Category: Features

  • ඔයාගෙ කොච්චර දිගද?

    ඔයාගෙ කොච්චර දිගද?

    පිරිමියෙකුගේ ලිංගයේ ප්‍රමාණය සහ කාන්තාවක් ලබන තෘප්තිය අතර සම්බන්ධතාවයක් නෑ. ඇත්තටම පුරුෂ ලිංගයකට වඩා තෘප්තියක් ලබන්න පුළුවන් ඩිල්ඩෝස් නිෂ්පාදනය වෙලා තියෙනවා. කෙනෙක් එක්ක ලිංගිකව එකතු වීමෙන් ලබන තෘප්තියේ වැඩි කොටසක් රඳා පවතින්නෙ ඒ දෙන්නා අතර බෙදාහදාගන්නා ඉන්ටිමසිය මත. ඒ කියන්නෙ සමීපත්වය, තේරුම් ගැනීම, සංවාදය, ආදරය, උණුසුම, විවෘතභාවය ආදී කාරණා මත. පුරුෂ ලිංගයේ ප්‍රමාණය ගැන තියෙන්නෙ මානසික ෆැන්ටසියක්.

    කොහොම වුනත් පිරිමි සහ ගැහැණු දෙවර්ගයම උනන්දුයි පිරිමින්ගෙ ලිංගයෙ ප්‍රමාණය ගැන. පර්යේෂණ අනුව පෙනිලා තියෙන්නෙ මේ ලිංගවල ප්‍රමාණය සාමාන්‍යයෙන් අපි හිතනවාට වඩා කුඩා බවයි. ඒ වගේම රටක ජීවත් වෙන පිරිමින්ගෙ ලිංග බොහෝදුරට ප්‍රමාණයෙන් සමානයි. ඒ කියන්නෙ ලොකු වෙනස්කම් නෑ. පිරිමියෙකුගේ ලිංගයේ ප්‍රමාණය භූගෝලයට වඩා තීරණය වෙන්නෙ ජාන අනුව. ඒ වගේම කුඩා කාලයේ හරිහැටි පෝෂණය නොලැබීම වගේ කාරණාත් ලිංගය නිසි ලෙස නොවැඩීමට බලපාන්න පුළුවන්. ශරීරයේ ප්‍රමාණය සහ ලිංගයේ ප්‍රමාණය අතර සමීකරණයක් ගොඩනගාගන්න ගොඩක් අය උත්සාහ කළත් පර්යේෂණ අනුව පේන්නෙ එහෙම නිශ්චිතව කියන්න බැරි බවයි. ඒ කියන්නෙ උස වැඩියි කියන්නෙ ලිංගය දිගයි කියන එක නෙමෙයි. ඒ වගේම අත්ලෙ දිග, සපත්තුවෙ දිග, නහයේ දිග ආදියෙන් ලිංගයේ දිග සෙවීමත් බොරු කතන්දර විතරයි.

    රටින් රට ලිංගයේ ප්‍රමාණයේ ඇවරේජ් එකක් හදාගන්න එක ගොඩක් අමාරු වැඩක්. එකක් මේ ගැන තියෙන දත්ත ප්‍රමාණය කුඩා වීම. අනික මේ දත්ත ගොඩක් වෙලාවට ස්වයං මිනුම් විදිහට වාර්තා වීම. ඒ හින්ද පර්යේෂණාගාරයක කළ මිනුම් ඇසු‍රින් තරම් නිවැරදිභාවයක් මෙතන ගොඩනගා ගන්න බෑ.

    ලෝකෙ ඍජු වූ පුරුෂ ලිංගයක සාමාන්‍ය දිග සෙමි. 13.58ක් වෙනවා. ඒ කියන්නෙ අගල් 5.35ක්. රටවල් අනුව බැලුවම දිගම සාමාන්‍යය තියෙන්නෙ සෙමි 17.61ක්. ඒ කියන්නෙ අගල් 6.93ක්. මේ රට තමයි ඉක්වදෝරය. වැඩියෙන්ම සාමාන්‍ය ශරීර උස වාර්තා වෙන්නෙත් ඉක්වදෝරයෙන්. හැබැයි ඒක හැමතැනකදිම එහෙම වෙන්නෙ නෑ.

    පොඩිම ඍජුවූ ශිෂ්නයේ ඇවරේජ් එක වාර්තා වෙන්නෙ කාම්බෝජයෙන්. ඒක සෙමි. 10.01ක්. ඒ කියන්නෙ අගල් 3.95ක්.

    කෙලින් වුනාම පුංචිම පුරුෂ ලිංගයන් තියෙන පුද්ගලයෝ ඉන්න රටවල් අතර ලංකාවත් ඉන්නවා.

    1. කාම්බෝජය – අගල් 3.95
    2. තායිවානය අගල් 4.24
    3. පිලිපීනය අගල් 4.27
    4. ශ්‍රී ලංකාව අගල් 4.29
    5. හොංකොං අගල් 4.41
    6. බංග්ලාදේශය අගල් 4.41
    7. තායිලන්තය අගල් 4.51
    8. වියට්නාමය අගල් 4.52
    9. මැලේසියාව අගල් 4.52
    10. සිංගප්පුරුව අගල් 4.54

    ඉන්දියාව තමයි ලෝකෙ දෙවෙනියට කුඩාම පුරුෂ ලිංග සාමාන්‍යයක් තියෙන රට. අගල් 4යි. චීනෙ ඉන්නෙ ඉන්දියාවට වඩා චුට්ටක් ඉස්සරහින්. අගල් 4.3යි. උතුරු කොරියාව තමයි පුංචිම. අගල් 3.8යි. ඉතිං වෙන මොනවා නැති වුනත් ආසියාවෙ හැටියට අපේ පුරුෂ ලිංගෙ සයිස් එක ගැන නම් තරමක් ආඩම්බරෙන් පුළුවන්.

    කෙලින් වුනාම දිගම ලිංගයන් තියෙන පුද්ගලයෝ ඉන්න රටවල් තමයි මේවා.

    1. ඉක්වදෝරය – අගල් 6.93
    2. කැමරූන් අගල් 6.56
    3. බොලීවියාව අගල් 6.50
    4. සූඩානය අගල් 6.48
    5. හයිටිය අගල් 6.30
    6. සෙනෙගල් අගල් 6.26
    7. ගැම්බියාව අගල් 6.25
    8. කියුබාව අගල් 6. 25
    9. නෙදර්ලන්තය අගල් 6.25
    10. සැම්බියාව අගල් 6.21

  • අපිට පුළුවන් මුනගැහිලා කතා කරන්න

    අපිට පුළුවන් මුනගැහිලා කතා කරන්න

    මට නිතර නාඳුනන යාළුවො කතා කරනවා. ඒ අයට වෙන කාත් එක්කවත් කියන්න බැරි කතා බෙදාහදාගන්නවා. සමහර අය ඒ අයගෙ ආශාවන් රුචිකත්වයන් නිසා ඒ අය විපරීතද කියල බයෙන් සැකෙන් ඉන්නවා. තමන්ගේ ආශාව මානසික රෝගයක්ද කියල තැවෙනවා.

    ලංකාවෙ මනෝ උපදේශනය තියෙන්නෙ ඉතාම පහළ මට්ටමක. උදා විදිහට සංක්‍ර‍ාන්ති ලිංගිකයෙක් නව යොවුන් වයසෙදි තමන්ට දැනෙන වෙනස කියන්න මනෝ උපදේශකයෙක් මුනගැහුනම කොහොම හරි විෂම ලිංගිකයෙක් වෙලා සාමාන්‍ය වෙන්න උත්සාහ කරන්න කියන වර්ගයේ උපදෙස් ලැබුනු අය මට මුනගැහිලා තියෙනවා. බහුතරයක්ම මේ උපදේශකයන් අනෙකාව සංස්කෘතිකව විනිශ්චය කරනවා. තමන්ගේ සංස්කෘතික අගතීන් අනෙකා මත පටවනවා.

    එහෙම ලේසියෙන් තමන් රෝගී යැයි පිළිගන්න අකමැති ශක්තිමත් ගැහැණු පිරිමි සහ වෙනත් අය මට කතා කරනවා. මං විධිමත්ව මනෝ විද්‍යාව හෝ වෙනත් කිසිම විෂයක් හදාරා සහතික ලද්දෙක් නෙමෙයි. වෛද්‍යවරයෙක් විසින් නිර්දේශ කරන ප්‍රතිකාර කිරීමේ හැකියාවක් මට නෑ.

    නමුත් මං ඉතා හොඳ සවන් දෙන්නෙක්. විනිශ්චය නොකරන්නෙක්. මිනිස් ජීවිතේ විවිධත්වයට ආදරය කරන්නෙක්. විශ්වාසවන්ත යාලුවෙක්. ඒ හින්ද ඔයාව පෙළන ආදරය හෝ ලිංගික කාරණා සම්බන්ධ ඕනෑම දෙයක් අපිට බෙදාහදාගන්න පුළුවන්. හොඳ නරක යැයි සම්මත සීමාවලින් ඔබ්බෙහි මිනිස් අවකාශයක අපිට මිතුරන් හැටියට මුනගැහෙන්න පුළුවන්. බොහොමයක් තැවුල් පීඩනවල දැරිය නොහැකි වේදනාව වෙන්නෙ විවෘතව අසා සිටින හෝ බාරගන්නාසුලු මිත්‍රත්වයක් නැතිකමයි.

    ඒ වගේ කතා කරන්න දේවල් තියෙනවා නම් පහත ලින්ක් එකෙන් පැයක් වෙන් කරගන්න ඔයාට පුළුවන්. සතියෙ හැම බදාදාම පැය දෙකක් මං මේ වෙනුවෙන් වෙන් කරන්න කල්පනා කළා. කිසිම මුදල් අයකිරීමක් නෑ. එක්කෙනෙක් පැයකට වඩා වෙන් කරන්න එපා.

    මුනැගහෙන තැන තිඹිරිගස්යායෙ, ස්පැතෝඩියා ඇවනියුහි ෆ්‍රීඩම්හබ් ආයතනය.

    වෙලාවක්ලි වෙන් කරගැනීමට Link එක මෙන්න.
    https://calendly.com/chinthana/60min

  • සමලිංගිකත්වයට එරෙහි නීති වෙනස් කරන්න පොහොට්ටුවෙන් පණතක්

    සමලිංගිකත්වයට එරෙහි නීති වෙනස් කරන්න පොහොට්ටුවෙන් පණතක්

    ලංකාවෙ සමලිංගිකත්වය අපරාධයක් කරමින් තවමත් නීතිපොතේ පවත්නා යටත්විජිත නීති ඉවත් කිරීම පිණිස වූ පණතක් අද අගෝස්තු 24 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. තමන් සමලිංගික බව විවෘතව පිළිගත් අපේ රටේ එකම දේශපාලකයා වන මංගල සමරවීරගේ නික්ම යාමෙන් වසරක් ගතවන දිනයේ මේ පණත කතානායකවරයාට බාරදීම විශේෂත්වයක්.

    තවත් අමතක නොකළ යුතු සුවිශේෂ කාරණයක් වන්නේ මෙය පුද්ගලික පණතක් ලෙස ඉදිරිපත් කරන්නෙ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලේවත්ත වීමයි. සමලිංගික නිදහස ගැන කයිවාරු ගහන තවත් කොතෙක් ප්‍රගතිශීලීන් පාර්ලිමේන්තුවේ සිටියත් අවසානයේ පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් අතින්ම මෙය ඉදිරිපත් වීම අයිරනියක්.

