Category: Sex, History & Sri Lanka

  • කාම සූත්‍ර – පස්වන කොටස

    කාම සූත්‍ර – පස්වන කොටස

    සූසැට ශිල්පය

    කාම සූත්‍රය සමග පහත කලාවන් හැදෑරිය යුතුය.

    1. ගායනය
    2. වාදනය
    3. නර්තනය
    4. නර්තන ගායන සහ වාදන සංකලනය
    5. ලේඛනය සහ චිත්‍ර ඇඳීම
    6. ටැටූ
    7. සහලින් සහ මල්වලින් සැරසිලි කිරීම
    8. මල් වැවීම
    9. දත්, ඇඳුම්, කෙස්, නිය, ශරීරය වර්ණ ගැන්වීම
    10. වර්ණ ගැන්වූ වීදුරු පොලොවට ඇල්ලීම
    11. ඇඳක් සකස් කිරීම, කළාලයක් එලීම, ආසන සැකසීම.
    12. ජලය පිරවූ වීදුරු වාදනයේ හැකියාව
    13. පොකුණු කලාව
    14. රූප රාමු සැකසීමේ කලාව
    15. මාල, වළලු සැකසීම.
    16. හිස් පළඳනා සැකසීම.
    17. නාට්‍යකරණය
    18. කරාබු සැකසීම
    19. සුවඳ ගැල්වීමේ කලාව

    1. මැණික්, විසිතුරු දේවල් ඇඳුමකට නිසිලෙස ඇමිනීමේ කලාව
    2. මැජික් හෝ මන්ත්‍ර
    3. අතපය වැඩෙහි සුරුබව
    4. ඉවුම්පිහුම් කලාව
    5. විවිධ පානයන් සකස් කිරීමේ කලාව
    6. මැහුම් කලාව
    7. නූල් සහ රෙදිවලින් විවිධ විසිතුරු දේ තැනීම.
    8. ප්‍රහේලිකා විසඳීම.
    9. ගීතයෙන් ගීතය ආකාරයේ ක්‍රීඩා. කෙනෙක් නවතන තැනින් අනෙකා ආරම්භ කළ යුතු.
    10. අනුකරණයේ කලාව
    11. කියවීම. මන්ත්‍ර කීම
    12. අසීරු වාක්‍ය උච්චාරණ කලාව. මෙය ක්‍රීඩාවක් වශයෙන් පුහුණු කළ යුතුය.
    13. කඩුව, දුන්න -ඊතලය සහ රිටි පුහුණුව.
    14. තාර්කිකභාවය
    15. වඩුවැඩ
    16. ගෘහනිර්මාණකරන ශිල්පය
    17. රන් රිදී කාසි ගැන සහ මැණික් ගැන දැනුම.
    18. රසායනය සහ ඛනිජ ගැන දැනුම
    19. පබළු සහ මැණික් වර්ණගැන්වීම
    20. පතල්, කොරි පිළිබඳ දැනුම
    21. ගෙවතු වගාව

    41. කකුලන් එළුවන් පොරට යෙදීම
    42. ගිරවුන්ට කතා කරවීම
    43. සිරුරේ සුවඳ ගැල්වීම
    44. රහස් භාෂා කියවීමේ දැනුම
    45. අකුරු වචන මාරු කරමින් කතා කිරීමේ කලාව
    46. ප්‍රාදේශීය වහර ගැන දැනුම
    47. මල් බඳුන් සැකසීමේ කලාව
    48. ගුප්ත මණ්ඩල ආදී දේ සැකසීමේ කලාව
    49. මානසික අභ්‍යාස. අඩු වචන වාක්‍ය පිරවීම, උඩ යට මාරු කර ඇති ඡේදයන්ගේ අර්ථ වටහාගැනීම ආදිය.
    50. කාව්‍යකරණය
    51. වාග්කෝෂය පොහොසත් වීම.
    52. වේශ නිරූපණය
    53. කලා අධ්‍යක්‍ෂණය
    54. සූදු කෙළිය
    55. මන්ත්‍ර ආදියෙන් අන්සතු දේ අයිති කරගන්නා ක්‍රම
    56. තරුණ ක්‍රීඩා හැකියාව
    57. සමාජ චාරිත්‍ර ගැන දැනුම පුහුණුව
    58. යුද්ධය පිළිබඳ දැනුම
    59. ජිම්නාස්ටික්
    60. දේහ ලක්ෂණ විද්‍යාව
    62. ගණිත සමීකරණ
    63. කෘතිම මල් සැකසීම
    64. මැටි භාණ්ඩ ඇඹීම

    ඉතා හොඳ පිළිවෙලක් සහිත, සුන්දර මෙන්ම අනෙක් උසස් ගති ලක්ෂණවලින් යුත්, ඉහත කලාවන්ගේ නිපුණ, ප්‍රසිද්ධ ගැහැණුන්ට ගණිකා යන උසස් නාමය ලබා දෙන ලදී. ඔවුන්ට පිරිමින් හා සමව සභාවන්ගේ අසුන් පැනවිනි. ඇය රජුගේ ප්‍රසාදයටත් බුද්ධිමතුන්ගේ වර්ණනාවටත් ලක්විය. සියල්ලන් විසින් ඇගේ ඇසුර ඉල්ලා සිටින හෙයින් විශ්වීය ආකර්ශනයක් ඇති වස්තුවක් විය. රාජ කුමාරියක් වුවද , ආමත්‍ය දියණියක් වුවද මෙකී ශිල්ප උගත්තේ නම් ඔවුන්ගේ ස්වාමියන්ට වඩා ප්‍රිය වන්නේය. තව දහසක් කාන්තාවන් ඔවුන්ට සිටියද ඒ අයව නොපෙනී යන්නේය. එමෙන්ම සැමියාගෙන් වෙන්ව තනිවන කාන්තාවකට වුවද වෙනත් දේශයකදී වුවද මෙකී ශිල්පයන්ගෙන් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගත හැකි වන්නේය. ඒ ගැන දැනීමම වුවද කාන්තාවක් වඩාත් ආකර්ශනීය කරන්නේය. මේවා පුහුණුවේ යෙදවීමට නම් ඒ උචිත අවස්ථා උදාවිය යුතුය. මෙම කලාවන් ප්‍රගුණ කළ, වාග් කෞෂල්‍යයෙන් සහ කාන්තාවන්ට ගරු කිරීමේ පිළිවෙත්වලින් හෙබි පිරිමින් කාන්තාවන්ගේ හදවත පැහැර ගන්නේය. ඔවුන් සමග ඔහු ගත කරන්නේ ඉතා කෙටි කාලයක් වුවද ඔවුන් සතුටින් ඔහුව පිළිගන්නේය.

  • ඓතිහාසික ගණිකා උරුමය

    ඓතිහාසික ගණිකා උරුමය

    ගණිකා වෘත්තිය ලෝකෙ පරණම වෘත්තිය කියල කට කතාවට කිව්වට ඒක ඇත්තක් නෙමෙයි. ලෝකෙ පරණම වෘත්තිය වෙන්න ඕන දඩයම හෝ ආහාර එකතු කිරීම සම්බන්ධ දෙයක්. හැබැයි හැම ශිෂ්ටාචාරයකම ගණිකා වෘත්තිය පැවතුනා. සල්ලි හෝ භාණ්ඩ සේවා හුවමාරුව පටන් ගත්ත තැන ඉඳන් සෙක්ස්වලටත් දේවල් හුවමාරු වුනා.

    ක්‍රිපූ 18වෙනි සියවසේ බැබිලෝනියාවෙ හමුරාබි කියන රජතුමා ගණිකාවන්ගේ උරුමයන් වෙනුවෙන් වගන්ති නීති පොතට ඇතුලත් කරනවා. සහෝදරවරු ඉන්නවා නම් ඒ අය තමන්ගේ ගණිකා නැගෙණිය සමග දේපොල බෙදාගත යුතු ආකාරය දක්වනවා. ගණිකාවන් තමයි පිරිමින්ගෙන් යැපෙන්නෙ නැති එකම ගැහැණු කාණ්ඩය විදිහට සලකන්නෙ.

    අපි අතීතෙට ගියොත් ගණිකා වෘත්තිය කියන එක අතිසුලබ දෙයක්. ඒත් අද ඇමෙරිකාවෙ වුනත් තාම ගණිකා වෘත්තිය නීති විරෝධීයි. නෙවාඩා ප්‍රාන්තෙ විතරයි ගණිකා වෘත්තිය නීතිගත විදිහට පිලිගන්නෙ. එංගලන්තෙ වගේ රටක් ගත්තොත් ලිංගික සේවා ලබාදීම නීතිවිරෝධී නෑ. ඒත් ගණිකා නිවාස පවත්වාගෙන යාම ආදිය නීති විරෝධීයි. ලංකාවෙ මෑත දෙන ලද නඩු තීන්දු අනුව නම් ගණිකා වෘත්තියේ යෙදීම නීති විරෝධී නෑ. ගණිකා සේවයේ යෙදවීම තමයි නීති විරෝධී වෙන්නෙ. ඒත් ලංකාවෙ ගණිකා වෘත්තිය නීතිගත නෑ.

     

    ක්‍රි.පූ 6 වෙනි සියවසේ ග්‍රීසියෙ අධිනාගරික ප්‍රදේශවල රාජ්‍ය අනුග්‍රහයෙන් ගණිකා නිවාස ඉදි කළා. ග්‍රීසියේ ගණිකාවන් කාණ්ඩ තුනක් හිටියා. පොර්නායි කියන්නෙ වහල් ගණිකාවො. ඊළඟට හිටියා නිදහසේ ඉපදුනු වීදි ගණිකාවො. මේ වර්ග දෙකේ පිරිමින් සහ ගැහැණුන් දෙපිරිසම හිටියා. තරාතිරමක් නැතුව ඕනම කෙනෙකුට මුදල් ගෙවලා මේ දෙපිරිසෙන් තමන්ගේ ආශා සංසිඳුවාගන්න පුළුවන්. ඊළඟට හිටියා හෙටේරා කියල ඉහළම මට්ටමේ ගණිකාවන්. මේ අය හිටියෙ ගැහැණු විතරමයි. මේ අය දාර්ශනික සංවාද පවත්වන, කවි ගැන විචාර කරන මට්ටමේ දැනුමක් තිබුනු අය. සමාජයේ ඉහළම වංශවතුන් තමයි හෙටේරලව ඇසුරු කළේ.

    හෙටේරලා විවිධ ශිල්පවල දක්ෂ අය. ගායනය, නර්තනය සමහරු ජිම්නාස්ටික් පවා කළා. පුද්ගලික සාදයකට ගියත් අද කාලෙ ගානෙන් ඩොලර් හත්අටදාහක් දවසට හම්බු කළා. ඒ අය ගැන සාහිත්‍ය ලියවුනා. කලා නිර්මාණ කෙරුනා.

    රෝම කාලෙ වෙනකල්ම ගණිකා වෘත්තිය නීතිගතයි. ක්‍රිස්තියානි රෝම අධිරාජයන් විසින් තමයි මේක ටික ටික අධෛර්ය කරන්න පටන් ගන්නෙ. ඒක ක්‍රිස්තියානි ආගමේ බලපෑම.

    ස්පාඤ්ඤයෙ විසිගොත් රජු තමයි ක්‍රි.ව පළවෙනි සියවසේදි ක්‍රිස්තියානිය වැළඳගෙන ගණිකා වෘත්තිය පළවෙනි වරට තහනම් කරන්නෙ. ඒ තමන්ගෙ රට ක්‍රිස්තියානි ඇදහිල්ල එක්ක පෙළට තියාගන්න. ගණිකාවක් සමග ඉඳලා අහුවෙන පිරිමියෙකුට කිසි දඬුවමක් නියම වුනේ නෑ. ගැහැණියට කස පහර 300ක් සමග පිටුවහල් කිරීමේ දඬුවමක් නියම වුනා. මරණ දඬුවම පවා පැනවීමේ හැකියාව තිබුන.

    මධ්‍යතන යුගයත් එක්ක එංගලන්තෙ දෙවෙනි හෙන්රි ගණිකා වෘත්තිය අධෛර්ය කළත් ඒක තහනම් කරන්න උත්සාහ ගත්තෙ නෑ. නිතර මේ ගණිකා නිවාස පරීක්ෂා කිරීම් වලට ලක්වුනා. ඒ ඒවා ඇතුලෙ වෙනත් නීති විරෝධී දේවල් වෙනවද කියල බලන්න.

    1358දි ඉතාලිය ගණිකා වෘත්තිය ආදරෙන් වැළඳගන්නවා. ඒක ලෝකෙට අවශ්‍ය වෘත්තියක් හැටියෙන් වැනිසියේ මහා කවුන්සිලය ප්‍රකාශයට පත් කරනවා. ප්‍රධාන නගරවල රජයේ මුදල්වලින් ගණිකා නිවාස ඉදි කරනවා.

    ගණිකාවකට අනිත් කාන්තාවන්ට නැති වරප්‍රසාද ලැබුනා. උදා විදිහට වෙනත් කාන්තාවකට අධ්‍යාපනය ලබන්න පුළුවන් වුනේ කන්‍යාරාමයකට ගියොත් විතරයි. නමුත් ගණිකාවකට නිදහසේ අධ්‍යාපනය ලබන්න හැකියාව තිබුන. ඒ වගේම විවාහක ස්ත්‍රියකට ලැබෙන ආරක්ෂාව සහ ස්ථාවරත්වයත් ඇයට ලැබුන. නොබැඳ හිටපු අයට වඩා ගණිකාවන්ගේ ජීවිතය ලස්සන වුනා. ඒ අයට හැමදේම අතරෙ තමන්ගේ ආශාවන් සන්තර්පනය කරගන්නත් පුළුවන්කම තිබුන.

    මේ ගණිකාවන් උසස් සංස්කෘතියක් තිබුණු ගැහැණු. මේ අය හෙටේරලා වගේම ගැඹුරු දේවල් ගැන සංවාද කළා. සෙක්ස්වලට අමතරව මේ බුද්ධිමය ගැහැණු ඇසුර වංශවතුන් ප්‍රිය කළා. මේ හින්දම මේ ගණිකාවන්ට පුළුවන්කම තිබුණ රටේ දේශපාලනයට සිඩක්ෂන් ඇතුලෙ ලොකු බලපෑමක් කරන්න.

    1500 ගණං වෙද්දි ගොඩක් යුරෝපයේ රටවල ගණිකා වෘත්තිය මරණ දඬුවම ලැබිය හැකි වරදක් මට්ටමට ඇවිත් තිබුනා. හැබැයි කවුරුවත් ඕක ක්‍රියාත්මක කළේ නෑ. පස්වැනි පෝප් සික්ස්ටස්ට ඕන වෙනවා මේ අණ තදින් ක්‍රියාත්මක කරන්න. එයා කිව්වා ගණිකා වෘත්තියෙ යෙදෙන හැම කෙනෙක්ම මරාදාන්න කියල. එයාගෙ අණ කොයිතරම් දුරට ක්‍රියාත්මක වුනාද කියල සාක්ෂි නෑ.

    මේ පෝප්ම තමයි ගබ්සාව අපරාධයක් කියල කිව්වෙත්. මුලින් පල්ලියෙ තිබුනෙ සති 20ක් යනකල් කළලය මිනිස්බවෙන් තොරයි කියල විශ්වාසයක්. සික්ස්ටස් ඒක වෙනස් කළා. පිළිසිඳ ගත්ත තැන ඉඳන්ම නැති කිරීම අපරාධයක් කියල කිව්වා.

