න. ඒ හරහා දර්ශනයේ ප්‍රතිවිරෝධතා සහ සංකීර්ණතා තහවුරු කරමින් අදට ගැලපෙන විදිහට දර්ශනය කියවාගන්න.

    මාර්ටින් මැකිලන්ගේ සටහනක් ඇසුරෙන්.