    මේ පණත සකස් කිරීම සඳහා තමන්ට සහාය දීම වෙනුවෙන් සංජීව විමලගුණරත්න සහ අකලංක හෙට්ටිආරච්චිට දොලේවත්ත මන්ත්‍රීවරයා විසින් ස්තුතිය පළ කර තිබුණ.

    පොහොට්ටුව යනු මීට වසර කීපයකට ඉහත සමලිංගිකත්වය සහ මිනිස් ලිංගික නිදහස දැඩිවම යටපත් කළ ඊනියා සදාචාරය දඩමීමා කරගත් පක්ෂයයි. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමත් සමග පොහොට්ටුවෙන් සමලිංගික නිදහස ලබාගැනීම උදෙසා පණතක් ඉදිරිපත් වීම ලොකු සංස්කෘතික පෙරලියක ලකුණක්. රනිල් පොහොට්ටු පාක්ෂිකයන් ඒ අයගෙ උවමනා පිණිස යොදවනවාද නැත්නම් රනිල් විසින් පොහොට්ටුවේ බලය තමන්ගේ උවමනා වෙනුවෙන් යොදාගන්නවාද යන්න නැවත විමසා බැලිය යුතු කාරණයක් වෙනවා.

    ලංකාවෙ කළ යුතු ප්‍රගතිශීලී වෙනස්කම් කරනවා එය කළ හැක්කේ ජාතිවාදයේ ආගම්වාදයේ උරුමය දරන පොහොට්ටුව ඇතුලෙන්ම විතරයි. මේ රට විශාල අගාධයක් කරා ගෙන යන්නට ලිංගිකත්වය යටපත් කිරීම හරහා දැවැන්ත මෙහෙවරක් ඉටු කළ පොහොට්ටුවේ ප්‍රගතිශීලී කොටස් මෙබඳු සංස්කෘතික වෙනස්කම් වෙනුවෙන් පෙරමුණ ගැනීම වැදගත් කාරණයක්. හුදු හොරකම් ඇල්ලීමේ උමතුවෙන් ලුහුබැඳීම පසෙක ලා සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලැබී ඇති අවස්ථාව පාවිච්චියට ගැනීමයි ප්‍රඥාවන්ත වෙන්නෙ.

    පවතින දණ්ඩ නීති සංග්‍රහයේ 360 කොටස අනුව ඕනෑම පිරිමියෙක් ගැහැණියක් සහ සතෙක් සමග සොබාදහමට එරෙහි ලිංගික එක්වීමක් පැවැත්වීම දඩුවම් ලැබිය හැකි වරදක් වෙනවා. මේ අනුව මුඛ සංසර්ගයක් වුවත් සිරගත වීමට හේතුවක් වෙන්න පුළුවන්. 365ඒ වගන්තිය අනුව පුද්ගලයන් දෙදෙනෙක් අතර අසභ්‍ය හැසිරීමක් දඩුවම් ලැබිය හැකි වරදක් වෙනවා. රාජ්‍යය විසින් පුද්ගලයන්ගේ නිදන කාමර තුලට එබී බලන මෙවන් විකාරසහගත නීති වෙනස් විය යුතු බව මේ සියවසේ ජීවත්වෙන ඕනම කෙනෙක් පිළිගන්න කාරණයක්. ප්‍රමාද වී හෝ ඒ සඳහා ක්‍රියාත්මක වීම අගය කළ යුතු කාරණයක්.

  • Dali ගේ Sex

    Dali ගේ Sex

    සැල්වඩෝ ඩාලි කියන්නෙ ලෝකෙ මෙතෙක් බිහිවුණු එක්සෙන්ට්‍රික්ම ආර්ටිස්ට් වෙන්න පුළුවන්. සරියලිසම් කියපු ගමන් මතක් වෙන්නෙ ඩාලි. එයාගෙ චිත්‍ර විතරක් නෙමෙයි එයාමත් සරියලිස්ට් එක්ස්ප්‍රෙෂන් එකක්.

    ‘මං තමයි සරියලිසම්’ කියලත් ඩාලි වෙලාවකට කියනවා.

    ඩාලිගේ චිත්‍ර ගොඩක් නිර්මාණය වුනේ සෙක්ස් කියන තේමාව ඇතුලෙ. සිහිනය, උපවිඥානය, අතාර්කිකත්වය ආදී කලාප හරහා ඩාලිගේ චිත්‍ර සෙක්ස් හොයාගෙන ගියා. ග්‍රේට් මාස්ටර්බේටර්, ස්පෙක්ටර් ඔෆ් සෙක්ස් ඇපීල්, හිට්ලර් මාස්ටර්බේටින් වගේ චිත්‍රවලින් අපිට තේරුම් ගන්න පුළුවන් ඩාලිට සෙක්ස් එක්ක තිබුණු අමුතු විදිහෙ ගනුදෙනුව.

    මිනිස්සු ගොඩක් ඩාලිගේ සෙක්ස් ජීවිතය ගැන කතා කරනවා. ඩාලි කියන්නෙ ලිබර්ටීන් කෙනෙක්. ඒ කියන්නෙ සදාචාර සීමා ගැන තුට්ටුවකටවත් නොහිතා තමන්ගේ ඉන්ද්‍රිය ආස්වාදය සොයාගෙන යන කෙනෙක්. ඒ වගේම එයා වොයර් කෙනෙක්. අනුන් ලිංගික ක්‍රියාවේ යෙදෙනවා බලන් ඉඳලා සතුටු වෙන කෙනෙක්. සේඩිස්ට් හෙවත් පරපීඩාකාමියෙක්. ගොඩක් අය කියනවා මේ දේවල් ඩාලිගෙ ළමා කාලයේ අත්දැකීම් එක්ක සම්බන්ධයි කියල.

    ඩාලිගේ වැඩිමල් සහෝදරයා, එයාගෙ නමත් සැල්වඩෝර්, පොඩි කාලෙම මැරෙනවා. ඩාලි ඉපදුනාම තාත්තා විශ්වාස කරන්නෙ මේ ඉපදුනෙ අර මැරුනු සහෝදරයාමයි කියල. සැල්වඩෝර් කියන නම පවා ඩාලිට වැටෙන්නෙ එහෙමයි. මේ හින්ද ඩාලිට සිද්ද වෙනවා තමන් නොවී තමන්ගේ මැරුණු සහෝදරයා හැටියට පවතින්න. තාත්තාගේ විශ්වාසය ජීවත් කරවන්න. මේක ඩාලිගේ පෞර්ෂයට දැඩිව බලපානවා.

    ‘අපි හරියටම වතුර බිංදු දෙකක් වගේ එකිනෙකාට සමානකම් දැරුවා. ඒ ඒ වතුර බිංදු මත වෙනස් පරාවර්තන වැටිලා තිබුනා’ ඩාලි

    ඒ වගේම බොහොම කන්සවටිව් චරිතයක් වුනු තාත්තා ඩාලිට සෙක්ස් ගැන ඇති කලේ වරදකාරී හැගීමක්. ඒ වගේම පිළිකුල් පහත් දෙයක් කියන තේරුම් ගැනීමක්. ලිංගික අධ්‍යාපනය කියල ඩාලිගේ තාත්තා එයාට විවිධ ලිංගික රෝගාබාධ වැළදුනු ඉන්ද්‍රියයන්ගේ රූප බලන්න බලකළා. ඒ වගේම මියගිය, කුණුවුනු ශරීර කොටස් වල රූපත් නිතර පෙන්නුවා. මේ ළමා වියේ දැකපු රූපවල බලපෑම ඩාලිගේ චිත්‍රයෙන් චිත්‍රයට දකින්න පුළුවන්.

    විශේෂයෙන් ස්පෙක්ටර් ඔෆ් සෙක්ස් ඇපීල් චිත්‍රයේ ඩාලි තමන්ව අවුරුදු හතක පොඩි එකෙක් විදිහටත්, විශාල පියයුරු සහ තට්ටම් සහිත අමුතු ජීවියෙක් විදිහටත් අඳිනවා.

    ඒ වගේම ඩාලි කියනවා, ‘මං එක වෙලාවක ගලා (එයාගෙ පෙම්වතිය) එක්ක සෙක්ස් කරන්න උත්සාහ කළා. ඒත් ඒක තනිකරම අතිශෝක්තියට නගපු ක්‍රියාවක්’ කියල.
    ඩාලිට සෙක්ස් ගැන තිබුනු ප්‍රතික්ෂේපය ඉතා විශාලයි. මේ අතෘප්තිය පිරිමහ ගන්න ඩාලි කලේ එයා විසින් තෝරාගන්නා අය එක්ක ගලා ට ලිංගිකව හැසිරෙන්න කියල එය නැරඹීමයි.

    ඩාලිට ස්වයං වින්දනය ගැන තිබුනෙත් වෙනස් එළඹුමක්.
    කාර්ලොස් ලොසානො කියන ඩාලි එක්කම වැඩ කරපු කෙනා ඩාලි ගැන කියන්නෙ, එයා නැරඹුම්කාමියෙක්, ස්වයංවින්දනකාමියෙක් සහ විපරීතයෙක් කියලයි. ඩාලිට මාස්ටර්බේට් කිරීමේ දැඩි ඇබ්බැහියක් තිබුන. ඒක ළමා කාලයේ පීඩාව එක්ක සම්බන්ධයි කියල විශ්වාස කරනවා.

    ඩාලි ඉස්කෝලෙ යනකාලෙ එයාගෙ ශිෂ්නය අනිත් අයට වඩා කුඩා කියල දකිනවා. ඒ නිසාම එයා තුල ඇතිවෙනවා හැගීමක් එයා ලිංගිකව බෙලහීනයි කියල. ඒ හින්දම වැඩිපුර ස්වයං වින්දනයට නැඹුරු වෙන ඩාලිගේ ද ග්‍රේට් මාස්ටර්බේටර් වගේ චිත්‍රයක් පෙන්නන්නෙ මේ ඇබ්බැහියයි.

    ඩාලිගේ තාත්තාට ඩාලිගෙන් උදුරගන්න බැරි වුනු එකම දේ ස්වයං ගවේෂණයට ඩාලි තුල ඇති හැකියාවයි.

    ෆ්‍රෙඩ්රිකෝ ගාර්ෂියා ලෝකා එක්කත් ඩාලිගේ සම්බන්ධයක් තිබුන. ඒක නිකංම කලාත්මක අදහස් හුවමාරු කරගැනීමක් නෙමෙයි. ඒ දෙන්නා අතර ආදර හසුන් හුවමාරු වුනා.
    ‘ඔබ කිතුනු කුණාටුවක් වන අතර මගේ මිත්‍යාදෘෂ්ටියේ අල්පමාත්‍රයක් හෝ ඔබට අවශ්‍යය. මම ඔබව රැගෙන ගොස් මුහුදු අසබඩ ඔසුවලින් සුවපත් කරන්නම්. මේ ශීත ඍතුව නිසා ගිනිමැලයක් දල්වන්නම්. අපි ශීතලෙන් වෙව්ලාවි. ඔබ නිර්මාණකරුවෙක් බවත් විචිත්‍ර වූ දෙයින් පිරී ඇති බවත් ඔබට සිහිපත් වේවි. අපි එකට එහි ජීවත් වේවි…’’
    ඩාලි විසින් ලෝකාට ලියනවා.