    ඔටෝමන් අධිරාජ්‍යය කාලෙදි ගණිකාවො වුනේ ගැහැණුම නෙමෙයි. තුර්කියෙ තිබුණ බාත්හවුස් කියල ස්නානාගාර වගයක්. මේවායේ වැඩට හිටියෙ තරුණ කොල්ලො. මේ ගොල්ලො තමයි එතනට එන පිරිමි ක්ලයන්ට්ලට සේවා සැපයුවෙ. සොඩොමි, ඒ කියන්නෙ සමලිංගික, ගුද සංසර්ග ආදී විකෘති යැයි සම්මත ලිංගික හැසිරීම් නීතියෙන් තහනම් වුනත් මේ කොල්ලො කොහොම හරි ඒ අවශ්‍ය තෘප්තිය තමන්ගේ ක්ලයන්ට්ලට ලබාදුන්නා. ඒ ගොල්ලො ඉතා සමීප සම්බන්ධතා මේ ධනවතුන් එක්ක ගොඩනගා ගත්තා. ඒ ලැබෙන මුදල් ඒ අයටම තියාගන්න අවසර තිබුනු නිසා ඒ ගොල්ලො ලොකු මුදලක් මේ රැකියාවෙන් ලැබුන.

    ජපානෙ අපි ගණිකාවන් කිව්වම අහලා තියෙන්නෙ ගේෂා ස්ත්‍රීන් ගැනනෙ. ඒත් ගේෂා කියන්නෙ ජපානෙ සෙක්ස්වලට හිටපු අය නෙමෙයි. ඒ ගොල්ලො එන්ටර්ටේනර්ස්ලා. නැත්තං සත්කාර සේවා සපයන අය. ජපානෙ ඔයිරාන් නැත්තං ප්ලේ වුමන් කියල කියන්නෙ ලිංගික ශ්‍රමිකයො විදිහට හිටපු අයට.

    1600-1800 විතර වෙනකල් ජපානයේ ඊඩෝ කාලය කියල හඳුන්වන පරිච්ඡේදයෙදි ගණිකාවන්ට ඉහළම තත්වයක් තිබුන. මේ කාලෙදි ගණිකා වෘත්තිය නීතිගතයි. මේ අය සේවය කළේ උසස් අය වෙනුවෙන්. ඒ නිසා ඉතාම වැදගත් භාෂාවක් කතා කළා. අනර්ඝතම ඇඳුම් ඇන්දා. ජපානයේ පවුල්ම ක්‍රමය දැඩි පීතෘ මූලික එකක්. නමුත් ඉන් පිටත හිටපු ගණිකාවන්ට නිදහස් ගැහැණු විදිහට ජීවත් වෙන්න ඉඩ ලැබුන. ඒ අයට බලය සහ අනුහස දෙකම තිබුන. කසාද ගෑනියෙකුට ජපානෙ තිබුනෙ ඊට වඩා ගොඩක් වෙනස් තත්වයක්.

    දෙවෙනි ලෝක යුද්ද කාලෙදි අධිරාජ්‍යවාදී සොල්දාදුවො ගණිකා නිවාස සහ ගම්මාන හැමතැනකම ගැහැණු දූෂනය කළා. මරලා දැම්මා. 80,000-300,000 අතර පිරිසක් හිර කරගෙන මිලිටරි පිරිස්වලට ලිංගික සුවපහසුව ලබන්න බලකා හැදුවා. අද වෙනකලුත් ජපානය මේ බලහත්කාරී ගණිකා සේවයේ වගකීම බාරගන්නෙ නෑ.

    ප්‍රංශයේ ගණිකා වෘත්තිය වෙනුවෙන් අමුතු වැඩක් කළා. එතෙක් පැවතුනු සාම්ප්‍රදායික තහංචි අයින් කරලා ඒ වෙනුවෙන් වෙනම සදාචාර කාර්යාංශයක් හැදුවා. මේක වුනේ ප්‍රංශ විප්ලවයට පස්සෙ. මුලින්ම පැරිසියෙන් පටන් අරන් මේ කාර්යාංශය පස්සෙ රට පුරාම ක්‍රියාත්මක වුනා. මේකට පැවරුණු කාර්යය වුනේ ගණිකා නිවාස අධීක්ෂණය කරන එක. ඒ අය නිසි විදිහට නීතියට අනුකූලව සේවා සැපයීම කරනවද කියල සොයාබලන එක. ඒවා ආශ්‍රයෙන් වෙනත් නීති විරෝධී දේවල් සිද්ද නොවීම තමයි මේ සදාචාරයේ අරමුණ වුනෙ. අවුරුදු සීයකට ආසන්නව මේ සදාචාර පොලිසිය තිබුන. පස්සෙ අහෝසිවෙලා ගියා.

    ඉන්දියාව ගත්තම ගණිකා වෘත්තිය ගැන ලොකු ඉතිහාසයක් තියෙනවා. මේක පූර්ව වෛදික අවධිය වෙනකල් යනවා කියලයි කියන්නෙ. ඔය ගණිකා කියන වචනෙම වුනත් ඉන්දියාවෙ එකක්. ගණිකා කියන්නෙ ඉහළම ස්ථරයේ ලිංගික ශ්‍රමය සපයන ගැහැණු. ඒ අය ශිල්ප 64ක් දැනගෙන හිටියා. විවිධ දර්ශනවාද සහ සෞන්දර්යවේදයන් දැනගෙන හිටියා. ඒ අයට වෙනම මන්දිර තිබුන. ඒවායේ සංවාද සංවාස රති ක්‍රීඩා කෙරුනා.

    පූර්ව වෛදික කාලෙ ගත්තොත් ගණිකා වෘත්තියක් කියල එකක් ස්ථාපිත වෙලා තිබුනෙ නෑ. මොහොන්ජදාරොවෙන් හම්බුන ලෝකඩ පිලිමයක් තියෙනවා කාන්තාවක් මාතෘ දෙවඟන වෙනුවෙන් නර්තනයේ යෙදෙන හැටි දැක්වෙන. හැබැයි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියන්නෙ දියුණු වාණිජ ශිෂ්ටාචාරයක්. මේ නිසා වයින් සහ ස්ත්‍රීන් වෙනුවෙන් ඕන තරම් වියදම් කරන්න පුළුවන් වෙළෙන්දො හිටියා. ඒත් මේ නගරවල ගණිකා නිවාස කියල වර්ගයක් ස්ථාපිත වෙලා තිබුන කියන්න සාක්ෂි තාම හොයාගෙන නෑ.

    වේද යුගයෙදි ආර්යයො ගත්තොත් ඒ ගොල්ලො කෘෂිකර්මාන්තෙ එක්ක හිටපු අය. ඒ අය වැස්ස අව්ව වෙනුවෙන් දෙවියන්ට පූජා පැවැත්තුවා. මේ පූජාවලදි ඒ අය සෝම පානය කළා. මේ අවස්ථාවල අයාලේ යාමත් යම් පමණකට සිදුවුනා කියල අනුමාන කරන්න පුළුවන්. කසාදය කියල එකක් තාම සම්මත වෙලා නැති නිසා මේකට ගණිකා සේවනය කියල කියන්න බෑ.

    කාලයත් එක්ක සමූහ පවුල් ක්‍රමයක් සහ මාතෘමූලික රටාවක් ගොඩනැගෙද්දි මේ අයාලේ යාම ආගමික සහ දේශපාලන උත්සව වගේ තැන්වලට විතරක් සීමා වුනා.

    ඍග් යජූර් වේද කාලෙ එද්දි විවාහය ගැන සංකල්පයක් හැදිලා තිබුන. ඒකෙ හැටියට දෙන්නෙක් හෝ කීපදෙනෙක් දරුවන් ලැබීමේ අරමුණ ඇතුව සමාජ සම්මතයෙන් ලිංගික ක්‍රියාව සඳහා එළඹීම විවාහයක්. ඒත් විවාහය එක්ක තිබුනු නීති ඉතාම ලිහිල් නිසා මිනිස්සුන්ට ලිංගික නිදහස තිබුන. ගණිකා වෘත්තියක අවශ්‍යතාවය ඇතිවුනේ නෑ. ඍග්වේදයේ ඒ කාලයේ නර්තනයේ යෙදුනු ගැහැණු ගැන යම් විස්තර කියවෙනවා. ඒත් ගණිකා වෘත්තියක් වගේ තත්වයක් තිබුනෙ නෑ කියලයි හිතන්නෙ.

    වෛදික නොවන අනෙක් ද්‍රවිඩ වගේ පිරිස් ලිංග සහ යෝනි වන්දනාවෙ යෙදුනා. මේ කාලෙ ආර්ය වෙළෙන්දො මේ ද්‍රවිඩ රජවරුන්ට තෑගි විදිහට සුන්දර කන්‍යාවක් පිරිනමන්න පටන් ගන්නවා. මේ රජවරුන් එක්ක දිගට සම්බන්ධතා පවත්වාගන්න මිත්‍රත්වය තහවුරු කරගැනීමක් විදිහටයි මේක කරන්නෙ.
    ඍග් වේදයේ තැන් කීපයක ඒ කාලෙ ලිංගික ශ්‍රමික තත්වයට ආසන්න තත්වයන් තිබුනු වග සඳහන් වෙනවා. රජවරුන් සහ වංශවතුන් විසින් වහල් කෙල්ලන්ට තෑගි පිරිනැමීමක් ගැන ඒකෙ කියවෙනවා. ඒ වගේම මේ කාලෙදි සහෝදරයෙක් නැති සහෝදරියක් ඉබේටම ගණිකාවකට සමාන තත්වයකට පරිවර්තනය වුනු වග පේනවා.

    මේ වෛදික සමාජයේ ලිංගික චර්යාවන් පැවැතුනු තැන් තිබුන. උදා විදිහට ‘සමන’ කියල කරත්ත රේස් තරග තිබුන. මේවට එන ගැහැණු ඒ අයගෙ පෙම්වතුන් එක්ක මුලු රාත්‍රියෙම විනෝද වුනා. ඒ වගේම ගණිකාවනුත් මේ උත්සවවලට ආවා.

    තව තිබුනා වෛදික සභා කියල ජාතියක්. මේවා එක එක දේවල් වෙනුවෙන් පාවිච්චි වුනු ශාලාවන්. ඒවා අද කාලෙ ක්ලබ් විදිහටත් පාවිච්චි වුනා. මේ ශාලාවකට එන ශභාවත් යෝෂා කියල ගැහැණියක් ගැන ඍග් වේදයේ කියවෙනවා. ඒ චරිතය ගණිකාවක් හැටියෙන් අනුමාන කරනවා.

    බ්‍රාහ්මණ කාලෙදි ගණිකා වෘත්තිය පිලිගැනීමට ලක්වුනා. වෛශ්‍ය කියන වෙළඳ කුලය වෙනුවෙන්ම සේවා සැපයීමට වේශ්‍යා හෙවත් වේසි කියල සිංහලෙන් කියන වෘත්තිය පැවතුනා. ගණිකා, බණ්ඩිකා, රුප්ජිවා, වරංගනා, කුල්ටානි, සම්භාලි, පුම්සාලි කියන වේශ්‍යා වර්ග තිබුන. අන්තපුර විදිහට වෙනමත් පුද්ගලික ස්ත්‍රීන් විදිහට වෙනමත් කාන්තාවන් හිටියා. මේ කාලෙ පාරිශුද්ධභාවය, කන්‍යාභාවය වගේම මොනොගමික කසාදය වගේ දේවල් හොඳටම ස්ථාපිත වුනු කාලයක්. අනිත් පැත්තෙන් වෙළදාමත් එක්ක නගර බිහිවෙමින් ගණිකා වෘත්තිය සාමාන්‍ය මිනිසුන්ගෙ අවශ්‍යතාවයක් බවට පත්වුනා.
    ඒත් ගණිකාවන් වෙනුවෙන් පැනවූ නීති රීති හෝ ඒ අයගෙ ජීවිත රටාව සඳහනක් හෝ බ්‍රාහ්මන සාහිත්‍යයේ මුනගැහෙන්නෙ නෑ.

    ඊට පස්සෙ ඉන්දියාවෙ පුරාවෘත්ත යුගය එනවා. ඒ කියන්නෙ මහාභාරතය, රාමායනය වගේ එපික් ලියවුන කාලෙ. මේ කාලෙදි ගණිකාවන්ට නීතිමය පිලිගැනීමක් තියෙනවා. මහාභාරතයේ පවා එනවා ජයග්‍රහණය කරලා එන රාමාව පිළිගන්න වෛශ්‍යාවන්ට නියෝග කරන තැනක්. මේ යුගයෙදි ඒ අය රක්තවර්ණ වටිනා වස්ත්‍රවලින් සැරසිලා විවිධ සමාජ උත්සවවලට සහභාගි වුනා. රතුපාටෙන් සංකේතවත් කලේ ආශාවේ භයානකකම.

    ස්මෘති අවධියෙදි මේ ගණිකාවන්ට තිබුණු තත්වය නැවත පිරිහෙන්න ගන්නවා. ඒ අයව සමාජයෙන් පිටුවහල් කරන ලද කොටසක් හැටියට සලකන්න ගන්නවා. අන්තපුරයක් පාලනය කරන හෝ ඉහල මට්ටමේ වංශවතෙකුගේ ස්ත්‍රියක් වීම තමයි උපරිමයෙන් ලබන්න පුළුවන් තත්වය වුනෙ.

    බෞද්ධ යුගයෙදි ආපහු මේ තත්වය වෙනස් වෙනවා. ඒ කාලෙ ප්‍රඥාවන්තයන් පොකුරු පිටින් බිහිවුනු යුගයක්. බුදුන් සමග මහාවීර වගේ තවත් ශෘස්තෘවරුන් ගැඹුරු දර්ශනයන් දේශනා කරමින් හිටියා. පාටලීපුත්‍ර කියන පලාතෙ චන්ද්‍රගුප්ත මෞර්ය කාලෙදි තිබුනා ගණිකා නගරයක්. මේ කාලෙදි තමයි මේක රාජ්‍ය ආදායමක් කරගන්න පුළුවන් කියල කල්පනා කලේ. ගණිකා නිවාසවලට ටැක්ස් ක්‍රමයක් හඳුන්වලා දුන්නා. කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රයේ ලියනවා ගණිකාවක් පැවතිය යුතු ආකාරය ගැන. ඇගේ සේවාවන් සකස් විය යුතු අන්දම ගැන. ඒ වගේම දක්ෂ ගණිකාවන්ව ඔත්තු සේවාවල පවා යොදා ගැනුනා. අර්ථ ශාස්ත්‍රය අනුව ගණිකාවක් කියන්නෙ රාජ්‍ය දේපොලක්. ඇයට හානි කිරීම වරදක්.

    කාමසූත්‍ර, නාට්‍ය ශාස්ත්‍ර ආදිය ලියවෙන ගුප්ත යුගය වෙද්දි ගණිකා වෘත්තිය ඉතා ඉහළ තැනකට එනවා. මේ අයට නගරවල වෙනම ක්වාර්ටස් තියෙනවා. පණ්ඩිතයො දාර්ශනිකයො නිතර ගිහින් මේ අය එක්ක සාකච්ඡා කරනවා. මේ අතර ග්‍රීකයො විසින් මදුරාපුරය ආක්‍රමණය කරනවා. ඒත් මේ ලිබරල් සොල්දාදුවන් වඩා හොඳින් ගණිකාවන්ට සළකන්න ගත්තා කියලයි කියන්නෙ.