    අවාසනාවට ඩාලිගේ මේ ප්‍රේමය ට්‍රැජඩියක්. ඉයන් ගිබ්සන් කියන ඩාලිගේ චරිතාපදානය ලියන අය කියන විදිහට ඩාලිට තමන්ගේ සමලිංගික පැවැත්ම දැඩි අර්බුදයක් වගේ දැනුනා. තමන්ව පිරිමිකම අඩු කෙනෙක් විදිහට දකීවි කියල එයා බය වුනා.

    ඩාලිගේ ලිංගික තේමා රැගත් චිත්‍ර බොහෝ විට ඔහුගේ ළමාකාලයේ ඛේදය සමග සමපාත වෙනවා. ඒ හැරුනු විට වෙනත් තේමාවන්ගෙනුත් ඩාලි චිත්‍ර ඇඳලා තියෙනවා. ඩාලි හරිම නාසිසිස්ටික් ඒ කියන්නෙ තමන්ම මාරයි කියන හැගීමෙන් පෙලුන කෙනෙක්. ඒ නිසාම ඩාලිගේ මමත්වය විශාල එකක් වුනා.

    හැබැයි ඩාලිගේ චිත්‍රයක් බලන හැම කෙනෙක්වම ඒ චිත්‍රය විසින් යම් ආකාරයකින් වෙනස් කරනවා. ඒ චිත්‍ර පහුකරලා යන්නෙ බලන්න ආපු මනුස්සයා නෙමෙයි. ඒ තරමට ඒවා විසින් අපේ උපවිඥානය කිතිකවනවා.

  • ජූලි මාසෙ දවසක් අගෝස්තු මාසෙ දවසක

    ජූලි මාසෙ දවසක් අගෝස්තු මාසෙ දවසක

    මෑතක තරුණ හාමුදුරු කෙනෙක් තවත් තරුණ කෙල්ලක් එක්ක රේල්පාරක් ළගදි අල්ලගත්ත සංස්කෘතික මැරයන් පිරිසකගේ වීඩියෝවක් ෂෙයාර් වුනා. මේ රහසේ පෙම්කරන්නට පැමිනි යුවලක් හැටියෙන් බාරගනිමින්, මේ දෙන්නාට අපහාස උපහාස කරමින් ප්‍රසිද්ධියේ ඇඳුම් පිටින් දූෂනය කිරීමක් ඒ වීඩියෝවෙ තිබුන.

    ඊට පස්සෙ මේ දෙන්නා එක්කුස උපන් අයියා නංගී දෙන්නෙක් බවත් පිළිකා රෝගයකින් පෙලෙන තමන්ගේ මව බලන්නට යන ගමනක් බවත් පොලිසියෙන් වාර්තා කරන බවට තව ප්‍රවෘත්තියක් පළවුනා. මේ වයිරල් කතා දෙකෙන් මොකක් ඇත්තද මොකක් බොරුද කියල හිතාගන්න බෑ. ඇත්තටම ඒක වැදගත් දේකුත් නෙමෙයි.

    හැබැයි අපි මොහොතකට අයියා නංගී ප්‍රවෘත්තිය ඇත්ත කියල හිතමු.

    එතකොට අර පිරිසත්, ඒක ෆේස්බුක් එකේ ෂෙයාර් කරමින් සාසනය බේරගන්න සටනට බට පිරිසත් කරමින් ඉඳලා තියෙන්නෙ මොකක්ද? ඒ අයගෙ ඔලුව ඇතුලෙ තියෙන ලිංගික අවුලක් පිටත දෙන්නෙක් මත පටවා ඊට ප්‍රතිවිරුද්ධව සංස්කෘතිය රැකීමේ අර්ධයෙහි තමන්ම පෙනී සිට ස්වයං වින්දනයක් ලැබීම නෙමෙයිද? මේක සිද්ද වෙන්නෙ අපේ සංස්කෘතියෙ තියෙන සෙක්ෂුවල් සප්‍රෙෂන් එක නිසා. ඒ කියන්නෙ සංස්කෘතිකව කරන බරපතල ලිංගික යටපත් කිරීමක් නිසා.

    අපිට හැමදේකම නිෂ්ටාව හැටියට ලිංගික කාරණය පේන්න පටන් ගන්නවා. කොච්චර ගියත් හැප්පෙන්නෙ ලිංගික තාප්පෙමයි. ඒ තමන් තුල පවතින අවුල යටපත් කරන්න ජාතිය, ආගම, සංස්කෘතිය රැකීම ඉස්සරහට එනවා. ජාතිවාදය ආගම්වාදය ප්‍රචන්ඩත්වය එනවා.

    මේ ලිංගික අවුලෙන් එහාට යන්න නම් අපිට ඒ ලිංගික අවුල ඉක්මවා යන්න සිද්ද වෙනවා. ඒ කියන්නෙ සෙක්ස් කියන දේ බොහොම සාමාන්‍ය දෙයක් වෙන එක. ඊට ඔබ්බෙන් පවතින මිනිස් සම්බන්ධතා වඩා වැදගත් වෙන එක. ඒ කියන්නෙ අපි ලිංගිකව තෘප්තිමත් ජාතියක් වෙන එක.

    රාජිත දිසානායක‍ගේ ජූලි මාසෙ දවසක් මං කියවන්නෙ මෙන්න මේ කවුළුවෙන්. අපි විසින් අනෙකා මතට අපේ ලිංගික අවුල දමා ගැසීම කියන එළඹුමෙන්. ඒ හරහා අනෙකාගේ ජීවිතය, හැගීම් දැනීම් සියල්ල අපචාරයකට, වල්කමකට ලඝු කිරීමේ ඛේදවාචකය කියන තැනින්.

    රාජිත දිසානායකගෙ ජුලි මා‍සෙ දවසක් අගෝස්තු මාසෙ දවසක වෙන්ඩ්ට් එකේ පෙන්නුවා. මේ වගේ කාලෙක වේදිකා නාට්‍යයක් පෙන්නනවා කියන්නෙ හොඳම පරිප්පුවක්. එක පැත්තකින් තියෙන අර්බුද මැද රිහර්සල් කරලා අනංමනං කරලා මේක පෙන්නන්න විඳින්න වෙන කරදර ගොඩ. අනිත් පැත්තෙන් මෙහෙම මුස්පේන්තු කාලෙක එහෙම රසයක් බෙදාගන්න තරම් ඉමෝෂනල් ස්පේස් එකක් නැති එක. හැමෝම ඉන්නෙ උවමනාවටත් වඩා පොලිටිසයිස් වෙලා. නාට්‍ය රසිකත්වයක් තිබුනු බහුතරයක් මේ වෙද්දි රට බේරාගැනීමේ වීරත්වයක. ඉස්සර බයියන්ට තිබුණු දේශානුරාගය දැන් වම්මුන්ට සහ ටොයියන්ට බෝවෙලා තියෙනවා.

    මේ ඔක්කොම මැද රාජිත දිසානායකගේ කියන්නෙ අමුතු රොමාන්තික, නොස්තැල්ජික රසයක් මුසුවුනු දේශපාලන සමාජ ප්‍රකාශන වියන්නෙක්. පිටස්තරයෙක්.

    ජූලි මාසෙ දවසක් කරලා තියෙන්නෙ පාස්කු බෝම්බෙ කම්පනය උඩ. රට පු‍රා ඇතිවුනු හිජාබ් නිකාබ් භීතිකාවත් එක්ක. ඒ භීතිකාව යට නලියන අපේ කැත ජාතික මනුස්සකම් ගැන.

    කතාව පටන් ගන්නෙ තමන්ගේ අතීත සරසවි පෙම්වතියක් මුනගැහෙන්න මිතුරෙකුගේ හිස්වන නිවසක් ඉල්ලා ගන්නා විවාහක සැමියෙකුගෙන්. මේ අතීත පෙම්වතිය තමන් ජීවත් වෙන මහල් නිවාස සංකීර්ණයට ඇතුල්වෙද්දි කවුරුන් හෝ අදුරාගනීවි යැයි බයෙන් ඇයට හිස වසා ෂෝල් එකක් දමා පැමිනෙන්නැයි මේ අතීත පෙම්වතා කියනවා.

    එක්තරා විදිහකට මේ පෙම්වතාට මේක රහසිගත ශෘංගාරාත්මක මුනගැසීමක්. නමුත් ඒ දෙන්නා අතර එම අතීතය මිස කිසිම වර්තමාන ප්‍රේමයක් නැතිවගත් අපිට පසක් වෙනවා. තරුණියට මේ මුනගැසීම අනුරාගයක් හෝ ප්‍රේමයක් වෙනුවට තමන්ගේ ජීවිතයේ යම්කිසි ප්‍රශ්නයක්, තමන්ගේ හුදකලාවක් අසා සිටීවි යැයි හැගෙන හඳුනන මනුස්ස මුනගැසීමක් .

    ඒත් අපි ප්‍රේක්ෂකයා විදිහට මේ මුනගැසීම අපේ වනචර ආශාවන්ටම නතු කරනවා. හරියටම අර රේල්පාරෙ චන්ඩි පිරිමි ටික වගේ. දෙබසින් මොනවා ඇහුනත් විවාහක පිරිමියෙක් සහ වෙනත් තරුණියක් හුදකලා නවාතැනක රහසිගත හමුවක් කියන සංදර්භය අපිව වල්- මත් කරනවා.

    මේ හිස වසා ඇතුල්වීම සීසීටීවී සැකයට කාරණාවක් වෙනවා. මුලු නිවාස සංකීර්ණය පුරාම භීතිකාවක් පැතිරෙනවා. බෝම්බකාරියක් ඇතුල්වුනු වගට කතාවක් ඇවිලෙනවා. හමුදාවෙන් නිවාස පරීක්ෂාවට ලක්කරනවා. මේ අතර විවාහක සැමියාට කලබල මැද තමන්ගේ පවුල නිවන්න වහාම ගෙදර යන්න සිද්ද වෙනවා.

    රාජිතගේ නාට්‍යවල නිතරම සියුම් උපහාසයට බඳුන්වන තැනක් තමයි සාම්ප්‍රදායික පවුල් ජීවිතය. මේ පවුල් ස්වභාවයෙන්ම ලිංගිකව අව‍රෝධිතයි. ඒ කියන්නෙ දරුවන්, ආර්තිකය ආදී බාහිර සමාජ ප්‍රශ්න වලින් ගැටගහගන්නවා මිස මේ ගැහැණු-පිරිමි සම්බන්ධය ඉන්ටිමේට නෑ. ඒ ඉන්ටිමසි එක නිතර පිවිසෙන්නෙ බාහිරින්, තුන්වැන්නෙක් හරහා. මේ අවරෝධිත පවුල් පවුල් අතර සම්බන්ධතාවයනුත් ඒවාට ආවේනික ඉරිසියා කුහකකම් සහ මෝඩකම් අතර ව්‍යාජයක්. එය කිසිවෙක් තව කෙනෙකුගේ ජීවිතය, කාලය බෙදා ගැනීමක් නෙමෙයි. සමාජයක් විදිහට ඒක ඇතුලෙ එකිනෙකා තනියි. ඒ තනිකම මකන්නෙ, ඔවුන්ව සම්බන්ද කරන්නෙ ජාතිය, ආගම, දේශපාලනය වගේ දෙයක්.

    මේ අතර අලුත් චරිතයක් වේදිකාවට එනවා. ඒ තමයි ඔස්ට්‍රේලියාවෙ ඉඳන් එන වීර වීරෙ. මේ ඔස්ට්‍රේලියාව වගේ රටවල ජීවත්වෙන ලංකාවෙ මිනිස්සුන්ට මෙහේ ඇත්තට ජීවත් වෙන උන්ට වඩා ඉස්මුරුත්තාවෙ යන ජාතිකාලයක්, ආගමික උමතුවක්, සමහර විට ඉතිහාස රුදාවක් සමග ඇති වග සමාජ මාධ්‍යවල ගැවසෙන ඕන කෙනෙක් දන්න ඇත්තක්. මේක අපේ පෞරානික ජාතිය ගොඩනැගීමේ සිට සියලු ප්‍රශ්න විසඳන විප්ලවයක්, අරගලයක් දක්වා පරාසයක තියෙන්න පුළුවන්. ලංකාවෙ බොහොමයක් උන් මේ හැගීම් අපේ ඩයස්පෝරාවට විකුණලා ජීවත් වෙනවා.

    තමන් දියුණු රටක දියුණු සංස්කෘතියක ජීවත් වෙන අතරෙ ලංකාව අතීත සංස්කෘතියක පවත්වාගෙන යාමේ අමුතු නොස්තැල්ජික ආශාවකින් මේ බොහොමයක් දෙනා පෙලෙනවා.

    වීර වීරෙ එන්නෙ මේ ජාතික කැක්කුමත් එක්ක. මුස්ලිම් උන් කුමන්ත්‍රණය කරමින් අපේ ජාතිය නසන වගට සාක්ෂි රහිතව පසක් කරගත් දැනුමක් ඇතුව. මේ අතර නිවාස සංකීර්ණයේ වතුර ප්‍රශ්නෙකුත් තියෙනවා. බීමට ගත නොහැකි ටැප් වතුර වෙනුවට බෝතල් වතුර ප්‍රවර්ධනය වෙනවා. අපේ කතා නායකයා නොමිලේ වතුර ලබාගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නවා. වීරෙ කියන්නෙ නොමිලේ වතුර ලබාගැනීමේ සටන පිටිපස්සෙ තියෙන්නෙ මුස්ලිම් කුමන්ත්‍රණයක් කියල. බොන්න වතුර නැති ජනතා ප්‍රශ්නය ව්‍යාපාරයක් බවටත් ඒ උවමනාව ජාතිය රැකගැනීමේ ව්‍යාපෘතියක් බවටත් පරිවර්තනය වෙනවා. වතුරෙ ජාතිය දිය වෙනවා. මුස්ලිම් කුමන්ත්‍රණයට එරෙහිව ජනතාව සිංහල බෝතල් වතුර බොනවා.

    තමන්ගේ ජාතිය වනසන අන්තවාදය තමන් තුල පවා තමන්ට නොදැනී පවතින්න පුළුවන් කියන එකයි වීර වීරෙ ඉගැන්වීම. ජීවිතයේ ලිංගික අර්ධය නැතහොත් ඉන්ටිමසිය අහිමි ජනතාව ජාතිය ආගම රැකීම වෙනුවෙන් තමන්ටම පවා එරෙහි වෙනවා. අනෙකාව පමණක් නෙමෙයි තමන්වමත් සැක කරන්න පටන් ගන්නවා.

    ජාතිවාදය සහ සෙක්ස් අතර පවතින සම්බන්ධය හරිම ආකර්ශනීය දෙයක්. ජාතිවාදය විසින් අනෙකා බැහැර කිරීම යෝජනා කරන අතර සෙක්ස් විසින් අනෙකාව වැළඳගැනීම යෝජනා කරනවා. ජාතිවාදය ප්‍රචන්ඩත්වය යෝජනා කරද්දි සෙක්ස් ආදරය යෝජනා කරනවා.

    මේ සියලු කලබල මැද බටයක් දිගේ බිමට බැස පලායන්න ගිහින් අර තරුණිය ඇදන් වැටිලා මැරෙනවා. ඇය මේ විදිහට පලා යන්නෙ අපවාදයෙන් ගැලවෙන්න. පවුල් පුපුරා යාම වළක්වන්න. ලිංගිකව අවරෝධිත සමාජයකට කිසිවිටක පැහැදිලි කළ නොහැකි සෙක්ස්වලින් එපිට මිනිස් සම්බන්ධතාවය අදෘෂ්‍යමාන කරන්න. ඇද වැටී මැරෙන ඇය නිකම්ම බෝම්බකාරියක් වෙනවා. ඇගේ මිතුරියන් පවා ඇයව සැක කරනවා.

    ඇය එහි පැමිනි කාරණය දන්නා එකම චරිතය අපේ කතා නායකයා ජාතික ආරක්ෂාව හමුවේ නිහඩ බවට පත් කරනවා. එක පැත්තකින් ජාතික ආරක්ෂාව අනෙක් පැත්තෙන් පවුලේ ආරක්ෂාව. අවසාන වශයෙන් මේ දෙකම එකක්.

    ඇත්ත ප්‍රකාශ කරමින් ඇගේ නිර්දෝෂී බව වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට ඔහුට සිද්ද වෙනවා ඇයව මුනගැසීමට යාමේ පුවත වසන් කරන්න. විවාහයෙන් පිට දෙන්නෙකු අතර හුදකලා අවකාශයක පැවතිය හැකි එකම සම්බන්ධතාවය රාගික ශාරීරික එකක් වීමේ සාපය නිසා, අසන්නාගේ/නරඹන්නාගේ වල්කම නිසා ඇගේ මරණය වෙනුවෙන් පෙනී සිටින්නෙක් නැති වෙනවා.

    පාපයක් නොකළ තැනැත්තෙක් වේ නම් පළමු ගල ගසන්නැයි කියන්න කෙනෙක් නැති වෙනවා. වැදගත්ම දේ වෙන්නෙ මේ වෙද්දි ප්‍රේක්ෂකයාත් ඒ වනචර කියවීමේම කොටස්කරුවෙක් වී තිබීම. ඒ අපරාධයට අපිත් හවුල්.

    මේ රහස වහන්න ඉදිරිපත් වෙන්නෙ ජාතිවාදයයි. මිනිස් ආදරය අපරාධයක් වූ තැනක ඒ අපරාධය වහන්න අපේ එකෙක් සංකල්පය පෙරට එනවා. ඒ රංචුවාදයට එරෙහි වූ තනි පුද්ගලයා යටපත් කරනවා.

    රට ජාතිය ආගම ගැන කැක්කුමෙන් පෙලෙන වීරෙට රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධ පාර්ශ්ව එක්ක සමීප සබඳතා තියෙනවා. යම් කෙනෙක් බෝම්බකාරියක් කරන්නත් අහිංසකාවියක් කරන්නත් ජාතිවාදියාට බලය තියෙනවා. පුද්ගලික ජීවිතේ අරින්න බැරි ෆයිල් එකක් තියෙන හැම කෙනෙකුටම ප්‍රසිද්ධ ජීවිතේ ජාතිවාදය වෙනුවෙන් අකමැත්තෙන් වුනත් පෙනී ඉන්න සිද්ද වෙනවා. අපේ කතා නායකයාගේ නොමිලේ වතුර සටන එතනින් ඉවර වෙනවා.

    මේ සියල්ලෙන් සිද්ද වෙන්නෙ සුන්දර මිනිස් සම්බන්ධතාවයක් කැත රංචු බලයක් වෙනුවෙන් යටපත් කිරීම. ඇත්ත කාරණය තමයි අර තරුණියට අපි නොදන්නා ඇගේ කතාව අහන් ඉන්න කෙනෙක් නැති වීම. ඇගේ මිතුරියන් පවා තමන්ගේ කාලයෙන් අවධානයෙන් කොටසක් මේ මිතුරියට දෙන්න තරම් පොහොසත් නොවීම. අපේ මිනිස් සම්බන්ධතා ඒ තරම් වියළි වීම. අ‍පේ කතා නායකයා පවා ඇය මුනගැසෙන්නෙ අතීත ප්‍රේමය සමග යම් ශෘංගාර අරමුණක් ඇතුව මිස ඇයව අසා සිටීමට නෙමෙයි. අසා සිටීමට කිසිවෙක් නැති ඇය අන්තිමට බෝම්බකාරියක් හැටියට මිය යනවා. ඇය මිනිස් බෝම්බයක් බවට අපි විසින් නිර්මාණය කරනවා.

    මේ අතර මේ කාලෙ නිතර කතාවෙන රෝන්ග් ජෙනරේෂන් එකත් රාජිත වේදිකාවට ගේනවා. ඒ කියන්නෙ දෙදාහෙන් පස්සෙ ඉපදුන පරපුර. මේ අය ර‍ට ගැන හරිම ඇක්ටිව්. නමුත් ජීවිතයම පවතින්නෙ ස්මාර්ට් ෆෝන් එක ඇතුලෙ. ඒ අය ජීවත් වෙන්නෙම හැගීම් දැනීම් ඇති මිනිස් සම්බන්ධතා ලෝකයක නෙමෙයි. බෙදීම වෛරය අසහනය පතුරන සෝෂල් මීඩියා ලෝකෙක. ස්වභාවයෙන්ම මේ පරපුරට ආදරය ආගන්තුකයි.

    අවසානය ඉතාම ප්‍රබලයි. අපේ කතා නායකයා බෝතල් කළ වතුර වීදුරුවක් අතින් අරන් වේදිකාවේ ඉස්සරහට එනවා. අපි පුරුදු විදිහට අපිව නිවන පාපොච්චාරණයක් බලාපොරොත්තු වෙනවා. නමුත් ඔහුට කියන්න කිසිවක් නෑ. ඔහු සදාතනිකව නිහඩයි. එහෙම කිව්වත් අහන්නත් කවුරුවත් නෑ. ආදරයේ මොහොත සම්පූර්ණයෙන් සැකයේ මොහොතට ගොදුරු වෙලා ඉවරයි.

    ජාතිවාදයේ ගොදුර වෙන්නෙ මනුස්ස සම්බන්ධතාවන්. අපි අතර ඇති සියුම් ආදර, මානවීය, අපැහැදිලි, ඉරිගසා නම් කර නැති සියලු සම්බන්ධතා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවා. ඒ සියලු සම්බන්ධතා කුමන්ත්‍රණ වෙනවා.

    රාජිතගේ හැම නාට්‍යයක්ම සංගීතය, දෙබස් සහ ඊටම සරිලන මූඩ් එකක් ස්ථාවරව පවත්වාගෙන යන ආස්වාද කලාපයක්. ඒ පොරොන්දු රසය ලබාදීම කිසිම වෙලාවක රාජිත මගහරින්නෙ නෑ. ඒ නිසාම නාට්‍යය අවසානයේදී අපිට දැනෙන්නෙ දුකමුසු නමුත් පරිපූර්ණ මිනිස් හැගීමක්. කොයිතරම් බාධක ආවත් තමන්ගේ කලාව අවිච්චින්නව අඩුවකින් තොරව පවත්වාගෙන යාම වෙනුවෙන් රාජිත ගැන මට තියෙන්නෙ ආදරයක්.