    නාට්‍ය ශාස්ත්‍රයේ විස්තර කරනවා ගණිකාවක් කියන්නෙ කවුද කියල. ඇය විවිධ කලාවන්හි දක්ෂ වෙන්න ඕන. විද්‍යාව සහ සාහිත්‍ය දැනගන්න ඕන. සූසැට ශිල්පය ප්‍රගුන කරන්න ඕන. නැටුම් සංගීතය ආදියෙහි සුරු වෙන්න ඕන. වැඩිහිටියන්ට සහ සමාජ සම්ප්‍රදායන්ට ගරු කරන්න ඕන.

    මේ නිසා ගණිකාවක් සාමාන්‍ය ගැහැණියක් සතුව තිබුනු දුර්වලතා වලින් තොර ඉතාම නිදහස් ශක්තිමත් සහ බුද්ධිමත් ගැහැණියක් වුනා කියලයි කියන්නෙ. ගණිකාවන්ට පුහුණු වීම පිණිස පාඨශාලා පවා තිබුනා.

    මධ්‍යතන යුගය වෙද්දි කෝවිල්වලට දේවදාසියන් ලෙස ගැහැණු දරුවන් බාරකිරීමේ සම්ප්‍රදායක් පවතිනවා. මේ අයට කෝවිලේ වතාවත් කිරීම තමයි මුලින්ම පැවරුනෙ. ඊට පස්සෙ දෙවියන් වෙනුවෙන් නර්තන පූජා පැවැත්වීම කෙරුනා. දේවදාසියන් දෙවියන්ට විවාහ කරදී ඇති නිසා යළි කිසි දවසක සාමාන්‍ය මනුස්සයෙකු සමග විවාහ වෙන්න බැරි වුනා. ගොඩක් වෙලාවට පහල කුලවල දුප්පත් දෙමව්පියන්ගෙ දරුවො තමයි දේවදාසියො විදිහට කෝවිල්වලට පවරගත්තෙ. මේ පූජ්‍ය පක්ෂය ටික ටික දූෂ්‍ය වෙනවත් එක්කම දේවදාසියො කෝවිලේ ලිංගික ශ්‍රමිකයන් වුනා. වයසත් යනවත් එක්ක ඒ අය කිසිම පිළිසරණක් නැති ගණිකාවන් විදිහට පාරට වැටුනා.

    ඉන්දියාවෙ සුල්තාන් යුගයෙදි ගණිකා වෘත්තිය සශ්‍රීක වෙන්න පටන් ගත්තා. සුල්තාන්ලට ඕනවුනේ ලෝකෙ ඕනම තැනක තියෙන ඉහලම සැප විඳින්න. ලෝකෙ පුරාම රටවල්වලින් ඒ ගොල්ලො ගණිකාවන් ඉන්දියාවට ගෙන්න ගත්තා. තමන්ගේ මන්දිර අන්තපුර බවට පෙරලුවා. ඒ ගැන කිසිම සදාචාරාත්මක අවුලක් සුල්තාන්ලට තිබුනෙ නෑ. විවිධ රටවල විවිධ ආගම්වලින් ගෙන්වාගන්නා ගණිකාවන්ව මුස්ලිම් ආගමට හරවාගත්තා. සමහර තැන්වල කාන්තාවන් කාලයකට කුලියට ගතහැකි ක්‍රමයක් පවා ක්‍රියාත්මක වුනා.

    මෝගල් අධිරාජ්‍යය කාලෙදිත් ගණිකා වෘත්තිය රාජ්‍ය මට්ටමෙන් කෙරුනා. අක්බාර් අධිරාජයා කාන්තාවන් 5000කින් සමන්විත අන්තපුරයක් තමන් වෙනුවෙන් පවත්වාගෙන ගියා. ඉතාම හොඳින් මිළමුදල් ලැබෙන කාලයක් නිසා වංශවතුන් වඩාත් සුඛ විහරණවලට වියදම් කළා. තමන් වෙනුවෙන්ම වෙනම රති ක්‍රීඩා මන්දිර පවත්වාගෙන ගියා. වෙනම කාන්තාවන් නඩත්තු කළා. ගොඩක්ම ප්‍රකට වුනේ පුද්ගලිකව වංශවතුන් සඳහා සැපයෙන ගණිකා සේවය සහ අන්තපුර ක්‍රමය.

    බි්‍රතාන්‍යයො තමයි ගණිකා වෘත්තිය සීමා කරන නීති සම්මත කරන්නෙ. මොකද ඒ රටේ වැඩකරන්න ආපු හැම සුද්දටම ඉන්දියාවෙ තවත් ගැහැණියක් හෝ ගැහැණුන් කීපදෙනෙක් ඉන්න තත්වයක් ඇතිවෙනවා. ඒ අයගෙ පවුල් අවුල් වෙන්න ගන්නවා. ඒ වගේම සමාජ රෝග බෝවීමේ අවදානමක් ඇතිවෙනවා. මේ නිසා මේක පාලනය කිරීමේ අවශ්‍යතාවයක් බි්‍රතාන්‍යයන්ට එනවා. මුලින් බෝවෙන රෝග පණතක් විදිහට මේ වෑයම එනවා. පස්සෙ සදාචාර විරෝධී ජාවාරම් තහනම් කිරීමේ පණතක් විදිහට 1956දි ගණිකා වෘත්තිය සීමාකරන නීති ගේනවා. මේ පනත ගණිකා ජාවාරමට එරෙහිව ගෙනාවත් ඇත්තටම පීඩාවට පත්වුනේ ඒ වෘත්තියේ යෙදෙන ගැහැනුන්මයි. මේ නිසා ගණිකාවක් හැටියට සේවයේ යෙදෙන කෙනෙක්ව ගණිකා ජාවාරමේ යෙදුනා කියන වරදට හසුකළ නොහැකි අන්දමේ ප්‍රඥප්ති පස්සෙ නිර්මාණය වුනා.

    සමහර සීමිත පලාත්වල ගණිකා වෘත්තිය පවත්වාගෙන යන්න බි්‍රතාන්‍යයන්ටත් සිද්ද වෙනවා. මුම්බායිවල කාමාතිපුර කියන්නෙ ආසියාවෙ ලොකුම රෙඩ් ලයිට් ස්ටී්‍රට් එක. මේක බි්‍රතාන්‍යයන් වෙනුවෙන්ම පවත්වාගෙන ගිය ගණිකා ප්‍රදේශයක්.

    1999දි විතර ස්වීඩනය ගණිකා වෘත්තිය ගැන වෙනස්ම එළඹුමක් ගන්නවා. ඒ අය මේක කාන්තාවන්ට එරෙහි ප්‍රචන්ඩත්වයක් විදිහට ස්ත්‍රීවාදී කෝණයකින් මේ දිහා බලනවා. මේ නිසා ගණිකාවන් රජය මැදිහත්වීමෙන් වෙනත් වෘත්තීන් වලට පුහුණු කරනවා. ඒ වගේම සෙක්ස් විකිනීම වරදක් නොවුනත් සෙක්ස් මිළදී ගැනීම වරදක් බවට පත් කරනවා.

    දකුණු අප්‍රිකාව වගේ රටවලට ගණිකා වෘත්තියේ ඉතාම ඛේදනීය ඉරණමකට මුහුණ දෙන්න සිද්ද වෙනවා. දුප්පත් රටවල් ගොඩක් වටවෙලා තියෙන හින්ද ගණිකා වෘත්තියට ලේසියෙන්ම යොමුවන පිරිස වැඩියි. මේ නිසා සෙක්ස් ට්‍රැෆිකින් නැත්තං වෙනත් රටවල අයගේ විවිධ ලිංගික අවශ්‍යතා වෙනුවෙන් ගැහැණුන් විකිනීම දරුණුවට සිද්ද වෙනවා. 25%ක් විතරම මෙතනදි ගොදුරු වෙන්නෙ බාලවයස්කාර දැරියන්. 2007 වගේ කාලෙදි ඒ රජය ඉතා දැඩි නීති සම්පාදනය කරමින් මේ තත්වය පාලනය කරන්න උත්සාහ ගත්තා.

    ඇමරිකාවෙ නෙවාඩා ප්‍රාන්තයේ විතරක් ගණිකා වෘත්තිය නීතිගතයි. ගණිකා නිවාස පවත්වාගෙන යන්න නිශ්චිත තැන් තියෙනවා. කොන්ඩම පැළඳීම අනිවාර්යයි. තීරණය ගැනීමේ අයිතිය ලිංගික ශ්‍රමිකයා නැත්නම් ඒ කාන්තාව සතුයි. අනිවාර්යෙන්ම සතිපතා රෝග පරීක්ෂාවන් සිද්ද කරනවා.

    නෙවාඩා වල මේ නිදහස ලැබෙන්න හේතුව එහේ ජනතාව ලිබරල් වීමද? නෑ ඒ ගොල්ලො ලිබටේරියන්. ඒ අය පුද්ගලිකව ගණිකා වෘත්තියට අකමැතියි. නමුත් තමන්ගේ පුද්ගලික අකමැත්ත රාජ්‍යය නීතියක් බවට පත්වෙලා යමක් සීමා කිරීම ගැන ඒ අය ඊට වඩා අකමැතියි. ගණිකා වෘත්තිය කියන එක රාජ්‍ය මට්ටමෙන් නීත්‍යානුකූලව පවත්වාගෙන යාම වරදක් නෑ කියලයි ඒ මිනිස්සු දකින්නෙ.

    ලංකාවෙ ගණිකා වෘත්තිය නීතිගත කිරීම ගැන විවිධ සංවාද මතුවෙනවා. ඒ අතරෙ හැමදාම ගොසිප් පිටුවල, හිරු නිව්ස්වල ගණිකා නිවාස වටලනවා. ඒ කාන්තාවන් මාධ්‍ය සහ නීතියේ අතවරයට ලක්කරනවා. ඒත් නෙවාඩාව වගේ අපි අකමැති වුනත් සමාජයට අවශ්‍ය දෙයක් තිබිය හැකියි කියන එක පිලිගන්න තරමට අපේ රටේ මනස දියුණු වෙලා නෑ. ඒ නීති නිසා තව මනුස්සයෙකුගේ ජීවිතයට තියෙන බලපෑම අපේ සදාචාරයෙන් එලියට ඇවිත් බලන්න අපි ලෑස්ති නෑ. අපි කැමතියි හංගන්න. තවත් යටපත් කරන්න. සෙක්ස් කියන එක හැංගිලා කරන්න ඕන දෙයක් කියල අපි විශ්වාස කරනවා. ඒ හැංගීම නිසා ජාවාරම් බිහිවෙනවා. ගැහැණු දූෂණය වෙනවා. සමාජ රෝග පැතිරෙනවා. ගැහැණු පොලිස් අතවරවලට ලක්වෙනවා. ඒ වගේම ගෙවන මුදලට සරිලන සෞන්දර්යාත්මක ආස්වාදයක් ලැබීමේ අවස්ථාව පාරිභෝගික අපි හැමෝටමත් නැති වෙනවා.

    ඒත් අපි සදාචාරය කියන්නෙ මේකට.

  • Raising the Skirt රෙද්ද ඉස්සීම (දෙවන කොටස)

    Raising the Skirt රෙද්ද ඉස්සීම (දෙවන කොටස)

    ගේලික් සහ ග්‍රීක මිත්‍යා කතාවලට අනුව පිලිවෙලින් අයිරිෂ් හිරු දෙවියන් වන කුචුලේන් සහ ග්‍රීක වීරයෙක් වෙන බෙලරොෆොන් පරාජය කරන්න කාන්තාවන් පිරිස් එකතුවෙලා ඒ අයගෙ රෙද්ද උස්සා පෙන්නනවා. පුරාණ සහ නූතන ඉතිහාසයේ ගැහැණුන් විරෝධය පානු පිනිසත් යුධමය උපායක් පිනිසත් මේ රෙද්ද ඉස්සීමේ ප්‍රකාශනය පාවිච්චි කළ තැන් දකින්න පුළුවන්. ක්‍රිපූ 551 මෙඩියාව සහ පර්සියාව අතර යුද්ධයක ප්‍රතිඵල වෙනස් කරන්න මේ විදිහෙ සාමූහික වැජයිනා ප්‍රදර්ශනයකට පුළුවන් වෙනවා. 19 වෙනි සියවසේ චීනයේ වැඩමහල් ගැහැණු පෝලිමක් නගරයේ තාප්පය උඩ නැගලා ඒ අයගෙ වැජයිනාවන් ප්‍රදර්ශනයෙන් සතුරන් බියපත් කරනවා.

    මේ උදාහරණ වලින් කියන්නෙ රෙද්ද ඉස්සීමෙන් සතුරන් තිගැස්සීමට සහ නැවත කල්පනා කිරීමට පෙළඹවීම ගැන. එතනදි මේ වැජයිනාවන් එකහඬින් කියන්නෙ, ‘දැන් ඇති. ආපහු හිතපං. උඹ කරන්න යන ක්‍රියාව වැරදියි’ කියන එක. අවුරුදු 60ට කලින්, 1958දි අප්‍රිකාවෙ වෙස්ට් කැමරූන්වල 7000ක් කාන්තාවො මේ විදිහට ආන්ඩුවට විරුද්ධව රෙද්ද උස්සා පෙන්නුවා. ඒ තමන්ගේ ගොවිතැන් කරන ආකාරය වෙනස් කරන්න ආන්ඩුවෙන් නීති පැනවීම නිසා. එතනදි මේ කාන්තා විරෝධය ජයගත්තා.
    ඒත් මේ රෙද්ද ඉස්සීමේ ප්‍රකාශනය තමන්ගේ පවුල් ආරක්ෂා කිරීම, විරෝධය පෑම, සතුරා පළවාහැරීම කියන දේවල්වලට වඩා එහාට යනවා. මේක සශ්‍රීකත්වය පිළිබඳ සන්නිවේදනයකුත් වෙනවා. මිනිස්සුන්ගෙ, ගොවිබිමෙහි, ඇති කරන සතුන්ගේ සශ්‍රීකත්වය, වගේම භවභෝගවල සශ්‍රීකත්වය වෙනුවෙනුත් මේ සම්ප්‍රදාය පාවිච්චි වුනා. ඊජිප්තුවේ සහ ග්‍රීසියේ මේ රෙද්ද ඉස්සීම උත්සව චාරිත්‍රයක් වුනා. මෙම්ෆිස් පලාතේ ඒපිස් කියන ශුද්ධ ගවයාගේ බලය වැඩි කරන්න මේක ආගමික චාරිත්‍රයක් වුනා. ඊජිප්තියානු බුබාස්ටිස් උත්සවයේදීත්, තෙස්මෆොරියා සහ ෆ්ලොරාලියා වැනි ග්‍රීක උත්සවවලදීත් සශ්‍රීකත්වය වැඩි කිරීමේ අරමුනෙන් මේ චාරිත්‍රය සිදු කළා.

    විසිවෙනි සියවස වෙනකල්මත් ගොඩක් බටහිර රටවල මේ සම්ප්‍රදාය තිබුන. කාන්තාවො වගාබිම්වලට ගිහින් ඒ භෝග දළුලා වැඩෙන්න ආශීර්වාද කරමින් තමන්ගේ රෙද්ද ඉස්සුවා. ‘මගේ වැජයිනාව දක්වා උසට වැඩෙන්න’ කියල ඒ ගොල්ලො ඒ පැලවලින් ඉල්ලා සිටියා. මේ සම්ප්‍රදාය අඩුතරමෙ පුරාතන ඊජිප්තුව දක්වා යනවා. එතන රෙද්ද ඉස්සීම ආගමික විශ්වාසයන්ගේ කොටසක් වුනා. ඉතිහාසඥයෙක් වගේම ඇසින් දුටු සාක්ෂිකරුවෙක් වුනු හෙරඩොටස් මේකට නමක් දෙනවා. ‘ඇනා-සුරොමායි හෝ ඇනසිර්මා, ඒ කියන්නෙ කෙනෙකුගේ ඇඳිවත උස්සා පෙන්නීම කියන තේරුම.