  • ගණිකා වෘත්තිය නීතිගත කරන්න

    ගණිකා වෘත්තිය නීතිගත කරන්න

    ආර්තික අර්බුදය හින්දා ලංකාවෙ කාන්තාවන්ට වි‍ශේෂ වූ ප්‍රශ්න ඇතිවෙනවා. ඒ අයගෙ රැකියා නැති වෙනවා. මෙහෙම රැකියා නැතිවෙන බොහොමයක් පිරිස් ගණිකා වෘත්තියට එකතු වෙමින් පවතිනවා කියලා ඒඑන්අයි පුවත් සේවය වාර්තා කරනවා.

    කාන්තාවන්ගේ රැකියා අහිමිවීම නිසා ඒ අයගෙ පවුල්වල දුෂ්කරතා මතුවෙනවා. මේ හේතුවෙන් දිවිනසා ගන්නා අය ගැන පවා පුවත් වාර්තා වෙනවා. නමුත් ඊට වඩා ධෛර්යය සම්පන්න කාන්තාවන් තමන්ගේ ජීවිතයේ දැවැන්තම අභියෝගයක් බාරඅරගෙන, තමන්ට ප්‍රමාණවත් මුදලක් උපයාගත හැකි එකම මාධ්‍යය විදිහට විවෘත වෙලා තියෙන ලිංගික ශ්‍රමික කලාපයට ඇතුප්වෙනවා.

    ANI පුවත්සේවය වාර්තා කරන විදිහට මේ නිසා රටේ ගණිකා නිවාස වැඩිවීමක් සිදුවෙමින් පවතිනවා. පහුගිය මාස කීපයේ පමණක් ගණිකා වෘත්තියේ 30%ක පමණ වර්ධනයක් පෙන්වනවා. ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතීන් වෙනුවෙන් වැඩකරන සංවිධානයක් වන ස්ටෑන්ඩ්අප් මූව්මන්ට් ලංකා පෙන්වා දෙන විදිහට මේ කාන්තාවන් බොහොමයක් මේ රැකියාවට යොමුවෙන්නෙ තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාමේ දුෂ්කරතා නිසයි. මේ කාන්තාවන් තමයි බොහොමයක් පවුල්වල උපයන්නා වෙන්නෙ. සමහරුන්‍ දරුවන් එක්ක දික්කසාදව ජීවත් වෙන අය. තවත් සමහරුන්ගේ සැමියන් කිසිදු ඉපැයීමක් කරන්නෙ නෑ. සමහරු ජීවත් වෙන්නෙ මහළු දෙමව්පියන් සමග. මේ තමයි ඒ අයට තමන්ගෙ පවුල ජීවත් කරවන්න ගන්න තිබුණු එකම මාර්ගය.

    විශේෂයෙන්ම ඇගළුම් ක්ෂේත්‍රයේ විශාල වශයෙන් රැකියා අහිමි වීමක් සිදු වෙනවා. මෙහෙම රැකියා අහිමි වෙන බොහොමයක් දෙනා ගණිකා වෘත්තියට යොමුවන නැඹුරුවක් පේන්න තියෙනවා. ගොඩක් අයට සිද්ද වෙන්නෙ ස්පාවල රැකියා හොයාගන්න.

    සැ.යු- ගණිකාව යන වචනය අප පාවිච්චි කරන්නේ සිතාමතාමය. එය ඉන්දියාවේ ගණිකා යන ප්‍රභූමය, ගෞරවනීය වෘත්තිය සම්බන්ධ සැබෑ අර්ථය නැවත අත්පත් කරගත යුතු බවට අපි විශ්වාස කරනවා.

    රෙහානා කියන අවුරුදු 21ක තරුණියකගේ ප්‍රකාශය අනුව මාස 07ට කලින් එයාගෙ ඇගළුම් රැකියාව නැති වීම නිසා පවුලට ආදායමක් නැති වෙනවා. එයාට ස්පා හිමිකරුවෙක් ලිංගික ශ්‍රමිකයෙක් විදිහට රැකියාව කරන්න කතා කරනවා. මුලින් ප්‍රතික්ෂේප කළත් ඒ තිබුණු ආර්තික තත්වය නිසාම එයාට සිද්ද වෙනවා මේ රැකියාවට එන්න.

    අවුරුදු 42ක රෝසි කියන කතාව අනුව ඇය අවුරුදු 07ක දරුවෙකුගේ මවක්. දික්කසාද වෙලා ජීවත් වෙන්නෙ. තමන්ගේ දරුවා‍ගෙ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නවත් ඇයට ලැබෙන ආදායම මදි වෙනවා. ඇය මෙතෙක් කරගෙන ගිය පොඩි කඩේ මේ ආර්තික අර්බුදයත් එක්ක පවත්වාගෙන යන්න අමාරු තත්වයක් එනවා. මේ හින්ද ඇයට සිද්ද වෙනවා ලිංගික ශ්‍රමිකයෙක් විදිහට සේවය කරන්න.

    ඇත්තම තත්වය නම් රුපියල් 15000-20000ක් පමණ මුදලක් මාසයකට උපයපු කාන්තාවකට පුළුවන්කම ලැබෙනවා ලිංගික ශ්‍රමිකයෙක් විදිහට දවසකට එබඳු මුදලක් උපයාගන්න. ඒක ආකර්ශනීය තත්වයක්.

    ස්ටෑන්ඩ්අප් මූව්මන්ට් ප්‍රකාශ කරන ආකාරයට මේ ආර්ථික අර්බුදය හමුවේ බොහොමයක් කාන්තාවන්ගේ සැමියන් ඔවුන් හැර ගොස් තිබෙනවා. මේ නිසා ජීවත් වෙන මාර්ගයක් නැතිකමෙනුත් ලිංගික ශ්‍රමිකයන් විදිහට වැඩ කරන අය ඉන්නවා. මේ අය උපත් පාලන ක්‍රමයන් ගැන නොදැනුවත් සහ නොසැලකිලිමත් බව නිසා ගැබ් ගැනීම් සිද්ද වෙනවා. මේ වෙද්දි ඉහත ආයතනය විසින් එවන් ගැබ්ගැනීම් සිදුවුනු කාන්තාවන් දෙදෙනෙක් රැකබලාගන්නවා. රජයෙන් කිසිම සහායක් මෙවැනි ගැහැණුන් වෙනුවෙන් ලැබෙන්නෙ නැහැ.

    ශ්‍රී ලංකා සෙක්ස් පක්ෂය හැටියට අප යෝජනා කරන්නෙ මේ පවතින ආර්ථික අර්බුදය ගැන සබුද්ධිකභාවයකින් රජයට ලිංගික ශ්‍රමික වෘත්තිය අපරාධහරණය කරන ලෙසයි. එය අභියෝගාත්මක තීරණයක් බව ඇත්ත. නමුත් මානුෂිකබව සියල්ලට ඉහළින් සැලකූ රජයක සානුකම්පික තීරණයක් හැටියට යම් දවසක අගය කරනු ඇත.

    මෙවන් ප්‍රවෘත්තියක් ලැබුනු විගස පොලිසි මගින් සිදුකරන ගණිකා නිවාස වැටලීම් සහ ඒවා මහා ප්‍රවෘත්ති වශයෙන් මීඩියාවල පළකිරීම වහාම නතර කරන්න පියවර ගන්න. අපට මේ කාන්තාවන්ගේ ආර්තිකය රැකබලාගත නොහැකි නම් අවම වශයෙන් ඔවුන් මුදලක් උපයන වෘත්තියේ ආරක්ෂාව වෙනුවෙන් වගකීම්සහගත වෙන්න. මේ අයට නීතිමය සහ සෞඛ්‍යමය රැකවරණ සැලසීමට අවකාශ ලබාදෙන්න.

    මේ අයට උපත් පාලනය සහ ලිංගික රෝගවලින් ආරක්ෂා වීම පිළිබඳ දැනුම ලබාදීමට ඉක්මන් පියවර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වගේම පෝලිම්වල, විවිධ අර්බුද මැද ජීවත් වෙන පිරිමින්ගේ ආතතිය පුපුරා යාමට නොදී සමනය කිරීමට මේ කාන්තාවන් විසින් කරන සමාජ සේවය පිළිගත යුතු වෙනවා.

    ගණිකා වෘත්තිය යනු අනෙක් කවර හෝ වෘත්තියක් තරමටම ගෞරවනීය වෘත්තියක් බව අපගේ පක්ෂයේ පිළිගැනීමයි. අනෙක් වෘත්තීන් හා සමානවම එයට වෘත්තීමය අයිතිවාසිකම් හිමිවිය යුතුය. එය කාන්තාවක් විසින් ස්වාධීනව, තමන්ගේ තීරණයෙන්, තමන්ගේ ශරීරයෙන් හා ශෘංගාරයෙන් මුදල් උපයන නිදහස් රැකියාවක් විය යුතුය. රජයන්ගේ වැරදි ප්‍රතිපත්ති නිසා බංකොලොත් වූ ආර්තිකයක ගැහැණුන් ජීවත් වීම වෙනුවෙන් කරන කර්මාන්තයකට අකුල් හෙලීමට තරම් අමානුෂික, ඊනියා සදාචාරාත්මක රජයක් බවට මේ නව රජය පත් නොවනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

    මෙයට, ශ්‍රී ලංකා සෙක්ස් පක්ෂය.

  • රනිල් සහ සාගල

    රනිල් සහ සාගල

    “ඔය විහාර මහා දේවි යෝජනා අකුලලා ගහගනිං රනිල් උඹේ… සොරි.. සාගලගේ….”

    තරිදු උඩුවරගෙදර කියන විවිධ ඇගයුම් ලත්, ඇත්තටම විශාල වශයෙන් මානව අයිතීන් සහ විශේෂයෙන්ම ලිංගික නිදහස සම්බන්ද තැන්වලදි පෙනී හිටපු මාධ්‍යවේදී මිතුරා පහුගිය දවසක මෙහෙම පෝස්ට් එකක් ෆේස්බුක් දානවා.

    මේ හා සමගාමීව තවත් ගොඩක් පෝස්ට් රනිල්ගේ සමරිසි ජීවිතය පිළිබඳ ගොසිප් මත පදනම්ව වැටෙනවා.

    “ගැහැනියක් පි‍රිමියෙක් හෝ පිරිමියෙක් ගැහැනියක් කරන්න බැරි තනතුර හදපු මාමාට ගෑනියෙක්වත් පිරිමියෙක්වත් නොවන තම බෑනාම එම තනතුරට පැමිනීම දෛවයේ සරදමකි”

    මේ හැමඑකක්ම පදනම් වෙන්නෙ රනිල්ගේ සමකාමී රුචිකත්වය ගැන ප්‍රවාද මත. මම එහෙම කියන්නෙ රනිල් විසින් විවෘතව තමන් සමරිසි කියල පිළිගෙන නැති නිසා. ලංකාවේ එලිපිට බය නැතුව එහෙම තමන්ගේ වෙනස් ලිංගිකත්වය බාරගත් දේශපාලකයා මංගල විතරයි.

    කෙනෙකුව දේශපාලනික වශයෙන් බිඳ වට්ටන්න බැරිම තැනකදි එල්ල කරන ග්‍රාම්‍ය චෝදනා විදිහට තමයි අපිට කෙනෙකුගේ ලිංගිකත්වය ගැන අපහාසාත්මක ප්‍රකාශ දකින්න ලැබෙන්නෙ. ඒ ලිංගික කාරණා දේශපාලනික හෝ සමාජීය වශයෙන් බලපානවා නම් ඒවා ප්‍රශ්න කරන ආකාරයක් තියෙනවා. නමුත් සමාජයේ මුල්බැසගත් පසුගාමී ලිංගික විරෝධයන් මත පදනම්ව කෙනෙකුව විවේචනය කිරීමේදී ඒ විවේචනය කරන්නා ගැන අපිට යම් කියවීමක් එනවා.

    මේ ගැන මම ප්‍රශ්න කරපු වෙලාවෙදි තරිඳුගෙ පිලිතුර වුනේ මේක.

    “මම ඕක කල්පනා කරල ලිව්වෙ. මම මෙතැන හාස්‍යයට ලක් කළේ සමලිංගිකත්වයම නෙවෙයි. නිශ්චිතව රනිල් කියන පුද්ගලයට තියෙන බව ප්‍රකට රිලේෂන්ෂිප් එකක්. අනෙක මගේ පෝස්ට් එකේ ඉලක්කය වුණේ ප්‍රොටෙස්ටර්ස්ලව ඉවත් කිරීමේ යෝජනාව.

    ලංකාවෙ ලිංගික ප්‍රජාවන්ගේ අයිතීන් මම පිළිගන්නවද? නැද්ද කියන එක මගේ භාවිතාව ඇතුළෙ තියෙන දෙයක්.
    රනිල්ගෙ සම්බන්ධතාවක් හාස්‍යයට යොදාගත්ත පළියට මගේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙ නැ.
    රනිල්ව. ඔබ ඊයෙද පෙරේදද කොහෙදෝ ඩේව් චැපෙල්ව උස්සල පෝස්ට් එකක් දැම්ම. මිනිහව ඇත්තටම ෆලෝ කරනවනම් ලිංගික ප්‍රජාවන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීම සහ හුදෙක් හාස්‍යයට යම් ලිංගික සම්බන්ධතාවක් පාවිච්චි කිරීම අතර වෙනස තේරෙන්න ඕනෙ. මම යෝජනා කරනව චැපල්ට අමතරව රිකී ජර්වේස් ෆලෝ කළොත් තවදුරටත් මේ අදහස අවබෝධ වේවි.

    මම ලිංගික ප්‍රජාවගේ අයිතීන් පිළිබඳ පෙනී සිටිනවා මිස woke කල්චර් එකේ ගිලිලා මනුස්සයෙක්ට ජෝක් එකක් කරගන්න බැරි සමාජයක් වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක් නෙවෙයි. මේ අදහස වෙනුවෙන් මම අනිද්දා පත්තරේ ලිපියකුත් ලීවා. චැපල් ගැන.”

    උපහාසය වෙනුවෙන් හෝ හාස්‍යය වෙනුවෙන් තමන් මේ ප්‍රකාශය සටහන් කළා කියලා තරිදු කියනවා නම් අපිට එතනින් එහා ප්‍රශ්න කිරීමක් නෑ. ඒක එයාගෙ ප්‍රකාශනයේ නිදහස. මේක එතනින් එහාට ගිහින් අපහාසාත්මක තැනකින් ශබ්ද වෙන නිසයි මගේ ප්‍රශ්න කිරීම පැන නගින්නෙ. ඒ හැරුනම මේ ප්‍රකාශයට සහයෝගය පළකරමින් පලවෙන තවත් සුවහසක් හෝමෝෆෝබික් කමෙන්ට්ස්,( ලොල්ලා, පොන්නයා ආදී වශයෙන්) මෙයින් යම් බලයක්, පැවැත්මක් ලබාගන්නා වගත් පැහැදිලියි. ඒ නිසා මේක එවන් ප්‍රකාශයක සදාචාරය ගැන ප්‍රශ්න කිරීමක්.

    ඩේව් චැපල් කියන්නෙ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින මං ඉතාම ගරු කරන ආර්ටිස්ට් කෙනෙක්. මෙතනදි තරිදු ඩේව් චැපල්ව උපුටා දක්වනවා. නමුත් ඩේව් චැපල් කතා කරන්නෙ තමන්ට woke කල්චර් එක නිසා අහිමි කරන්නට යෙදෙන ප්‍රකාශනයේ නිදහස වෙනුවෙනුයි . ඩේව්ගේ දරුණු විහිලු මුනිස්සම් වගේ නිකුත් වෙන්නෙ ඒ කැන්සල් කිරීමේ සංස්කෘතියට එරෙහිවයි. තරිදුගේ විහිලුවල ප්‍රකාශනයේ නිදහස සම්බන්ධ තර්ජනයකට එරෙහි වීමක් මං දකින්නෙ නෑ. ඒ වෙනුවට ඒවා කෙලින්ම සමලිංගික විරෝධයක් හා සමපාත වෙනවා අපිට පේනවා. ඩේව්ගේ විහිලුව තමන්ගේ නිදහස වෙනුවෙන් කරන පෙනීසිටීමක් වෙද්දි තරිදුගේ විහිලුව අනුන්ගේ නිදහසකට එරෙහි එකක් වෙනවා.

    නමුත් තමන්ට පීඩිත ලිංගික ප්‍රජාව හාස්‍යයට හෝ පහත්කිරීමකට ලක් කිරීමේ උවමනාවක් නැතිබව තරිදු පැහැදිලිව කියනවා. අපිට ඒ ප්‍රකාශය බාරගන්න සිද්ද වෙනවා. නමුත් රංචුමය හැසිරීම ඇතුලෙ කෙනෙකුගේ තිබුණු විචාරාත්මක, වගකීම්සහගත ප්‍රකාශ ආපහු රාජපක්ෂවාදී සමරිසිවිරෝධී තත්වයක් දක්වා පිරිහෙන ආකාරය ගැන මේක හොඳ නිදර්ශනයක් වෙනවා.

    කෙනෙකුගේ ලිංගිකමය හැසිරීමක් ගැන විවෘතව කතා කළ නොහැකිද කියන ප්‍රශ්නයේදි මං ඉන්නෙ එසේ කළ හැකියි කියන තැන. එවන් ප්‍රකාශයක් වාරණය කිරීමට හෝ තහනම් කිරීමට හෝ එවැන්නක් නිසා ඒ ප්‍රකාශකයාට යම් සීමා පැනවීමකට හෝ මම එකහෙලාම විරුද්ධ වග කියන්න ඕන. නමුත් ඒ හැම ප්‍රකාශයක්ම නැවත විචාරයට භාජනය වීමටද හැකියි. එසේ කළ යුතුයි.

    මේ ආකාරයෙන්ම පහුගිය කාලෙ අහන්න ලැබුනු විෂම ලිංගික ජෝක් එකක් තමයි, ‘නන්දෙගෙ ඇටේ- ඥානාගේ කටේ’ කියන එක. රනිල්- සාගල කතා ගැන ප්‍රශ්න කරද්දි ඇතැම් අය ඇහුවෙ මේකත් වැරදි නැද්ද කියලයි.

    මගේ පුද්ගලික අදහස අනුව මේ දෙක සමානව සලකන්න බෑ. ඒකට හේතුව අපි පරමාදර්ශී විෂම ලිංගික සමාජයක් පසුබිමේ ඇතිවග සැලකිල්ලට ගනිමින් මේවා කිරා බලනවා මිස ඒ පවතින සමාජ පසුබිම නොසලකා හරිමින් ඒක කරන්න බැරි වීම. රනිල්- සාගල කතාව විසින් සමාජය තුල පවත්නා විරෝධයක්, අපහාසයක් අවුස්සන අතර නන්දෙ-ඥානා කතාව විසින් අවුස්සන්නෙ අව්ඤානකව පිරිමිකම, උත්කර්ෂය කැටිවුනු උපහාසයක්.

    ‘ඥානක්කට වඩා මං හොඳයි. මාව ගන්න’ යනුවෙන් බෝර්ඩ් එකක් ඔසවා ගත් සුන්දර තරුණියක්ද මේ අරගල‍යේ ජනප්‍රිය වුනා.

    මේක හුදු මගේ පුද්ගලික කියවීම. මීට වෙනස් කියවීම් පවතින්න පුළුවන්. වැදගත් වෙන්නෙ ඒ කියවීම් සමාජගත කරන එකයි. විෂමලිංගික බව අදහන සමාජයක බඩුකාරයා යන්නත් සමනළයා යන්නත් සමාන බරක් ඇති අපහාස/උපහාස විදිහට මට පේන්නෙ නෑ.

    නමුත් යම් කෙනෙකුගේ ලිංගික සම්බන්ධයක් නිසා දේශපාලන සමාජ කාර්යයන්ට බාධා පැමිනේ නම් එය ප්‍රශ්න කළ යුතුයි. යම් අය විසින් අදහස් දක්වා තිබුනෙ රනිල්- සාගල සම්බන්ධතාවය රාජ්‍යය පාලනයට බලපානවා කියලයි. ඒක ඒ අයගෙ උපකල්පනයක් නැත්නම් ෆැන්ටසියක් වෙන්න පුළුවන්. එවැනි යමක් පැවතුනත් ඒ ගැන නිශ්චිතව දැනගන්න මගක් බාහිර කෙනෙකුට තියෙන්න ඉඩකඩ අවමයි.

    අනෙක් අතට තමන්ගේ පක්ෂපාතබවක් නිසා සියල්ල ගැන අන්ධභාවයට පත්වීම සමලිංගික ආදරයකට පමණක් විශේෂ කාරණයක් නෙමෙයි. එය විෂමලිංගික ආදරයක්, පිරිමියෙකුට ගැහැනියක් වගේම යම් මතවාදයක්, ආගමක්, කුලයක්, ජාතියක් හෝ සම්බන්ධයෙන් වුනත් වෙන්න පුළුවන් දෙයක්. අපි ඒ හැමදෙයක් ගැනම මේ තීවර්තාවයෙන් ප්‍රශ්න කරනවද? අපි ප්‍රශ්න කළ යුත්තේ ඒ හැගීම්මය පුද්ගලික සම්බන්ධයද නැත්නම් එයින් සිදුවන තාර්කික අවැඩද?

    රනිල් – සාගල ගැන පැතිරෙන මේ කතා මා තුල ඇති කරන්නේ සුන්දර හැගීමක් වග කියන්න ඕන. ලංකාවෙ වියපත් පිරිමි දෙදෙනෙකුගේ ආදරයක් ගැන අපි කතා කරන පළවෙනි වතාව මේක. මේ වයසෙ දෙන්නෙක් අතර බැඳීම හුදු ලිංගිකමය හෝ අනුරාගී එකක් වෙන්න තියෙන ඉඩ අඩුයි. එය ඊට වැඩි හඳුනාගැනීමක්, තේරුම්ගැනීමක් මත බොහෝ විට පදනම් වෙනවා. මට අනුව ඒක දේශපාලනයට වඩා සුන්දර තැනක්. එවන් මනුස්ස සම්බන්ධයක් කැත විදිහට ප්‍රශ්න කිරීමෙන් අපි ඇත්තටම අපේක්ෂා කරන්නේ මොකක්ද කියල ප්‍රශ්නයක් එනවා.