    ඊජිප්තු, ග්‍රීක සහ ජපන් මිත්‍යාවේදයන් හැම එකකම විස්තර වෙනවා මේ ඇනා-සුරොමායි මගින් අන්ධකාරය පලවාහරිමින් සාමය සහ සශ්‍රීකත්වය ලෝකයට කැඳවීම ගැන. සතුට, ආදරය සහ ලිංගිකත්වයට අධිපති හාතර් ඇගේ වැජයිනාව ඇගේ පියාණන්වන රා නැමැති හිරුදෙවියාට ප්‍රදර්ශනය කරනවා. ඒ තාත්තාගේ කේන්තිය නිවාදමා නැවත පාලනය ආරම්භ කරවන්න.

    සශ්‍රීකත්වයට අධිපති දෙවඟන ඩෙමිටර් ඇගේ දුව පර්සිෆොන් නැතිවුනු ශෝකයෙන් කිසිවක් නොකා නොබී ලෝකෙ පුරා ඇවිදින්න ගන්නවා. පර්සිෆොන්ව හේඩ්ස් විසින් පැහැරගෙන ගිහින් පාතාලයේ හිරකරලයි තියෙන්නෙ. මේ නිසා ඉඩම් නිසරු වෙනවා, වගාවන් පාළුවෙලා යනවා, සාගතය පැතිරෙනවා. මේ වෙලාවෙදි වැඩිමහල් කාන්තාවක් වන බෝබෝ ඇගේ ගවුම උස්සලා ඇගේ වැජයිනාව ඩෙමිටර්ට පෙන්නනවා. මේකට ඩෙමිටර්ට හිනායනවා. ඇය නැවත ජීවත්වෙන්න තෝරගන්නවා. ඒ නිසා ලෝකයට සශ්‍රීකත්වය උදාවෙනවා. ජපානයේත් මීට සමානම කතාවක් තියෙනවා. තරහ ගිය හිරු දෙවඟන ‘අමෙටෙරාසු-ඕ-මි-කමෙ’ ලෝකය අතෑරලා දාපු අවස්ථාවක මේ විදිහටම වැජයිනාව ප්‍රදර්ශනයෙන් නැවත තත්වය යහපත් අතට හැරීම ගැන.

    ස්ත්‍රීන් රෙද්ද ඉස්සීම පිටුපස තියෙන ඓතිහාසික සහ මිත්‍යාවේදමය පොහොසත්කම ඇනා සුරොමයි කලාවන්ගෙන් පිළිඹිඹු වෙනවා. ඊජිප්තුවෙ ඇලෙක්සැන්ඩි්‍රයාවෙන් හමුවුනු ටෙරාකොටා පිළිමවල දකින්න පුළුවන් හිසෙහි විවිධ සැරසිලි කළ කාන්තාවන් ඉදිරිය බලාගෙන අභිමානයෙන් ඔවුන්ගේ ගවුම් ඔසවා නිරුවත් වැජයිනාවන් ප්‍රදර්ශනය කරන අන්දම.

    සිරියානු සිලින්ඩර් සීල්වල අපිට මුනගැහෙනවා පැරණිතම රෙද්ද ඉස්සීමේ රූප. ඒ වගේම ෂින්ටො බුදු දහමෙ දෙවඟනක් වන කන්නොන්ගෙ රෙද්ද ඉස්සීමේ ප්‍රතිමාව අද පවා බුහුමන් ලබනවා. ටටෙබයාෂිවල කන්ෂොජි පන්සලට එන බැතිමත්තු මේ දෙවඟනගේ පූජනීය වැජයිනාව බැතිසිතින් ස්පර්ශ කරනවා. රතු මොට්ටුවක් තියල සශ්‍රීකත්වයේ ආශීර්වාද ලබාගන්නවා.

    ඉතාලියෙ මිලාන්වල 12 වෙනි සියවසේ නිරූපනයවන රෙද්ද උස්සන්නිය මීට වඩා වෙනස් අරමුණක් නියෝජනය කරනවා. එක අතකින් රෙද්ද උස්සාගෙන සිටින ඇය අනිත් අතින් කිනිස්සක් අරන් ඒක ඇගේ වැජයිනාවට ඉහලින් අල්ලාගෙන ඉන්නවා. මේක ගලින් නෙළු ප්‍රතිමාවක්. මේ ප්‍රතිමාව තනා තිබුනෙ මධ්‍යතන පෝර්ටා ටෝසා දොරටුවෙ ඉහලින්. ඒකෙ අපේක්ෂාව වුනේ නගරය ආරක්ෂා කරන එක.

    වසර ගානක් පැරණි වැජයිනාවේ මේ වික්‍රමාන්විත බලය ගැන කතා ඔයාගෙ දුවට, මිණිපිරියට, යාළුවන්ට කියා දෙන්න. හැබැයි ඒ රෙද්ද ඉස්සීමේ එක කතා ප්‍රවර්ගයක් විතරයි. ඒ වගේම මේ 21 වෙනි සියවසේ ජීව විද්‍යාව, ජාන විද්‍යාව, ප්‍රජනන විද්‍යාව, ඇසුරින් කියවෙන වැජයිනාවේ පුදුම බලය ගැන කතන්දරත් ඒ අයට කියාදෙන්න. ඒ කතාවලිනුත් කියන්නෙ මේ ඇනසිර්මා ක්‍රියාවන් (ලිංගේන්ද්‍රියන් නිරුවත්ව විදහා දැක්වීම) වගේම ස්ත්‍රීත්වයේ බලය සහ අනුහස ගැනයි.

  • සාහිත්‍ය ලෝකයේ විශිෂ්ට පාදඩයා – හෙන්රි මිලර්

    සාහිත්‍ය ලෝකයේ විශිෂ්ට පාදඩයා – හෙන්රි මිලර්

    ‘ගමනාන්තයක් කියන්නෙ තැනක් නෙමෙයි. දේවල් වෙනස් විදිහට දකින අලුත් විදිහක්’ – හෙන්රි මිලර්

    හෙන්රි මිලර් පැරිසියෙ ගතකරපු ස්වයං පිටුවහල් ජීවිතේදී ලියන ට්‍රොපික් ඔෆ් කැන්සර් පොතේ පලවෙනි පිටුවෙ බොරිස් කියන කාලගුන අනාවැකිකරුවා මෙහෙම කියනවා, ‘කාලගුණය දිගටම නරක් වේවි. තව තවත් විනාශයන්, මරණයන්, සහ වියවුල් සිදුවේවි. වෙනසක් වෙන හෝඩුවාවක් හෝ කොතනකවත් නෑ. කාලයේ පිළිකාව විසින් අපි සියල්ලන් කා දමමින් තියෙනවා. අපේ වීරයො ඔවුන්ම මියගිහින් හෝ මියයමින් ඉන්නවා. වීරයා කියන්නෙ කාලයට නෙමෙයි, අකාලයට. අපි මරණයේ සිරකුටිය වෙත යන්න ඕන. ඉන් ගැලවීමක් නෑ. කාලගුණය වෙනස් වෙන්නෙ නෑ’.

    මිලර්ගෙ ලේඛන එකතුවක් සංස්කරණය කරන ඔහුගේ මිත්‍රයෙක් වුනු බි්‍රතාන්‍ය ලේඛක ලෝරන්ස් ඩුරෙල් ඒකෙ පෙරවදනෙ මිලර්ව හඳුන්වා දෙන්නෙ ‘සාහිත්‍යයේ විශිෂ්ටම පාදඩයෙක්’ විදිහට.

    මේක ඇත්තක්. මේ සියවසෙත් ඕනම කෙනෙක් මිලර්ව කියන්නෙ ඒ ලිවීම ගැන පුදුම වෙමින්. මිලර් අසභ්‍ය රචකයෙක් හැටියට තහනම් වුනු නිසා ඇමරිකාවෙ සහ බි්‍රතාන්‍යයේ 1964 වෙනකල් මිලර්ව කියවන්න දෙන්නෙ නෑ. ඒත් අද වෙද්දි හෙන්රි මිලර්ගෙ පොත් ඒ රටවලම විශ්ව විද්‍යාල වල අධ්‍යනය කරනවා, විශිෂ්ට සාහිත්‍යය විදිහට.

    මුල්කාලෙදි මිලර් ප්‍රංශය ගැන ගොඩක් ආදරෙන් හිටියෙ. මොකද ප්‍රංශයෙ අසභ්‍යයි කියල පොත් තහනම් කිරීම සිද්ද වුනේ නෑ. ඒ වගේම ප්‍රංශ අධිකාරීන් ඉංග්‍රීසියෙන් ලියන පොත් ගැන එච්චර උනන්දු වුනෙත් නෑ. ඇත්තටම මිලර්ව ඉංග්‍රීසි කතාකරන රටවලට වඩා ජපානයේ මිනිස්සු කියෙව්වා.

    මිලර්ගෙ කෘතිවලට ලැබිය යුතු ගෞරවය ඒ කාලෙදිම හිමි නොවීම දුකක්. ඒත් ලෝකෙ හැටි එහෙමයි. මේ වෙද්දි ඇමරිකානු පෙරටුගාමී සාහිත්‍යකරුවන් විදිහට ගන්න විට්මන්ලා, ට්වේන්ලා, හෙමින්ග්වේලා එක්කම හෙන්රි මිලර්වත් කියවනවා.

    මිලර් කියන්නෙ දැඩි බුද්ධිමය එඩිතරභාවයක් තිබුනු ලේඛකයෙක්. ඒ වගේමයි එයාගෙ වචන පාවිච්චිය. මිලර් එයාගෙ වියවුල් පිරුනු ලෝකය ගැන කියවන්නාගේ ඇස් ඉස්සරහ රූප මැවෙන්න ලිව්වා. එයා ඇත්තටම සාහිත්‍ය ගැන්ග්ස්ටර් කෙනෙක්. අසභ්‍යයි කියන දෙයින් හා ජීවිතේ ගැන තිබුනු කොන්දේසි විරහිතව නිදහස් දැක්මෙන් එයා අකුරු ඇතුලෙ ප්‍රොටෙස්ට් කළා. සාහිත්‍ය කියන දේ සාහිත්‍යයේ සීමාවෙන් ගලවලා අරන් ගිහින් ජීවිතය තියෙන තැන ඇත්තට හිටෙව්වා. මිලර්ගෙ හැම ලියවිල්ලක්ම ප්‍රකෝපකාරීයි. ඇවිලෙනසුලුයි.

    මිලර් එයාගෙ කතා ලිව්වෙ ආත්මකථන විදිහට. පිටු ඉරාගෙන එලියට පනින්නෙ එයාගෙ ජීවිතය. එයා ලිව්වෙ හරියට නැවත නැවත එයාගෙ ජීවිතේ ගතකරන්න කෑදරකමෙන් වගේ. මිලර් ලියපු දේවල් ආන්දෝලනාත්මක නොවුනා නම් අනිවාර්යෙන්ම ඒ ලිවීම ඒ කාලෙත් ප්‍රශංසාවට ලක්වෙන්න තිබුන. මාකි ඩි සාද් වගේම මිලර්ගෙ සාහිත්‍යයත් බිහිසුණු එකක්.

    මිලර් එක්ක ඊලඟට මතක්වෙන්නෙ ඩීඑච් ලෝරන්ස්ව. ලෝරන්ස් වගේම මිලර්ටත් පුළුවන් මිනිස්සුන්ගෙ වල් වැදුනු අභ්‍යන්තරය ඇතුලට රිංගන්න. හැබැයි ලෝරන්ස්ට වගේ මිලර්ට සදාචාරමය හෝ සත්‍යය සොයා යාමේ උවමනාවක් දශමයකටවත් නෑ. නමුත් ආර්ට්වල නිදහස වෙනුවෙන් දෙන්නම එකම විප්ලවීය තැනක පෙනී හිටියා.

    මිලර් ලෝරන්ස්ව ඉතා අගය කළා. ‘තමන්ගෙ අදහස් රාක්කෙ සාහිත්‍යය එල්ලා තැබූ මිනිහෙක්’ මිලර් ලෝරන්ස් ගැන ලිව්වෙ එහෙම. එයා උත්සාහ කළා ලෝරන්ස් ගැන විචාර කෘතියක් කරන්න. ‘මං පොත ඇතුලට යන්න යන්න මට මං කරන්නෙ මොකක්ද කියල තේරුමක් නැතුව ගියා’. මිලර් තමන්ගෙ විචාරය මගදි නැවැත්තුවා.

    තව පැත්තකින් මිලර් සැමුවෙල් බෙකට් ළඟින් යන ගතියක් තියෙනවා. ‘ආගමටයි පාරභෞතික දේවල්වලටයි ලෝකෙ තිබුන අධිකාරිය ඉවරයි’ බෙකට් කියනවා. බෙකට් ලියන්නෙ හරියට තමන්ගේ මනසින් පිට කිසිවක් නොපවතී වගේ තැනක ඉඳන්. ‘ආදරය කියන්නෙ බලයේ මායාවක්’ කියල බෙකට් කියනවා. තමන් ජීවත්වෙන කාලයේ නාස්තිවෙලා ගිය මනස් සහ අබ්බගාත වුනු ශරීර යලි කිසි දවසක එක් නොවනු ඇතැයි කියල බෙකට් හිතුවා.

    අපරාධය ඇරඹෙන්නේ දෙවියන්ගෙනි, කියාගෙන මිලර් එන්නෙ ඔතනදි. මිලර් එයාගෙ ‘එයාර්-කන්ඩිෂන්ඩ් නයිට්මෙයාර්’ (වායුසමීකරණය කළ මාරක හීනය) පොතේ ලියනවා ‘ දෙවියන් නැවත මුනගැහෙන තැනදී අපරාධය මිනිසාගෙන් අවසන් වෙයි’ කියල.

    මිලර්ට පැරිසියෙදි ශෘංගාර කතා ලියන්නියක් වුනු ඇනායිස් නීන් මුනගැහෙනවා. ඒ දෙන්නා අතර ඉතා දැඩි වගේම එකිනෙකා පෝෂනය කරන ආදර සම්බන්දයක් ගොඩනැගෙනවා. මිලර් අතින් ට්‍රොපික් ඔෆ් කැන්සර් ලියවෙන්නේ ඒ කාලෙදි.

    මිලර් සාර්ථක වෙන්නෙ මේ පොතෙන්. ප්‍රංශයේ ඔබෙලිස්ක් ප්‍රෙස් එක මේ පොත ප්‍රින්ට් කරනවා. පොතේ පිරිලා තියෙන්නෙ කාලකණ්ණිකම සහ සෙක්ස්. ඒ තමයි මිලර්ගෙ ඇත්ත අත්දැකීම්. මේ පොතෙන් පස්සෙ මිලර් එයාගෙම වූ ශෛලියක් ගොඩනගනවා. එයා විසින් මෙතෙක් අගය කළ කිසිවෙකුගෙ ටෝන් එකක්, ස්ටයිල් එකක් හෙවනැල්ලක් හෝ මිලර් අනුගමනය කරන්නෙ නෑ.