    යම් පුද්ගලික සම්බන්ධයක් නිසා පොදු ක්‍රියාවක් අවහිර වෙනවා නම් එය ප්‍රශ්න කළ යුතුයි. ඒත් ප්‍රශ්න කළ යුත්තේ අර පුද්ගලික සම්බන්ධය නොව එය පොදු ක්‍රියාවට බලපාන ආකාරයයි. නැත්නම් අපි පුද්ගලික නිදහස සහ ගරුත්වය සම්බන්දයෙන් මිනිස් අයිතිය ප්‍රතිගාමී සමාජ පිලිගැනීම් වෙනුවෙන් නොහොත් බහුතරය වෙනුවෙන් පාවා දෙනවා.

    චින්තන ධර්මදාස

  • Sri Lankan Sex Party – ශ්‍රී ලංකා සෙක්ස් පක්ෂය

    Sri Lankan Sex Party – ශ්‍රී ලංකා සෙක්ස් පක්ෂය

    ලිංගිකත්වය ධනාත්මක බාරගන්නා වඩා නිදහස් සමාජයක් වෙනුවෙන් ශ්‍රී ලංකා සෙක්ස් පක්ෂය ආරම්භ කිරීමට අදහස් කෙරේ. රටේ බොහෝ දේශපාලන කාරණා පිටුපස පවතින ලිංගික දේශපාලනය සාකච්ඡාවට ගැනීමත්, ලිංගික නිදහස සහ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමත් මෙහි මූලික කාරණා වනු ඇත. තවත් කෙනෙකුට හානියක් නොකර මිනි‍සෙක් තමන්ගේ පංචේන්ද්‍රියන් සහ මනස පිනවීමට කරන්නාවූ කවර හෝ ක්‍රියාවකට වුවද නිදහස පැවතිය යුතු යැයි සෙක්ස් පක්ෂය විශ්වාස කරයි. රට පු‍රා උඩුදුවා ඇති තුවාලයක් වන ජාතිවාදය ආගම්වාදය මෙන්ම ප්‍රචන්ඩත්වය පිටුපස පවතින්නේ සංස්කෘතිය විසින් දැඩි පීඩනයකට ලක් කළ ලිංගික ආශාවන් බව සෙක්ස් පක්ෂයේ කියවීමයි.

    එම පක්ෂයේ මූලික පෙනී සිටීම් මේවායි.

    1. කිසිදු වෙනස්කොට සැලකීමකින් තොරව තමන්ගේ ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගවේෂණයට, තේරුම් ගැනීමට සහ භාරගැනීමට ඇති පූර්ණ අයිතිය.
    2. ගැහැණියකට තමන්ගේ ශරීරය පිළිබඳව තීරණ ගැනීමටත් අවශ්‍ය විටෙක ගබ්සාවකට අවශ්‍ය පහසුකම් නීතිමය හෝ සමාජ බාධාවකින් තොරව ලබාගැනීමටත් ඇති අයිතිය.
    3. ලිංගික ශ්‍රමිකයෙකු ලෙස රැකියාව කිරීමට සහ අවශ්‍ය සෞඛ්‍යමය මෙන්ම නීතිමය රැකවරණය ලැබීමට ඇති අයිතිය.
    4. සියලු ලිංගිකත්වයන්ට අයත් පුද්ගලයන්ට ආබාධිත නිර්බාධිත භේදයකින් තොරව සමාන අවස්ථාවන් ලබාගැනීමට ඇති අයිතිය. (ලිංගික තෘප්තිය ලැබීමේ අයිතියද මීට ඇතුලත්ය)
    5. සමලිංගික විවාහවලට සහ බහුවිවාහ වලට ඇති අයිතිය.
    6. නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය
    7.  කැමති ආකාරයකින් තමන්ගේ තෘප්තිය සොයා යාමේ අයිතිය.
    8. වාරණයකින් හෝ බියකින් තොරව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය.
    9. ආගමික මතවාදයන්ගේ බලපෑමකින් තොරව ජීවත් වීමේ අයිතිය.
    10. මත්ද්‍රව්‍ය අපරාධහරණය කිරීම සහ පාලනය. තමන් කැමති මත්ද්‍රව්‍යයක් නීතියේ බාධාවකින් තොරව ගුණාත්මක තත්වයකින් යුතුව ලබාගැනීමේ අයිතිය පුද්ගලයෙක් සතුය.
    11. ජීවිතය පිළිබඳ තවදුරටත් තෘප්තිමත් නොවන අවස්ථාවකදී සුවදායක මරණයක් ලබාගැනීමේ අයිතිය. (යුතනේෂියා)
    12. සර්ව සම්පූර්ණ ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය සේවා ලබාගැනීමේ අයිතිය.
    13. ලිංගික ප්‍රචන්ඩත්වයෙන් තොරව ජීවත් වී‍මේ අයිතිය.
    14. තමන්ගේ ජීවිතයේ අරමුණු සහ සතුට සොයා යාමේ අයිතිය.
    15. ජාතිවාදයෙන් ආගම්වාදයෙන් තොරව ජීවත්වීමේ අයිතිය.
    16. මුදල් ඉපැයීම සහ ව්‍යාපාර දිරිගැන්වීම කරන අතර එමගින් සමාජයට ලැබෙන ප්‍රතිලාභ උපරිම කිරීමටද වෑයම් කෙරේ.

    මේ කාරණා විශ්වාස කරන, මේ පක්ෂය ගොඩනැගීම සඳහා එක්වීමට කැමති අය ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න. [email protected]

  • කිසි හාදුවක් කැත නෑ

    කිසි හාදුවක් කැත නෑ

    පුස්සෙගෙ (කසුන් පුස්සවෙල) සහ මදුනිගෙ (මදුනි අලහකෝන්) වහල උඩ හාදුව ජාත්‍යන්තරේට පවා ගියා. කැත අරගලයක් මැද ලස්සන හාදුවක් කියල මට ඒක දැක්කම හිතුන. ඒ වෙද්දිත් අරගලය දේශපාලනිකව ඉතාම ජරාජීර්ණ තැනක් වෙලා තිබුනෙ. ඒත් මේ හාදුව ඒ ගොහොරුවට නැවත ආදරය අවුන්සයක් එකතු කළා.

    අරගලය මුල ඉඳන්ම මට තිබුනෙ ඒක ඇතුලෙ සංස්කෘතික අරගලයක්. සියලු දේශපාලන පුටු මාරු කිරීම්වලට වඩා ඒක ඇතුලෙ සිද්ද වුනු pride සැනකෙලිය වගේ දේවල් මට විශාල වෙන්නෙ ඒ නිසා. හැමදාම රාජපක්ෂ ක්‍රමය කියල මම ගැටුනෙ ඒ විසින් පනවපු රැකපු පසුගාමී සංස්කෘතිය එක්ක. අරගලය මුලදී ඉතාම බලාපොරොත්තු සහගත වුනු මේ සංස්කෘතික පෙරලිය පස්සෙ ජවිපෙ/පෙරටු ග්‍රාම්‍යත්වය ඇතුලෙ ආපහු රාජපක්ෂවාදය දක්වාම කිඳී සිඳී ගියා. ඒ අතරෙ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව විසින් බාධා මැද කොහොම හරි තමන්ගේ ලිංගික නිදහස වෙනුවෙන් වූ අරගලය දිගටම අරගෙන ගියා. ඒ වෙනුවෙන් මගේ හෘදයාංගම ගෞරවය ඒ අයට හිමිවෙනවා.

    පුස්සෙගෙ හාදුවත් මං දකින්නෙ ඒ ශෘංගාර නිදහස වෙනුවෙන් වූ ප්‍රකාශනයක් විදිහට. රාජපක්ෂලාට විතරක් නෙමෙයි එතන පහල පේන ග්‍රාම්‍ය ජනරැල්ලට මැද ඇගිල්ල පෙන්වීමක් විදිහට. ලෝකෙ පුරාම අපිට මේ විරෝධතා හාදු දකින්න තියෙනවා. හැම අරගලයකම වගේ මෙවන් හාදුවක ප්‍රකාශනයක් සටහන් වෙනවා. ලංකාවෙ සිද්ද වුනු අරගලයත් ලෝකයේ අනෙක් අරගලවල සිදුවුනු මේ ඡායාරූපමය නිමේෂයන් පිළිවෙලින් සටහන් කරනවා අපිට දකින්න ලැබුන. උදා විදිහට හමුදාවට මල් දීම, කතිර සේ දෑත් ඔසවාගෙන බංකර් ඉදිරියේ දණගැසීම ආදිය එවන් අනුකරණ. ඒක නරක දෙයක් නෙමෙයි. අපි ලෝකයේ නූතන අරගල උරුමයන් බෙදාහදා ගැනීම හොඳ වගේම අවශ්‍ය දෙයක්. ඒක අපේ සුපුරුදු එනවා නානවා යනවා අරගල ක්‍රමයෙන් බිඳීමක්. (මේ වගේ සුන්දර අරගලවල මතකයන් වගේම තලේබාන් වර්ගයේ මතකයන්ද අරගලය ඇතුලෙ බෙදාහදා ගත්වග කණගාටුවෙන් වුනත් සටහන් කරන්න වෙනවා)

    2014දි කේරලේ තිබුනා kiss of the love කියල ප්‍රොටෙස්ට් එකක්. ඒක කලේම ඒ වෙද්දි ශිවසේනා වැනි සංවිධාන මගින් දැඩිව ක්‍රියාත්මක වුනු සදාචාර පොලිසියට විරුද්ධව. මේක සිද්ද වුනේ jai tv චැනලය විසින් කැෆේ එකක කාර්පාර්ක් එකකදි සිදුවන සිප වැළඳගැනීමක් විශේෂ වාර්තාවක් විදිහට රූපවාහිනියේ ගෙනහැර පාමින් එය සදාචාරය වනසන ක්‍රියාවක් හැටියට හංවඩු ගැහීමත් එක්ක. මේ ප්‍රවෘත්තියෙන් පස්සෙ විවිධ අන්තවාදී දක්ෂිණාංශික කණ්ඩායම් මේ කැෆේ එකට අලාභහානි කරනවා. මේ සිද්දියත් එක්ක තමයි freethinkers කියල කණ්ඩායමක් සමාජ මාධ්‍ය හරහා ‘ආදරයේ හාදුව’ විරෝධතාව ගේන්නෙ.

    මේ ෆේස්බුක් පිටුව විවිධ අය විසින් රිපෝර්ට් කරලා බෑන් කරනවා. ඒ වෙද්දිත් 50000ක විතර පිරිසක් ඒක ෆලෝ කරනවා. නැවත ආරම්භ කරන ෆේස්බුක් පිටුව 75000 ඉක්මවා යනවා. විවිධ අය තමන්ගේ පෙම්වතුන් පෙම්වතියන් සමග ගත් හාදු මේ පිටුව හරහා මුදා හරිනවා.

    මේක මහපාරෙ සිප වැළඳගැනීමක් හැටියෙන් විවිධාකාර ප්‍රචාර නිකුත් කරමින් අසභ්‍ය දෙයක් හැටියට හුවා දක්වන්න දක්ෂිනාංශික කණ්ඩායම් උත්සාහ කරනවා. යම් විදිහකින් මේ අය පාරෙ සිප වැළඳගත්තොත් ප්‍රසිද්ධියෙ නිරුවත් කර පහර දෙන බවට තර්ජනය කරනවා. විරෝධතාව දවසෙදි පොලිසියත් පහර දීම සඳහා වේවැල් අතින් ගත් දක්ෂිනාංශික අන්තවාදීනුත් පාරට එනවා. විරෝධතාව අතර පෙම්වතුන් ප්‍රසිද්ධියේ සිපවැළඳ ගන්නවා. පහර දීම් ආරම්භ වෙනවා. පොලිසිය විසින් විශාල පිරිසක් අත්අඩංගුවට ගන්නවා. කොහොම වුනත් මේ ආද‍රයේ හාදුව විරෝධතාව ඉන්දියාව පුරාම පැතිරෙන්න පටන් ගන්නවා.

    ඉන්දියාවෙ නීතියට අනුව අනෙකෙක් අපහසුතාවයට පත් කරන කවර හෝ අසභ්‍ය ක්‍රියාවකට මාස තුනකට නොඅඩු සිරදඩුවමක් දෙන්න පුළුවන්. අසභ්‍ය යන්න නිසි විදිහට අර්ථකතනය කරලා නෑ වගේම අනෙකෙක් අපහසුතාවයට පත්වීම කියන කාරණය කොහෙත්ම සාධාරණ වූ එකක් නෙමෙයි. ලංකාවෙ තත්වයත් මේ වගේමයි. ප්‍රසිද්ධියේ දෙන හාද්දක් කියන්නෙ සමාජය කැළඹිය හැකි තත්වයක්.

    පුස්සෙගෙ සහ මදුනිගෙ ප්‍රසිද්ධ උත්කර්ෂවත් හාදුව මට ඉතා වටින්නෙ මේ නිසයි. ඒ වගේම ඒ හාදුවේදි, ඊයා, කිස් කරන්න වෙන තැන් නැද්ද ආදියෙ පටන් නහය තැලුනා, හරියට දුන්නෙ නෑ, ඔහොමද කිස් කරන්නෙ ආදී වශයෙන් එල්ලවුනු බොහෝ විචාර පිටිපස්සෙ තියෙන ඇත්ත කාරණය මේ දරාගත නොහැකි පසුගාමී සදාචාරයයි. ප්‍රසිද්ධ හාදුවක් අතුල් පහරක් තරම් සදාචාර මනසට රිද්දවීමක්.

    ලෝකෙ කිසිම හාදුවක් කැත නෑ. නහය තැලුනත්, කෙළ බේරුනත්, තොල් සපා කෑවත් ආදරණීය හාදුවක් හැමවිටෙකම සුන්දරයි. හාදුවක් කියන්නෙ පූර්ණ වශයෙන් අනෙකාව බාරගැනීමක්. එකම හුස්මක් බෙදාගැනීමක්. හාදුවකට වඩා ලෝකෙ සුන්දර දෙයක් තියෙනවා නම් ඒ රමණය විතරයි. රමණය හාදුවකට එහා ගිය දැඩි මානවීය බැඳීමක් සහ හැගීමක් ප්‍රකාශමාන කරනවා.

    පුස්සෙ – මදුනි හාදුවෙන් අපිට තේරුම් ගන්න තියෙන්නෙ ලංකාවෙත් ‘හාදු අරගලයක්’ ඉක්මනටම අවශ්‍ය වෙනවා කියන එක.


    චින්තන ධර්මදාස

  • ගෝඨාගේ Sex Room එක

    ගෝඨාගේ Sex Room එක

    අරගලය ජයග්‍රහණය කළා. ජනාධිපති මන්දිරය අරගලකරුවන් විසින් අත්පත් කරගත්තා. ඊට පස්සෙ අපිට දකින්න ලැබුනා අරගලක‍රුවන් විසින් ගෝඨාගේ යට ඇඳුම් මාධ්‍යයට ප්‍රදර්ශනය කරනවා. ඊට ටික වෙලාවකට පස්සෙ ගෝඨාගේ කාමරයක් කියල සෙක්ස් රූම් එකක පිංතූර සංසරණය වෙන්න පටන් ගත්තා. තවත් ඉස්සරහට ගිහින් ගෝඨා විසින් වධ දීම සඳහා යොදාගත්තා කියල මොකක්දෝ සොල්දරයකට කැමරාව දික් කරමින් කෙනෙක් කතා කරන වීඩියෝවක් එලියට ආවා. මේ සියල්ල අරගලය ඇතුලෙ පැන නැගුන අනු‍රාගය විසින් නිර්මාණය කළ තත්වයන්. නමුත් අපේ අනුරාගය හෙළිදරව් වෙන තැනදි අ‍පි කිසි දවසක හෙලි නොකරන ඇත්තක්ද නිරුවත් වෙන වග අපිට අමතක වෙනවා. ගෝඨා නිරුවත් කිරීමට යොදාගත් මේ සියලු වෑයම්වලින් ඇත්තටම නිරුවත් වෙන්නෙ අරගලකරුවන්මයි.

    පළමුවෙන් ගෝඨාගේ සෙක්ස් රූම් එක කියල මුදාහැරුනු BDSM උපාංග සහිත කාමරය කිසිසේත්ම ගෝඨාගේ එකක් නෙමෙයි. ඒකට හේතුව එවන් ශෘංගාර වපසරියක් තිබුනා නම් ගෝඨාබය රාජපක්ෂ වගේ ජාතිවාදී, වර්ගවාදී, රාජපක්ෂවාදී චරිතයක් නිර්මාණය වෙන්නෙ නැති එකයි. ඒ වගේ සියුම් රසයක් ගෝඨා නෙමෙයි අනුර කුමාර දිසානායකටවත් නැති වග ස්ථිරයි. ඒක taste එක පිළිබඳ කාරණයක්. එවන් වෙනස් ශෘංගාරයන් රසවිඳින අයගෙ ජීවිතයේ අනෙක් කලාපයන්ගේත් එම රසභාවයන් දකින්න ලැබෙනවා. ඒ අයගෙ විලාසිතාවල, ඇසුරු කරන කලාවන්ගේ, මත්වීමේ ආකාරයන්ගේ මේ ගැඹුර නිරූපනය වෙනවා. ඒ වගේම ජාතිවාදය වර්ගවාදය වගේ පටු මුග්ධ තැන්වල එවන් උසස් රසයන් විඳින අය පිහිටන්නෙ නෑ. සෙක්ස් කියන්නෙ ජාතිවාදයේ ප්‍රතිවිරෝධය. යුද්ධයේ ප්‍රතිපක්ෂය. ආදරයේ අරගලය.

    මේ පිංතූරය ශෘංගාරය නොදන්නා දහස් ගානක් පිරිස් ඇත්තක් වශයෙන් බාරගත් වග පේන්න තිබුන. සමහරු ‘අනේ හිර කූඩුවකුත් තියෙනවා’ ආදී වශයෙන් කම්පා වෙනවා දකින්න ලැබුන. ලංකාවෙ අරගලකාමීන්ගේ සෙක්ස් ගැන දැනීම කොයිතරම් පටුද කියන එක ඒ ප්‍රතිචාර ඇසුරෙන් කියවගන්න පුළුවන්.

    සෙක්ස් රූම් ගැන කාටහරි දැනගන්න උවමනා නම් මේ දවස්වල නෙට්ෆ්ලික්ස් එකේ තියෙනවා How to build a sex room කියල සීරීස් එකක්. මෙලනි රොස් කියන ඉන්ටීරියර් ඩිසයිනර් විසින් දශක කීපයක් තිස්සෙ මේ සරාගී අවකාශයන් නිර්මාණය කිරීමේ අත්දැකීම් ඉතාම සුන්දර ආකාරයකට විස්තර කරනවා. ඒ රහස් කාමරය තුල ඇසුරු කෙරෙන කලාව, හැගීම්, සහ ආදරය සියල්ල ගෙනහැර පානවා. ඒක බලලා මේක බලන කොට ලංකාව තියෙන තැන හෙළුවෙන් පේනවා.

    අර සොල්දරේ වීඩියෝව නම් තමන් කතා කරන්නෙ මොනවා ගැනද කියලවත් වැටහීමක් නැති අමුතු අරගලකාරයෙකුගේ වැඩක් විදිහටයි පේන්නෙ. එයා මිනිස්සුන්ට වධදීම වෙනුවෙන් පාවිච්චි කළා කියල පරාල දෙකකින් හැදුන කුරුසියක් පෙන්නනවා. ඇත්තටම BDSM වලදි ශාන්ත ඇන්ඩෘගේ කුරුසිය කියල එකක් පාවිච්චි වෙනවා. ඒක තියෙනවා ගෝඨාගෙ sex room එක කියන කාමරේ අයිනක. ඒක ජේසුගෙ කුරුසියට වඩා වෙනස් එකක්. ඒක පිහිටන්නෙ කතිරයක් විදිහට. කැමැත්ත ඇතුව කෙනෙක් එහි නංවා flogging කිරීම (සිංහලෙන් කසපහර කියන්න පුළුවන්) ඒ ආර්ට් එකේ සෞන්දර්යයක්.

    වැදගත්ම කාරණය මේකයි. අපි ජනාධිපති ගෝඨාබය රාජපක්ෂට විරුද්ධ වෙනවා කියන්නෙ පුද්ගලයෙක් විදිහට ගෝඨාබයට විරුද්ධ වෙනවා කියන එක නෙමෙයි. ජනාධිපතිගේ මන්දිරයට ඇතුල්වෙන්න අවසර තිබුනට කිසිම කෙනෙකුට ගෝඨාබයගේ පුද්ගලික ජීවිතයට ඇතුල් වෙන්න අවසර නෑ. ඒක අපි ගරු කළ යුතු අයිතියක්. ගෝඨාගේ යට ඇඳුම් ප්‍රදර්ශනය කරමින්, එයාගෙ ශෘංගාර ජීවිතය ගැන කතා නිර්මාණය කරමින් අරගලකරුවන් කරන්නේ ගෝඨාගේ පුද්ගලික ජීවිතය දූෂණයට ලක් කිරීමයි. නිවෙස් ගිනි තැබීම පවා අනුමත කරමින් දිගහැරෙන මෙවන් අරගලයක පුද්ගල ජීවිතයේ අයිතිය ගැන කතා කිරීිම තේරුමක් නැති වැඩක් වෙන්න පුළුවන්. නමුත් කෙනෙකුගේ පුද්ගලික ජීවිතයට බලහත්කාරයෙන් කඩාපනිමින් මේ කරන්නෙ එක පැත්තකින් ශෘංගාරය කියන මානව සෞන්දර්ය කලාපය දූෂණයට ලක් කිරීමක්. තමන් කිසිම සංස්කෘතික රසයක් නැති පිලිස්තීනුවන් වග ප්‍රදර්ශනය කිරීමක්. අනෙක් අතට මිනිහෙකුගේ පුද්ගලික ලිංගික කලාපයට ගරු කිරීමේ ආචාර ධර්මයවත් පිහිටා නැති වග ලෝකයට කියා පෑමක්.

    මතක තියාගන්න. කාන්තාවක් රිය අනතුරකට ලක්වුනු අවස්තාවක පවා ඔවුන්ගේ යට ඇඳුම් ගැන කතා කරන්නේ මේ අශිෂ්ටත්වයමයි. අද අරගලයට උර දෙන ගුනරත්නම්ලා එදා අත්අඩංගුවට ගනිද්දි කොන්ඩම් ගැන මීඩියාවල කතා හදන්නෙත් මේ අශිෂ්ටත්වයමයි. කොටින්ම මේ අරගලය කියල අපි දකින්නෙ රාජපක්ෂවාදයමයි.