    මිලර්ට ආරට් කියන්නෙ ජීවිතයට ආදේශකයක්. එයා පෲස්ට්, එලියට්, ජොයිස් ආදීන් නියෝජනය කරපු නූතනවාදී රැල්ලට සෙට් වුනේ නෑ. මිලර් වැඩිපුර ළංවුනේ ඩාඩාවාදීන්ට, අධිතාත්විකවාදීන්ට වගේම ප්‍රංශමය නොවුනු ප්‍රංශ ලියන්නන්ට. මිලර් විශ්වාස කලේ සාහිත්‍යය කියන්නෙ අසනීපයක් තරමට බරපතල අතිශය විශිෂ්ට නියුරෝසියාවක් කියල.

    සාත්‍ර එයාගෙ සාහිත්‍ය යනු කුමක්ද කෘතියෙ කියනවා ආර්ට් එකක් වටිනවා නම් ඒක ජනතාවගේ කැමැත්තෙන් පිළිඹිඹු වෙනවා කියල. මිලර් හිටියෙ මේ අදහසට සම්පූර්ණයෙන්ම අනිත් පැත්තෙ. එයා හිටියෙ හරියටම ඇමරිකානු සිත්තරෙක් වුනු ජැක්සන් පොලොක් හිටපු තැන. ඒ කියන්නෙ ආර්ට් සම්පූර්ණයෙන්ම පුද්ගලිකයි කියන ස්ථාවරයෙ. පොලොක් විශ්වාස කලේ ආර්ට් එකකට සැමවිටම එහි ආර්ටිස්ට් විසින් ප්‍රේක්ෂකයාට වඩා වටිනාකමක් දෙනවා කියල.

    මිලර් කිව්වෙ ලිවීම කියන්නෙ ආත්මකථනයක් කියල. ‘අපි ඩයරියක් නැවත නැවත බලන්න ඕන ඒ සිදුවීම්වල සත්‍යය තේරුම් ගන්න නෙමෙයි. අපි ඩයරිය කියවන්න ඕන සත්‍යය ගැන තියෙන මේ උන්මාදයෙන් නිදහස් වීමේ අරගලයේ ප්‍රකාශනයක් විදිහට’ – මිලර්

    මිලර්ට බලපාපු විවිධාකරයේ ලේඛකයන් සහ සිතන්නන් හිටියා. විශේෂයෙන්ම ස්වාමි විවේකානන්ද, ජේ ක්‍රිෂ්ණමූර්ති, රාමක්‍රිෂ්න වගේ අය ලොකු බලපෑමක් කළා. ඩුරෙල් කියනවා ඉන්දියානු සහ චීන ආගම් වගේම ෆ්‍රොයිඩ්ගේ හෙවනැල්ල මිලර්ගෙ ලිවීම් පිටිපස්සෙ තිබුන කියල.

    මිලර් අසභ්‍ය දේට පක්ෂ වෙමින් පෝර්න්වලට විරුද්ධ වුනා. එයාට පෝර්න් ගැන වෙනම අදහසක් තිබුන. පැරිස් රිවීව් ඉන්ටර්විව් එකක එයා මේක කියනවා.

    ‘අසභ්‍යයි කියන්නෙ කෙලින් කියන දේට. පෝර්න් කියන්නෙ වටරවුම්වලට. මං විශ්වාස කරන්නෙ අමුවෙන් කෙලින් ඇත්ත කියන එක. ඒක කොයිතරම් තැතිගන්වනසුලු වුනත්. ඒක වචනවලින් හංගන්න, වහන් කරන්න නරකයි. අසභ්‍යයි කියන්නෙ ඇත්තටම පවිත්‍රකරණයක්. පෝර්න් කියන්නෙ තවත් මඩ කිරීමක්. අසභ්‍ය දේ නෙමෙයි වැදගත්ම දේ. හැබැයි කිසිම වෙලාවක ඒක නොතකා හැරීම හෝ යටපත් කිරීම කරන්න නරකයි’

    හෙන්රි මිලර්ගෙන් වදන් අටක්

    1. රාක්කෙක තියෙන පොතක් කියන්නෙ අපතෙ යන උන්ඩයක් වගේ. සල්ලි වගේම පොත් නිතරම වටේ යන්න ඕන. පොතක් කියන්නෙ ඔයාට යාළුවෙක් විතරක් නෙමෙයි තව යාළුවො තනා දෙන්නෙක්. පොතක් ඔයාගෙ මනස, ආත්මය අල්ලාගත්තා කියන්නෙ ඔයා පෝසත්. ඒ පොත තව අයට පාස් කළා කියන්නෙ ඔයා තවත් පෝසත්.

    2. මට හුදකලා වෙන්න ඕන. මගේ ලැජ්ජාව සහ අවුල ගැන මට හුදකලාව හිතන්න ඕන. මට හිරු එළිය සහ පදික වේදිකාවෙ ඇල්ලූ ගල් විතරක් ඕන වෙන කවුරුවත් නැතුව. කිසි සංවාදයක් නැතුව මට මටම මුහුණ දෙන්න ඕන. මගේ හදවතේ සංගීතය විතරයි මට ඇහෙන්න ඕන.

    3. හැමෝටම තියෙනවා තමන්ගෙම රියැලිටියක්. කෙනෙක් බියගුළු නැත්තං එයාට ඒකෙ එහාමෙහා පීනන්න පුළුවන්. ඒක විතරයි පවතින එකම රියැලිටිය.

    4. පරිකල්පනය කියන්නෙ නිර්භීතබවේ හඬට. දෙවියෙක් කියල දෙයක් තියෙනවා නම් ඒ තමයි ඒක. එයා පොඩ්ඩක්වත් බයවුනේ නෑ ඕනම දෙයක් පරිකල්පනය කරන්න.

    5. මං විශ්වාස කරනවා අපි පොතක් හොයාගෙන යන්න ඕන, ඒකෙ එක හොඳ පිටුවක් හරි තියෙනවා නම්. අපි පුංචි කොටස්, කෑලි, නියපොතු ඕන දෙයක් හොයාගෙන යන්න ඕන ඒකෙ වටින දෙයක් තියෙනවා නම්. අපේ ශරීරය සහ ආත්මය පණගස්වන්න පුළුවන් ඕනම දෙයක් එතන තියෙනවා නම්.

    6. මම ඉගොයිස්ට් කෙනෙක්. ඒ කියන්නෙ මං ආත්මාර්ථකාමියෙක් කියන එක නෙමෙයි. ඒක වෙනස්. මං නියුරෝසිකයෙක්. මට මං ගැන නොහිතා ඉන්න බෑ. ඒ කියන්නෙ මං මාර වැදගත් කියල මං හිතනවා නෙමෙයි. මට වෙන කිසි දෙයක් ගැන හිතන්න බෑ. එච්චරයි. මං කෙල්ලෙක් එක්ක ආදරෙන් බැඳුනොත් ඒකෙන් පොඩි හරි උදව්වක් වෙයි. ඒත් මාව උනන්දු කරවන කෙල්ලෙක්ව මට හොයාගන්නත් බෑ.

    7. ඔයා යටත් වුනාම ප්‍රශ්නය නතර වෙනවා. ඒක විසඳන්න හරි යටත් කරන්න හරි ඔයා වෑයම් කරද්දි තව ප්‍රතිවිරෝධය වැඩිවෙනවා විතරයි. මට හොඳටම විශ්වාසයි මං ඒ කියන දේ වුනොත් සියලු බාධක එතනින් අවසන් වෙනවා. ඒත් තියෙන අමාරුම දේ තමයි තමන්ගෙ සම්පූර්ණ පැවැත්ම ඇතුලෙන්ම මේ තේරුම් ගැනීමට යන එක. ඔයා තනියෙන් ජීවිතේ කිසි දෙයක් පාලනය කරන්නෙ නෑ කියන තේරුම් ගැනීම.

    8. මිනිස් වර්ගයාගේ ජීවන තත්වය ගැන සදාතනික අවුලකින් පෙලෙන මිනිහෙක් කියන්නෙ එක්කො ඒ මිනිහට තමන්ගෙම කියල ප්‍රශ්න නෑ, නැත්තං ඒ ප්‍රශ්නවලට මුහුන නොදී පලායනවා.

  • කාස්ටින් කවුච් – කුප්‍රකට හොලිවුඩ් පුරාවෘත්තයේ උපත

    කාස්ටින් කවුච් – කුප්‍රකට හොලිවුඩ් පුරාවෘත්තයේ උපත

    බැලු බැල්මට අහිංසකයි වගේ පේන වචනයක් හොලිවුඩ් ෂෝ බිස්නස් එකේ ලිංගික දේශපාලන දූෂිත බවේ රූපකයක් වුනේ කොහොමද?

    හාවි වීන්ස්ටයින්ට විරුද්ධව දුසිම් ගානක් කාන්තාවො ඉස්සරහ ඇවිත් තමන් මුහුන දීපු ලිංගික අතවර ගැන කියද්දි නැවත නැවත මතුවුන වචනයක් තමයි කාස්ටින් කවුච් කියන එක. උදා විදිහට ග්ලෙන් ක්ලොස් කියන ජ්‍යෙෂ්ට නිළිය කාස්ටින් කවුච් කියන සිද්දිය අදටත් අපේ බිස්නස් එකෙත් ලෝකෙත් ඇත්තටම සිද්ද වෙන දෙයක් වීම ගැන එයාගෙ දැඩි තරහ පලකරලා තිබුන.

    කාස්ටින් කවුච් කියන්නෙ ඇතැම් චරිත ලබාගැනීම පිනිස ආධුනික නිළියන්ට ලිංගික අල්ලස් ලබාදෙන්න සිදුවෙන එකට. මේක හොලිවුඩ් ස්ටුඩියෝ ක්‍රමය නැගලා ගිය 1920 ගනංවල හරිම හුරුපුරුදු දෙයක් වුනා. ඒ වගේම මේ යෙදුම කාලයත් එක්ක මේ ලිංගික බලහත්කාරය සාමාන්‍යකරනය කරන්නත් පාවිච්චි වුනා.

    කොහොමද මේ අහිංසක යෙදුම ෂෝ බිස්නස් එකේ අපචාරී ස්ටෑන්ඩර්ඩ් එකක් වුනේ? කාස්ටින් කවුච් සම්ප්‍රදාය ඇතිවුනෙ හොලිවුඩ් ෆිල්ම් ඉන්ඩස්ටි්‍ර එක විනෝදාස්වාද ලෝකයේ කේන්ද්‍රය වෙන්න ගොඩක් කලින් බ්‍රෝඩ්වේ තියටර් එකෙන්. ‘ද බෝයිස් ෆ්‍රොම් සිරැකස්’ කියන පොතේ ෆොස්ටර් හර්ෂ් විස්තර කරනවා බ්‍රෝඩ්වේ තියටර් එක ගොඩනගපු සහෝදරයන් තුන්දෙනාගෙන් වැඩිමලා වන ‘ලී ෂුබර්ට්’ විසින් ප්‍රසංගයේ ප්‍රධාන චරිත කරන, බලාපොරොත්තු දල්වන කාන්තාවන් මුනගැහෙන්න උසස් ගෘහභාන්ඩ සහිත සුඛෝපභෝගී කාමරයකුත්, පරිවාර චරිත කරන කාන්තාවන් මුනගැහෙන්න බාල වර්ගයේ කාමරයකුත් පවත්වාගෙන ගියා කියල.

    ‘ඔයා ඒ ගොල්ලො එක්ක නිදාගත්තෙ නැත්තං ඔයාට ඒ චරිතය ලැබෙන්නෙ නෑ’ බ්‍රෝඩ්වේ නර්තන ශිල්පිනියක් වුනු ‘ඇග්නස් ඩි මිල්’ පසුකාලයක ෂුබර්ට් සහෝදරයො ගැන කිව්වා. ‘ෂුබර්ට්ස්ලා කරගෙන ගියේ ගණිකා මඩමක්. ඕන නං මට නඩු දාන්න කියන්න’

    මේ කාස්ටින් කවුච් කියන අදහස ෂූබර්ට්ලා එක්ක සම්බන්ද වෙනවා කියල වචනවල ඉතිහාසය හොයාගෙන යන පීටර් ටැමොනි ප්‍රකාශ කළා. ඇමරිකානු අසභ්‍ය වචනවල ඓතිහාසික ශබ්දකෝෂයේ හැටියට ටැමොනි 1931 උදාහරනයක් හොයාගන්නවා මේ වචනෙ පාවිච්චි වුනු. ‘ ඒක සිද්ද වුනෙ ෂුබර්ට් බිල්ඩිමෙන් කාස්ටින් කවුච් එලියට දාන්න ගොඩකාලෙකට කලින්…’ කියල ඒකෙ යම් සිද්ධියක් ගැන සඳහන් වෙනවා.

    මෙතනින් කාස්ටින් කවුච් එක හොලිවුඩ්වලට මාරුවෙනවා. 1920 ෆොටෝප්ලේ මැගසින් එකේ ලිපියක් පලවෙනවා ‘කැමරා දේශයේ සදාචාර කෙලෙසීම’ ගැන. ඒකෙ සඳහන් වෙනවා තරුණ කාන්තාවන්ට ස්ටුඩියෝ මැනේජර්ලට, ඩිරෙක්ටර්ලට, බලවත් පිරිමි චරිතවලට දොලපිදේනි නොදී තමන්ගේ වෘත්තියෙන් ඉහලට යන්න බැරිවීම ගැන.

    මේ වෙද්දිත් කාස්ටින් කවුච් කියන වචනෙ ස්ථාපිත වෙලා තිබුනෙ නෑ. මේ ලිපියෙ පවා ඒක සඳහන් නොවෙන්නෙ ඒ හින්ද. මේ වචනෙ හරියටම ලොකු ඕඩියන්ස් එකක් අතරට ගෙනියන්නෙ 1924 හැදෙන නිහඬ බ්ලූ ෆිල්ම් එකක්. ඒකෙ නම වෙන්නෙම කාස්ටින් කවුච්. ඒකෙ පෙන්නනවා චරිතයක් ලබාගැනීම වෙනුවෙන් නිළියක් කාස්ටින් ඩිරෙක්ටර්ගෙ ආශාවන් ඉටුකරන හැටි. මේ බ්ලූ ෆිල්ම් එකේ ඔරිජිනල් නමම ඒක වුනාද කියල හරියටම කියන්න අමාරුයි. මොකද මේ වගේ ෆිල්ම්වල ඉතුරු වුනු කොපි පස්සෙ නැවත නැවත සංස්කරණය වුන නිසා.

    1989 පොර්නොග්‍රෆි ඉතිහාසය ගැන ‘හාර්ඩ් කෝර්’ නමින් පොතක් ලියන ලින්ඩා විලියම්ස්ට අනුව ‘ද කාස්ටින් කවුච්’ කියන ෆිල්ම් එක මේ ජොන්රා එකේ ක්ලැසික් එකක්. අන්තිමට ටයිට්ල් අතර දාන හාස්‍යජනක උපදේශයක් ඇය උපුටා දක්වනවා.

    ‘තරුවක් වෙන්න ඇති එකම මග හොඳ ඩිරෙක්ටර් කෙනෙකුට යටවීම සහ එතන ඉඳන් ඉහලට ගමන් කරන එකයි’

    එහෙම වුනත් කාස්ටින් කවුච් වගේ නමක් දාන එක ඒ කාලෙ හැටියට ෆිල්ම් එකකට වාණිජමය වශයෙන් අවාසිදායක නමක් හැටියෙන් සලකන්න බොහොම ඉඩ තියෙනවා.

    1920 ගනං අග වෙද්දි මේ තත්වය වෙනස් වුනා. සෙක්ස්වලට බර භාෂාව ප්‍රධාන ධාරාව දක්වාම ඇවිත් තිබුන. 1929 ‘මැක්ස් ලීෆ්’ කියන නිව්යෝර්ක් ඩේලි නිව්ස් රචකයා නවකතාවක් ලියනවා. ඒකෙ නම හැන්ග්ඕවර් – බ්‍රෝඩ්වේ ආචාර පැවතුම් ගැන නවකතාවක්. ඒකෙ කවරයෙ මෙහෙම ලියලා තියෙනවා.

    “වාචාලයා සිට හයිජැක් කරන්නා දක්වා, ටැක්සි ඩ්‍රයිවර් සිට නයිට් ක්ලබ් පයිරෙට් දක්වා, ෂෝ ගර්ල්ගෙ සිට කාස්ටින් කවුච් ප්‍රොඩියුසර් දක්වා, ඉනිමග දිගයි. ඒත් මේ බ්‍රෝඩ්වේ ප්‍රපාතයේ මත්වුනු නිළියො ඒ ඉනිමග කොහොම හරි නගිනවා”

    1934 වෙද්දි කාස්ටින් කවුච් කියන එක නරකක් නැති වචනයක් වුනා. හොලිවුඩ් ගැන ලියන සාමාන්‍ය පත්තර කොලමක පවා ඒක ලියවුනා. වචන පරීක්ෂාවේ යෙදෙන ‘බැරී පොපික්’ මේකට උදාහරනයක් විදිහට ඒ අවුරුද්දෙ අප්‍රේල් මාසෙ සිඩ්නි ස්කොල්ස්කි කියන ගොසිප් තීරු රචකයා විසින් ‘කාස්ටින් කවුච් සිංදුව’ කියල ඒ කාලෙ හොලිවුඩ් ඇන්තමයක් බවට පත්වුනු ‘රූඩි වැලීගෙ’ සිංදුවක් ගැන ලියපු සටහන මතුකරනවා. පොපික් කියන විදිහට ස්කොල්ස්කිත් වගකියන්න ඕන මේ හොලිවුඩ් ස්ලෑන්ග් එක මේ තරම් ප්‍රසිද්ද කිරීමට. ඇකඩමි සම්මානවලට අනවර්ත නාමයක් විදිහට ඔස්කාර් කියන නමත් මුලින්ම ලියවෙන්නෙ 1934 මාර්තු ස්කොල්ස්කිගෙ කොලමෙ.

    මේ ප්‍රසිද්ද වුනු තැන් කීපය ඇරුනම කාස්ටින් කවුච් කියන එක හොලිවුඩ් ජෝක් එකක් විදිහටම තිබුන. ඊට අවුරුදු කීපයකට පස්සෙ 1937දි චිකාගෝ ටි්‍රබියුන් එකේ ලියන්නෙක් මේ වචනෙ ලිංගික අදහස ගැන කිසිම දැනීමක් නැතුව ප්‍රාදේශීය ගුවන්විදුලි නාලිකාවක කාන්තාවක් විසින් කරගෙන යන කාස්ටින් ඔෆිස් එකක් හඳුන්වන්නත් මේ වචනෙ පාවිච්චි කරලා තිබුන. වෙරයිටි සඟරාව ලැජ්ජ හිතෙන විදිහට මේ වරද පෙන්නලා දුන්නා.

    මේ අතරෙ අවසාන කාලයේ බේබද්දෙක් වුනු ‘එෆ් ස්කොට් ෆිට්ස්ගෙරල්ඩ්’ මේ යෙදුම ගැන දැනගෙන එයාගෙ ලාස්ට් ටයිකූන් කියන නවකතාවට මේක ඇතුලත් කළා. මේ කතාවෙ චිත්‍රපට නිෂ්පාදකයෙකුගෙ දුවෙක් වෙන සිසිලියා නැමැති කෙල්ල වයිලි කියන තිර රචකයා එක්ක කාර් එකක යනවා. ඒ අතරෙ එයා කියනවා ‘මොන්රො ස්ටාහ්ර්’ නම් දරන ලොකු නිෂ්පාදකයාව මුනගැහෙන්න එයාගෙ තියෙන සැලසුම් ගැන. එයා මවාගන්නවා ස්ටාහ්ර් එක්ක එයාගෙ ඔෆිස් එකේ මුනගැහීම එකපාරට කාමරේ ඇතුලට එන කෙනෙකු නිසා බාධා වෙන හැටි. ‘ටක් ගාලා ඔයා කාස්ටින් කවුච් එකෙන් බිමට පැනලා සාය හදාගන්න’ වයිලි මෙතනදි කියනවා. මේ කියන දේ පැහැදිලියි. සිසිලියා ඒ කවුච් එකේ මොනවා කරමින් හිටියද කියල කියන්න ඕනම නෑ.

    කාලයත් එක්ක මේ වචනය තනිකරම ෂෝ බිස්නස් එකේ ලිංගික දේශපාලන බලහත්කාරය සංකේතවත් කිරීම වෙනුවෙන් පමනක්ම යෙදෙන්න ගත්තා. හොලිවුඩ් කොලම් රචකයෙක් වුනු ‘ඩික් ක්ලයිනර්’ 1965දි තරුණ කාස්ටින් ඩිරෙක්ටර් කෙනෙක් වුනු ‘මර්වින් පේජ්’ ගැන ලියද්දි එයා මුලින්ම සලකුනු කරන්නෙ පේජ්ගෙ ඔෆිස් එකේ කවුච් එකක් නැතිකම. පේජ් එතනදි කියනවා, කාස්ටින් කවුච් යුගය අවසන් කියල.

    60 ගනං වෙද්දි ඇත්ත කාස්ටින් කවුච් එක අතීතෙට එකතු වුනාට එයින් ඇති කරපු පරිසරය, සංස්කෘතිය තව ඉස්සරහට වර්ධනය වුනා. ලාස්ට් ටයිකූන් පොතෙන් 1976 ෆිල්ම් එකක් කරද්දි සිසිලියාගෙ චරිතය කරන තරුණ ‘තෙරේසා රසල්’ මේ හා සමානම තත්වයකට මුහුන දීම අයිරනියක්. රසල් කියනවා එයා මේ ෆිල්ම් එකේ ප්‍රොඩියුසර් වුනු සෑම් ස්පීගල්ගෙ නොහොබිනා උත්සාහයන් සියල්ල ප්‍රතික්‍ෂේප කළත් එයාට චරිතය ලැබුනා කියල.

    ඊට දශක ගානකට පස්සෙ වීන්ස්ටයින්ගෙ සිදුවීම අපිට කියන්නෙ කාස්ටින් කවුච් පුරාවෘත්තය තාමත් හොලිවුඩයෙ හොල්මන් කරනවා කියන එක. නමුත් මේ ආකාරයේ එලිදරව් වීම් නිසා අපිට පුළුවන් වෙනවා මේ යෙදුම පිටිපස්සෙ තියෙන බලහත්කාරයේ සංස්කෘතිය අවසන් කරන්න ඊට එරෙහිව හිටගන්න.

    Harvey Weinstein
  • බෞද්ධ සම්ප්‍රදායේ ශෘංගාර කැරලිකරුවා ගෙන්ඩුන් චොපෙල්

    බෞද්ධ සම්ප්‍රදායේ ශෘංගාර කැරලිකරුවා ගෙන්ඩුන් චොපෙල්

    (මේ ලිපියෙ කර්තෘ ඩොනල්ඩ් එස් ලෝපෙස් මිචිගන් සරසවියෙ බෞද්ධ සහ ටිබෙට් අධ්‍යයන මහාචාර්යවරයෙක්. රති නිබන්ධය- ආදරය සහ කාමය සඳහා ටිබෙටියානු මාර්ගෝපදේශ පොත ලියන්නෙ එයා.)

    කිසිවෙකුට හිංසාවක් නොවන හෝ පහර දීමක් නොවන
    පිහිතුඩෙන් හෙලි තුඩෙන් කළ කුරිරු සිදුරු කිරීමක් නොවන
    ආශාව උරුම හැඟුම්බර මිනිසුන්ටයි
    එය කුසලයක් නොවුනත් පාපයක් වනු කෙලෙස?

    • ගෙන්ඩුන් චොපෙල්- රති නිබන්ධය 1967

    බෞද්ධ භික්ෂුවක් විසින් පිලිපැදිය යුතු නීති බොහොමයි. එක සම්ප්‍රදායක නීති 253ක්. තව එකක 200ක්. කතාවෙ හැටියට මේ නීති බුදුන් විසින්ම පනවන ලද ඒවායි. බුදුන් මේ නීති සියල්ල එකපාර ප්‍රකාශයට පත් කළා නෙමෙයි. හරියට මෝසෙස් සිනායි කන්දෙ ඉඳන් දස පනත අරන් ආවා වගේ. මේ නීති ටිකෙන් ටික පරිණාමය වුනා. යම් ඇවතක් සිදුවුන තැනදියි නීතියක් පැනවුනෙ. බුද්ධ සාසනයෙ මුලින්ම නීති පැනවුනෙ මිනිස් ඝාතනයට විරුද්ධව නෙමෙයි. සෙක්ස්වලට විරුද්ධවයි.

    හොඳම උදාහරනෙ සුදින්නගෙ කතාව. සුදින්න එයාගෙ බිරිඳ සහ මව අත්ඇරලා ගිහින් මහන වෙනවා. ටික කාලෙකට පස්සෙ එයා ආපහු ගෙදර එනවා සුවදුක් බලලා යන්න. මේ ආපු ගමනෙදි සුදින්න භික්ෂුව ඒ පැවිදිබවට පෙර බිරිඳ එක්ක ලිංගිකව එකතු වෙනවා. නමුත් මේක සිද්ද වෙන්නෙ කාමය හෝ ප්‍රේමය නිසා නෙමෙයි. සුදින්නගේ මවගෙ බලවත් ඉල්ලීම නිසා. ඒ අම්මයි වයස්ගත තාත්තයි මළ දවසක පරම්පරාවෙ උරුමක්කාරයෙක් නැතිවීමෙන් සියලු දේපොල රජා විසින් අල්ල ගනී කියන බයටයි මේ ඉල්ලීම කරන්නෙ. ඒත් සුදින්නගෙ හිතට මේක හරි නෑ. එයා ඒ හින්ද අනිත් භික්ෂුන්ට මේ ගැන කියනවා. ඒ භික්ෂුන් මේක බුදුන්ට කියල බුදුන් සුදින්නව කැඳවනවා. කැඳවලා අමතනවා සැරෙන්.

    අසත්පුරුෂය, ස්ත්‍රී යෝනියක් තුලට දැම්මාට වඩා හොඳයි උඹේ ඔය ලිංගය විෂකුරු සර්පයෙකුගෙ කටේ එබුවා නම්. ස්ත්‍රී යෝනියක් තුලට දැම්මාට වඩා හොඳයි උඹේ ඔය ලිංගය කලු පොළඟකුගේ කටේ එබුවා නම්. ස්ත්‍රී යෝනියක් තුලට දැම්මාට වඩා හොඳයි උඹේ ඔය ලිංගය දැවෙන ගිනිඅඟුරු ගොඩක එබුවා නම්. ඒ මොකද? උඹ ඒ මොහොතේ මරණය හා සමාන වේදනාවක් වින්දත් ඒ නිසා උඹ මරණින් මතු නිරයෙහි පැසෙන්නේ නැති නිසයි.

    බෞද්ධ ඉතිහාසය පුරා බෞද්ධ පොතපත වැඩිපුරම ලියවී තියෙන්නෙ බ්‍රහ්මචාරී භික්ෂුන් අතින්. අබ ඇටයක තරම් ගැඹුරට කරන ලිංගික විනිවිදයාමක් වුනත් ශාසනයෙන් සදහටම නෙරපා දැමීමට හැකි පළමු විනය උල්ලංඝනය විදිහට සලකනවා. ඒ වගේම භික්ෂුන් සාමාන්‍ය මිනිස්සුන්ගෙත් ලිංගික ජීවිතය පාලනය කරන්න උත්සාහ කළා. යෝනිය මිස අන් කොහෙන්වත් ඇතුල්වීම වරදක් කියල ඇතැම් භික්ෂුන් දේශනා කළා. දහවල් කාලයේ ලිංගිකව හැසිරීම වරදක් කියල කිව්වා. අද වුනත් සමලිංගිකත්වය ගැන භික්ෂුන් දරන මත මේ ආකාරයෙන්ම සීමාකාරීයි.  ආසියාතිකව බෞද්ධ භික්ෂුව නිරූපනය වුනේ බ්‍රහ්මචර්යාවෙ ප්‍රතිමූර්තියක් හැටියටයි. ඒත් නොයෙක් බෞද්ධ රටවල නවකතා නාට්‍ය තුල භික්ෂුව මීට වඩා වෙනස් වෙනස් විදිවලට ගෙනහැර පානවා.

    බෞද්ධ සම්ප්‍රදායෙ මීට ප්‍රතිවිරුද්ධ කතිකාව ගෙනාවෙ තන්ත්‍ර සම්ප්‍රදායෙන්. ඒ බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු දාහකට පස්සෙ. මෙතෙක් සෙක්ස් කියන එක දූෂිත වරදකාරී දෙයක් හැටියෙන් තිබුනත්  තන්ත්‍ර විසින් සෙක්ස් කියන්නෙ පාරිශුද්ධත්වය කරා යන මාවත බවට පත් කරනවා. තන්ත්‍රවලදි සුරතාන්තය සමග ගමන් කළ හැකි විවිධ ආධ්‍යාත්මික තලයන් ගැන සවිස්තරාත්මකව කතා කරනවා. ඒ සුඛයේ ගැඹුරේදී දැනගත් රහස් තාක්‍ෂණයන් ගැන කියනවා.  සම්භෝගය හරහා බුද්ධත්වය ලබන තාන්ත්‍රික බුදුවරුන් ඉන්නවා.

    විසි වෙනි සියවස වෙනකල්ම අපිට තන්ත්‍රවලින් පිටත මේ විදිහෙ සාම්ප්‍රදායික භික්ෂු ශික්ෂාව විචාරය කරන, ලිංගික තෘප්තිය වෙනුවෙන් පෙනී ඉන්න බෞද්ධ සාහිත්‍යයක් මුනගැහෙන්නෙ නෑ. 1939දි ටිබෙට් ලේඛකයෙක්, උපැවදි වුනු භික්ෂුවක්, ගෙන්ඩුන් චොපෙල් රති නිබන්ධය ලියන්න ගන්නවා. කවි විදිහට ලියන මේ පොත තමයි ටිබෙට් බෞද්ධ සාහිත්‍යයට අයිති ශෘංගාර රචනා දෙකෙන් එකක් වෙන්නෙ.

    ගෙන්ඩුන් චොපෙල් කියන්නෙ 20 වෙනි සියවසේ ප්‍රකට වගේම කුප්‍රකට ටිබෙට් බුද්ධිමතා. අවුරුදු 12දි පැවිදි වෙන ගෙන්ඩුන් 1934දි ටිබෙටයෙන් නික්මෙන කල්ම බෞද්ධ ඇකඩමියාවෙ ඉහලටම ඉගෙන ගන්නවා. එයා ඊට පස්සෙ අවුරුදු 12ක් ඉන්දියාවෙ, නේපාලෙ, ලංකාවෙ සංස්කෘත භාෂාව හදාරමින් ගත කරනවා. මේ අතර ගෙන්ඩුන් පැවිදිබව අත්හරිනවා. එයා එතන ඉඳන් චිත්‍ර අඳින්නත් ලියන්නත් පටන් ගන්නවා. කොටුවෙලා ඉන්න ටිබෙටයට නිදහස් ලෝකයක් ගැන විස්තර ලියනවා.

    ගෙන්ඩුන් චොපෙල් සංස්කෘත සම්භාව්‍ය කෘතියක් වුනු කාම සුත්‍ර හදාරන්න පටන් ගන්නවා. ටිබෙටයට ශෘංගාර සාහිත්‍ය නාඳුනන කලාපයක් නිසා එයා තමන්ගෙම රති නිබන්ධය ප්‍රබන්ධ කරන්න ගන්නවා. ඒ සඳහා සංස්කෘත ලිංගිකෝපදේශ ග්‍රන්ථ වගේම කල්කටාවෙ ගණිකා මඩම්වල සහ පෙම්වතියන් සමග එයාගෙ අත්දැකීම් පාවිච්චි කරනවා. ඒ පෙම්වතියන්ට ගෙන්ඩුන් නම් සඳහන් කරමින් තමන්ගෙ පොතේ ස්තුති කරනවා.

    බ්‍රහ්මචාරය අත්හැරි විගස නිසාම පළමු වරට ලිංගික අත්දැකීමක් විඳින කෙනෙකුගේ ප්‍රහර්ෂය ගෙන්ඩුන්ගෙ කවිවල දකින්න පුළුවන්. කාලයක් පුරා තහනම් වුනු රසයක් නිසාම ඒ හැමදෙයක්ම එයාට වඩාත් සුන්දර මතකයන් මවනවා. ඒ කවිවල තියෙන්නෙ පිරිමියෙකුගේ ආශාව ගැහැණියකගෙන් සන්තර්පනය කරගැනීමක් නෙමෙයි, ඒ වෙනුවට රති කෙලියේ පූර්ණ සහකරුවන් හැටියට ආස්වාදය බෙදාහදාගැනීමක්. ගෙන්ඩුන් චොපෙල් රති නිබන්ධය පුරා හොයන්නෙ තාන්ත්‍රික සමාධියේ ඇත්ත ස්වභාවය. ඒ වගේම කොහොමද ඒක සම්භෝගය එක්ක සම්බන්ද වෙන්නෙ කියල.

    කඳු සහ නිම්න බිමකට අලංකාරයි
    විසකුරු හැඟුම් දිවියට දෝෂකාරයි
    භාවනාවෙන් තොරව නවතන්න හැඟුමන්
    පෘතග්ජනයාට ඇත්තෙ රතියේ සමාධිය පමනයි.

    ගෙන්ඩුන් චොපෙල් ඉන්දියාවට එන්නෙ නිදහස් අරගලයෙ කූටප්‍රාප්තියෙදි. හින්දු මුස්ලිම් දේශප්‍රේමීන් බි්‍රතාන්‍යයන්ගෙන් ගැලවෙන්න සටන් කරනවා. ගෙන්ඩුන් මේ අරගලයෙන් ගොඩක් දේවල් ටිබෙටයට අරන් ගියා. ඒ වගේම එයා තව මෙහෙයුමක හිටියා. ඒ තමයි ලිංගික නිදහස වෙනුවෙන් වූ අරගලය. එයා රාජ්‍ය සහ ආගමික ආයතන වලින් පවත්වාගෙන යන බොරු සදාචාරය ප්‍රතික්‍ෂේප කළා. ලිංගික තෘප්තිය කියන්නෙ ස්වභාව ධර්මයේ අවශ්‍යතාවයක් සහ විශ්වීය මිනිස් අයිතියක් කියල පෙනී සිටියා. කාම සූත්‍ර ලියවුනෙ ප්‍රභූන්ට. තන්ත්‍ර ආවෙ ආධ්‍යාත්මිකව දියුණු අයට. නමුත් ඒ ධර්ම ප්‍රකාශ වෙලා තියෙන්නෙ සමස්ත මිනිස් වර්ගයාම වෙනුවෙන්. රති නිබන්ධයෙන් ගෙන්ඩුන් කරන්න හදන්නෙ ශෘංගාරය පාලක පන්තියෙන් හොරකම් කරගෙන වැඩකරන ජනතාව අතරට ගේන එක.

    මේ පළල් පොලෝ මත  සියලු මිනිසුන්
    හැඟුම් විරහිත නීතියේ බැම්මෙන් මිදේවා
    නිසි අවැසි තෘප්තීන්
    නිදහසේ විඳින්නට ලැබේවා

    ලිංගික නිදහස අනෙක් රටවලත් ජයග්‍රහනය කළා වුනත් ඒ විප්ලවකාරීන්ට දරුණු අර්බුදවලට මුහුන දෙන්න වුනා. ඒකම ටිබෙටයේ ගෙන්ඩුන් චොපෙල්ටත් වුනා. අවුරුදු 12ට පස්සෙ 1945 එයා ලාසාවලට එනවා. මුලින්ම එයා තමයි ටවුමෙ සුවිශේෂීම චරිතය වුනේ. හැම රෑකම ප්‍රභූවරයෙක් එක්ක සාදයක් තිබුන. ඒත් ඉක්මනටම එයා සැකකාරයෙක් වුනා. බොහෝවිට ඒක වුනේ බි්‍රතාන්‍ය නියෝජිතයන්ගෙ පෙළඹවීම මත.

    1948 චොපෙල්ව අත්අඩංගුවට ගන්නවා හොර සල්ලි බෙදාහැරියා කියන අභූත චෝදනා මත. එයා අවුරුදු තුනක් හිරේ ඉන්නවා. පස්සෙ වර්තමාන දලයි ලාමා එයාගෙ බහුතරය අත්පත් කරගැනීම වෙනුවෙන් ලැබුනු පොදු සමාවකින් චොපෙල් නිදහස වෙනවා. 1951 සැප්තැම්බර් ජනතා විමුක්ති හමුදා ටිබෙටය නැවත චීනයට ලැබුනු පනිවුඩය අරන් ලාසාවලට එද්දි ගෙන්ඩුන් චොපෙල්ට ඒ පැරඩ් එක බලන්න හිටගන්නවත් වාරු නෑ. එයා ඉන්නෙ මැරෙන්න වැටිලා. එයාගෙ නිබන්ධනය මුද්‍රණය වෙන්නෙ එයා මැරිලත් හුඟ කාලෙකට පස්සෙ 1967දි. ඒත් ටිබෙට්වල නෙමෙයි. ඉන්දියාවෙ. දලයි ලාමා එක්ක පිටුවහල් වුනු බොහොමයක් ටිබෙට් ජාතිකයනුත් ඒ වෙද්දි ඉන්දියාවෙ.

    ගෙන්ඩුන් චොපෙල්ගෙ පොත1960 ඇති වුනු යුරෝ ඇමරිකානු ලිංගික අරගලයට දායක වුනේ නෑ. ඒත් රති ක්‍රීඩාව ගැන චොපෙල් දෙන උපදෙස් බෞද්ධ ලෝකයටත් ඉන් එපිටටත් තව බොහෝ දේ විඳින්න තියෙනවා කියල මතක් කරනවා.

  • ලිංගික ආශාවෙ සම්භවය

    ලිංගික ආශාවෙ සම්භවය

    කොලින් විල්සන් 3 වන කොටස

    මේ හැම දේකින්ම දැඩි උනන්දුභාවයක් වගේම ඇතිවිය හැකි නොයෙක් බලපෑම් ගැන ප්‍රශ්න මතු කරනවා. ස්ටඩි ඔෆ් මර්ඩර් පොතේ මම යෝජනා කළා පොඩි දරුවන්ගෙ ලිංගික ආශාව නොවැඩුනු එකක් කියල. ඒක හරියටම කෑම ගැන ඇතිවන ආශාව වගේම සරලයි. තමන්ගේ ලිංගික අවයවය උත්තේජනය කිරීමේ උවමනාවක් විතරයි. මේ මුල් වයසෙදි මේ ආශාව යම් කිසි වස්තුවක් එක්ක මෝහනීය ලෙස බැඳුනොත් කෙනෙකුගෙ ලිංගික තෘප්තිය ඒ වස්තුව එක්කම සම්බන්ද වෙනවා. මේක නයිට් කැප් එකක්, ඒප්‍රන් එකක්, හැරමිටියක්, එහෙම නැත්තං ඒ ළමයාගේම ලිංගික කලාපයක් හෝ වෙන ළමයෙකුගෙ ලිංගික කලාපයක් වෙන්න පුළුවන්. වාසනාවට ගොඩක් පිරිමි මේ විදිහට මෝහනය වෙන වස්තුව අයිති වෙන්නෙ විරුද්ධ ලිංගිකයෙකුට.

    එක මූලික දෙයක් මෙතනදි කියන්න වෙනවා. ලිංගික ආශාව සරලම අර්ථයෙන් ගත්තොත් ලිංගික ඉන්ද්‍රියෙහි ඉල්ලා සිටීමක් වෙනවා. ඒක හරියට චුම්බකත්වය කියන්නෙ චුම්බකය හා බැඳුනු දෙයක් වගේමයි. වෙනස තියෙන්නෙ ලිංගික ඉන්ද්‍රිය හරියට ඉලෙක්ට්‍රො මැග්නට් එකක් නැත්තං විද්‍යුත් චුම්බකයක් වගේ වෙන එකයි. ඒක එක්කො සම්පූර්ණයෙන්ම නිරුද්ධයි. නැත්තං සම්පූර්ණයෙන්ම ආරෝපිතයි. ඒක ලිංගික ඉන්ද්‍රියේ ඇතිවන ස්ථිති විද්‍යුතයක්. කොයි විදිහෙන් හරි මෝචනය වෙන්නයි අවශ්‍ය. අපි මේ ලිංගික විද්‍යුතය උත්පාදනය කරන ඩයිනමෝව ගැන දන්නෙ බොහොම සුළුවෙන් නමුත් මේ විද්‍යුතය කොහෙත්ම නොසලකා හැරිය හැකි එකක් නෙමෙයි. ලිංගිකත්වයෙදි පරිකල්පනය විසින් ඉටු කරන කොටස ගැන සාකච්ඡා කරද්දි අපි කොහොමවත් නියම ශාරීරික අවයවයේ පැවැත්ම අමතක නොකල යුතුයි. සමහර විට වෙන බොහෝ දුරබැහැර දෙයක් ගැන කල්පනා කරමින් සිටින පිරිමියෙක් එයාගෙ යටිකය යමකට තෙරපුනාම දැනෙන කිතිකැවෙන කරන්ට් එක එයාව  පුදුම කරන්න පුළුවන්.

    මේ තැනදි අපිට ලිංගික ආශාව ගැන පැහැදිලිව කියන්න පුළුවන් එකම එක පොදු කාරණයක් විතරයි. ඒ මේ ආශාව අනෙක් මානව ආවේගයන්ට වඩා ගැඹුරු තලයක ක්‍රියාත්මක වෙන බවයි. සමහර විට ආත්මාරක්‍ෂාවටත් වඩා. සමස්තයක් විදිහට මිනිසාට පුළුවන් ඔහුගේ රසයන් සහ ආශාවන් තේරුම් ගන්න. ඔහුට උවමනා  මුදල්, සමාජ තත්වය, හෝ ප්‍රසිද්ධිය, නැත්තං ඔහුගේ අධිපති ආශාව තියෙන්නෙ චිත්‍ර හෝ පරණ පොත් එකතු කරන්න වුනත් ඔහුට පුළුවන් ඒ ආශාව දිගේ ආපස්සට ගිහින් එහි මූලය හොයාගන්න. එය ඔහුගේ වටිනාකම් ලැයිස්තුවේ ඉස්සරහට ආපු හැටි තේරුම් ගන්න පුළුවන්. සවිඥානක වෙන්න අමාරුම ආවේගය තමයි ලිංගික ආවේගය. කෙනෙකුට හිතන්න පුළුවන් එයාට නම් ඒක තේරුම් ගන්න පුළුවන් කියල. ඒත් එකවරම ඒ ආශාවෙන් ඒ මනුස්සයටම හිතාගන්න බැරි කෙලවරකට එයාව අරන් යන බව නිසැකයි. ෂෝ ගේ මෑන් ඇන්ඩ් සුපර්මෑන් නාට්‍යයෙ තියෙනවා ලෝකෙ වෙනස් කිරීමේ මහා උවමනාවෙන් පෙලෙන කෙනෙක් වුනත්, එයාගෙ ඉතාම නිවැරදි ගනංබැලීම් සියල්ල බිඳහෙලමින්, තමන් යන්තමින් හෝ ගරු කරන ගැහැනියක සමග ලිංගිකව එක්වීම සඳහා පෙළඹෙන්න පුළුවන් කියන එක. එයා ඈන්ව බදාගන්න ගමන් මෙහෙම කියනවා.

    “ජීවිතානුරාගය විසින් මාව අමන්දානන්දයට පත් කරනවා. ඔයා මගේ අත්දෙක මැද්දෙ ඉන්න කොට මට මුලු ලෝකෙම තියෙනවා වගෙයි. ඒ ජීවිතය ගැව අනුරාගය විසින් මාව සම්පූර්ණයෙන්ම නතු කරගෙන ඉවරයි”.

    රොමේන් රෝලන්ඩ් එයාගෙ ජින් ක්‍රිස්ටොෆර් කතාවෙත් මේ දේම කියනවා. එයා ක්‍රිස්ටොෆර්ගෙ අම්මයි තාත්තයි අතර කිසිදු සමානකමක් හෝ සම නැඹුරුවක් නෑ කියල කියද්දි එයා කියනවා, “තාත්තාට කිසිම අදහසක් තිබුනෙ නෑ මොන එකක් හින්දද එයා ඒ තරම් හොඳ රස්සාවක් අතෑරලා මේ වැඩකාර කෙල්ලෙක් බඳින්න යන්නෙ කියල. ඒත්  ඔහුව මේ කුඩා තඹ කෙස් ඇති වැඩකාර කෙල්ල ළඟට ඇදලා දාපු නොදන්නා බලවේගයට ඒක අදාලම නෑ. එයා එයාගෙ කොටස කළා”

  • කාමසූත්‍ර 3 කොටස

    කාමසූත්‍ර 3 කොටස

    ප්‍රශ්නය

    ඇතැම් දැනඋගත් අය විසින් පවසන පරිදි ධර්ම යනු මෙලොව දේට සම්බන්ධ කාරණා නොවේ. එනිසාම එය පොතින් මැනවින් උගත හැකියි. අර්ථ යන්නද එසේමයි. එය පුහුණු කළ හැක්කේ නිවැරදි උපක්‍රම යොදාගැනීමෙන් හෙයින් මේ නිවැරදි උපක්‍රම උගත හැක්කේ ඉගෙනුමෙන් සහ පොතින් පමණකි.  නමුත් කාම මීට වෙනස්ය. එය වනචාරී සතුන් විසින්ද පුහුණු කරන්නකි. සෑම තැනකම පවතින්නකි. එනිසා ඒ විෂයෙහි උගන්නට දෙයක් නැත.

    පිළිතුර

    එය එපරිදි නොවේ. ලිංගික සංවාසය පිරිමියා සහ ගැහැණිය මත රඳා  පවතින හෙයින් ඔවුන් විසින් නිවැරදි උපක්‍රම යොදා ගත යුතුයි. එම උපක්‍රම කාම ශාස්ත්‍රයෙන් උගත යුතුයි. වන සතුන් මෙම නිවැරදි උපක්‍රම යොදා නොගන්නේ ඔවුන්ට ඔවුන් ගැන පාලනයක් නොමැති නිසාය. ඔවුන්ගේ ස්ත්‍රී සතුන් වසරේ නිශ්චිත කාලයකට පමණක් ලිංගික ක්‍රියාවට සුදුසු වන නිසාය. එමෙන්ම ඔවුන්ගේ සංවාසය හැගීම් මගින්මෙ හෙයවන්නේ නැති නිසාය.

    ප්‍රශ්නය

    ලෝකායතවාදීන් කියන පරිදි (භෞතිකවාදීන්) ආගමික පිලිවෙත් කළ යුතු නැත. ඒ ඒවායේ ප්‍රතිඵල ඇත්දැයි නැත්දැයි නිශ්චිතව කිව නොහැකි නිසාය. තමන්ගේ අතැති දේ අන් කෙනෙක් අත ඇති දෙයක් වෙනුවෙන් අත්හරින්නේ කවර මුග්ධයෙක්ද? අද අල්ලාගන්නා පරෙවියා හෙට අල්ලාගන්නා මොනරාට වඩා වටින්නේය. අප සතුව ඇති තඹ කාසිය හෙට ලැබෙතැයි විශ්වාස නැති රන් කාසියට වඩා වටින්නේය.

    පිළිතුර

    එය එපරිදි නොවේ. පළමුව, ධර්ම පුහුනු කරන්නැයි පැවසූ දිව්‍යමය වචනයෙහි සැකයට ඉඩක් නැත. දෙවෙනුව, සතුරන් විනාශ කිරීමෙහි සහ වර්ෂාව ලබාගැනීමෙහි කළාවූ පූජාවන් ඵලදැරූ බවට සාක්ෂි ඇත. තෙවනුව, ඉර හඳ තාරකා ග්‍රහයන් සහ අනෙකුත් දිව්‍යමය ශරීර ලෝකයේ යහපත පිණිසම පවත්නේය. සිව්වෙනුව, මෙලොව පැවැත්ම රඳා පවත්නේ සිව් කුලයන් විසින් කළ යුතු කාරණා සහ ජීවිතයේ සිව් අවධීන් තුල කළ යුතු කාරණා නිසි ලෙස පිළිපැදීමෙනි. පස්වෙනුව, අප විසින් පොලොවට විසි කරන බීජ පසුව අස්වනු බවට පත්වනු අප විසින් දැක ඇත.
    මේ නිසා වාත්ස්‍යානගේ අදහස වන්නේ අප විසින් ආගමික පිළිවෙත් පිරිය යුතු බවය.

    ප්‍රශ්නය

    දෛවය සියල්ලෙහි තීරකයා ලෙස විශ්වාස කරන්නවුන් පවසන්නේ, අප විසින් ධනය ඉපැයීමට වෙහෙසිය යුතු නැති බවයි. අප කෙතරම්වෙ හෙසුනද ඇතැම් විට එය ඉපැයීමට නොහැකිවන බවයි. ඇතැම් විට කිසිදු වෙහෙසක් නොදරාම ධනය අප කරා ළඟාවන බවයි. එනිසා සියල්ල තීරණය වන්නේ දෛවයට අනුව බවයි. ලාභයේ සහ අලාභයේත් සාර්ථකබවේ සහ අසාර්ථකබවේත් සතුටෙහි සහ දුකෙහිත් අධිපති දෛවයම බවයි. බාලි නම් යක්ෂයා විසින් ඉන්ද්‍ර පරදා සිහසුන ලබාගත්තද නැවත විෂ්නු විසින් බාලි නෙරපා හැරි අයුරු අප විසින් දැක ඇත. යම් තැනක කෙනෙක් පිහිටුවිය හැක්කේ දෛවයටම පමණි.

    පිළිතුර

    එය එපරිදි නොවේ. සෑම අවස්ථාවකම සෑම දෙයක්ම ලඟාකර ගැනීම විෂයෙහි මිනිසුන් විසින් කළ යුතු කොටසක් ඇත. අප විසින් ළඟා කරගන්නා සෑම දෙයක්ම සඳහා නිවැරදි උපක්‍රම යොදාගත යුතු වෙයි. එනිසාම දෛවය විසින් යමක් සිදුවීමට ලියැවී තිබුනත් මෙම නිවැරදි උපක්‍රම ඒ සඳහා අත්‍යාවශ්‍ය වෙයි. කිසිවක් නොකරන මිනිසා කිසිදු සතුටක් හිමි කර නොගනී.

  • Perfumed Garden ශෘංගාර සාහිත්‍යයේ ඉස්ලාම් දිගහැරුම

    Perfumed Garden ශෘංගාර සාහිත්‍යයේ ඉස්ලාම් දිගහැරුම

    ශෘංගාර සාහිත්‍යයේ ඉස්ලාම් දිගහැරුම

    පර්ෆියුම් ගාර්ඩ්න් ඔෆ් සෙන්ෂුවල් ඩිලයිට් නැත්තං ශෘංගාරාස්වාදයේ සුගන්ධ උද්‍යානය කියන්නෙ පහලොස්වෙනි සියවසේ ලියවුනු අරාබි ලිංගිකෝපදේශ ග්‍රන්ථයක්. ඒ වගේම ශෘංගාර සාහිත්‍යය කෘතියක්. ඒක ලියන්නෙ මුහම්මද් ඉබන් මුහම්මද් අල් නෆ්සාවි කියල කෙනෙක්. කෙටියෙන් නෆ්සාවි.

    පිරිමියෙක් හෝ ගැහැනියක් ආකර්ශනීය වෙන්නෙ  කවර ගුනාංගයන්ගෙන් සමන්විත වුනොත්ද කියන එකත් කාමසුත්‍රයේ වගේම විවිධ ලිංගික තාක්‍ෂණයන් කියා දීමත් මේ පොතෙන් කෙරෙනවා. ඒ වගේම ලිංගික සෞඛ්‍ය ගැනත් ලිංගික ආබාධවලට විවිධ අත්බෙහෙත් ආදියත් විස්තර වෙනවා. ශිෂ්නයට සහ යෝනියට නම් ලැයිස්තුවක් මෙහි ගෙනහැර දක්වනවා. සිහින විස්තර කරන කොටසක් වෙනම අඩංගු වෙනවා. සතුන් අතර ලිංගික චර්යාවන් පවා විස්තර කරනවා. ඒ වගේම හාස්‍යමුසු කතන්දරත් ඇතුලත් වෙනවා. මේ පොත ඇරබියන් නයිට්ස් වගේම ජනප්‍රියතාවයක් ලබනවා.

    පර්ෆියුම්ඩ් ගාර්ඩන් පෙරවදනකින් සහ පරිච්ඡේද 21කින් සමන්විතයි. ඒත් මේ පොතේ ප්‍රංශ සහ ඉංග්‍රීසි පර්වර්තන දෙකේම 21වෙනි පරිච්ඡේදය ඇතුලත් නෑ.

    පෙරවදනෙදි කතුවරයා විසින් රතිආස්වාදය ලබාදීම වෙනුවෙන් දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා. ඔහු කියන විදිහට දෙවියන් විසින් සුන්දරබවෙන් ආඪ්‍ය ස්ත්‍රියක් ලබාදීමෙන් පිරිමියා සම්භෝගය පිනිස උනන්දු කරනවා.  පිරිමියාගේ ස්වභාවික දුර්වලතාවය වන්නේම ගැහැනියගේ ආදරය ප්‍රාර්තනා කිරීමයි. කතුවරයා කියනවා මුස්ලිම්වරයෙක් හැටියට ඔහුට ඉන්නෙ එකම දෙවි කෙනෙක් කියල. මුහම්මද් තමයි ඔහුගේ ශෘස්තෘවරයා වෙන්නෙ. ඔහු තමන් දෙවියන්ගේ සේවකයෙක් බව කියනවා. 

    වර්ණනා කළ යුතු පිරිමියා වන්නේ පහසුවෙන් ඍජුබව ලබන අයයි. ඔහුට ඉක්මනින් මෝචනය නොවෙයි. ධාතු පහවුනත් එසැනින් නැවත ඍජු වෙයි. ඔහුගේ ශිෂ්නය සහකාරියගේ යෝනිය කෙලවර දක්වාම දිගුයි. ශිෂ්නය කුඩා නම් ඔහුට ගැහැනිය සතුටු කළ නොහැකි වෙයි. 

    වර්නනා කළ යුතු ගැහැනිය වන්නේ මනා උකුලක්  පිරුනුබවක් සහ අනුරාගී බවක් ඇති ඇයයි. ඇයට කලුවන් දිගු වරලසක් හිමිය. වටකුරු කලුවන් ඇස් හිමිය. ශෝභන නාසයක් හිමිය. රතුවන් තොල් සඟලක් හිමිය. ඇගේ හුස්ම පවා සුවඳවත්ය. ඇගේ පියයුරු පිරී ඇති අතර ඒවා ඍජුය. ඇගේ යෝනියෙන් දුගඳක් හමන්නේ නැත. ඇගේ උකුල පළල්ය.  අතුල් සහ පතුල් මනස්කාන්තය. ඇය සිනාසෙන්නේ හෝ කතා කරන්නේ කලාතුරකිනි.

    මේ පොත ඉංග්‍රීසියට ගේන්නෙ සර් රිචර්ඩ් ෆ්‍රැන්සිස් බර්ටන් විසින් 1886දි. බර්ටන් විශ්වාස කරනවා පර්ෆියුම්ඩ් ගාර්ඩන් පොත මේ වර්ගයේ පොත් අතර විශිෂ්ට කෘතියක් කියල. ඒ ඉතාම ලේසියෙන් අසභ්‍ය හැටියෙන් ගැනෙන්න ඉඩ ඇති කාරණා පවා වැදගත් ආකාරයෙන් ඉදිරිපත් කිරීම නිසයි. බර්ටන් කියන විදිහට පර්ෆියුම්ඩ් ගාර්ඩන්හි හැම අදහසක්ම ස්වතන්ත්‍ර නෙමෙයි. සමහර ඉරියව් විස්තර ආදිය ඉන්දියානු ග්‍රන්ථවලිනුත් සිහින විස්තර කිරීම ආදිය අසෙඩින් එල් මොනාඩෙකිගේ බර්ඩ්ස් ඇන්ඩ් ෆ්ලවර්ස් පොතෙනුත් අරන් තියෙනවා කියල ඔහු කියනවා.

    මුල් ප්‍රංශ පරිවර්තනයේදී 21වෙනි පර්ච්ඡේදය උවමනාවෙන් මගඅරිනවා. ඒ එම පරිච්ඡේදයෙ තිබුනු සමලිංගික සහ කුමාර මෛථුනය සම්බන්ධ කාරනා නිසයි. 1890දි බර්ටන් මියයද්දි එයා පර්ෆියුම්ඩ් ගාර්ඩන් මුල්ම පිටපත අරගෙන 21 වෙනි පරිච්ඡේදයත් ඇතුලුව එහි සම්පූර්ණ පරිවර්තනයක් කරනවා . ඒක නම් කරන්නෙ සෙන්ටඩ් ගාර්ඩන් කියල. ඒත් ඒ පොත බර්ටන්ගෙ මරණයෙන් පස්සෙ ඔහුගේ බිරිඳ විසින් ගිනිබත් කරනවා. මේ නිසා ඒ පරිවර්තනය නිකුත් වෙන්නෙ නෑ. අදටත් කියවන්නාට 21 වෙනි පරිච්ඡේදය අහිමියි.

    පර්ෆියුම්ඩ් ගාර්ඩන් පොත කොටසින් කොටස ඉදිරියේදි පරිවර්තනය වෙනු ඇති.

  • කාමසූත්‍ර II කොටස  ධර්ම අර්ථ කාම එක්රැස් කිරීම

    කාමසූත්‍ර II කොටස ධර්ම අර්ථ කාම එක්රැස් කිරීම

    වසර සියයක ආයුකාලයක් හිමි මිනිසා සිය ජීවිත කාලය තුල විවිධ කාලයන්හි ධර්ම අර්ථ කාම යන තුන පුහුණු කළ යුතු අතර ඒවා එකිනෙක මනාව ගැලපෙන පරිදි කළ යුතුය. එකක් අනෙක හා නොගැටිය යුතුය.

    ළමා කාලය ඉගෙනුම පිනිස යෙදිය යුතු. තරුණ සහ මැදිවිය අර්ථ කාම දෙක වෙනුවෙන් යෙදිය යුතු. මහලු විය ධර්ම වෙනුවෙන් කැප කරමින් මෝක්ෂය ලබාගත යුතු. මෙපරිද්දෙන් සසර නැවත ඉපදීමෙන් නිදහස් විය හැකිය. ඇතැම්විට ජීවිතයේ අස්ථිරභාවය නිසා ඔහු මේ දේවල් ඉගෙනුමට බලකෙරෙන තැන්වලදී ඒවා පුහුණු කරනු ඇත. නමුත් එක දෙයක් සිහිතබා ගත යුතු. එනම් අධ්‍යාපනය නිමාවන තුරු ඔහු ආගමික ශිෂ්‍යයෙක් ලෙසටම ජීවිතය ගත කළ යුතු.

    ධර්ම යනු ශාස්ත්‍රයන්ට කීකරු වීමයි. දෙවියන් විසින් පැවසූ පරිදි ආත්ම පූජාවන්හි යෙදීමයි. මේවා මෙලොවට අයත් නොවන නිසාම සහ එහි ප්‍රතිඵල දැකිය නොහැකි නිසාම සාමාන්‍යයෙන් නොකෙරෙන ක්‍රියාය. ධර්ම කොටසෙහි දැක්වෙන තවත් සමහරක් වන්නේ නොකළ යුතු ක්‍රියාය. මාංශයෙන් වැළකීම ආදිය ඊට අයත්ය. ඇසින් දැකිය හැකි ප්‍රතිඵල නිසාමත් මෙලොවට අයත් ක්‍රියාවන් නිසාමත් මේවා නිතර පුරන ක්‍රියාවන්ය.

    ධර්මය එය ඇසූ පිරූ අයගෙන් උගත යුතුය.

    අර්ථ යනු කලාවන්, ඉඩකඩම්, රන්, ගව මහීෂාදීන්, ධනය, හිතර්ශීන් සහ මිතුරන් ඉපැයීමය. ලබාගත් දේ රක්ෂා කිරීමත් ඒවා තව වර්ධනයත් ඊට අයත්ය.

    අර්ථ ඉගෙනිය යුත්තේ රජුගේ නිලධාරීන්ගෙනි. එමෙන්ම එහි නිපුණ වෙළෙන්දන්ගෙනි.

    කාම යනු ඇස කන නාසය දිව ශරීරය යන ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු ආස්වාද කිරීමය. මනසින් සහ ආත්මයෙන්  ඇසීම, දැනීම, දැකීම, රසවිඳීම, සහ සුවඳ විඳීම මීට අයත්ය. සංවේදී ඉඳුරන් සහ එහි අරමුණ අතර අපූර්ව ගැටීම සහ එහි තෘප්තිය පිළිබඳ සවිඥානක වීම කාම යනුවෙන් හැඳින්වෙයි.

    කාම උගත යුත්තේ කාමසූත්‍රයෙනි. පුරවැසියන් හා පුහුනුවෙනි.

    ධර්ම අර්ථ සහ කාම යන තුන ගත්කල ධර්මය අර්ථයට වඩා යහපත්ය. අර්ථය කාමයට වඩා යහපත්ය. අර්ථ පළමුව පුහුණු කළ යුත්තේ රජු විසිනුයි. මිනිසුන්ට කළ හැක්කේ රජු උපයන දෙයින් තමන්ගේ දිවිපෙවත රැකීමයි. කාම යනු පුරලඳුන්ගේ රක්ෂාව වන හෙයින් ඔවුන් අන් දෙකටම වඩා එය පුහුණු කළ යුතුය. මේවා සාමාන්‍ය ආකාරයට ව්‍යතිරේකය.